UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

මඩිතියවෙල ශ්‍රී මේධංකර අනු නා හිමි

අඹේපුස්ස, පිරිස්යාල, සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේ ගේ ජන්ම දිනය ජනවාරි 18 දිනට යෙදී තිබුණි.මෙය ඒ නිමිත්තෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිස්සැල්ල ග්‍රාමයේ කරුණානායක පතිරැන්නැහැලාගේ දොන් හෙන්ද්‍රික් කරුණානායක හා බමුණු ආරච්චිගේ ජේන්නෝනා කරුණානායක නම් ලත් ගම්පතීන්ගේ කණිටු පුතණුවන් හැටියට ජන්ම ලාභය ලත් කරුණානායක පතිරන්නැහේලාගේ ජයන්ත බන්දුල කරුණානායක නම් පින්වත් කුමරු හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදයාභිධාන මහා නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යායෙන් හා බාඳුරාගොඩ මුනින්දානන්ද දෙල්වල ශ්‍රී මුනින්දෝභාස යන මාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1962 මැයි මස 08 වැනි දින මඩිතියවෙල මේධංකර ස්වාමීන් වහන්සේ නමින් පැවිදි වූහ.

ආගමික ජාතික හා සාමාජික වශයෙන් විශාල සේවයක් කළ හැකි ප්‍රතිබල සම්පන්න ශිෂ්‍ය රත්නය 1972 වර්ෂයේ සිට 2010 වර්ෂය තෙක් සේනානායක මහ පිරිවෙන් පරිවෙනාධිපති පදවිය ඉසුළු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේ දෙසීය පනස් නමකට වැඩි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සසුනට දායාද කළහ.

අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙන යථා තත්ත්වයට පත්කොට රජය පිළිගත් පිරිවෙනක් ලෙස අනුමත කරවා තත් ශිෂ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක අමුණුගම දේවමිත්ත හිමියනට භාර කරන ලද්දේ ද අනුනාහිමියන් පැවිදි බිමටපත් හඟවත්ත ශ්‍රී රාජගිරි විහාරයෙහි ස්වකීය ආචාර්යපාදයාණන් වහන්සේ සිහිගන්වා විජය ශ්‍රී මුනින්දෝභාස පිරිවෙන පිහිටුවන ලද්දේ ද අනු නායක මාහිමිපාණන් වහන්සේමය.

එතෙකුදු නොව ස්වකීය ආධිපත්‍ය දරන විහාරාරාම අටක චෛත්‍ය රාජයාණන් වහන්සේලා අට නමක් ඉදිකිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළහ. ඒවා නම් පිරිස්යාල සේනානායක මහ පිරිවෙන බාඳුරාගොඩ ආනන්ද මහා විහාරය හඟවත්ත ශ්‍රී රාජගිරි විහාරය මඩිතියවෙල ශ්‍රී ධර්මවර්ධනාරාමය නිවටුව ශ්‍රී සුමේධාරාමය බටුවන ශ්‍රී බෝධිරුක්ඛාරාමය හා මාවිහේන අශෝකාරාමය, කීණදෙනිය ශ්‍රී වර්ධනාරාමය යන විහාරස්ථාන වෙත ඒ ඒ විහාරස්ථානවල සීමා මන්දිර සංඝාවාස හා අනෙකුත් විහාරාරංග සම්පූර්ණ කර වූහ. එමෙන්ම අලුතින් විහාරස්ථාන කීපයක් ඉදිකළහ. විශේෂයෙන්ම සේනානායක මුදලින්දාරාම මහා විහාරයෙහි ආවාස දාන ශාලා ධර්මශාලා දෙමහල් සංඝාවාසය නව පිරිවෙන් ශාලාව ආදි සියලු අංග නිර්මාණය කරන ලදී. එසේම විශාලතම ආවරණ විහාරය සහිත දිගින් වැඩිම සැතපෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර හතරක් පමණ කෙටි කාලයකින් ඉදිකිරීම නාහිමියන්ගේ ජීවිතයේ අතිශය පී‍්‍රතිමත්ම අවස්ථාවක් විය.

