කඨින චීවරයක් ලැබීම තුළින් භික්ෂූන් වහන්සේ නමකට
සුවිශේෂ වගකීම් භාරයක් පැවරෙන බව සහ වරප්‍රසාද ලාභයක් ද සිදු වන බව
කඨිනානිශංස දේශනවලට සවන් දී පුරුදු
බෞද්ධයෝ දනිති. එමෙන් ම එයට සහභාගී වන්නන්ට ද
අසාමාන්‍ය කුසල සම්භාරයකට හිමිකම් කියන්නට හැකි වන බව ද නොරහසකි. මේ
සියලු වැදගත්කම් කේන්ද්‍රණය වන්නේ
සිවුර වෙතය. භික්ෂූන් වහන්සේගේ සාමාන්‍ය වස්ත්‍රය වූ
චීවරය විෂයෙහි මෙවන්
උත්කර්ෂණයක් සඳහා ඇති යුක්තිය කුමක්දැයි කෙනකුට විමතියක් ඇතිවන්නට ඉඩ
නැත්තේ නොවේ. එහෙයින් කඨින පූජා මාසය සිවුරෙහි වැදගත්කම
පිළිබඳ සිතා බලන්නට සුදුසු අවධියක් සේ පෙනී යයි.
මහාචාර්ය
චන්දිම විජේබණ්ඩාර
සෑම වසරක ම වප් පොහොය උදා වූ දිනයේ පටන් ඉල් පොහොය ඉකුත් වන දවස දක්වා
ගිහි බෞද්ධයනට කාර්ය බහුල සමයක් වෙයි. ලොව පුරා බෞද්ධ විහාරස්ථානවල
දායක පිරිස් මේ මාසයේදී විශේෂ අවධානය යොමු කරන්නේ කඨින පූජෝත්සවය
පිළිබඳය. බුරුමය, තායිලන්තය, කාම්බෝජය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි
පෙරදිග රටවල මෙන් ම අමෙරිකාව, එංගලන්තය සහ ප්‍රංශය වැනි බටහිර රටවල ද
මේ දිනවල චීවර පූජා උද්දාමය දැල්වෙමින් පවතියි. කඨින පූජෝත්සවය සඳහා
දිනය වෙන් කරගත් මොහොතේ පටන් මහත් උද්‍යෝගයකින් පිබිදෙන දායක සභාව
ප්‍රමුඛ ප්‍රදේශවාසීන් එකාවන්ව වෙහෙසෙන්නේ අතීතයේ දී රජ දරුවන්
මැදිහත්ව පැවැත්වූ මේ පුණ්‍ය මහෝත්සවය උත්කෘෂ්ට ආකාරයෙන් පැවැත්වීම
සඳහාය.
තම විහාරස්ථානයේ වස් විසූ හිමිවරුන් වෙනුවෙන් කෘතවේදිත්වය පළ කරන
අවස්ථාවක් ලෙස සාමාන්‍යයෙන් පෙනී ගිය ද මෙම චීවර පූජාවෙහි එයින් බොහෝ
ඔබ්බට විහිදෙන වැදගත්කමක් පවතින බව කිව යුතුය. ආරාමීය හිමිවරුන් පෙරවස්
සමාදන්ව අතරමඟ වස්සජ්ඡේදනය කර නොගෙන පවාරණ සංඝ කර්මය නිම කිරීම මගින්
කඨින පූජාවට අවස්ථාව පාදා දෙන බව සැබෑවකි. එම කරුණු සම්පූර්ණ නොවූයේ
නම් එම විහාරස්ථානයේ කඨින පූජාවකට අවස්ථාවක් තවත් වසරක් යනතුරු ලබා
ගන්නට බැරි වන බව ද සැබෑය.
ඒ කෙසේ වුව ද මෙය අපේ සංස්කෘතියේ ජීවගුණය දෙදහස් වසරකට වැඩි කලක් අප
වෙනුවෙන් රැක බලා ගත්, ඉදිරියටත් එම උරුමය රකින්නට උරදී සිටින අනූපම
ආගමික සංස්කෘතික නායකත්වය විෂයෙහි ජාතියේ ගෞරවෝපහාරය උත්කර්ෂවත් ලෙස
ප්‍රකට කරන අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය.
