UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> කිසා ගෝතමින්දෑ වස්තුවෙන් ගත හැකි මනෝචිකිත්සක ක්‍රම

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 5

කිසා ගෝතමින්දෑ වස්තුවෙන් ගත හැකි මනෝචිකිත්සක ක්‍රම

කිසාගෝතමියගේ කුලුඳුල් දරුවා පියවර ඔසවා ඇවිදින වියෙහිදී මිය ගියේ ය. ඇය දරුවා රෝගී ව සිටි බව මිස, මිය ගිය බව නො සිතා, මග දිගේ හමුවන අයගෙන් බෙහෙත් විචාරමින් ගියා ය. බොහෝ අය ඇය උමතුවෙන්යැයි සිතා ඇයට අපහාස කළද කරුණ වටහා ගත් කරුණාවන්ත පුරුෂයෙක් දරුවාට බෙහෙත් දෙන්නට සමතකු ලොව සිටිතොත් ඒ බුදුරජාණන් වහන්සේ පමණක් බව ඇයට පවසා, අසල ජේතවනාරාමය වෙත ඇය යැවූයේ ය. ධර්මාසනයේ වැඩ හුන් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට දිව ගිය කිසාගෝතමිය දරුවාට බෙහෙතක් දෙන ලෙස අයැද සිටි විට, උන් වහන්සේ දරුවා මිය ගොස් සිටි බව එක් වරම කිසාගෝතමියට පහදා නොදුන්නේ මන්ද?

බෙහෙත සඳහා උවමනා ද්‍රව්‍ය කවරේදැයි කිසාගෝතමී ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් පැවසුවේ, උවමනා වන්නේ අබැටක් පමණක් බව ය. ( සද්ධර්මරත්නාවලියේ සඳහන් වන්නේ ‘ අබැටක්’ නොව අබ ‘ අඩ කුලුඳුල්ලක්’ හෙවත් ‘ අඩ පතක්’ යනුවෙනි. කිසා ගෝතමිය බුද්ධිමත් ළඳක බව වැටහෙන්නේ, කොපමණ කම්පනයකින් පෙළුණ ද, ඇය අබැට සොයා එකෙණෙහි ම පිම්මේ දිව නො ගොස්, අබැට ගෙන ආ යුත්තේ කෙසේ වු තැනකින්දැ යි බුදුරජාණන් වහන්සේගෙන් ම පිළිවිසීම නිසා ය.

එපමණක් නොව ඇය එම භවයේදී ම රහත් වන්නට තරම් හේතු සම්පතින් අනූන ළඳක බව බුදුරජාණන් වහන්සේ දැන සිටි සේක. අබැට ගෙන ආ යුත්තේ කිසි කලක මරණයක් සිදු නොවී ඇති පවුලක් වසන ගෙයකින් පමණක් බව බුදුරජාණන් වහන්සේ දන්වා සිටි සේක.

පූර්ව භව පද්ධතියෙන් ආ හේතු සම්පත් එපමණ තුබුණු එපමණ බුද්ධිමත් කිසාගෝතමිය ඒ මොහොතෙහි තම දරුවා මිය ගොස් ඇති බව නො පිළිගත් නමුත් තමන් වහන්සේගේ උපදේශය අනුව ක්‍රියා කළහොත් යථාර්ථය පිළිගන්නා බව බුදුරජාණන් වහන්සේ දත් සේක.

නො පිළිගැනීම

ප්‍රියයකු මරණයට පත් වූ බව සැළවූ වහාම බොහෝ අයට එම මරණය සිදු වූ බව නො පිළිගැනෙයි. “ නෑ ! “ වෙන්නට බෑ ! “ වැනි වදන් එවැනි අවස්ථාවකදී මුවින් ගිලිහෙන්නේ මෙම නො පිළිගැනීම නිසාය. ප්‍රියයාගේ නම කියා හඬ ගෑම ද පුවත් පත්වල ගුණ සැමරුම් සහ පින් පැමිණවීම් නිවේදන පළ කරන නෑයින් “ ඔබ වෙනුවෙන් “ වැනි ආලපන වදන් යෙදීම ද මෙම නො පිළිගැනීමේ ප්‍රතිඵල ය.

මනෝවිග්‍රකයින් නො පිළිගැනීම අර්ථ කථනය කරන්නේ වියෝ දුකට පත් වූවකුගේ පෞරුෂය, එක් වරම යථාර්ථය පිළිගැනීමෙන් දෙදරා බිඳි යෑමෙන් තාවකාලිකව සංරක්‍ෂණය කර ගැනීමට යටි සිත දරන උත්සාහයක් හැටියට ය. ඒ අනුව නො පිළිගැනීම සංරක්‍ෂණ උපයෝගයකි

බුදුරජාණන් වහන්සේ එක් වරම කිසාගෝතමියට බිහිසුණු යථාර්ථයට මුහුණ පෑමෙන් සිදුවිය හැකිව තුබුණු පෞරුෂය බිඳී යෑම වළක්වා ක්‍රමයෙන් එම යථාර්ථය පිළිගැනීමට ඉඩ සලසා දුන් සේක.

මමිකරණය

නො පිළිගැනීම අන්තයට ගිය විට සයිකෝසි රෝග ලක්‍ෂණයක් වන මෝහයක් හටගත හැක. එසේ වූ විට වියෝ දුකට පත් සමහරු ප්‍රියයාගේ මළ සිරුර නිවස තුළ බොහෝ කලක් තබාගෙන සිටිති. මනෝ වෛද්‍ය ගාඩිනර් සහ ප්‍රිචඩ් 1977 වර්ෂයේදී එවැනි රෝගීන් හය දෙනකු පිළිබඳ වාර්තා පළ කළහ. මනෝ වෛද්‍ය ජෙෆ‍්‍රි ගෝරර් එවැනි රෝගීන්ගේ ක්‍රියාව ‘ මමිකරණය’ නමින් විස්තර කර ඇත. ඊජිප්තුවේ පිරැමිඩ් සොහොන් තුළ තැන්පත් ෆේරෝ රජුන්ගේ මළ සිරුර ‘ මමි ‘ නමින් හැඳින්වෙන නිසයි. ගෝරර් එම නම තැබීය.

කිසාගෝතමී තම නිවසේ කෙසේ වෙතත් කර පිට දරුවාගේ මළ සිරුර දවසක් හෝ තබාගෙන සිටි නිසා ඇගේ ක්‍රියාව ද මමිකරණයක් ලෙස හැඳින්විය හැක.

අස්සක ජාතක කථාවේ අස්සක රජතුමා තම දේවිය උබ්බරී මිය ගිය විට කළේද මමිකරණයකි.

මෑත යුගයේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා අග රැජිණ, ඇල්බට් වල්ලභ කුමරු මිය ගිය විට, ඔහු මිය ගිය බව නො පිළිගෙන, ඔහු යළි මාලිගාවට එනතුරු ඇඳුම් – පැළඳුම් සූදානම් කර තැබුවාය. දිනපතා කෑම මේසය මත පිඟන් , හැඳි, ගෑරුප්පු සූදානම් කර බලා සිටියා ය.

සුනාමියෙන් අතුරුදහන් වූ මාපියන්, ගඟේ ගිලී මිය ගිය පුතු, දුම්රියට යටවී මිය ගිය පුතු, නැවත ගෙදර එන තුරු බලා සිටින ඔවුන්ගේ පවුලේ ඇත්තන් තවම මනෝ වෛද්‍ය සායන කරා එති. මේ සියල්ලටම හේතුව නො පිළිගැනීම ය.

