UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික නිදහස් සටනයි මහ සඟරුවනයි

ජාතික නිදහස් සටනයි මහ සඟරුවනයි

වසර සිය ගණනක් නිදා සිටි සිංහලයන් අවදි කරන්නට සිංහල පාලකයන්ට නියම පාලනය ගෙන යන්නට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගෙන් පටන් ආගමික වශයෙන් ජාතික වශයෙන්, බෞද්ධ අධ්‍යාපන වශයෙන් සිංහල ජාතියට පණ පොවන්නට හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, ඩේවිඩ් හේවාවිතාරණ මැතිතුමා යන පැවිදි උතුමන් හා ගිහි උතුමන් ආදර්ශයෙන්, අවවාදයෙන් දේශනයෙන් කළ ඉමහත් සේවාවන් සිරිලක් මාතාව නිදහස් කර ගැනීමේ නොමැකෙන පියසටහන් විය

සිරිලක ජාතික නිදහස් චින්තනය පෝෂණය කිරීමෙහිලා අපේ මහ සඟරුවන පෙරමුණ ගෙන ක්‍රියා කළවග ඉතිහාසයේ ඉතා ප්‍රසන්න ලෙස සටහන්වී ඇත. ජාතික අභිමානයටත් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියටත්, ආර්ථික සංවර්ධනයටත් එය මහෝපකාරී වන්නේය.

කිතුවසින් 1815 මාර්තු 2 වන දින කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්වීමෙන් ලංකාවේ ස්වාධීනත්වය පිළිබඳ සලකුණ අතුරුදහන් වී ගියේය. සිංහල ජාතික ධජය වෙනුවට ඉංග්‍රීසි කතිර කොඩිය සෙංකඩගල නුවර මඟුල්මඩුවේ කොඩිගහ මුදුනේ ලෙළදුන්නේ විශේෂයෙන් සිංහල ජාතියේ අභිමානය නැතිකරමිනි. මෙවන් අවස්ථාවක සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පවරාදීමට කලින් ඉංග්‍රීසි කොඩිය ලෙළදීමේ නීති විරෝධීභාවයත්, ඉංග්‍රීසි පාලකයන්ගේ විෂමාචාරභාවයත් පෙන්වීමට පෙරමුණ ගත් ජාතික හැඟීමෙන් ඔද තෙදවත්වූ වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන් යළිත් ඉංග්‍රීසි කොඩිය ඉරා දමා සිංහල කොඩිය එසවීමෙන් සමස්ත මානව වර්ගයාටම ක්‍රියාවෙන් දුන් ආදර්ශය ඉතිහාසයේ නොමැකෙන සටහනක් වන්නේය.

අහිමිවූ ස්වාධීනත්වය බිඳුනු අභිමානය, විසිරී ගිය සමඟිය, ආගමික ශ්‍රද්ධා භක්තිය යළි ඇතිකර ගැනීමේ පරම අධිෂ්ඨානය පැවිදි උතුමන්ට මෙන්ම සිංහල ජන නායකයන්ටද ඇතිවූයේ වාරියපොල මාහිමියන්ගේ මග සළකුණු අනුවය. මේ නිසා නිදහස් සටනක් වශයෙන් ප්‍රථම පියවර තැබුණේ 1817 ඌව වෙල්ලස්ස කැරැල්ලෙනි. මොනරවිල හෙවත් වීර කැප්පෙටිපොල නිලමේ ආදී නිලමේවරුන් මෙන්ම පසුකාලීනව කුඩාපොල රාහුල හිමියන් ආදී ධීර වීර පැවිදි උතුමන්ද ප්‍රමුඛව ක්‍රියාකාරීව ජාතික සටනට පණ පොවන ලදී.

