UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පූජනීය මව් සෙනෙහස

අප උපන් පසු, ජීවත්වීමේ දී විවිධ වයස්වලදී, විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයන් අපට හමුවෙති. බිරිඳ හෝ ස්වාමියා, දරුවන්, මිතුරු මිතුරියන් ආදීන් ඒ අතර වෙති. එහෙත් අම්මා අපට හමුවූයේ උපත සමගිනි. උපතේ දී හමුවන මව නොසිටි කල අපගේ ජීවිතය ගොඩනොනැගේ

“දිවිනනාහං භික්‍ඛවෙ න සුප්පතිකාරං වදාමි, කතමෙසං ද්විනනං මාතුච්ච පිතුච්ච. එකෙන භික්‍ඛවෙ අංසෙන මාතරං පරිහරෙය්‍ය. එකෙන අංසෙන පිතරං, පරිහරෙය්‍ය වස්සතායුකො වස්සසෙතජීවී. සො ච නෙසං උච්ඡාදන පරිමදදනනහාපන සම්බාහනෙන, තෙපි තෙත්‍ථව මුත්තකරීසං චජෙය්‍යුං නෙÀවව භික්‍ඛවෙ මාතාපිතුනනං කතං වා හොති, පටිකතං වා.”

අංගුත්තර නිකායේ දුක නිපාතයට අයත් සමචිත්ත වර්ගයේ දැක්වෙන ගාථාවක් මෙහි මාතෘකා ගාථාව ලෙස ඉදිරිපත් කෙරේ. මෙම සූත්‍රය ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ මව, පියා යන උත්තරීතර චරිතද්වයය පිළිබඳව දේශනා කළ ඉතා වටිනා කරුණු ඇතුළත් සූත්‍රයක් වේ. අපි හැම මවකගේ දරුවෝ වෙමු. ඒ හෙයින් දරුවන් ලෙස විශේෂයෙන් අප අපගේ මව පිළිබඳව කෙසේ කල්පනා කළ යුතු ද යන කාරණාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයකින් සාකච්ඡා කෙරේ. එය වත්මන් දරු පරපුරට ඉතාමත් වටිනා කාරණාවක් වනු ඇත. බුදුන් වහන්සේ මව්පිය ගුණ මාතෘකා කළ ඉහත සඳහන් ගාථාවන්හි අර්ථය මෙසේ ය.

“ද්විනනාහං භික්‍ඛවෙ න සුප්පතිකාරං වදාමි, - මහණෙනි අපට මෙලොවදී සැලකිලි කොට අවසන් කළ නොහැකි දෙදෙනෙකි.

කතමෙසං දවිනනං මාතුච්ච පිතුච්ච – ඒ කවුද? මව සහ පියා යන දෙපළය.

එකෙන භික්‍ඛවෙ අංසෙන මාතරං පරිහරෙය්‍ය - මහණෙනි එක අංශයකින් (උරකින්) අම්මා තබාගෙන,

එකෙන අංසෙන පිතරං, පරිහරෙය්‍ය - අනික් උරහිසේ තාත්තා තබාගෙන,

වස්සසතායුකො වස්සසත ජීවී. සො ච නෙසං උච්ඡාදන පරිමද්දනනහාපන - සමබාහනෙන, තෙපි තෙත්‍ථව මුත්තකරීසං චජෙය්‍යුං නෙÀවව භික්‍ඛවෙ මාතාපිතුනනං කතං වා හොති, පටිකතං වා.” ශත වර්ෂයක් පුරා කවමින්, නාවමින්, පිරිමදිමින්,දෙවුරේ තබාගෙන සැලකුවද දෙමාපියන් අපට කළ සේවයට ප්‍රති සේවයක් කිරීමට හෝ ඔවුනට ණය ගෙවා නිම කිරීමට හෝ අපට හැකියාවක් නොමැත, යනු එහි අරුතය.

ඒ තරම් උසස් ලෙස ජිනේන්ද්‍රයන් වහන්සේ මව්පිය ගුණ වණමින් මව්පිය සත්කාරය අමිල සංග්‍රහයක් ලෙස පැහැදිලි කර ඇත.