මෙකී ලෝක ශාසනික මහා සේවාවන්දුටුආත්‍යවරයෙකුව සිටි විජයපාල මෙන්ඩිස් මැතිඳුන් අප විහාර පරපුරේ නාහිමිවරුන් ඇසුරු කළේ ඉමහත් ගෞරවයකිනිශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලලත් අනුශාසක ධූරයෙන් පිදුම් ලබා ඇති නාහිමියන් රටතුළ පැවති බිහිසුනු යුද සමය තුළ ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙත වැඩම කොට රණවිරුවන් දිරිමත් කරමින් අනුශාසනා හා ආශිර්වාද පවත්වන ලදහ. විදේශයන්හි පැවති ලෝක බෞද්ධ සම්මේලන වාර කීපයකදීම අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ ශශ්‍රී මේධාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ බුරුමය ජපානය, තායිලන්තය, ඉන්දියාව ආදී රටවලට වැඩමවා ඒවාට සහභාගිවී අනුශාසනා පවත්වන ලදහ.


අතුරලියේ දේවසිරි නා හිමි

ඉමදුව කෝදාගොඩ ගණේගොඩ පුරාණ මහා විහාරාධිපති තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී අතුරලියේ දේවසිරි නාහිමිපාණන් වහන්සේ පසුගියදා තම දිවියේ 78 වැනි වියට පා තැබූහ.

අකුරැස්ස අතුරලිය ගම් පියසේදී පින්වත් මව්පිය දෙපළකට දාව 1935 මැයි මස 12 වැනි දින මෙලොව එළිය දුටු මෙම පින්වත් කුමරුවා කුඩා අවධියෙහි දී අතුරලිය කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව එවකට අතුරලිය නිවාසාරාමාධිපතිව වැඩ විසූ මාලිම්බඩ ඛේමා නන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1947 නොවැම්බර් මස 15 වැනි දින සසුන් ගත වූයේ අතුරලියේ දේවසිරි යන නාමයෙනි.

පසුව තම ගුරු දේවයාණන් වහන්සේලාගේ ඇසුරින් මූලික බණ දහම් හා වත්පිළිවෙත් හදාරා පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ දේවසිරි හිමියන් එහිදී පාලි, සංස්කෘත , සිංහල, ඉංගශ්‍රීසි ආදි විෂයන් පිළිබඳ මනාව හදාරා ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන්ද උසස් ලෙස සමත් විය. පසුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ ශාස්ත්‍රවේදි උපාධියද හිමිකර ගැනීමට තරම් දක්‍ෂයකු විය. 1953 වසරේදී මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූ දේවසිරි හිමියන්ට පසුව බොහෝ ජාතික ආගමික සේවාවක් උදෙසා පියවර තබන්නට විය. එහි අනගි ප්‍රතිඵලයක් වශයෙන් ධර්මදූත සේවාවෙහි යෙදී සිටින අවධියෙහි එනම්

1983 වර්ෂයේදි කෝදාගොඩ ගණේගොඩ පුරාණ මහා විහාරස්ථානයෙහි විහාරාධිපති ධූරයටපත් වූහ.

පසුව තම ගුරුදේවයන් වහන්සේට උපහාරයක් ලෙස “ ශ්‍රී ධම්මරතන “ දහම් පාසල ආරම්භ කොට එහි ප්‍රධානාචාර්ය වරයා වශයෙන් කටයුතු කොට සුවිශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ගණේගොඩ පුරාණ විහාරස්ථානය දැකුම්කළු හා රමණීය අයුරින් ගොඩ නැංවූහ.

මෙලෙස ඉටුකරන ලද ජාතික ආගමික විශාල සේවාවට උපහාරයක් වශයෙන් 1989 වර්ෂයේදී මහනුවර මල්වතු මහා විහාර සංඝ සභාව මගින් තල්පේපත්තුවේ ප්‍රධාන සංඝ නායකධූරය හා ශශ්‍රී‍්‍ර උපතිස්ස විමලරතනාභිධාන යන ගෞරව නාමය අතුරලියේ දේවසිරි නාහිමියන්ට පිරිනැමීය.බුදු සසුනෙහි චිරස්තිථිය උදෙසා තම දිවිය කැප කර ඇති නාහිමියන් අද වන විට රෝගී තත්වයෙන් පසු වුවද එම සේවාවනොපිරිහෙලා ඉටු කරන හබරාදුව කෝලිත හිමියන් තම ගුරුදේවයන් වහන්සේ 78 වැනි වියට පා තැබීම නිමිති කර ගනිමින් උන්වහන්සේට ආශිර්වාද කිරීම පිණිස ඉකුත් 24 වැනි දින සිට 27 වන දින දක්වා පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබිණි


මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති, රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ 2013 ජනවාරි 26 වෙනි දින සැත්තෑවියට පා තැබූහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් 1943 ජනවාරි 26 වෙනි දින මෙලොව එළිය දුටුහ. කුඩා කළ පැවිදි දිවියට පත්ව කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව පෙර අපර දෙදිග භාෂා ශාස්ත්‍රයන් ප්‍රගුණ කරමින් ධර්ම විනය හදාරණ ලදී. විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ දී එහි ප්‍රථම සිසු පිරිසට අයත්ව සරසවි අධ්‍යාපනය ලදහ.

