UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> සරල දිවිපෙවෙත

සරල දිවිපෙවෙත

තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යොදාගත යුතුයි. කොටස් දෙකක් තමන්ගේ වෙළ හෙළඳාම් ව්‍යපාරයෙහි යෙදවිය යුතුවනවා. ඉතිරි කොටස හදිස්සියේ ඇතිවන විපත් කරදර ආදිය සඳහා සුරැකිව තබා ගත යුතුවනවා

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ සරල ලෙස දිවි ගෙවිය යුතු බවයි. එහෙත් වර්තමානයේ ඇතැම් පිරිස් අධි පරිභෝජනයට හුරුවෙලා. කිසිවකින් සෑහීමකට පත් නොවී හැකි තරම් දේ තමන් වෙත ළං කර ගැනීමට උත්සාහ දරනවා. බොහෝ අය එය ‘පශ්චාද් නූතනවාදය’ කියා හඳුන්වනවා.

සමාජයේ ඇතැම්විට දක්නට ලැබෙන වර්ජන කුමන කරුණක් අරභයාද? වැඩි වැටුප් ඉල්ලන්නේ ඇයි?

ලෝකයේ නිෂ්පාදන කම්හල්වලින් දිනෙන් දිනම අලුත් වෙවී එළිදකින නවීන භාණ්ඩ ලබා ගැනීමට නව නිපැයුම් තම අවශ්‍යතා උදෙසා මිලදී ගැනීමට කිසිවකින් තෘප්තියට පත් නොවන සමාජයක් අද බිහිවෙලා.

අල්පේච්ඡ සරල දිවි පෙවෙතකට අපට ලැබෙන වැටුප බොහෝවිටම ප්‍රමාණවත්. එහෙත් රූපවාහිනි තිරයේ පෙන්වන නා නා ප්‍රකාර ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට අපට මුදල් ප්‍රමාණවත් නැහැ. අතීතයේ අපේ මුතුන්මිත්තන් පවුල නඩත්තු කර පින්දහම් කටයුතුවල යෙදුණේ බොහෝ විට ගොවිතැනෙන් ලද ආදායමෙන් ඔවුන්ට වෘත්තියේ නියැළීමට අමතරව සමාජයක් තිබුණා. ඒ සමාජය යහගුණ අගයන ලොවකට ඔවුන් ගෙන ගියා. නිතර එක්රැස්වීම සමඟිව රැස් වීම, සමඟිව සාකච්ඡා කිරීම වැනි සප්ත අපරිහානීය ධර්මයන් ඔවුන් විසින් ආරක්ෂා කළා. මේ නිසා ලද දෙයින් සතුටු වී මානසික තෘප්තිය උපරිම ලෙසින් ලබන්නට එදා ජනයාට හැකියාව තිබුණා. එහෙත් අද ඇතැම් දෙනා වර්ජන කරන්නේ වැඩි වැටුප් ඉල්ලන්නේ අධි පරිභෝජන රටාවේ ගමන් කරන්නයි. නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර, අත්‍යවශ්‍යම නොවන විදුලි උපකරණ මිලදී ගැනීමට අද බොහෝ මුදල් වැය කිරීමට ජනතාව පෙලඹිලා.

ඒ වගේම සීමාව ඉක්මවා යන සුවිසල් මැදුරු තම නිවාස කර ගැනීමට සමාජයේ බොහෝ දෙනා පාහේ උත්සාහ දරනවා. එහෙත් මදකට සිතා බලන්න. අප ඒ කරන්නේ මොන තරම් විනාශයක් ද? අනාගත පරපුරට අප ආදර්ශවත් විය යුත්තේ ඉදිරිය ගැන (අනාගතය) සිතන්නයි.

අපේ මුතුන් මිත්තන් එදා ඉදිකළ නිවාසවලට අද මොකද කරන්නෙ. තවත් අවුරුදු පනහක්, හැටක් සමහර විට අවුරුදු සියයක් විතර කිසිදු උපද්‍රවයක් නැතිව පවතින නිවාස කඩා දමා නව නිවාස ඉදිකරනවා.

අප අද බැංකුවලට ණය වී අනෙකුත් සියලු අවශ්‍යතා පසෙක ලා අධික වියදමක් දරා ඉදිකරනු ලබන නිවාසයන්ට තව අවුරුදු 25 කින් 30 කින් පමණ අත්වන ඉරණම ගැන සිතා ගැනීම අසීරු නැහැ.

අප අද නිවාස තැනීමේදි මූලිකත්වය දෙන්නේ වාසය කිරීමට නොව එහි අලංකාරය විශාලත්වය අන්‍යයන්ට පෙන්වීමටයි. අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේදීද අප මූලිකත්වය ලබා දෙන්නේද අන්‍යයන්ට පෙනෙන්නට කටයුතු කිරීමටයි.

“අණන සුඛය” හෙවත් ණය නොවී සිටීමේ සැපත අපට අහිමිව ගොස් තිබෙන්නේ මේ නිසයි. සමාජයේ මේ වැරැදි රැල්ලට හසුවී අපගේ සංස්කෘතිය විනාශ කළ යුතුද?