මවට සැලකීම පිළිබඳව බුද්ධ චරිතයේ බොහෝ අවස්ථා අපට හමුවේ. බෝසත් චරිතය තුළ හා බුද්ධත්වයෙන් පසු කාලවකවානුව තුළ මවට අපරිමිත ගෞරවයක් බුදුන් වහන්සේ දැන් වූ සේක. ආනන්තර්ය කර්ම පිළිබඳ කථා කිරීමේ දී අප කව්රුත් දන්නා පංචානන්තරීය කර්ම අතර මව්පිය ඝාතනය නොවෙනස්වන අනිවාර්යයෙන් අයහපත් ඵල ලබාදෙන අකුසලයක් ලෙස බුදුන් වහන්සේ දැක්වූ සේක. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝභේදය, බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම පංචානන්තරීය කර්ම බව අපි දනිමු. ඉන් මව මැරීම ඊළඟ භවය හෙවත්, අනතුරු භවය තුළ අනිවාර්යයෙන් අයහපත් ප්‍රතිඵල ලබාදෙන, දුගතියට පමුණුවන, අකුසලයකි.

අංගුත්තර නිකායේ ඇතුළත් තවත් සූත්‍රයක පැහැදිලි කෙරෙන පරිදි, සැලකිලි දක්වා පිං රැස්කළ හැකි, නොසලකා පව් රැස් කළ හැකි සිව්දෙනෙකි. එනම්, මව, පියා, ලොව්තුරා බුදුන් හා තථාගත ශ්‍රාවකයා එම සිව්දෙනා වෙති. බුද්ධ ධර්මය පරිශීලනයේ දී බුදුන් වහන්සේ මවට සැලකීම පිළිබඳ විශාල අවධානයක් යොමුකර ඇති බව පෙනේ.

මවට සැලකීම පිළිබඳව විශේෂ ඉගැන්වීමක් බුදුදහමේ අන්තර්ගතව ඇත්තේ ඇයි?

මෙම කාරණය ඉතා විශාල වැදගත්කමක් සහිත වන අතර අද කතිකාවට ලක්විය යුතු කාරණයකි. අප උපන් පසු, ජීවත්වීමේ දී විවිධ වයස්වලදී, විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයන් අපට හමුවෙති. බිරිඳ හෝ ස්වාමියා, දරුවන්, මිතුරු මිතුරියන් ආදීන් ඒ අතර වෙති. එහෙත් අම්මා අපට හමුවූයේ උපත සමගිනි. උපතේ දී හමුවන මව නොසිටි කල අපගේ ජීවිතය ගොඩනොනැගේ අම්මා දසමසක් ඇයගේ කුස තුළ අප තබාගෙන බොහෝ කරදර දුක් පීඩා විඳ අප රැකගන්නීය. විද්‍යානුකූලව දරුවෙක් කුස තුළ දසමසක් නොසිටින බැව් ප්‍රකාශ වූවත් දින 28 1/2 ක් ලෙස ගැනෙන සිංහල මාස ක්‍රමයට අනුව දසමස නිවැරදි බව කිවයුතු ය.

මව දරුවා පෝෂණය කරන්නීය. දරුවෙක් මෙලොවට බිහිවූ පසු, තම ශරීරයෙන් ගලන කිරෙන් තවකෙක්ව පෝෂණය කරන්නේ කව්ද? ඒ මව පමණි. තම ශරීර කොටස්වලින් තවෙකෙක්ව පෝෂණය කරන වෙනත් අයෙක් අපට මෙලොවදී හමුනොවේ. දරුවා කෙරෙහි ඇතිවන සෙනෙහසට, ආදරය ඇයගේ රතු ලේ සුදු කිරි බවට පරිවර්තනය වේ.

එදා බුදුන් වෙත පැවිද්ද ඉල්ලා පැමිණි කාන්තාවන්ගේ විමුක්තිදායිකාව ලෙස සැලෙකන මහා ප්‍රජාපතියට, පැවිද්ද දීම බුදුන් ප්‍රතික්‍ෂේප කළ කල්හි ආනන්ද හිමි මෙසේ පැවසූ බව සඳහන් වේ.

“ස්වාමීනි, මේ ඔබවහන්සේගේ අම්මා, ඔබවහන්සේට කිරිදුන් මව.”

“ආපාදිකා පෝසිකා භගවන්තං ජනෙතතියා කාලංකතෙ ථඤ්ඤං පායෙසි”

ඔබ වහන්සේගේ මව් නැති කල, ඔබවහන්සේ නැලෙව්වේ, ඔබවහන්සේගේ අතපය හැඩකළේ, ඔබ වහන්සේ හදා බලා ගත්තේ ඇයයි. ඒ හෙයින් ඇයට සලකා ස්ත්‍රීන්ට භික්‍ෂුත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටියේ ය. එතෙක් උන්වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද දීම නුසුදුසු යයි තදින් සිටි මුත් ආනන්ද හිමිගේ ප්‍රකාශයෙන් පසු, මව්ගුණ පිළිබඳව බාහිරයෙන් පැමිණ කරුණු කාරණා සලකා ස්ත්‍රීන්ට පැවිද්ද දීමට තීරණය කළ සේක.

මෙම අවස්ථාව ඉතා වැදගත් වේ. ඒ කුමක් හෙයින්ද? බුදුන් වහන්සේ භික්‍ෂුණී ශාසනය පිහිටුවීමට තීරණය කළේ මවට සැලකීමේ අරමුණක් ලෙසින් වීම හේතුවෙනි.

එමෙන්ම ත්‍රිපිටකයේ සූත්‍ර විනය අභිධර්ම යනුවෙන් පිටක තුනක් බව ඔබ දනී. ඉන් විනය හා සූත්‍ර පිටක භික්‍ෂූන් හා සමාජයේ ලෝක ව්‍යවහාරය ඇසුරුකොට කරන ලද දේශනාවලින් සමන්විත වේ. එහෙත් උන්වහන්සේ අභිධර්මය දේශනා කරන ලද්දේ මාතෘදිව්‍ය රාජයාණන් ප්‍රධාන පිරිස අරඹයාය. ඒ අනුව ත්‍රිපිටකයෙන් එක් පිටකයක් අම්මා වෙනුවෙන් වෙන්කිරීම තුළ බුද්ධ දේශනාවේ 1/3 ක් මවට සැලකීමක් ලෙස දේශනා කර ඇති බව පැහැදිලි ය.

මවකගේ සෙනෙහස පිළිබඳව කිසිවෙක්ට සීමා පැනවිය නොහැකි අතර, එම සෙනෙහස තවත් කිසිම සෙනෙහසකට සමාන ද කළ නොහැකිය. “ආදරය කරන කල ඇය මට මවක් මෙනැයි තරුණයෝ ස්ත්‍රීන් පිළිබඳව ප්‍රකාශ කර සිටින අවස්ථා ඇත. එහෙත් මවක් ලෙස හිතන්නට තවත් මවකට විනා වෙනත් කිසිවෙක් සමත් නොවේ. එම ගුණය මවටම අයත් ගුණයකි. මෙයට ඉතා හොඳ නිදසුනක් කලන්දක ජාතකයේ දැක්වේ. එදා ලෙහෙනි පැටියා මහමුහුදට ගසාගෙන ගියකල්හි ලෙහෙනියට තම පැටියා වෙනුවෙන් කිරීමට කිසිවක් නොවීය. එහෙත් ඇය තම වල්ගයෙන් පොඟවා මහමුහුද ඉසින්නට උත්සාහ කළා ය. කළ නොහැකි කාර්යයක් වූවද, ඇය ගත් උත්සාහයේ ප්‍රබල ශක්තිය හේතුවෙන් ලෙහෙනියට පැටියා නැවත ලැබිණ. මවකගේ ශක්තියේ අදිටනක ගැඹුරුබව, ප්‍රබල බව ඉන් මොනවට පැහැදිලි වේ.

ඉතිරි කොටස නොවැම්බර් 6 වනදා පුවත් පතේ පළ වේ

 

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]