1969 නොවැම්බර් මස 05 වෙනි දින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ සභාපතිත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය බිහි විය.නාරාහේන්පිට ශ්‍රී අභයරාම විහාරස්ථානය දැයේ ආගමික ජාතික මූලස්ථානයක් බවට පත්කර විය. උන්වහන්සේගේ ආගමික ශාසනික හා ජාතික සේවය අගයනුවස් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව මඟින් ‘ශාසන කීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංශ” යන ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුදනු ලැබූහ. අපේ නායක හාමුදුරුවන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් මෙම ජාතික ආගමික සේවා සිදු කරන්නට සියලු දෙවියන්ගේ ආරක්‍ෂාව හා තුනුරුවන් පිහිට ලැබේවායි අපි ිප්‍රාර්ථනා කරමු.


වල්පොල ගුණරතන හිමි

ගාලු කෝරළයේ වල්පොල ගම් පියසේදී මාගොඩ ගමගේ ආරියදාස, හෙට්ටිගොඩ ගමගේ ගුණවති යන දම්පතීන්ට දාව 1977 මැයි මස 10 වන දින වල්පොල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ මාගොඩ ගමගේ ගුණරත්න උදයකුමාර යන නමින් උපත ලැබුවේය.

ගා/හිරිඹුරාව කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගා/පටේමුල්ල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ පින්වත් කුමරු 1989 ජුනි 24 වන දින වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරාධිපති වල්පොල විජිත මාහිමියන්ගේ ශිෂ්‍යරත්නයක් ලෙස වල්පොල ගුණරතන නමින් සසුන් කෙතට ඇතුළත් වූහ.

දික්කුඹුරු තිරුවානකැටිය සුධර්මෝදය පිරිවෙණ, අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙණ යන පිරිවෙන් තුළින් මූලික ධර්ම ශාස්ත්‍රය ලබා ගාල්ල කුඹල්වැල්ල රේවත විද්‍යායතන පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලබා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂූ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්හ.

උගතමනා බණ දහම් සම්පූර්ණ කොට විසි වසක් සම්පූර්ණව 1997 ජුනි 16 වන දින උපසම්පදා ශීලයෙහි පිහිටියහ. 2003 /2004 ශිෂ්‍ය කණ්ඩායමේ සිංහල විෂයෙහි ප්‍රමුඛයා ලෙස විශ්ව විද්‍යාලයේදී ත්‍යාගයක්ද හිමි කර ගන්නට සමත් විය.

2006 වර්ෂයේදි උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පිරිවෙණේ පරිවේණාචාර්ය ධුරයට පත් වූ මුන් වහන්සේ වර්තමානයේ නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය උසුලයි.

1990 වර්ෂයේ සිට මේ දක්වා වල්පොල ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරමින් පළාතේ දරුවන්ගේ ගුණ නුවණ දියුණූ කරන්නට අපමණ වෙහෙස වී ක්‍රියා කරනු ලබයි. ගාලු දිසාවේ දහම් පාසල් අතර දිස්ත්‍රික්, සමස්ත ලංකා සිසු නිපුණතා වැඩසටහන් දක්වා සිසුන් යොමු කරවන්නට මග පෙන්වමින් දිවා රෑ නොබලා අපමණ වෙහෙස වී ක්‍රියාකරන ගුණරතන හිමියන් විහාරස්ථ දායක සභාවේ අනුශාසක ධුරය වල්පොල සණස සමිතිය, අන්‍යෝන්‍යාධාර සමිතිය, ඉටු මිතුරු පදනම, තරුණ බෞද්ධ සංගමය, හැවන රතුවිල මිත්‍රත්ව සංගමය,යෞවන සමාජය වැනි ප්‍රදේශයේ විවිධ ස්වේඡ්වා සංවිධාන වල ප්‍රධාන අනුශාසකත්වය දරනු ලබයි.

කාව්‍යමය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසද ජනාදරයට පත්ව ඇති ගුණරතන හිමියන්ගේ මේ ලෝක ශාසනික සේවය අගය කළ ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී විජිත යන ගෞරව නාමය 2013 ජනවාරි 19 වන දින සවස 3.00 ට කෝට්ටේ කල්‍යාණී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේදී පිළිගැන්වූහ.

යක්කලමුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk