ලෝක පාලක ධර්ම
ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක
ශ්‍රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය
අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමි
ලොව නිතර වෙනස් වෙයි. ලෝවැසියා ද ඒ අනුව වෙනස් වෙයි. එසේ පෙරලෙන වෙනස්
වෙන ජන සමාජය ආරක්ෂා වීමට එක් සීමාවක් තිබේ. ඒ සීමාව ලෝක ධර්ම නමින්
හැඳින්වේ. එයින් ලෝකයත් ජනතාවත් පාලනය වේ. “දෙව මේ භික්ඛවේ ධම්මා ලොකං
පාලෙන්ති”යි තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි ලෝක පාලක ධර්ම දෙකකි.
ඒවායින් මිනිස් තිරිසන් වෙනස රැකේ.
මිනිසා දෙමවුපියන්ට, ගුරුවරුන්ට, පූජ්‍ය පූජකවරුන්ට සලකයි. ඒ ඒ ඇත්තන්
කෙරෙහි එක් එක් ආකාරයට හැසිරේ. හිතට එන හැම වචනයම නොකියයි කියන්න බැහැ.
මෙතැන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා යයි
සිතා නොකියයි. හිතෙන හැමදේම එලෙසින් නොකරයි. මෙය කවුරුවත් මතක් කර දී
නොවෙයි. ඉබේම සිදුවන්නකි. මෙලෙසින් පාලනය වන්නේ ලෝකපාලක ධර්ම නිසයි.
මෙසේම නැන්දා – මාමා , ගුරු, ශිෂ්‍ය, සහෝදර, සහෝදරී, ස්වාමි සේවක,
අඹුසැමි ආදීන් කෙරෙහි එක් එක් විදියට පවතින්නේ මේ ලෝක පාලක ධර්ම මිනිසා
තුළ රැකෙන නිසයි.
රටේ හැම කෙනෙකුන් තුළම මේ ධර්ම ආරක්ෂා වෙතොත් දුෂ්චරිත කිසිදාක ඇති
නොවේ. ලෝක පාලක ධර්ම පදනම් කොට සියලු ආචාර් ධර්ම පවතී. මෙම ධර්මද්වය
දේව ධර්ම නමිනුත් හැඳින්වේ. ඒවා හඳුන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ
මෙසේ වදාළ සේක.
හිරිඔත්තප්ප සම්පන්නා
සුක්ක ධම්ම සමාහිතා
සන්තො සප්පුරිසාලොකෙ
දෙව ධම්මාති වුච්චරේ
මෙලොව, යමෙක් පව් කිරීමෙහි ලැජ්ජා බය දෙකෙන් යුක්ත වේද, කුසල ධර්මයෙහි
ඇලුම් ඇත්තේද ශාන්ත වූ උතුම් වූ සත්පුරුෂ ගුණවලින් යුතු වූවෝ ද එසේ වූ
වන්ගේ පැවැත්ම දේව ධර්ම නම් වේ.
එක්තරා සම්ප්‍රදායකට අනුව නරක දේ කලු පාටටත් හොඳ දේ සුදුපාටටත් ඇතුළත්
කර තිබේ.ඒ අනුව ලෝක ධර්මය බෙදා දක්වන බුදුරජාණන් වහන්සේ කළු බණ දෙකකුත්
සුදුබණ දෙකකුත් වදාළ සේක.
ද්වේමේ භික්ඛවේ ධම්මා, තණ්හා, අහිරිකංÀව අනොත්තප්පං ච, ද්වේ චෙ භික්ඛවෙ
ධම්මා සුක්කා හිරිච ඔත්තප්පංච “ එයින් වදාළේ පව්කිරීමේ ලජ්ජා භය නැතිකම
කලු බණයි. එහි ලජ්ජා භය ඇතිකම සුදුබණයි. මේ අනුව සියලුම අයහපතට ලජ්ජා
භය, විළිබිය නැතිකම හේතු වේ. විලිබිය ඇතිකම සියලු යහපතට මුල් වේ.
එහෙයින් මේ ගැන හැම කෙනෙකු විසින්ම ඉතා හොඳ අවබෝධයක් ලැබිය යුතුය.
බුදුදහමේ මේ ගැන නන් අයුරින් විස්තර ඇතුළත්ව තිබේ. පිරිසුදු ජලය එයට
මිශ්‍රවන දේ අනුව වර්ණය, රසය, සුගන්ධය වෙනස් වේ. අපේ සිතත් ඒ වගෙයි.
අපේ සිත ඉතා පිරිසුදුය. ඒ සමග යෙදෙන සිතුවිලි අනුව හොඳ වෙනවා නරක්
වෙනවා. සිත නරක් වෙන්නේ නරක නපුරු පවිටු අකුසල් සිතිවිලි මීශ්‍රවීම
නිසයි. වැරදි කිරීමට ලජ්ජා නැතිකම නම් වූ අහිරිත සිතිවිල්ලත් ඒ සදහා
බිය නොවන අනොත්තප්ප සිතිවිල්ලත් වැටෙන්නේ අකුශල ගණයටයි. මේ හිරි ඔතප්
(විලිබිය) දෙක විස්තර කරන තැන්වල
සභාව සණ්ඨිති, සමුට්ඨාන හේතු ලක්ෂණ අධිපති උපමා වශයෙන් කොටස් පහකට බෙදා
විස්තර කෙරේ.
සභාව සණ්ඨිති:– සතුන් මැරීම, සොරකම් කිරීම ආදි වරදක් කිරීමට අවස්ථාවක්
පැමිණි විට “මේ වරද කිරීමෙන් මගේ ආත්ම ගෞරවයට හානියක්, කැලලක් වෙනවා. ඒ
නිසා මේක මට නොගැලපේ” ආදි වශයෙන් තමන් තුළ පහළවන හැඟීම පිළිකුල මේ
හිරියේ ස්වභාවයයි. මල මුත්‍රාපහ කිරීම් වැනි දේ ආචාරශීලිව කව්රුත්
රහසිගතව තනියෙන් කරති. එවැන්නක් කරන විට කවුරු හෝ කෙනෙක් දුටුවොත්
එයින් පෙලීමකට, හැකිලීමකට පත්වීම ඉබේටම සිදුවෙන දෙයකි. මෙසේ ඇතුළතින්
ඇති වෙන හැකිලීම ලජ්ජාව නම් වේ. එමෙන්ම දුශ්චරිතයක් කිරීමට අවස්ථාවක
යෙදුන විට මේ විදියේ පහත් වැඩ කිරීම මා වැනි අචාරශීලි කෙනෙකුට නොගැලපේ
යයි සිතා එයින් වැළකී සිටීම ඔත්තප්ප නම් වේ. වරදක් කිරීමට අවස්ථාවක්
පැමිණි විට කර්මය,පුනර්භවය විශ්වාස කරන ප්‍රාණඝාතාදිය කිරීමෙන් මරණින්
මතු අපාගත වී නන් වැදෑරුම් දුක් කම්කටොලු විඳින්නට සිදුවෙන බව සිතා
වරදින් වළකී.
සමුට්ඨාන හේතු :- ඇතුළතින් ඇතිවෙන ලජ්ජාව කරුණු හතරක් නිසා ඇතිවේ.
ස්වකීය ජාතිය, වයස, සූරබව, උගත්කම යන කරුණු මෙනෙහි කොට වරදින් මිදේ.
පව්කම් වැනි වැරදි වැඩක් කිරීමට අවස්ථාවක් එළඹී විට මෙසේ සිතයි. “ පහත්
වැඩ කිරීම, හීන දීන පව් කිරීම, පහත් ජාතිකයන්ට අයත් කාර්යයකි. ආර්ය
සිංහල ජාතියට අයත් මට මෙවැනි වැරදි වැඩ කොහෙත්ම නොගැලපේ. මා කෙසේද
අන්සතු දේ ගන්නේ,අසල්වැසියන්ට කරදර කරන්නේ, මා කොහොමද මත්ද්‍රව්‍ය
පාවිච්චි කර උම්මත්තකයකු මෙන් හැසිරෙන්නේ, ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන
කියන්නේ, ගතු කේලම් කියමින් ඔවුනොවුන්ගේ චරිත ඝාතනය කරමින් ඔවුනොවුන්
කොටවන්නේ, මෙලෙස ස්වකීය ජාතිය ගැන සිතලා වරදින් වළකී.
පව් කරන්නේ වැරදි වැඩ කරන්නේ ලාබාලයෝය. යමක් කමක් නොතේරෙන අය කරන දේ මා
වැනි වැඩිහිටියෙකුට සුදුසු නැත. අසල්වැසියන්ට කරදර වන විදියට මගේම ගෙදර
වුණත් මා හැසිරීම නුසුදුසුය. මත්පැන් පානය කොට පහත් විදියට හැසිරීම්
තරුණ වයසේ වැඩිහිටි වියේ වෙසෙන මා වැන්නෙකුට කොහෙත්ම නොගැලපෙතැයි
තමන්ගේ වයස ගැන සිතා වරදින් වළකී.
තමන්ගේ සුරවීර භාවය සලකා වරදින් මිදීම තවත් ක්‍රමයකි. මා කාය ශක්තිය
පුරුෂ ධෛය¸ය ඇති කෙනෙකි. මා වැනි අය ඩාදිය මහන්සියෙන් දෑතේ
සවිශක්තියෙන් ජීවත් විය යුතුය. හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් ,
කපටිකමෙන් හම්බ කිරීම වැනි පුරුෂ ධෛර්යය ඇති කෙනෙකුට නුසුදුසුයයි සලකා
වරදින් මිදේ. “ මා වැනි කෙනෙකු කාර්යාලයේ සේවා ස්ථානයේ වැඩ නොකර නිකං
ඉඳීම කොහෙත්ම නොහොබිනේ යයි සලකා වරදින් මිදේ.