අතීතයේ මානසික සුවය ලැබූ ජනයාට එය අහිමි වුණේ ඇයි?

එදා තිබූ ‘අත්තම’ අද තිබෙනවාද? පිරිස එක තැනකට පැමිණ පොල්තෙල් ටික සිඳ ගැනීමක් අද දක්නට නැහැ. කුඹුරේ ගොයම් ටික සියලු දෙනා එක්ව නෙළා ගැනීමක් ඇතැම්විට අද දක්නට නැහැ. සියල්ලටම වඩා මුදල් අවශ්‍යතාව මුල් වෙලා.

නීතියම මුල් කරගත් සමාජයක් බිහිවී තිබෙන්නේ. එම නිසයි සංස්කෘතිය ,සමාජ පසුබිම, ආගම සියල්ලම පසෙකලමින් නීතියෙන් පමණක් සියල්ල කළ හැකිය යන්න සිතන්නෙ.

බුදුරජාණන් වහන්සේ කරුණාව, මෙත්තාව, මුදිතාව,උපේක්‍ඛාව උන්වහන්සේගේ ක්‍රමවේදයන් අතර මුල්තැන ගත්තා. මේ නිසා අද තරුණ පිරිසගේ මතය වී ඇත්තේ තමන් ඉක්මනින් යමක් ලබා ගැනීමේ ක්‍රමවේදයයි. ඒ සඳහා නීතිමය රාමුව පමණක් සකස් කර ගන්නවා. ගුණ ධර්ම නැහැ. එහෙත් බුදු දහමේ නොකළ යුතු වෙළෙදාම් පවා පැහැදිලව දක්වා තිබෙනවා.

නීතියම මුල් කරගත් සමාජයක් තුළ අපට එවැනි සමාජීය හිතවත් තරුණ පිරිසක් බිහිවේයැයි සිතන්න බැහැ. මේ නිසා පුරුෂ බන්ධනයෙන් කාන්තාව මිදීම සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම එය ශ්‍රී ලංකාව වැනි රටකට නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.

අද ජපානය තාක්ෂණයෙන් දියුණු වුවත් ජපානයේ ස්වාමි පුරුෂයා භාර්යාවට ආහාර පානවත් නොදෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ‘එයාලත් හම්බ කරනවනෙ, එයාලා ගැන එයාලම බලා ගනියි’. ස්වාමිභාර්යා සබඳතාව ඒ තුළින් රැකෙනවාද?

කාන්තාව හුදකලාවීමක් ඒ තුළින් සිදුවනවා. එමඟින් ඇයට හිමි විය යුතු ආරක්ෂාව පවා නොලැබී යන්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වනුයේ

ඒකෙන භොගෙ භුඤ්ජ්‍යෙය
ද්වීහි කම්මං පයොජයෙ
චතුත්ථංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සති

මෙයින් අපට ඉතා පැහැදිලව පෙනී යන්නේ තමන් උපයන ධනය වැය කළ යුතු ආකාරයයි. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ වූ ආර්ථික න්‍යාය වසර 2600 කට පසු අදටත් අප සමාජයට සුදුසුම තත්ත්වයක පවතිනවා.

තමන් ධාර්මිකව උපයා ගන්නා ධනය පරිභෝග කළ යුතු ආකාරය දැක්වෙන උසස් ආර්ථික සංරක්ෂණ ක්‍රමයක් මෙමඟින් දැක්වෙනවා.

තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යොදාගත යුතුයි. කොටස් දෙකක් තමන්ගේ වෙළ හෙළඳාම් ව්‍යපාරයෙහි යෙදවිය යුතුවනවා. ඉතිරි කොටස හදිස්සියේ ඇතිවන විපත් කරදර ආදිය සඳහා සුරැකිව තබා ගත යුතුවනවා.

අද අපට වැටුප් මදිවී වර්ජන කරන්නේ තම යුතුකම් නිවැරැදිව ඉටු නොකරනවා මෙන්ම අධි පරිභෝජනය නිසාය.

ලද දෙයින් සතුටුවීමේ ගුණය අප කෙරෙන් දුරස්වී ගිහින්. කිසිම ආකාරයකින් අපට තෘප්තිමත් වන්න බැහැ. වාහනයක්, නිවසක් හෝ වෙනත් ඕනෑම දෙයක් නියමිත කාලයට පෙර භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට අලුත් දේ මිලදී ගැනීමට අප පෙලඹෙන්නේ අපගේ ආසාව නිමක් නොවන නිසයි. මේ නිසා සෑම විටම ලද දෙයින් සතුටු වී අධි පරිභෝජනයෙන් වැළකීමට අප සිතට ගත යුතුවනවා. එසේ නොවුණහොත් ජපානයේ මෙන් අපේ රටේත් පවුලේ අය තම තමන්ට හරි හම්බ කර ගන්නා තත්වයක් එන්න පුළුවන්. යහගුණ පිරි සමාජයක් ගොඩනැඟීමට අපට එය බාධාවක් වනවා.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]