කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත
අධ්‍යයන අංශයේ අංශාධිපති
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
නෑදෑකම ලේවලින් එන එකක් නොවෙයි. ඥාතිත්වය හෙවත් නෑදෑකම නමින් හඳුන්වන
කාරණාව පෙරදිග ලෝකයයි. අපරදිග ලෝකයයි දකින්නේ දෙආකාරයකටය. ඒක දෘෂ්ටියේ
වෙනසක් මිස නෑකමේ වෙනසක් නොවෙයි. දෘෂ්ටියේ වෙනස පැහැදිලි කරනව නම්,
යුරෝපයෙත් තියෙනවා. යුරෝපයෙන් අපට ආපු නෑකමෙත් ඒක තියෙනවා. ඒක තමයි
සහලේ නෑකම හා නීතියෙන් වන නෑකම.
ලේවලින් වන නෑකමට වඩා නීතියෙන් වන නෑකම වෙනස්. අම්මගෙන් තාත්තාගෙන්
පුතෙක්, දුවෙක් බිහිවීම ලේ නෑකම සහෝදරයින්, අම්ම, තාත්ත, දරුවන් ලේ
නෑයෝ වෙනවා. භාර්යාව ලේ නෑයෙක් නොවෙයි. නීතියෙන් නෑයෙක් වනවා. ස්වාමි
පුරුෂයා ලේ නෑදෑයෙක් නොවෙයි නීතිමය නෑයෙක් පමණයි. ඒක නිසාම නැන්දම්මා,
මාමණ්ඩි, නෑනා, මස්සිනා නීතිමය නෑයෙක් වෙනවා. අපරදිග මෙය පැහැදිලි
වෙන්නේ Father (තාත්තා)
Mother (අම්මා) Son (පුතා)
Daughter (දුව)
වශයෙන්. මේවා පොඩි වෙනසක් කරමින් Father in law
(මාමන්ඩි) Monther in law (නැන්දම්මා)
Borther in law (මස්සිනා)
Sister in law (නෑනා) වශයෙන්
හඳුන්වනවා. Brother in law යනු නීතියෙන් සහෝදරයා
Brother in Sister
නීතියෙන් සහෝදරිය Brother in Father නීතියෙන් තාත්තා
Brother in Mother නීතියෙන් අම්මාය. නීතියෙන් අම්මෙක් වෙන්න පුළුවන්ද? නීතියෙන්
තාත්තෙක් වෙන්න පුළුවන්ද? නීතියෙන් සහෝදරයෙක් හෝ නීතියෙන් සහෝදරියක්
වෙන්න පුළුවන්ද? බටහිර ලෝකයට අනුව නීතියෙන් අම්ම කෙනෙක් නීතියෙන්
තාත්තා කෙනෙක් විය හැකි. නමුත් ශ්‍රී ලංකාවට සංගතව ගත්විට අපි නෑනා,
මස්සිනා, නැන්දම්මා, මාමණ්ඩි, ලේලි කියන වචන පාවිච්චි කළා. තාත්තා
තමන්ගෙම තාත්තා, ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ තාත්තා මාමණ්ඩි වුණා.
මාමා යනු අම්මාගේ සහෝදරයායි බාප්පා යනු තාත්තාගේ සහෝදරයායි නීතියෙන්
බාප්ප වෙන්නෙත් නැහැ. නීතියෙන් නැන්ද වෙන්නෙත් නැහැ. නීතියෙන්
නැන්දම්මා, මාමණ්ඩි වෙනවා. අප ඥාතිත්ව නාමයන් හඳුනාගෙන තියෙන්නේ ලේ
නෑකමට වඩා වෙනස් ආකාරයකට ඉංගී‍්‍රසියෙන් තාත්තට
Father කියනවා. අනෙක්
කෙනාට Father in law කියනවා. අපට නීතියෙන් තාත්තෙක් සහ නීතියෙන්
අම්මෙක් නැහැ. එය ශ්‍රී ලාංකික ඥාතිත්වයයි. නීතියෙන් සහෝදරයො අපි ළඟ
නැහැ. නමුත් මස්සිනාල ඉන්නවා. නීතියෙන් සහෝදරියො නැහැ. නමුත් නෑනල
ඉන්නවා. තමන්ගෙ පුතා බැඳපු ඇය අපට යෙහෙළියක් වෙනවා. ඒ යෙහෙළි යේලි වෙලා
ලේලි වෙනවා. ශ්‍රී ලංකාවේ නෑදැකමයි එංගලන්තයේ නෑදෑකමයි යන ඥාතිත්ව
ධර්මතා අතර විශාල වෙනසක් තියෙනවා. අද වන විට ධවල ධර්මචාරීන්ගේ තාත්තලගෙ
තාත්තලකම් නැහැ. අම්මලගේ අම්මලකම් නැහැ. ඒ හින්දම දරුවන්ගේ දරුකම් නෑ.
අපේ මෙම තත්ත්වය වෙනස් වෙමින් හෝ ටිකක් ආරක්‍ෂා වෙලා තියෙනවා. ඒ
තත්ත්වය ආරක්‍ෂා වෙලා තියෙන්න හේතුවක් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ
නෑදෑකම සඳහා දීලා තියෙන නිර්වචනය.
බුදුරජාණන් වහන්සේ නෑදෑකම විග්‍රහ කරල තියෙන්නේ ‘විස්සාස පරමා ඥාති’
යනුවෙනි. විස්වසනීයකම තමයි නෑදෑකම. උත්පත්තියෙන් පැමිණ සහලේ සහෝදරියෝ
සහ උත්පත්තියෙන් පැමිණි සහලේ සහෝදරයා අපි ළඟ ඉන්නවා.ඒ වගේම නීතියෙන්
ආපු සහෝදරයා සහ නීතියෙන් ආපු සහෝදරියො ඉන්නවා. මේ දෙවර්ගයටම අමතරව
සහෝදරයෝ අප ළඟ ඉන්නව. අපිට සහෝදරයො වගේ හිතවත් අය කොච්චර ඉන්නවද?
රාජකාරී ස්ථානයේ, පාසල් කාලයේ දී, මිතුරු මිතුරියන් අතර කොච්චර නම්
සහෝදරත්වය පිරිච්ච අය ඉන්නවද? ඒ අය මිතුරන් මිතුරියන් නොවෙයි. සහෝදරයන්
සහෝදරියන්ම තමයි. සමහර වෙලාවට එක බඩවැල කඩාගෙන ආපු සහලේ සහෝදරයාට වඩා
සහෝදරකම් තියෙන අය අපට හමුවෙනවා. සහලේ ඥාතිත්වයෙන් සහෝදරියට වඩා හොඳ
සහෝදරියන් අපට හමුවෙලා තියෙනවා. උපතින්ම අම්මට වඩා ආදරය කරන අම්මල අපට
හමුවෙනවා. උපතින්ම තාත්තට වඩා ආදරය කරන තාත්තල අපට හමුවෙනවා. කොතරම්
දයාබර අම්මල, දයාබර තාත්තල අපට හමුවෙනවද? ලෙහිදා උපන් අපේම දරුවන්ට වඩා
අපි ආදරය කරන දරුවො ඉන්නවා.
මෙම නෑදෑකම සහලේ ඥාතිත්වයක් හා නීතිමය ඥාතිත්වයක් නොවේ. වෙන ඥාතිත්වයක්
අප ළඟ තියෙනවා. එහෙම තත්ත්වයක් යුරෝපියන්ට නොතිබුණ නිසා ඒ අයට සහෝදරවරු
නැහැ. සහෝදරියෝ නැහැ. විශ්වාසය පදනම් කරගත් සහෝදරත්වය මිත්‍රයන් අතර
තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන් සහෝදරයන් අතර තිබෙන්නත්
පුළුවන්. සහෝදරියන් අතර නොතිබෙන්නත් පුළුවනි. එක කුස උපන් සමහර සහෝදරයො
ඉන්නව එකිනෙකාගෙ මුහුණ බලන්නෙවත් නැහැ. නමුත් සහෝදරකම තියෙනවා. සමහර අය
ඉන්නව එක කුස ඉපදිලා නමුත් සහෝදරකම නැහැ. එකම කුසක කාල දෙකකදී ඉපදීම
නිසා මිනිසුන් අතර සම්බන්ධයක් ඇතිවෙන්නම අවශ්‍ය නැහැ. එක කුසකින් එක
පුද්ගලයකු බිහිවුණාට පසුව එම කුසින්ම තවත් අයෙකු බිහිවීම යනු සාමාන්‍ය
සංසිද්ධියක්. මේ දෙන්නා අතර ඇතිවෙන්නේ කුසේ හිටපු කම විතරක් නම් එයට
කිව යුත්තේ සහෝදරකම නොව කායික සම්බන්ධයකි. මේ දෙන්නා අතර සහෝදරකම කියන
දෙය තිබිය යුතුයි. එක ගෙයක පුද්ගලයෙක් කුලියට හිටියට ඔහු ඉන් ගියාට පසු
තවත් පුද්ගලයෙක් එම නිවසට කුලියට සිටියාට මේ දෙදෙනා අතර සම්බන්ධයක්
තිබිය නොහැකි, නමුත් මේ දෙන්නා මිත්‍රයන් විය හැකියි. එක කුසේ නූපන්
සහෝදරයො ඉන්න පුළුවන්. එක කුසේ නූපන් සහෝදරියො ඉන්න පුළුවන්. තමන්ට දාව
නූපන් දූ පුතුන් ඉන්න පුළුවන්. එය බුදුරජාණන් වහන්සේගේ දැක්මයි.
“විස්සාස පරමා ඥාති” නෑදෑකමට එය ට වඩා නිර්වචනයක් දිය නොහැකියි.
බර්ටෝල් බ්‍රෙෂ්ට් නම් ජර්මානු ජාතික නාට්‍යකරුවා රචනා කොට හෙන්රි
ජයසේනයන් විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබූ හුණුවටයේ කතාව සහ ඉන් පෙර
දිනක උම්මග්ග ජාතකයේ ආ පුත්‍ර ප්‍රශ්නය යන දෙකේම නෑදෑකම විග්‍රහ කරනවා.
නටාලියා බිසව යනු වැදූ මවයි. ගෲෂා මෙහෙකාරිය යනු හැදූ මවයි. මයිකල්
කුමාරයාට අයිතිවාසිකම් කීම සඳහා නටාලියාත් ගෲෂාත් දෙදෙනාම
ඉදිරිපත්වෙනවා. නටාලියා කැරැල්ල වෙලාවේදී මාලිගයෙන් පැන යන්නේ ඇය සතු
සියලු වස්තුව අරගෙන සපත්තු කුට්ටම් වෙනමම අශ්ව කරත්තයකින් රැගෙන යනවා.
රන් රිදී මුතු මැණික් රැගෙන පලා ගියත් ඇයට දරුවා රැගෙන යාමට අමතක
වෙනවා. දරුවා පමණක් අරගෙන පලා යන්නේ දරුවාට කිරි කඳුලක් දී ගන්නවත් අතේ
සතයක් නැති මෙහෙකාරිය වන ගෲෂායි. අසඩක් නම් අසම්මත විනිශ්චයකාරයා
තීන්දුව දෙනු ලබන්නේ මවිකම සහ මව්වත්කම දෙස බලමිනි. මවක් වෙනවාය යනු
කායික ක්‍රියාවලියක් නම්, මව්වත් වීම කායික ක්‍රියාවලියක් නොවෙයි. ඕනෑම
නිරෝගී ගැහැනු කුසක් තුළ දරු ගැබක් පිහිටන්න පුළුවන්. එය අස්වාභාවික
දෙයක් නොවෙයි. එසේ වූ පමණින්ම ඇය මවක් වන්නේ නැත. දරුවන් බිහිකළාට පසු
දරුවා කසල ගොඩට දමන මව්වරු ඇත. ඇය මවක් වූවත් මව්වත්කම නැත. මව් වර්ග
දෙකක් ඇත. ශරීරයෙන් මවි සහ මවි වත්කමෙන් මව් වශයෙන්. ශරීරයෙන් මව් වූ
තැනැත්තියට මව්වත්කම තිබිය හැකියි. වැඩි වශයෙන් අප ළඟ ඉන්නේ මවිවත්කම
ඇති මව්වරුය. සමහර තාත්තල ශාරීරික පියකමයි පියවත්කමයි දෙකම තියෙනවා.
තාත්තෙක් වෙනවාය යනු ශාරීරික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. සමහරු එසේ වූ
විට බියට පත්වෙනවා. සමහර විට අකමැතිත්වෙන අවස්ථා තියෙනවා. පියෙක් යනු
පියවත්කම තිබිය යුතුයි. දරුවන් නොලබන අය තුළ දරුවන් නොබලාම මනස ඇතුලේ
පියවත්කම මෝරන්න හැකියාව තියෙනවා. දරුවන් නොලබා අම්මා කෙනෙක් වීමේ
හැකියාව තියෙනවා. දරුවන් නොලබා තාත්තා කෙනෙක් වීමේ හැකියාව තියෙනවා. එය
පියවත්කමයි. මව්වත්කමයි වේ. සහෝදරකමත් ඒ හා සමානයි. එම නිසා ලේ නෑදෑකම
එතරම් ලොකු නෑදෑකමක් හැටියට බෞද්ධයන් සලකන්නේ නැහැ. නීත්‍යානුකූල
ඥාතිත්වයත් එතරම් අගය කරන්නේ නැහැ. බෞද්ධයාගේ ඇගයීම විය යුත්තේ ඉතාම
පැහැදිලි ලෙස විස්සාස පරමා ඥාති කියන ධර්මතාවය මතයි.
සටහන
හේමමාලා රන්දුනු |