තවත් ස්වකිය උගත්කම ගැන සලකා වරදින් මිදීමයි. ජීවත්වීමට තරම් ශිල්ප
ශාස්ත්‍ර උගත් මා වැනි අයට පහත් වැඩ කිරීම නුසුදුසුය. තැන්තැන්වලට වී
නිෂ්ඵල කථා කරමින් කාලය කා දැමීම සුදුසු නැත. අනුන්ගේ වතු කොටුවල ඇති
කෙහෙල් කැන, තැඹිලි ගෙඩිය සොරකම් කිරීම සුදුසු නොවේ යයි සලකා වරදින්
මිදේ. මෙසේ වරදක් කිරීමට අවස්ථාවක් එළඹි කළ ස්වකීය ජාතිය, සූරබව,
උගත්කම ගැන සිතා වරදින් මිදේ. මෙලෙසින් ලජ්ජාව උපදින්නේ තමන්
තුළින්මයි. ඔත්තප්ප (පව් කිරීමේ බිය) පිටතින් ඇති වෙන එකකි. පව්කම් කරන
අයට සීලාචාර අය නින්දා කරතියි පිටතින් පැමිණෙන නින්දා අපහාස ගැන සලකා
එයට බියෙන් වරදින් මිදීම ඔත්තප්ප නම් වේ. ඒ බිය ඇතිවීමට හේතුවන කරුණු
හතරකි. සීලය, දේශය, ප්‍රඥාව තත්ත්වය වශයෙනි.
“මා තිසරණ පන්සිල් රකින බෞද්ධයෙකු වශයෙන් පෙනී සිටින කෙනෙකි. අනුන්ට
හිංසා කළොත් ලෝ වැසියන් මට නින්දා කරතැයි බියෙන් වරදින් මිදේ. තමන්
වාසය කරන රට පළාත ගැන මෙනෙහි කරමින් පව්කම්වලින් වළකී. ලාංකිකයන්ට
එලෙසින් සිතීමට කරුණූ තිබේ. අපේ රට සම්මා සම්බුද්ධ ශාසනයේ කෙළවර දක්වා
බුදුසසුන පවතින රටකි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේත් දුටු
රටකි. ධර්මද්වීපය යන නාමය ලැබූ රටකි. මේ රටේ ජීවත් වෙමින් ලාමක
වැඩ,පව්කම් කිරීම සුදුසු නැත. මේවා කළොත් ලෝ වැස්සෝ අවමන් කරයි. ආදි
වශයෙන් සලකා අවමානයට බියෙන් වරදින් මිදේ.
මේ ගමේ ශිල්පශාස්ත්‍ර දැන උගත් පඬිවරු, සිල්වත්, ගුණවත් පැවිදි
නොපැවිදි උතුමෝ, සමාජයෙන් උසස් තනතුරු දරන ප්‍රභූ®වරු, සමාජ සේවකයෝ
සමාජ, සෝධකයෝ වෙසෙති. මේ ගමේ වෙසෙමින් නරක නපුරු නස්පැත්ති වැඩ කළොත් ඒ
උතුමන්ට නිග්‍රහයකියි සිතා වරදින් මිදේ.
සමාජයේ තමන්ට හිමි වී තිබෙන තත්ත්වය, තමාගේ දැන උගත්කම, පලාත්වාසීන්
තමන්ට දක්වන ගරු සැලකිලි, තමන් ගැන පැතිරී තිබෙන කීර්තිය, තමන් දරන
තනතුර,පදවිය, ගෞරවය ගැන සිතා මෙවැනි පහත් වැඩකිරීම, මට මගේ තත්ත්වයට
කොහෙත්ම නොගලැපේ යයි සිතා වරදින් මිදේ. වරදක් කිරීමට පෙළඹෙන විට අවට
තත්ත්වය ගැන සිතා වරදින් වැළකීම ඔත්තප්ප සමුට්ඨාන නමින් හැඳින්වෙනවා.
එලෙසින් තමා ගැන සලකා වරදින් මිදීම හිරියයි. අවට ගැන සලකා වරදින් මිදීම
ඔත්තප්පයයි.
තවද මෙහි ලක්ෂණ දෙකක්ද පවතී. “සස්සතිස්සව ලක්ඛණ, හිරි වජ්ජ භීරුක
භයදස්සාවි ඔත්තප්ප” සඳහන් පරිදි තමන් ගරු කරන සලකන අය ගැන සිතා වරදින්
මිදීම සප්පතිස්සච ලක්ෂණයයි. එහි ආකාර හතරක් පවතී. ජාතිය, ශාස්තෘවරයා,
දායාදය, බ්‍රහ්මචර්යාව වශයෙනි.
ඉතිරි කොටස
පෙබරවාරි 3 වනදා පත්‍රයේ පළවේ. |