සමහර මාපියෝ දරුවකු මිය ගිය විට වෙනත් දරුවකු තුළ, නැතිනම් ඉන් පසු උපදින දරුවකු තුළ, මිය ගිය දරුවාගේ අංග ලක්ෂණ සහ ගති ලක්ෂණ දකිති.

වියෝ දුක් උපදේශන

“ වියෝ දුක් උපදේශනය සහ වියෝ දුක් චිකිත්සාව නම් ග්‍රන්ථය ලියූ විලියම් වර්ඩන් නොපිළිගැනීමට වියෝ දුකින් පෙළෙන්නකුට එක්තරා කාලයක් ගතවන බවත්, ඉන්පසු යථාර්ථය පිළිගත යුත්තේ මොළය සහ හදවත දෙකින්ම බවත් සඳහන් කරයි. එම චිකිත්සක ක්‍රියාවලිය වර්ඩන් අවස්ථා 4 කට බෙදා විස්තර කරයි.

1. මිය ගිය බව පිළිගැනීම
2. හේතු කාර්යය
3. ප්‍රියයා රහිත සිටීමට සකස්වීම
4. අතීත සම්බන්ධතා වෙනුවට අලුත් සම්බන්ධතා ගොඩනඟා ගෙන ඉදිරියට යෑම.

මිය ගිය බව පිළිගැනීම

බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුව අබ සොයා සැවැත් නුවර වීදියට පිළිපන් කිසාගෝතමිය, එහි මුල් ගෙදරින් බෙහෙතක් සඳහා අබ තිබේදැයි විමසා අබ ගෙනැවිත් දුන් අයගෙන් බුදුරජාණන් වහන්සේගේ කොන්දේසිය අනුව ඊළඟට විමසුවේ එම පවුලේ කිසි කලක මරණයක් සිදුවී නැතිදැයි කියා ය. පවුලේ ජීවත් ව සිටින අයට වඩා අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ඇයට දැන ගන්නට ලැබිණ.

දෙවන ගෙදරින් ලැබුණේ ද එම පණිවුඩයම ය. සවස් වන තුරු මෙසේ ගෙන් - ගෙට අබ ඉල්වමින් ඇවිදීමෙන් කිසා ගෝතමියට ක්‍රමයෙන් එක් අවබෝධයක් ලැබිණි. එනම්, මුළු නගරය පුරා ගෙදරක් නො හැර ඇවිද්දත් බුදුරජාණන් වහන්සේ පැවසූ අන්දමේ අබැටක් නම් සොයාගත නොහැකි බවයි.

මළ සිරුර නො දැක සිටීම යථාර්ථය පිළිගැනීමට බාධාවක් වන බව වර්ඩන් සඳහන් කරයි. කිසාගෝතමියට එවැනි බාධාවක් නොතුබුණේ දවස පුරාම දරුවා කර පින්නා ගෙන සැරිසැරූ නිසයි.

2. ඛේද කාර්යය

ප්‍රියයාගේ මිය යෑම පිළිගෙන ඉන් ඇතිවන වියෝ දුක මැදින් අවබෝධයෙන් ගමන් කිරීම අත්‍යවශ්‍ය බව වර්ඩන් කියයි. අබ සොයමින් වීදි දිගේ ගමන් කළ කිසාගෝතමිය සෑම ගෙදරකින් ම මරණය පිළිබඳ අවබෝධයක් ලබමින්, දරුවාගේ මරණය ගැන සිතමින් එදා සවස් වන තුරුම පයින් ගමන් කළාය. ඇය ඉෂ්ට කළ ඛේද කාර්යය එය ම විය. දරුවාගේ බර, මළ සිරුරෙන් නැග එන්නට ඇති දුගඳ සහ ගමන් වෙහෙස ඊට උපකාර විය. ශාරීරික ව්‍යායාමය තුළින් වියෝ දුක නිසා ඇයට හටගත් මානසික අසහනය ප්‍රකාශනය වී තුනී විය.