ගිහි සමාජයේ ඉපිද මවුපිය නෑදෑ හිතවතුන් සියල්ලන්ගෙන් වෙන්ව නන්නාඳුනන
සමාජයක් වෙත පිවිසෙන භික්ෂු නමකගේ ජීවිතය සහමුලින්ම අනුන් ගේ යහපත
වෙනුවෙන් ම කැප කරන ලද්දකි. ගිහි ජීවිතයෙහි විඳ ගත හැකි බොහෝ ආස්වාදයන්
අතහැර දමා පැවිදි ජීවිතයට එක් වන්නේ හුදෙක් තමන්ගේ සසර දුක් නිවා
ගැනීමට පමණක් නොවේ. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මානව ප්‍රජාවට දායාද
කරන ලද දාර්ශනික වශයෙන් ප්‍රබුද්ධ, ආගමික වශයෙන් තෘප්තිකර ඥාන සම්භාරය
පරපුරෙන් පරපුරට රැක දීමේ සද්කාර්යයට ද කැප වනු පිණිසය. තමන්ගේ දුක -
සැප බලා ගන්නා දායක පිරිස වෙනුවෙන් ධර්ම දානයෙන් මෙන් ම අධ්‍යාත්ම සුවය
පාදා දීමෙන් ද අනුග්‍රහ කරනු සඳහාය. උන් වහන්සේ සියලු දුක් දොම්නස්
සතුටෙන් විඳ ගනිමින් ගමේ පන්සල ගොඩ නඟන්නේ තම නෑදෑයනට නොව පොදු ජනතාවගේ
ආගමික අවශ්‍යතා ඉටු කරනු පිණිසය. සැදැහැවතුන් පුදන ශත පහ වුව ද වැය
කරන්නේ පරාර්ථය වෙනුවෙනි. පැය විසිහතර පුරා ගිහියන් දහම් දැනුමෙන් සරු
කර පිළිවෙත් මඟෙහි යොමු කරවන්නට වෙහෙසෙන උන් වහන්සේ නොවන්නට පාලි
භාෂාව, බෞද්ධ දර්ශනය පමණක් නොව සිංහල භාෂාව සහ කලා ශිල්පද බොහෝ කලකට
පෙර ම විනාශයට පත්වන්නට ඉඩ තිබිණ.
ආයුර්වේදය සහ ඡ්‍යොතිෂය වැනි සම්භාව්‍ය ශාස්ත්‍රයනගේ ප්‍රගමනය අරභයා ද
සඟරුවනින් ලද අනුග්‍රහය අසීමිතය. අපේ දරුවනට නොමිලයේ යමක් ඉගෙන ගන්නට
ලැබෙන එක ම තැන මෙන් ම තමන් ළමයින් බව තේරුම් ගන්නට ඉඩ ලැබෙන එකම තැන ද
වූ දහම් පාසල උන් වහන්සේගේ සමාජයීය කැපවීම මනාව පෙන්වන ආයතනයකි.
මේ හැම දෙයකට ම වඩා වැදගත් ගුණාංගයක් ලෙස මා දකින්නේ සඟරුවන වෙතින්
උද්දීප්ත වන මුදිතා ගුණයයි. ගිහියනට තම දියුණුව විෂයෙහි කිසිසේත්
ඊර්ෂ්‍යා නොකරන කල්‍යාණ මිත්‍රයන් ලෙස නොපැකිල පිළිගත හැක්කේ භික්ෂූන්
වහන්සේ වීම කෙතරම් සුවදායී හැඟීමක් ද? තම දායකයන් ගුණ ධර්මයන්ගෙන්,
දැනුමෙන්, නුවණින් මෙන්ම ආර්ථික ශක්තියෙන් සහ දේශපාලන බලයෙන් ද වැඩෙනු
දැක්ම භික්ෂු නමකට මුදිතාව පිණිස මිස ඊර්ෂ්‍යාවට හේතු නොවේ. එහෙයින්
වසරකට වරක් උන්වහන්සේ වෙත අප සිත් තුළ ඇති කෘතවේදී හැඟීම්
උත්සවාකාරයෙන් ප්‍රකට කරන්නට මෙම චීවර මාසය උපයෝගී කර ගනිමු. කඨින
චීවරයක් ලැබීම තුළින් භික්ෂූන් වහන්සේ නමකට සුවිශේෂ වගකීම් භාරයක්
පැවරෙන බව සහ වරප්‍රසාද ලාභයක් ද සිදු වන බව කඨිනානිශංස දේශනවලට සවන්
දී පුරුදු බෞද්ධයෝ දනිති. එමෙන් ම එයට සහභාගී වන්නන්ට ද අසාමාන්‍ය කුසල
සම්භාරයකට හිමිකම් කියන්නට හැකි වන බව ද නොරහසකි. මේ සියලු වැදගත්කම්
කේන්ද්‍රණය වන්නේ සිවුර වෙතය. භික්ෂූන් වහන්සේගේ සාමාන්‍ය වස්ත්‍රය වූ
චීවරය විෂයෙහි මෙවන් උත්කර්ෂණයක් සඳහා ඇති යුක්තිය කුමක්දැයි කෙනකුට
විමතියක් ඇතිවන්නට ඉඩ නැත්තේ නොවේ. එහෙයින් කඨින පූජා මාසය සිවුරෙහි
වැදගත්කම පිළිබඳ සිතා බලන්නට සුදුසු අවධියක් සේ පෙනී යයි.
සිවුර ඇඳුම් අතර අත්‍යන්තයෙන් ම විශේෂ වූ වස්ත්‍රයක් බව ඒකාන්තයෙන් ම
තහවුරු කළ හැක්කකි. අනිකුත් සියලු වස්ත්‍රාභරණ කාලයත් සමග යල් පැන
යද්දී වසර දෙදහස් පන්සිය පනහකටත් වැඩි කලක් නොවෙනස්ව කවර රාජකීය
මහෝත්සවයකට වුව ද උචිත විනීත සහ ප්‍රසන්න ඇඳුමක් සේ සිවුර දිගට ම
පිළිගැනෙයි.
තායි ආරණ්‍යවාසී පරපුරේ හිමිනමක වූ ආචාර්ය බ්‍රහ්මාලි සමිඳුන් තම
අත්දැකීමක් මෙසේ පවසා ඇත. ‘ වසර කිහිපයකට පෙර මම මගේ පැරැණි සරසවි
මිතුරකු හමුවූ අවස්ථාවේ මා සිවුරෙන් සැරැසී සිටිනු දැකීම ඔහුට නුහුරු
බව සිතා ඒ ගැන පැහැදිලි කරන්නට වෑයම් කළෙමි. එහෙත් මිතුරාගේ ප්‍රතිචාරය
මා විමතියට පත් කළේය. බුද්ධ චීවරය ‘කීර්ති ලාංඡන අතර සුරංගනා කතාවක්’
(ජ්චඪපරබචතඥ ඪද ඡපචදඤඪදඨ) වැනි යයි පැවසූ හෙතෙම සිවුරෙහි ඇති සුවිශේෂ
පෙනුම මෙන් ම ඒ කෙරෙහි ජනතාව තුළ ඇති ප්‍රබල විශ්වාසය දුර්ලභ ගණයේ
කීර්ති නාමයක් බවත් ඕනෑම ව්‍යාපාරිකයකු එවන් කීර්ති නාමයක් හෝ සංකේතයක්
වෙනුවෙන් ඉතා ඉහළ මිලක් ගෙවන්නට කැමැති වන බවත් ප්‍රකාශ කළේය. එදා පටන්
මම මගේ සිවුර පිළිබඳ අලුතෙන් සිතන්නට පටන් ගතිමි. බෞද්ධ ඉගැන්වීම්වල
අනර්ඝතාව සන්නිවේදනය කිරීමේ ලා සිවුර උපකාරී වන බව මෙන් ම අපේ මේ
අසාමාන්‍ය පෙනුම බුදුදහමේ සුන්දර ඉගැන්වීම් බලගන්වන බව මට දැන්
විශ්වාසය.’
සිවුර මෙවන් සුන්දර ඇඳුමක් ලෙස සැලසුම් කරන ලද්දේ බුදුරදුන් විසින් මය.
ප්‍රියංකරත්වය විෂයෙහි සංවේදී මෙන් ම ප්‍රායෝගිකත්වය විෂයෙහි විචක්ෂණ
බුදුහිමියෝ චීවරයෙහි මෙම සැලැස්ම හඳුන්වා දුන්නේ මගධයෙහි කුඹුරුයායක්
අනුසාරයෙනි. සිවුරෙහි හැඩ රුව, ප්‍රමාණය මෙන් ම වර්ණය ද උන්වහන්සේගේ
උපදෙස් අනුව ම නිර්ණය විණි. එහි විශේෂත්වය වන්නේ සද්ධර්මය සර්ව සාධාරණ
වන්නා සේ ම චීවරය ද පුද්ගලයන්ගේ මිනුම් ලබාගෙන එක් එක් හිමි නමට වෙනම
මැසීමට අවශ්‍ය නොවන පොදු මිම්මක් ඇති, සෑම දේශගුණයකට ම ගැළැපෙන පරිදි
ඇඳගත හැකි, සරල චාම් එහෙත් ප්‍රියංකර චිත්තාකර්ෂණීය ඇඳුමක් වීමය. එමෙන්
ම එය කිසිම ගිහියකු විසින් අනුකරණය කරනු නොලැබේ. එය ගිහි ජීවන රටාවට
ප්‍රායෝගිකව නොගැළපෙතත් පැවිදි ජීවන රටාවට මනාව ගැළැපෙයි.
සිවුරක් තවදුරටත් ඇඳුමක් ලෙස භාවිත කළ නොහැකි තරමට පරණ වූ විට එය වෙනත්
විවිධ ආකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගත හැකි බව බුදු සමිඳුන් විසින් ම වදාරනු
ලැබ ඇත්තේ ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ ඓතිහාසික නිදර්ශනයක් සපයමින් බව ද
සිහියට ගැනීම වැදගත්ය.
ලෝක ඉතිහාසයෙහි මෙවන් අපූරු වස්ත්‍ර නිර්මාණයක් තවත් තිබේ ද? මෙතරම්
ගරු සම්මාන ලද, මෙවන් ජනතා විශ්වාසයක් දිනූ, ප්‍රබල ආකර්ෂණයක් ඇති නිල
ඇඳුමක් තවත් තිබේද යන්න මෙම චීවර මාසයේදී අපේ අවධානයට යොමු විය යුතුය.
එමෙන් ම එම අග්‍රගණ්‍ය වස්ත්‍රයේ අනන්‍යතාවට සහ අභිමානයට හානිකර කරුණු
වළකාලීමට ද සඟරුවන මෙන් ම රජය ද උත්සුක විය යුතු වෙයි. ඒ ගැන ද මේ
උතුම් පින්කම් සමයෙහි සිත් යොමු කිරීම සුදුසුය. |