UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු රට්ඨපාල මහ රහතන් වහන්සේ

අසූමහා ශ්‍රාවක චරිත 21

බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු

රට්ඨපාල මහ රහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවකයන් අතර වැඩසිටි රාහුල තෙරුන්ගේ ඈත කාලයේ සිට මිත්‍රත්වයෙන් කල් ගත කළ කෙනෙකු වශයෙන් රට්ඨපාල හිමියන් පිළිබඳ තොරතුරු ශාසන ඉතිහාසයෙහි දැක්වෙනවා. පදුමුත්තර බුදුරදුන්ගේ අවධියේ දී දාන ආදි පින්කම් කර සැදැහැයෙන් පැවිදි වූ භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලබන බවට විවරණ ලබා ගත්තා. අප ගෞතම බුදුරදුන් ලොව පහළ වූ කල්හි දඹදිව කුරු රට ථුල්ල කොට්ඨිත නම් ගමෙහි රට්ඨපාල නමින් උපත ලැබුවා.

දිනක් බණ ඇසීමට මහ පිරිස් යනු දැක රට්ඨපාල තරුණයා ද ඒ සමඟ ගොස් ධර්ම ශ්‍රවණය කර මහත් සේ පැහැදුනා. පැවිදි වීමට තද ආශාවක් ඇති වුවත් මවුපියන් ගෙන් අවසර ගෙන එන ලෙස බුදුරදුන් ප්‍රකාශ කළා. මවුපියන් වෙත ගොස් වාර කීපයක්ම අවසර ඉල්ලූ නමුත් රට්ඨපාල පුතණුවන් නැතිව එක් රැයක් හෝ කල් ගත කළ නොහැකි හෙයින් පැවිදි නොවන ලෙසත්, ගිහිගේ සිට ගෙන අවශ්‍ය පින්කම් කරන ලෙසත් මවුපියන් තදින්ම කියා සිටියා. මේ සඳහා යහළුවන් ද පැමිණ පැවිද්ද වැළකීමට උත්සාහ කළත් අදහස වෙනස් කරන්ට අපහසු වුනා. අවසර නො දෙන්නේ නම් නොකා නොබී වැතිර මිය යාමට රට්ඨපාල කුමරුවන් සූදානම් වුණා. වේදනාවටත් බයටත් පත් මවුපියන් අන්තිමේ දී පැවිද්ද සඳහා අවසර දුන්නා.

බුදුරදුන්ගෙන් පැවිද්ද ලැබූ රට්ඨපාල හිමියන් භාවනා කර රහත් බවට පත් වුණා. දොළොස් වසරකට පසු බුදුරදුන්ගෙන් මවුපියන් බැලීම සඳහා අවසර ලබා ගෙන වැඩමවා තම නිවෙසේ ඉදිරිපස පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් වැඩ සිටියා. උදෑසන හිස පීරමින් සිටි පියා වෙනත් භික්‍ෂුනමක් වැඩමවා ඇතැයි සිතා තම පුතා පැවිදි කිරීමට රැගෙන ගියේ යැයි පවසමින් බණින්නට පටන් ගත්තා. ඒ අතර නිවෙසේ විසූ දාසියක් ඉවත දැමීමට ආහාරයක් ගෙන යනු දැක පාත්‍රයට බෙදවා ගෙන මද දුරක් ගොස් වැඩහිඳ වළඳන්නට පටන් ගත්තා. ඒ දාසිය රට්ඨපාල තෙරුන් හැඳීන පුතා පැමිණ සිටින බව ස්වාමි දියණියට දැන් වූවා. ඇය වහා ගොස්, ස්වාමිපුරුෂයාට ඒ බව කීවා. කලබලයට පත් පියා පැමිණෙන විට දානය වළදා නිම කොට සිටි හෙයින් පියාගේ ආරාධනය අනුව පසුදින දානයට තම නිවෙසට වැඩමවන බවට පොරොන්දු වූවා. පසුදින රට්ඨපාල හිමියන් තම නිවෙසට වැඩිකල්හි වටිනා රන් මුතු මැණික් ආදි වස්තුව ගොඩ ගසා පෙන්වා නතර කිරීමට මවුපියන් උත්සාහ කළත් දැඩි ආශාව සහ දුක් දොම්නස් නැති කිරීමට ඔය සියලු වස්තුව ගඟට දාන ලෙස තෙරණුවන් ඉල්ලා සිටියා. එයින් පසු පෙර සිටි භාර්යාවරුන් ද සවුබරණින් සැරැසී උන්වහන්සේ පොළඹවා ගැනීමට උත්සාහ කළත් ඒ කිසිවකින් අවනත කර ගැනීමට හැකි වූයේ නෑ. අවසානයේ දානය වළඳා දම් දෙසා ඍද්ධිබලයෙන් අහසට පැන නැගී රජතුමාගේ උයනට වැඩම වූවා.

තම මිත්‍ර රට්ඨපාල හිමියන් වැඩමවා ඇති බව දැනගත් කෝරව්‍ය රජතුමා වහා අවුත් දුක් සැප විචාරා අනතුරුව ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට හේතු විමසුවා. හේතු හතරක් ඇති බව එතුමා ප්‍රකාශ කළා. ඒවා නම් ජරා භය, ව්‍යාධි භය, භෝග භය සහ ඥාති මිත්‍ර භය යන ඒවා. රට්ඨපාල හිමියන්, බුදුරදුන් තමන්ට මේ භය හතර පෙන්වා දුන් නිසා පැවිදි වූ බව ප්‍රකාශ කළා. ඒ සතර නම් උපන් සෑම දෙනාම ජරාව මගින් මරණය කරා ගෙන යන බව, තමාගේ ශරීරයට විපතක් හෝ වේදනාවක් වූ කල්හි එයින් මිදීමට අන් කෙනෙකුට පිහිටක් විය නොහැකි බව, මගේ යැයි අයත් කර ගත් සියල්ල අත්හැර දමා යාමට සිදුවන බව සහ කොපමණ රැස් කළත් සෑහීමට පත් නොකළ හැකි බව යන ඒවා. ඉහත දැක්වූ කරුණු තවදුරටත් රට්ඨපාල හිමියන් ධර්මානුකූලව රජතුමාට විග්‍රහ කර පෙන්නුවා.

කෝරව්‍ය රජතුමා රට්ඨපාල හිමියන් මුණගැසෙන විට අසූවන වියේ පසුවූයේ අතපය දුබල බවත් අපහසුවෙන් ජීවත් වන බවත් සුහද සාකච්ඡාවේ දී මුලදී ප්‍රකාශ කළා. එහෙත් රට්ඨපාල හිමියන් පසුව කළ සාකච්ඡාවේ දී තවදුරටත් වෙනත් රාජ්‍යයන් අල්ලා ගනිමින් වස්තුව රැස් කිරීම සඳහා දැඩි ඕනෑකමින් පසුවන බව රජතුමාටම පිළිගන්න සිද්ධ වුණා. මහත්සේ ප්‍රසාදයට පත් වූ කෝරව්‍ය රජතුමාට අවසානයේ රට්ඨපාල හිමියන් ගාථා දහතුනකින් ධර්මය දේශනා කළා. එය ඇතුළත් රට්ඨපාල සූත්‍රයෙහි සෑම කෙනෙකුගේම ජීවිතයට බෙහෙවින් ප්‍රයෝජනවත් අගනා ධර්ම කරුණු සඳහන් වී තිබෙනවා.

මහා වස්තුවක් හිමිවන්නට තිබූ රට්ඨපාල කුමාරයන් පමණයි ඒ මවුපියන්ට දරුවෙකු වශයෙන් සිටියේ. එසේ තිබියදීත් තුනුරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇති රට්ඨපාල තරුණයා පැවිදි බිමට පත්වීමත් රහත් භාවයට පත්වීමත් ඉතා අගනා සිදු වීමක්. මේ නිසා බුදුරදුන් භික්‍ෂු පිරිස් මධ්‍යයේදී ‘මාගේ ශ්‍රාවකයන් අතර රට්ඨපාල හිමියන් සැදැහැයෙන් පැවිදි වූවන් ගෙන් අග්‍ර යැ’යි ප්‍රකාශ කර වදාළා.


බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු - රාහුල මහාශ්‍රාවකයන් වහන්සේ
 

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]