ලොව ඉහළම
පෞරුෂය
පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
මේ ලිපියේ මුල් කොටස ‘උසස් පෞරුෂයකට
බුද්ධචරිතයෙන් ආදර්ශ’ මැයෙන්
සැප්තැම්බර් 29 වැනිදා පත්‍රයේ පළ විය.
ආමිෂයට වඩා ප්‍රතිපත්තියට මුල් තැනක් දෙමින් සත්‍යගරුක බවෙහි අගය මනාව
වටහා දෙමින් සිය ශ්‍රාවක සමූහයා අන්ධ විශ්වාසය වෙත නොව නිවැරැදි දැක්ම
කරා යොමු කරමින් දහමින් සැනසුම ගෙන ඒමට උන්වහන්සේ සමත් වූ සේක. කාලාම
සූත්‍රය මීට කදිම නිදසුනකි. කාලාමයන් වෙත උන්වහන්සේ කළ දේශනයට අනුව,
අන්ධානුකරණයට වඩා ප්‍රත්‍යක්ෂයේ ඇති වැදගත්කම ප්‍රදර්ශනය වන අතර ඒ
තුළින් ජනතාවට සත්‍ය ගරුකත්වය හා නිවැරැදි දැක්ම ඇති කරගත යුතු අයුරු
පසක් කොට දී ඇත.
උපාලි හා සීහ වැනි පුද්ගලයන් බුදුරදුන්ගෙන් දහම් අසා පැහැද සසුන්ගත
වීමට අයැද සිටි අවස්ථාවේ කලබලනොවී සිතා බලා කටයුතු කළ යුතුය යන අදහස
උන්වහන්සේ ඔවුනට ලබාදුන්නේ ප්‍රත්‍යක්ෂයේ ඇති වැදගත්කම අවබෝධ කරවමිනි.
උදුම්බරික හා සීහනාද සූත්‍ර ද මීට කදිම නිදසුනකි. එහිදී උන්වහන්සේ මෙසේ
දේශනා කළ සේක. නිග්‍රෝධය , මා වරදවා තේරුම් නොගන්න. මා ධර්මය දේශනා කළේ
ඔබ මගේ ශිෂ්‍යයකු කර ගැනීමට නොවේ, ඔබගේ ගුරුතුමා තවදුරටත් ඔබගේ
ගුරුතුමාම වේවා, කුසල් අකුසල් යන මේ කරුණු සම්බන්ධයෙන් ඔබ විවේචනය
කරන්නට හෝ අපේ පක්ෂයට හරවා ගැනීමට මට වුවමනාවක් නොමැත, ඒ සියල්ල ඔය
විධියට තිබේවා යනුවෙනි. මෙහිදී පුද්ගල චින්තනයට නිදහස දෙමින් තමා කළ
යුත්ත නොකළ යුත්ත ගැන එම පුද්ගලයාටම තීරණය කිරීමට අවස්ථාව සලසා දෙමින්
ප්‍රත්‍යක්ෂ ඥානයේ ඇති වැදගත් කම අවබෝධ කොට දුන් අතරම මතවාදිව ඇතිවන
ගැටුම් අවම කිරීමට කටයුතු කර ඇති ආකාරය ද ආදර්ශමත්ය. බුදුරදුන් සිය දහම
සත්වයාට අවබෝධ කරවීමට නිරතුරුවම උත්සාහ කළ සේක. (බුද්ධෝ සො භගවා බොධාය
ධම්මං දෙසෙති)
කුලයට බලයට ගැති නොවී පුද්ගල හැකියාවට මුල් තැනක් ලබාදීමට උන්වහන්සේ
සෑම විටෙකම කටයුතු කළ සේක. උපත පුද්ගල චරිතයක උස් පහත් බව නිර්ණය
කිරීමට බමුණන් ඉදිරිපත් කළ සාධකය වුවත් එය සම්පූර්ණයෙන් බැහැර කළ
උන්වහන්සේ පුද්ගලයා සතුවන හැකියාව හා ගුණගරුකත්වයෙන් ඔහුගේ උස් පහත් බව
තීරණය වන බව ලොවට පෙන්වා වදාළහ.