1818 ඌවේ කැරැල්ල ඉතා දරුණු ලෙස ඉංග්‍රීසි හා සිංහල ජාතීන් අතර මහා යුද්ධයක් බවට පත්වූයේ උඩරට ගිවිසුමේ සඳහන් සම්මතයන් පසෙකලා ඉංග්‍රීසි පාලකයන් අත්තනෝමතිකව, සාහසිකව, ආක්‍රමණශීලීව ක්‍රියා කිරීම නිසාමය. එහෙත් ජාත්‍යාලයෙන්, බෞද්ධ ආගමික ශ්‍රද්ධා භක්තියෙන් කුඩාපොල රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි මාතලේ වාරියපොලදී ගොංගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පු යන වීර සිංහල පුත්‍රයන් දෙදෙන 1848 දී අවසන් මහා කැරැල්ලක් ඇරඹීමෙන් සිංහල සේනා දහස් ගණනින් විනාශ විය. සටන මෙහෙයවූ එම නායකයන් දෙදෙන මෙන්ම කුඩාපොල හිමියන් ද ඉංග්‍රීසි යුද්ධාධිකරණයෙන් ජීවිතක්‍ෂයට පත්විය.

ඉංග්‍රීසි පාලකයන් භික්‍ෂූන් වහන්සේ නමක් වෙඩි තබා මැරීම සිංහල ජාතියට මෙන්ම උතුම් බුද්ධාගමට ද කළ විශාල අපහාසයක් වශයෙන් ලංකාවේ පමණක් නොව ආසියා කර රටවල් අතර නොසන්සුන් තාවයක් ඇති විය. මෙයින් ඇතිවූ මහජන අසහනයේ දුර්විපාක වශයෙන් එවකට ආණ්ඩුකාර ටොරිංටන් සාමි නිලයෙන් පහකර එංගලන්තයට ගෙන්වා ගත්තා පමණක් නොව පාලන සහායක නිලධාරීන්ද අස්කරන ලදී.

සිරිලක වසර දෙදහස් ගණනක් පාලනය කළේ ධර්මද්වීපයක් වශයෙන් වුවද 1505 දී පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය ආක්‍රමණශීලීව ගත්දා පටන් 1948 පෙබරවාරි 4 වෙනි දින නිදහස ලබන තාක් වසර සිය ගණනක් ලාංකික ජනතාවට පරාධීනත්වයේ දුර්විපාක විඳින්නට සිදුවිය. විශේෂයෙන් පාරම්පරික සිංහලයන්ට ගම්බිම් ඉඩකඩම් පවා සම්පූර්ණයෙන් අහිමි විය. එම ප්‍රවණතාවය නිසා ජාතියක් වශයෙන් දේශපාලනය ආර්ථිකය යන කරුණුවලින් සිංහලයන් ලබා ඇති ජීවන තලය ඉතා දුර්වල බව සමාජ අවබෝධයෙන් සිතිය යුතු වන්නේය.

වසර සිය ගණනක් නිදා සිටි සිංහලයන් අවදි කරන්නට සිංහල පාලකයන්ට නියම පාලනය ගෙන යන්නට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගෙන් පටන් ආගමික වශයෙන් ජාතික වශයෙන්, බෞද්ධ අධ්‍යාපන වශයෙන් සිංහල ජාතියට පණ පොවන්නට හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, ඩේවිඩ් හේවාවිතාරණ මැතිතුමා යන පැවිදි උතුමන් හා ගිහි උතුමන් ආදර්ශයෙන්, අවවාදයෙන් දේශනයෙන් කළ ඉමහත් සේවාවන් සිරිලක් මාතාව නිදහස් කර ගැනීමේ නොමැකෙන පියසටහන් විය.

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වු ලංකා භික්‍ෂු පරම්පරාව බුද්ධාගම පමණක් නොව සිංහල ජාතියේ උදාර අනන්‍යතාවය පිළිබඳ සියල්ලම විදේශීය ආක්‍රමණවලින් ආරක්‍ෂා කරගෙන ජනතාවගේ ජීවන ගමන්මගේ ශුභවාදී සලකුණු තබන්නට ප්‍රමුඛතම කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළහ.

