UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉතිහාසයේ පරිච්ඡේදයක් ආලෝකවත් කළ ඓතිහාසික මානියම්ගම රජමහා විහාරය

ඉතිහාසයේ පරිච්ඡේදයක් ආලෝකවත් කළ ඓතිහාසික මානියම්ගම රජමහා විහාරය

අවිස්සාවේල්ල – පනාවල මාර්ගයේ කි.මී. 3 ක් පමණ ගිය තැනදී මානියම්ගම කීර්ති ශ්‍රී රාජමහා විහාරය නමින් වූ නාම පුවරුවක් හමුවෙයි. එතැන් සිට උතුරට දිවෙන මඟෙහි තවත් මීටර් 400 ක් පමණ කෙටි දුරක් ගමන් කර මෙම ඓතිහාසික පුද බිම වෙතට ළඟා විය හැකි ය.

ස්වභාව සෞන්දර්යය තේජාන්විත කරනා එක දිගට විහිදී පැතිරී ඇති කඳු වැටියක් ආශ්‍රයේ එක් කඳු මුදුනක විහාරස්ථානය ඉදිකර තිබෙයි. මෙහි බිම් මට්ටම ආසන්නයේ දී පැතිරී ගිය ගල් කෙවෙනියක් ඇත. එය උපයෝගී කර ගනිමින් මෙහි ලෙන් විහාරය සාදා තිබෙයි. එහි දිග අඩි 164 ක් සහ පළල අඩි 70 ක් පමණ වෙයි. ලෙන ඇතුළත බුදුගෙය, සංඝාවාසය, මුළුතැන්ගෙය, දානශාලාව, චෛත්‍ය ගල්ළිඳ, කතරගම දේවාලය යන අංගයන් නිර්මාණය කර තිබෙයි.

කඳු ගැටය ඉහළ සිට විහාරය ආසන්න- යෙන් සෙමෙන් ඇද හැලෙනා කුඩා දියත්ත අවට පරිසරය රමණීය කරමින් සිසිලස ප්‍රදානය කිරීමට සමත් වෙයි. විහාරය පිහිටි බිමට වඩා උස් භූමියක මඳක් ඔබ්බෙන් ඇති පැරැණි ධර්මශාලාව ගල් කණු 16 ක් මත නිම කළ විශේෂ ශාලාවකි. මෙහිවන විහාරාංග පැරණි සහ නූතන යුගයේ සම්මිශ්‍රණයකි.

කටාරම් කොටන ලද ලෙන තුළ වන විහාරය ඓතිහාසික බව පසක් කරනා ප්‍රබල සාක්‍ෂියකි. විහාරයට ඇතුළුවන ආලින්දයත් ගල් ලෙන පසෙකින් ඇතුළත ඇති කුඩා චෛත්‍යයත් අපූරු ආකෘතිමය රටාවකින් නිමැවී තිබේ. එහෙත් ඇතැම් ලක්‍ෂණයන්ගෙන් පෙනී යන්නේ යුග කීපයකදී මේවා නිර්මාණය වී ඇති බවකි.

ජනප්‍රවාදයෙන් පැවසෙන්නේ මෙම ඓතිහාසික විහාරස්ථානය වළගම්බා රජතුමා විසින් සාදවන ලද බවයි.

මෙහි වන ලෙන් කුටිය රජතුමා ජයග්‍රහණයකින් පසුව විහාරස්ථානයක් බවට පත් කළ ස්ථානයක් ලෙස සැළකේ.

කෙසේ වුවත් කටාරම් සහිත ලෙන් ආශ්‍රයේ විහාරස්ථාන සැකැසෙන්නේ දුර අතීතයේ සිටය. ඒවා ක්‍රි.පූර්ව යුගය දක්වා දිවෙන බවට ලෙන් ලිපි ස්වාභාවය අනුව පුරාවිද්‍යාඥයින් විසින් තහවුරු කරගෙන තිබේ. මෙහි නිශ්චිත කාලවකවානු සනාථ කර ගත හැකි යුගය එළඹෙන්නේ සීතාවක යුගයේ සිටය. මායාදුන්නේ රජතුමා තම රාජධානිය ගොඩනඟා ඇත්තේ මෙම විහාරස්ථානය ආසන්නයේ ය. එවකට විහාරස්ථානයේ වැඩ සිටි සිටිනාමළුවේ සහ කොටකේදෙණියේ සඟ පරපුර සමඟ රජතුමා සමීප සම්බන්ධතා පැවැත් වූ බවට සාධක හමුවෙයි.

මායාදුන්නේ මෙන්ම රාජසිංහ රජු සමඟ ද සමීප ඇසුරට පත් සංඝයා වහන්සේ රාජසිංහ රජතුමාගේ ජන්ම පත්‍රය සකසා ඇති බවට සාක්‍ෂි හමුවෙයි. ක්‍රි.ව. 1532 දී එය සකස් කර ඇත්තේ එවකට විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දැරූ කොටකේදෙණියේ ධම්මරංසි හිමියන් විසිනි. මායාදුන්නේ කුමාරයා මෙහි 18 රියන් බුද්ධ ප්‍රතිමාවක් ද වඩුරියන් 08 ක් වූ විෂ්ණු ප්‍රතිමාවක් ද නිමවා පෙතංගොඩ මහ කුඹුර තඹ පොතක ලියා පිදූ බව සඳහන් වෙයි. මෙහි වූ මානියම්ගම පුස්කොළ ලිපියෙහි ඓතිහාසික වටිනාකම මිළ කළ නොහැකි ය. එසේම සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය නම් කෘතිය ලියා ඇත්තේ ක්‍රි.ව. 1515 – 1600 මෙහි විහාරාධිපතිත්වය දැරූ සිටිනාමළුවේ ධර්මපාල ස්ථවිරයන් විසිනි.

සීතාවක රාජ්‍ය සමයේ තොරතුරු ඇතුළත් ව තිබූ ප්‍රබල ලිඛිත සාක්‍ෂි සහිත පුස්කොළ පොත් මෙහි පොත්ගුලෙහි සුරක්‍ෂිතව තිබූ අතර 1993 දී පමණ එම සියල්ල අධික තෙතමනයට හසුව වේයන් විසින් කා දමා විනාශ වූ බව සැළවෙයි.

එහෙත් 1990 දී ඓතිහාසික සීතාවක නමින් කුඩා ග්‍රන්ථයක් සම්පාදනය කළ මහාචාර්ය රිසිමන් අමරසිංහයන් විසින් එම පුස්කොළ පොත්වල තොරතුරු එම ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙයි. එවැනි පොතක් එළි දැක්වීමට නොහැකි වූයේ නම් ඉතා ප්‍රබල ස්ථිර ලිඛිත සාක්‍ෂි සියල්ල වැලලී යනු ඇත.

විනාශ වූ පුස්කොළ පොත් අතර මානියම්ගම විහාරවාසී සිටිනාමළුවේ ධර්මපාල මහාස්ථවිරයන් විසින් සීතාවක යුගයත් සීතාවක රාජසිංහ රාජ්‍ය කාලයත් අළලා ලියූ සටහන් ඓතිහාසික වටිනාකමකින් අනූන වේ. එය ලියා ඇත්තේ ක්‍රි.ව. 1599 දී ය. සීතාවක රාජ්‍ය සමය බිඳ වැටීමෙන් පසුව මෙහි විහාරස්ථානය ද ගරා වැටෙන්නට විය. ක්‍රි.ව. 1776 දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී මෙම වටිනා විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කර එහි භාරකාරත්වය අසරණ සරණ සරණංකර මහ නාහිමියන්ගේ ශිෂ්‍ය නමක් වූ බුද්ධ ගුප්ත හිමියන් වෙතට පවරා ඇත.

එතැන් සිට කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරය නමින් මෙය පුනර්ජීවය ලැබීය. මෙහි ප්‍රතිසංස්කරණය කර විහාරයට ලබා දුන් ගම්වරයන් ගැන ද එතුමා විසින් දෙන ලද සන්නසෙහි සඳහන් වෙයි. 1776 දී මෙහි පෙරහරක් ද ආරම්භ කළ අතර එහි බස්නායක නිළමේ ලෙස කටයුතු කර ඇත්තේ ලෙව්කේ විජේසුන්දර රාජ කරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ හෙවත් ලෙව්කේ දිසාව විසිනි.

මෙම සිදුවීම් මත පෙනී යන්නේ මෙය ලක්බිමේ විහාරස්ථාන අතර විශේෂිත ස්ථානයක් වශයෙන් පැවැති බවය. එසේ නොවන්නට මෙවන් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙනු ඇත. විහාර මන්දිරයේ ඇති මහනුවර යුගය නියෝජනය කරන සිතුවම් – මූර්ති එම යුගයේම වකවානු තුනකට අයත් වන බව පරීක්‍ෂණයන්ගෙන් සනාථව තිබේ.

මෙහි ඇති ප්‍රතිමා සමහරක් කැඩී බිඳී ගොසිනි. වැඩි හරියකට වගකිව යුත්තේ නිධන් හොරුන් ය. සිතුවම් ද ආරක්‍ෂාවෙන් තොරවීම නිසා බොහෝමයක් ඇකී මැකී ගොස් තිබේ. ඓතිහාසික වටිනාකමින් අනූන බොහෝ පුරා වස්තූන් අතුරුදහන්ව ඇත්තේ සොර සතුරන් නිසා ය.

කැලෑ මලක සුන්දරත්වයත් සුවඳත් හඳුනාගත හැක්කේ සැබෑ රසකාමියකුට පමණි. බහුතරයක් එහි අගය නොදකියි. සැඟැවුණු අපගේ උදාර උරුමයන් පිළිබඳ හැඟීමක් ඇති ටික දෙනකුට වුව මෙවන් සුවිශේෂී ස්ථානයන් පිළිබඳව විශාල දෙයක් කළ හැකි වෙයි. ඉතිහාස කතාවේ එක් පරිච්ඡේදයෙක් සටහන් කිරීමට මානියන්ගම රජමහා විහාරස්ථානය සමත් වී සිටියි. මෙවන් ජාතික උරුමයන් විශේෂයෙන් දෙපා ඇති කාවන්ගෙන් වේයන්ගෙන්, නිධන් හොරුන්ගෙන් ආරක්‍ෂා නොකළහොත් අප හෙට දකින්නේ අලෝකයේ ඉසව් නොව අඳුරු අගාධයක් ය.

ඓතිහාසික මානියම්ගම රජමහා විහාරය කෘතිය ඇසුරෙණි.

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk