ඌරුගමුවේ
අස්සජි හිමි නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සොචති
සො සෝචති සො විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ’ති
සැදැහැවතුනි,
ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මය ධම්මපදයේ යමක වග්ගයට අයත් ය.
එහි සරල සිංහල අර්ථය මෙසේයි.
”පව් කරන පුද්ගලයා මෙලොව ශෝක කරයි. පරලොව ද ශෝක කරයි. මෙලොව, පරලොව යන
දෙලොවම ශෝක කරයි. ඔහු තමා කළ කිලිටි කර්මය නිසා පරලොව ගිය කල්හි බොහෝ
වූ අපා දුක් විඳිමින් විනාශයට පත් වන්නේය.” බුදුරජාණන් වහන්සේ මෙම ගාථා
ධර්මය දේශනා කොට වදාළේ චුන්ද නම් ඌරු වැද්දා අරමුණු කොටගෙනය.පනස් පස්
වසරක්ම ඌරන් මැරීමත්, අඹුදරුවන් සමඟ එම මස් අනුභව කිරීමත්, ඉතිරිවූ
මාංශය විකිණීමත් සිදුකරමින් ඉතා පවිටු දිවිපෙවෙතක් ගතකළ චුන්ද සූකරික
ඌරුවැද්දා වාසය කළේ රජගහනුවර වේළුවනාරාමය අසලම ය. ඌරන් ඇති දැඩි කරන
ලොකු, කුඩා කොටු ද ඔහුගේ නිවෙසෙහිම ඉදිකොට තිබිණ.
චුන්ද සූකරික තෙමේ ඌරන් මැරිම සිදුකරනුයේ මෙසේයි. ඌරන් කා බී ඇති දැඩි
වූ පසු පැන යන්නට නොහැකි පරිදි කණුවක තදකොට බැඳ, මස් තරකරන්නට
මුගුරකින් සතාට තලයි. එවිට ඌරා මරහඬ දෙයි. එලෙස පැය කිහිපයක් තලා
සිරුරෙහි මස් ඝණ වූ පසු කට හරවා දඬුකඩක් දමා, කකියන උණු දිය ලෝහමය
හැන්දකින් ගෙන ඌරාගේ කටට වත් කරයි. එවිට ඒ උණුදිය කුස තුළට ගොස් සියලු
මළ මුත්‍ර නික්ම කුස පිරිසුදු වෙයි. අනතුරුව එම උණුදියම ඇඟට ද වත්කොට
ඌරාගේ ලොම් හා කළු හම ගලවා දමයි. ගිනි පන්දමක් ද ගෙන ලොම් දවා හරියි.
පසුව බෙල්ල ශරීරයෙන් වෙන්වන පරිදි කපා එයින් වැගිරෙන ලේ වළඳකට ගෙන,
සිරුරේ මස් කුඩා කැබැලිවලට කපා පිස , වැළෙඳහි වූ ලේ සමඟ අනා අඹුදරුවන්
පිරිවරා හිඳ අනුභව කරයි. ඉතිරි කොටස විකුණා ඉන් ජීවත්වීම සඳහා අවශ්‍ය
ආදායම ද උපයා ගනියි.
එසමයෙහි වේළුවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළ සේක. තුනුරුවන්
පිදීමට උදේ සවස බොහෝ සැදැහැවතුන් වේළුවනාරාමයට පිවිසෙනු ඒ අසලම ජීවත්
වූ ඌරුවැද්දා නිතර නිතර දකියි. එහෙත් ඒ කිසිත් ගැන මදකුදු සැලකීමක්
නොදැක්වූ ඔහුට වේළුවනාරාමයෙන් නැඟෙන පූජා හඬ පවා කනට බෙහෙවින්ම අමිහිරි
ස්වභාවයක් ගෙන දුන්නේය.ආසන්නයේම ජීවත් වුවත් එකම දිනෙකුදු බුදුරදුන්
නොදුටු ඔහු සිදුකළ කිසිදු පින්කමෙක්ද නොමැත්තේය.
කල්යෑමෙන් මෙම ඌරුවැද්දාගේ සිරුරෙහි ඉවසිය නොහෙන තරම් වේදනා ගෙන දෙන
බලවත් රෝගයක් හටගත්තේය. මිය යෑමට තව කල් තිබිය දීම ඔහු අවීචි මහා
නරකයහි වැටී ගිය කලෙක මෙන් මහ ගිනි කඳින් දැවීගියාක් සේ වේදනාවට පත්
වූයේය. එයින් බලවත් සේ පීඩිත වූ ඔහු තමන් කළ පාප කර්මයට අනුරූපව ඌරු හඩ
නිකුත් කරමින් දෙදණින් නිවෙසෙහි එහා මෙහා හැසිරෙන්නට පටන් ගත්තේය. එවිට
නිවෙසෙහි වසන්නෝ ඔහු තදකොට අල්වා කට වසති. එහෙත් කර්ම විපාකය වූ කලී
කිසිවකුටත් වළක්වාලිය නොහැකි බැවින් චුන්දසූකරිකයාගේ ඌරු හඬ නැඟීම
වැළැක්වීමට ඔවුහු අසමත් වූහ. ඔහු දිවා රෑ දෙකේහිම එක සේ ඌරු හඬ නිකුත්
කරමින් පෙරපරිදිම නිවෙස තුළ දෙදණින් හැසිරෙයි.එහෙයින් අවට නිවෙස්වැසියෝ
ද නිදි නොලැබ පීඩාකාරි ලෙස රැය පහන් කළහ. එබැවින් ඔවුහු චුන්ද
සූකරිකයාගේ ඤාතීන්ට දොස් කීහ. ඤාතීහු පරෝපවාදයෙන් ගැළැවිය නොහැකි තැන
ඔහු අල්වා ගෙය තුළම ලා සිරකොට මෙකී මරහඩ නිවෙසින් පිටතට නොඇසෙන සේ දොර
ජනෙල් වසා නිවෙසින් බැහැරව සිටියහ. චුන්දසූකරිකයා සත්දිනක් ගෙයි තුළම
මරහඬ දෙමින් දැඩි දුක් විඳ සත්වනදා මියගොස් අවීචි මහා නරකයෙහි උපන්නේය.
ඔහු මිය යන්නට පෙර තම නිවෙස තුළම දුක් විඳිමින් සිටිනාතුර දිනක් චුන්ද
සූකරිකයාගේ නිවෙස අසලින් වැඩමවූ භික්‍ෂූන් වහන්සේ පිරිසක් ඒ මරහඬ අසා
ඌරකුගේ මොරගෑමකැයි සිතූහ. බුදුරදුන් කරා එළැඹ “ස්වාමීනි චුන්දසූකරික
නම් ඌරුවැද්දා වසන ගෙයි දොරජනෙල් ද වසා දින ගණනාවක සිටම ඌරන් මරණ බව
පෙනේ. ඔහුගේ නිවෙසේ මඟුලක් විය යුතුය. මෙපමණ ඌරන් මරන්නාවූ ඔහුට කිසිත්
සත්ව කරුණාවක්, මෛත්‍රීයක් නූපදින බව නම් මහා පුදුමයකි. මෙතරම් දරුණු
මිනිසකු අපි කවදාකවත් දැක නැත්තෙමු”යි කීහ.
එයට පිළිතුරු දුන් බුදු රජාණන් වහන්සේ “මේ දිනවල එහි ඌරන් මැරීමක්
නැත.චුන්ද සූකරිකයා මිය යන්නට ළඟය. මැරෙන්නත් පෙරම ඔහු තමන් කළ පාප
කර්මයට අනුරූපව විපාක විඳියි. පණ තිබිය දීම ඔහු අවීචි මහා නරකයෙහි මෙන්
දුක් විඳියි. මියගොස් ඔහු අවීචි මහා නරකයෙහිම උපදී යැ” යි වදාළහ.
එවිට භික්ෂූන් වහන්සේ “ මෙම පවිටු ඌරු වැද්දා මෙලොවදීත් ශෝකයෙන් පෙළී
සිට මරණින් පසුත් ශෝක කරන තැනෙකම උපදින්නේ නොවේදැ”යි ප්‍රකාශ
කළහ.බුදුරජාණන් වහන්සේ ඌරු වැද්දා අරමුණු කොට “ඉධ සොචති පෙච්ච
සොචති....”යනාදී ගාථාව දෙසමින් “පව් කරන පුද්ගලයා මෙලොවත් ශෝක
කරයි.පරලොව දීත් ශෝක කරයි.මෙලොව පරලොව යන දෙලොවම ශෝක කරයි. ඔහු තමා කළ
කිලිටි කර්මය නිසා පරලොව ගියකල්හි බොහෝ වූ අපා දුක් විඳිමින් විනාශයට
පත් වන්නේයැ” යි පහදා දුන් සේක.
මේ අනුව, පාපයෙහි බිහිසුණු බව මනාව වටහාගෙන පස් පව්, දස අකුසල් වලින්
දුරුව, දාන, සීල, භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හි යෙදෙමින්
මෙලොව පරලොව යහපත සලසා ගැනීමට අපි සැවොම අදිටන් කර ගනිමු.
තෙරුවන් සරණයි! |