අධිරාජ්‍යවාදී පාලනයේ දුර්විපාකවලින් ඉමහත් වේදනාවට පත් ධීර වීර ගිහි පැවිදි උතුමන් ඉතිහාසයේ පාඩම් අනුව නොබියව ක්‍රියාකාරීවන්නට විය. 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමේ උදාරතම පරමාර්ථය වූයේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවා යටපත්වී ගිය අයිතිවාසිකම් ආරක්‍ෂා කර පෝෂණය කිරීමය.

ඩේවිඩ් හේවාවිතාරණ උතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගත් අගනුවර දායක සභාව මඟින් ආරම්භ කළ විද්‍යෝදය පිරිවෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පා සෙවනේ ගිහි පැවිදි උතුමන් සිය දහස් ගණනින් බිහිවී ලක්දිව විවිධ ප්‍රදේශවල පිරිවෙන් ඇතිකොට බෞද්ධ අධ්‍යාපනය මූලාධාර කරගෙන ජාතික නිදහස් සටන් පිළිබඳ සමිති, සමාගම්, ව්‍යාපාර, සාකච්ඡා, සම්මන්ත්‍රණ බිහිවූයේ දේශයේ වාසනාවටය.

ලක්දිව පුරා මහා ආන්දෝලනයක් ඇති කළ පානදුරා වාදයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන ගිහි පැවිදි උතුමන්ගේ බුද්ධි ප්‍රභාවය ප්‍රකට වෙන අතර නිදහස් චින්තනය පිළිබඳ බුදු දහමේ සර්ව නිර්දෝශීභාවය හා විවෘත භාවය ප්‍රකට වන්නේය.

අනගාරික ධර්මපාලතුමා චතුර දේශනයෙන් ලක්දිව පුරා ජනතාව විතර්ක බුද්ධියෙන් හා ආගමික ජාතික හැඟීමෙන් ජීවාත්මකව පෙරට ගන්නට කළ මෙහෙවර අපමණය. බුද්ධාගම ආරක්‍ෂා කිරීමට ප්‍රථම ලංකාවේ ස්වාධිපත්‍ය ලබා ගැනීමටත් ඒ සඳහා ජාතික හැඟීමෙන් ප්‍රාණවත්වූ ජනතාවක් එක්තැන් කිරීමටත් විශේෂයෙන් ව්‍යක්ත විශාරද බුද්ධිමත් හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල නාහිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ආදී මහා සංඝරත්නය දිවා රාත්‍රි ගත් උත්සාහය ඉතිහාස ගතවූයේ රන් අකුරෙනි.

ආගමික ශ්‍රද්ධා භක්තියත් ජාතික අභිමානයත් ජනතා හදවත් තුළ ඇති කිරීමට ටිබැට් ජාතික එස් මහින්ද හිමියන් තම කාව්‍ය ඤාණය උපරිම වශයෙන් උපයෝගී කරගත්තේ මහා වීරයෙකු වශයෙනි.

බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස
සිතව් සිහල ජාතියෙ පෙර පැවති යස
නගව් තව තවත් තිරසර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස

බුද්ධාගමත්, ලංකා ඉතිහාසයත්, ප්‍රවීණ සිංහල භාෂාවත් පිළිබඳ පරිණත බුද්ධියෙන් සම්පූර්ණ මහින්ද හිමිතම ජාතික හැඟීම්වලින් ප්‍රාණවත් වූ ජාතික වීරයන් බිහි කිරීමට මංපෙත් සාදන්නට ඇප කැපවූ ගුණ නැණින් ප්‍රභාමත් යතිවරයෙකු වශයෙන්ද මානුෂික ගුණයෙන් ජනතා දුක් වේදනා තියුණු ලෙස හඳුනාගත් බෝසත් උතුමෙකු වශයෙන් ද පරපුරෙන් පරපුරට සිහිපත් කරන්නේය.

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk