UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහියංගණ පුදබිමේ ස්වර්ණමය ඉතිහාසය

මහියංගණ පුදබිමේ ස්වර්ණමය ඉතිහාසය

මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමගම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූ®තිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලිය මේ ලිපියේ මුල්කොටස ‘ බුදු සිරිපා පහස ලද මහියංගණ පුරාණය’ මැයෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දා පත්‍රයේ පළ විය.

පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑණ කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවතී රැජණ දවස සිය මිණිපේ සෙල් ලිපියේ දී මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු ද මහියංගණ වෙහෙරෙහි පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ.

මහනුවර රාජධානි සමයේ දී වීර පරාක්‍රමබාහු, සෙනරත්,දෙවැනි රාජසිංහ,දෙවැනි විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස මහියංගණ පින් බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩි දියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.

මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමගම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූ®තිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලිය. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනවවැනි සියවසේදී පැමිණෙන විට ස්ථූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වූ බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබ තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් මහියංගණ ස්තූපයේ පිළිසකර කිරීම යළි 1871 දී ඇරැඹුණ අතර 1890දී එහි කොත පළදවා ප්‍රකෘති තත්ත්වයට පත් කරන ලදී. 1922 වන විට නැවතත් අබලන් වූ ස්ථූපයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් අරඹන ලදී. 1949 දී මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමගම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක්ද යන්න අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධික්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමගම එහි වූ කෞතුක භාණ්ඩ හා ධාතු ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් විය.

මෙතෙක් වංසකථාගත පුවත් තුළින් හෙළිව තිබූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගැනීමටද එමඟින් මඟ විවර විය.

එමෙන්ම, ස්ථූපයේ ගඩොල් පරික්‍ෂා කළ විද්වතුන්ට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබැලි හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරැදි වැටහීමක් ලබා ගැනීමටද ඉඩකඩ ලැබිණ.මෙම ගර්භය කැණීමේදී හමුවූ, තැන්පත්කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහිදී ලැබුණූ අශ්වාරෝහක ප්‍රතිමා සතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින්දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැන්පත් කොට තිබූ බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹකලස්, තුන්පා දරඬු මත කපන ලද සංඛ, පැරැණි, කාසි වර්ග,ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමැවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වයේ විශිෂ්ටත්වය නිහඬව, හෙළිදක්වයි.එසේම විදේශීය සම්බන්ධතා ගැන ද තොරතුරු එමඟින් තහවුරු වේ. ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබූ ලෝහයෙන් නිමවන ලද ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.

හමුව, ඇති බුදුපිළිමවලද විශේෂත්වයක් දැකිය හැකිය.බොකු ආකාරයට සාදා ඒ තුළ තැන්පත්කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂයන් ද හමුව ඇත. ඒ අනුව මෙම පිළිම පාල යුගයේ දී ඊශාන දිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති.

මහියංගණ ස්ථූපයේ ධාතු ගර්භයේ ඇඳ තිබූ සිතුවම නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය ඇතුළත සිතුවමින් සරසන ලද එක් ස්ථූපයක් මිහින්තලයෙන් හමුවී ඇත. මහියංගණ ධාතු ගර්භය පුරාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමානකළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ කිහිපයක් පමණි.මෙම ශේෂ මෙම සිතුවම් අතුරින් බෝමුල වැඩ හිඳින බුදුරුව නිරූපිත සිතුවම සුවිශේෂය. එම බුදුරුවට දකුණු පසින්, වැඩුණු රැවුලකින් යුත් ඍෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයකුගේ සිතුවමක් මෙන්ම පිරිවර කොට ඇති දේව සමූහයා දැක්වෙන සිතුවමක්ද ඇත. ඒ අතරින් ත්‍රිශූ®ලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටියක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඬු කළ, සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක්ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් ,කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක්ද වේ. සියුම් රේඛාවන්ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ, තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත්වේ යැයි අනුමාන කරත්.

මෙලෙසින් ශ්‍රී‍්‍ර ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩයිම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදු හදවත් සනහා ලීය. එසේම මේ පුද බිම පුරාණ යුගයට අදාළව දේශීය අනන්‍යතාව තහවුරු කරන අතර දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.


පසුගිය සතියෙන් මේ ලිපියේ මුල්කොටස

සම්බුදුසිරිපා පහස ලද මහියංගණ පුරාණය
 

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk