UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක පාලක ධර්ම

ලෝක පාලක ධර්ම

සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ශික්ෂා ගරුකව ජීවත් වෙනවා. ගිහි උදවියද පිළිවෙත් රකිති. එලෙසින් තමා අයත් ජාතිය තමන් ගරු කරන තෙරුවන සාක්ෂියට තබාගෙන වරදින් මිදෙනවා. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන සේ ජීවත් වේ. කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුවේ

 මෙම ලිපියෙහි මුල් කොටස දුරුතු පෝදා පත්‍රයේ පළ විය

තමාගේ ජාතියේ මහන්තත්වය, උත්තරීතර භාවය, උදාරත්වය ගැන සලකා වරදින් මිදීම එක් ක්‍රමයකි. ඒ මෙසේය. මා අයත් ආර්ය සිංහල ජාතියට සමබන්ධ නොයෙක් තරාතිරමේ උතුමන් වාසය කළා. පණ්ඩුකාභය, පරාක්‍රමබාහු වැනි රණ සූරයන්ද දුටුගැමුණූ සද්ධාතිස්ස වැනි සැදැහැවතුන්, සිරිසඟබෝ වැනි බෝසත් ගුණ ගරුකයන්, පණ්ඩිත පරාක්‍රමබාහු වැනි ධර්මශාස්ත්‍ර විශාරදයන් බිහි කළ උතුම් ජාතියකි.බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වරම් ලත් ජාතියට අයත් මා වැනි කෙනෙකුට පව්කම් හීන දීන පහත් වැඩ කොහෙත්ම නොගැළපේ.මේවා කිරීමෙන් දෙමවුපියන්ට මුතුන් මිත්තන්ට වන අගෞරවය ගැන සිහිකොට වරදින් මිදේ.

ඇතැම් අන්‍යාගමිකයෝ බුදුරජාණන් වහන්සේටත් නිගා කරති’යි තම ශාස්තෘන් වහන්සේ ගැන සිතා වරදින් මිදිය හැකියි. මගේ ශාස්තෘන් වහන්සේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මා මෙලෙසින් පහත් වැඩ කළොත් උන්වහන්සේටත් අත්වන්නේ අවමානයකැයි සලකා වරදින් මිදිය හැකිය.

තවද දායාද මහන්තත්වය ගැන සලකා වරදින් මිදිය හැකිය. මා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නෛර්යාණික සද්ධර්මය දායාද කොට ඇති කෙනෙකි. ලොව අන් කිසිවෙකුට නැති ඒ ශාන්ත ධර්මය අයත් මට දුසිරිත් නොහොබී.ඒ නිසා මා සියලු වරදින් මිදිය යුතු යයි සලකා දුසිරිතෙන් මිදිය හැකියි.

එසේම බ්‍රහ්මචර්යා මහන්තත්වය ගැන සලකා වරදින් මිදිය හැකිය. මගේ අත්‍යුත්තම ශාස්තෘවර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර සැරියුත් මුගලන් ආදි ආය¸ මහා සංඝරත්නයද, අනේපිඬු සිටුතුමා,විශාඛා උපාසිකා වැනි මහා උතුමෝ ද වූහ. ඒ පරපුරට ද සම්බන්ධ මා වරද කිරීමෙන් ඒ පිනැතියන්ටත් කරන්නේ අවමානයකැයි සිතා වරදින් මිදිය හැකියි.

මෙලෙසින් කල්පනා කරන සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ශික්ෂා ගරුකව ජීවත් වෙනවා.ගිහි උදවියද පිළිවෙත් රකිති. එලෙසින් තමා අයත් ජාතිය තමන් ගරු කරන තෙරුවන සාක්ෂියට තබාගෙන වරදින් මිදෙනවා. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන සේ ජීවත් වේ. කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුවේ.

මුලින් සඳහන් කළ කරුණුවලින් සිවුවැන්න ආධිහාස්‍යය හෙවත් අධිපති කමයි හිරිය තමන් අධිපති කොට ඇතිවන එකකි. ඔත්තප්ප ලෝකයා හෙවත් අන්‍යයන් අධිපතිකොට ඇත්තකි. හිරිය සඳහා බලපාන්නේ තමාමයි.ලෝවැස්සන් ඔත්තප්ප සඳහා බලපායි.

ආත්ම ගෞරවය හැම කෙනෙකුගේම තත්වය ආරක්ෂා වීමට හේතුවේ. ඒ සඳහා තමා තුළ පිහිටි යම් යම් කරුණු බලපායි. එහෙයින් බොහෝ දෙනා තමාගේ අග හිඟකම් නැති බැරිකම් පිටතට නොපෙනෙන සේ ක්‍රියා කිරීමට වගබලා ගනිති. එලෙසින් සබ්‍රම්සරුන් වහන්සේ නමක් ‘ මම සම්බුදු සසුනේ උතුම් පැවිද්ද ලැබ ලෝවැසියන්ගේ වැඳුම් පිදුම් ගරු සැලකිලි ලබන කෙනෙකි. බුදුදහම දෙසන කෙනෙකි. එවන් මා වැනි කෙනෙකු හීනදීන පහත් වැඩ අකුසල කර්ම කිරීමට නොගැළපේ” යන සිතුවිල්ල තමා තුළ ඇති පව්කම්වලින් වැළකී ගිහියෙකු වශයෙන් බලන කල “මා සමාජයේ උසස් මට්ටමක වෙසෙන ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, නිලධාරියෙක්, සමාජ සේවකයෙක්. එවන් මා වැන්නෙකු පහත් වැඩ, දුශ්චරිත කිරීම නුසුදුසු ය”යි තමා තුළින්ම ලජ්ජාව ඇතිවී පව්කම්වලින් වළකී.

‘ලෝකයේ බලපෑම නිසා ඔත්තප්ප ඇතිවේ’ මේ ලෝකය ඉතා විශාලයි.ලොව වෙසෙන අයත් ප්‍රමාණ කළ නොහැක. ඍද්ධිවන්ත පුද්ගලයන්, ශ්‍රමණ බ්‍රාහ්මණ දෙව් බඹුන් කොතෙකුත් වෙසෙති. මා කොතරම් හොරෙන් පව්කම් කළත් ඒ උතුමෝ මා කරන පහත් වැඩ දැක මට නින්දා කරති. ඒ ඇරත් මා කළ වරද දැන ගන්නා සියල්ලෝම මට අවමන් කරතැ”යි බියෙන් වරදින් මිදේ.

එලෙසින් නැතිවෙන බිය සිවු ආකාරය,අත්තානුවාද, භය, පරානුවාද භය,දණ්ඩභය, දුග්ගති භය වශයෙනි. තමන්ම තමන්ට කරන චෝදනාවට බියෙන් වරදින් මිදීම අත්තානුවාද භය නම් වේ. වෙළෙන්දෙක් පාරිභෝගිකයාට නොදැනෙන සේ හොරට කිරීම, මැනීම ,සොරකම් කිරීම කරයි. පරස්ත්‍රී පරපුරුෂ සේවනය කරයි.මේ ආදිය කාටත් හොරෙන් කළත් තමන්ගේ හිත දනී. ඒ සිත තමාට චෝදනා කරයි. ඔබ සමාජ සේවකයෙක්. සත්ගුණවතෙක් වගේ මහජනයා ඉදිරියේ පෙනීසිටියත් ඔබ වැඩි හරියක් කරඇත්තේ වැරදි වැඩ.පව්කම් ඔබ පිටතින් කොතරම් පැලැස්තර දැම්මත්,ලෝවැසියන් රැවටුවත් ඔබේ ඇතුළත කුණූ ගඳ ගහනවා ආදි වශයෙන් තමන්ගේ සිත තමන්ටම චෝදනා කරයි. එම චෝදනාවට බියෙන් වරදින් මිදෙයි.

අනුන් කරන චෝදනාවට බියෙන් වරදින් මිදීම පරානුවාද භය නම් වේ. වැරදි වැඩ කරන විට එය දකින සීලාචාර බුද්ධිමත් අය චෝදනා කරති.මලගෙදර, සොහොන් පිටිය වැනි තැන්වලට කවුරුත් එන්නේ ඒ දුක ශෝකය බෙදා හදා ගැනීමටය. එහි පැමිණි කවුරු හෝ වේවා එහි සිදුවෙන ආගමික කටයුතුවලට පවා බාධාවන සේ බීමත්ව අසංවරව නොමනා විහිළු තහළු කරයි නම් ශීලාචාර උදවිය ඔවුන්ට චෝදනා කරති. එයට බියෙන් වරදින් මිදේ.

දඬුවමට බියෙන් වරදින් මිදීම දණ්ඩනය නමි.අනුනගේ කොටුවලින් එළවළු, තැඹිලිවලු, කෙසෙල් කැන් සොරකම් කර අහුවුනාම අයිතිකරුවන්ගෙන් ගුටිබැට කෑමට සිදුවේ. නීතියේ රැහැණට හසුවී හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවෙනවා. දඩ ගෙවන්නට වෙනවා. එවන් දඬුවම්වලට බියෙන් වරදින් මිදේ.

මරණින් මතු අපාගත වීමට බියෙන් වරදින් මිදීම දුග්ගති භය නම් වේ.දෙමවුපියන්ට වැඩිහිටියන්ට නින්දා අපහාස කරන්නන් , ගැටිබැට දෙන්නන්,අන්සතු දේ පැහැර ගන්නන්, සඟ සතු දේ කන බොන අය ,පන්සලේ දේ සොරකම් කරන අය, නිර්දෝෂී උතුමන්ට නින්දා අපහාස කරන, චරිත ඝාතනය කරන අය, මත්ද්‍රව්‍ය විකුණන පාවිච්චි කරන අය අනුන්ට කරදර හිරිහැර කරන අය අපාගත වන බව වටහාගෙන නරක තිරිසන්, පේ‍්‍රත අසුර නිකාය යන අපාදුකට බියෙන් වරදින් මිදීම දුග්ගතිභය නම් වේ.

තවද මේ හිරි ඔතප් දෙක උපමා වශයෙන් විස්තර කෙරේ. හිරිය හරියට අසූචි තැවරුණූ සිසිල් යකඩ බෝලයක් වැනිය. එය සිසිල් නිසා ඇල්ලුවොත් ශරීරයේ අසූචි තැවරේ. ඒ පිළිකුල නිසා කිසිවෙක් එය නොඅල්ලයි.

එලෙසින් සත්පුරුෂ ශීලාචාර අය දුසිරිත් කිරීමට යොමුවුව හොත් පිළිකුල නිසා එයින් වළකී.

ඔත්තප්පය ගින්නෙන් රත් වු යකඩ බෝලයකට සමානයි. එහි අසුචි නැතත් අල්ලන අයගේ අත පිච්චෙයි. එයට බියෙන් නොඅල්ලයි. එලෙසින් පව්කම්වලට බියෙන් බුද්ධිමත් සත්පුරුෂයෝ එයින් වළකිති.

විලිබිය දෙක මුල් කරගෙන කළ යුතු සියලුම කුසල ධර්ම සුදුබණ හෙවත් ශුත්‍ර ධර්ම නම් වේ. කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර යන සියලු කුසල් “යට අයත්වේ”.සන්තො සප්පුරිසා ලොකෙ, පූර්වොක්ත ගාථාවේ තුන්වෙනි පදයයි. විලි බිය ඇති අය කය වචන සිත යන තිදොරින් කරන ක්‍රියාවන් සන්සුන් නිසා සන්ත යන වදනය යෙදුනි. සප්පුරිසා (සත්පුරුෂයෝ) නම් කළගුණ සලකන, කළගුණ දැනීම ආදි ගතිවලින් යුතු පුද්ගලයා සත්පුරුෂයා නම් වේ. බුදු පසේබුදු මහ රහත් උතුමෝ අපේ අග්‍රගණ්‍ය සත්පුරුෂයෝ වෙති. කවුරුත් උන්වහන්සේලා අනුගමනය කළ යුතුය. උන්වහන්සේලා තුළ දේව ධර්ම සුරක්ෂිත වේ.

දෙවිවරු තුන් කොටසකි.සම්මුතිදේව,උත්පත්තිදේව, විසුද්ධිදේව , වශයෙනි.

මහා සම්මත කාලයේ පටන් ලෝකයා විසින් සම්මත කළ රාජ රාජකුමාර, කුමාරි වැනි අය සම්මුතිදේව නම් වේ.පින්දහම් කොට දෙව්ලොව උපන්නෝ උත්පත්ති දේවයෝය. විසුද්ධි දේව නම් බුදු පසේබුදු මහරහත් යන මහෝත්තමයන් වහන්සේලාය.

මෙකී ත්‍රිවිධ දෙවිවරුන්ගේ ධර්මය නිසා මෙම හිරි ඔතප් දෙක දේව ධර්ම නාමයෙන් හඳුන්වනු ලැබේ. දේව ධර්මවලින් යුතු පුද්ගලයාද දේව ධර්ම නාමය ලබයි.

සමාජයට අත්‍යවශ්‍ය ආචාර් ධර්ම ආරක්ෂා වීමටත් ලෝක සභ්‍යත්වය,ලෝක ශිෂ්ටාචාරය සුරක්ෂිත වීමටත් මහෝපකාරි වන්නේ,දේවධර්මයෝය. මේවා සමාජයෙන් හෙවත් අපේ සන්තානයෙන් යම් දිනෙක ගිලිහී ගියොත් එදාට මේ සමාජයෙන් අනිවාර්යයෙන් තිබිය යුතු ආචාර ගති කිසිවක් ඉතුරු නොවෙයි.

ගුරු දෙගුරු වැඩිහිටියන්ට අඹුදරුවන්ට සහෝදර සහෝදරියන්ට සලකන සිරිත් මිනිසා තුළින් ඉවත් වේ.මේවා අපේ සමාජයෙන් සෝදා පාලුවට යන බවක් පෙනේ.

එහි ප්‍රතිඵලය වන්නේ මිනිසා තුළින් තිරිසන් ගති මතු වීමයි.

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]