3. ප්‍රියයා රහිතව සිටීමට සකස් වීම

දැඩි වියෝ දුකකට මුහුණ පෑ විට එතෙක් අප දරා සිටි ආකල්ප, ලෝකය සහ ජීවිතය පිළිබඳ අප සිත් තුළ තුබුණු විශ්වාස, දැඩි අභියෝගයකට ලක් වන බව වර්ඩන් සඳහන් කරයි. කුඩා වියේ සිට එම ආකල්ප සහ විශ්වාස ගොඩ නැගී තිබෙන්නේ අපේ පවුලේ අයගේ,ගුරුවර ගුරුවරියන්ගේ අදහස් අපේම අත්දැකීම්, අධ්‍යාපනය සහ අදහන ආගම් මතය.

වියෝ දුක් පහරින් දෙදරා පිපිරී ගිය මානසික පදනම ප්‍රතිසංස්කරණය කර ගෙන ප්‍රියයා සහ තමන් අතර තුබුණු සම්බන්ධතා වෙනස් කර ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කිරීම මෙම අවස්ථාවේ අවශ්‍ය වෙයි. සුනාමියෙන් රටවල් රාශියකට වූ විපත නිසා, සර්වබලධාරී දෙවියකු පිළිබඳ ආකල්ප පවා දෙදරීමට ලක්වූ බව එංගලන්තයේ කැන්ටබරි ආච් බිෂොප් තුමා ඒ දිනවල ප්‍රකාශ කර තිබිණි.

බුදුරජාණන් වහන්සේ දරුවා සුවපත් කිරීමට බෙහෙතක් සපයා දීමට කිසි කලක මරණයක් සිදු නොවී ඇති පවුලකින් අබැටක් ගෙන එන්නට තමා පිටත්කොට හැරියේ මන්දැයි බුද්ධිමත් කිසාගෝතමිය අවබෝධ කර ගත්තාය. වියෝ දුකින් මිදී අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ඇයට හැකි වුයේ එම අවබෝධය තුළිනි.

4. අතීත සම්බන්ධතා වෙනුවට අලුත් සම්බන්ධතා ගොඩනගා ගෙන ඉදිරියට යෑම.

සිග්මන් ෆෙ‍්‍රායිඩ්ගේ මතය වූයේ වියෝ දුකින් මිදීමට, බලාපොරොත්තු සහ මතකයන් ප්‍රියයාගෙන් ඉවත් කර ගැනීම අවශ්‍ය බවය. ප්‍රියයාගෙන් හිස් වූ තැන යම් ක්‍රමයකින් පිරවිය යුතු වෙයි. යළි පිහිටුවා ගැනීම ( RELOCATION )  යනුවෙන් මෙම ක්‍රියාව හැඳීන්වෙයි. කිසාගෝතමිය, තමාගේ බලාපොරොත්තු සහ මතකයන් සංකේතාත්මකව ඉවත් කළේ කර පිට දරා සිටි දරුවාගේ මළ සිරුර එතැනින් ඉවත් කර අමු සොහොනේ තැබීමෙනි. ඇගේ මනසෙහි හිස් තැන පිරවූයේ තමා අසරණව සිටි මොහොතෙහි අවවාද දුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙනි.

ජේතවනාරාමය වෙත ගිය කිසාගෝතමිය, වර්ඩන්ගේ වදන් අනුව එතැන් පටන් ‘ ඉදිරියට’ ගියේ බෞද්ධ අපේ වදන් අනුව බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කර දුන්, සච්ච විභංගයෙහි විස්තර වන, ප්‍රියයන්ගෙන් වෙන්වීම ඇතුළු සියලු දුකින් මිදීමේ එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ය.

තුනුරුවන් සරණයි


බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 4  බුදුරජාණන් වහන්සේ යශෝධරාවට මනෝචිකිත්සාවෙන් සරණ වු සැටි
 

 

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]