අග්ගිකභාරද්වාජ බමුණා වසලයා යැයි බුදුන් අමතන විට වසලයා යනු කවරකුද
යන්න වටහා දෙමින් වසලයකු වන්නේ කවර චරිතාංග ඇති පුද්ගලයන් ද යන්න පහදා
දුන් සේක. වසලයා යනු සමාජගත පහත් උපතක් ඇත්තාය යන ආකල්පය සමාජයෙන්
බැහැර කරලීමට කටයුතු කළ සේක. උපතින් පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු
නොවන බව පෙන්වා වදාළ බුදුරදුන් ක්‍රියාව මත පුද්ගලයකු වසලයකු හෝ
බ්‍රාහ්මණයකු වන බවත් පෙන්වා වදාළහ. (කම්මනා වසලොහොති කම්මනා හොති
බ්‍රාහ්මණො) පුද්ගලයන් ඇති කොට ගෙන තිබූ ජාති මානය බිඳ හරිමින් සත්‍යයේ
මාවත විවර කළ අවස්ථාවක් වාසෙට්ඨ සූත්‍රයෙන් ද පෙන්නුම් කරයි.
බුද්ධචරිතයෙන් ඉස්මතු වූ යථාවාදි තථාකාරි ගුණය ද පුද්ගල පෞරුෂය හා
සම්බන්ධ වැදගත් ගුණාංගයකි. යම් සේ කියන්නේ ද එසේම කිරීම පුද්ගල
විශ්වසනීයත්වය තීව්‍ර කරයි. බුදුරදුන්ගේ දේශනා හා උන්වහන්සේගේ
ක්‍රියාකාරිත්වය මීට කදිම නිදසුනකි.දේශනා කළ දහමට අනුව උන්වහන්සේ ද සිය
පැවැත්ම හා ක්‍රියාකාරිත්වය සකසාගත් සේක. ඇතැම් ඉගැන්වීම් හා න්‍යායන්ට
අනුව දේශනය හා ක්‍රියාකාරිත්වය අතර පරස්පර බවක් තිබූ බව පැහැදිලිය.
බ්‍රාහ්මණ ආගම මීට නිදසුනකි. බමුණන්ගේ ඉගැන්වීම හා හැසිරීම අතර වෙනසක්
දැකිය හැකිවිය. එහෙත් බුදුරදුන් දෙසූ දහම ඒ අයුරින් ක්‍රියාවට නැඟුවා
පමණක් නොව මහා කාරුණිකව සිය ශ්‍රාවක පිරිස ද නිවැරැදි මෙඟහි යෙදවීමට
කටයුතු කළ සේක.
බුදුසිරිත තුළ වඩාත් ඉස්මතු වන තවත් ගුණාංගයක් ලෙස ඉවසීමේ ගුණය පෙන්විය
හැකිය. ‘ඛන්තිපරමං තපොතිතික්ඛා ‘ යනුවෙන් ඉවසීම වනාහි උතුම්ම තවුස්දම
යැයි පෙන්වා දී ඇත. ඉවසීම උන්වහන්සේ පාරමි ධර්මයක් ලෙසින් සසර පුරාම
වර්ධනය කළ ආකාරය බෝසත් සිරිතෙන් ආදර්ශ ලෙස ලෝකයාට පෙන්වා වදාළහ.අක්කෝස
භාරද්වාජ සූත්‍රය බුදුරදුන්ගේ ඉවසීමේ ගුණය ඉස්මතු කෙරෙන සුත්‍ර
දේශනයකි. අක්කෝස භාරද්වාජ බමුණූ තෙමේ බුදුරදුන් ඉදිරියට පැමිණ ඉතා
නිර්දය ලෙසින් උන්වහන්සේ විවේචනයට බඳුන් කරමින් දෝෂාරෝපණය කරයි. සියල්ල
සාවධානව අසා සිටින බුදුහිමියෝ බමුණාගේ දැඩිබව අවම වූ අවස්ථාවෙ ඉතා
ශාන්ත ස්වරූපයෙන් මෙසේ විචාළහ. ‘බ්‍රාහ්මණය,ඔබේ නිවෙසට යම් නැදෑ හිත
මිත්‍රයන් පැමිණෙන්නේ ද?’ එවිට බමුණා නොයෙක් විට එසේ පැමිණෙන බව
ප්‍රකාශ කළෙන්, එසේ නම් යම් දිනෙක එබඳු නෑයන් සඳහා ආහාර වේලක් සඳහා
ආරාධනය කර ඔවුන් නොපැමිණිය හොත් කුමක් කරන්නේ දැ’යි නැවත බුදුරදුන්
විසින් ඔහුගෙන් විචාරණ ලදී. ඒවා තමන් භුක්ති විඳිනබව බමුණා ප්‍රකාශ
කළේය. ‘එසේ නම් බමුණ, ඔබ විසින් මට බැණුම් සංග්‍රහයක් කරන ලදී. මම ඒවා
එකක්වත් භාර නොගනිමි. ඔබ ම ඒවා ආපසු භාර ගන්න යැ’යි උන්වහන්සේ වදාළහ.
එවිට බමුණාට තමා කළ වැරැද්දේ බරපතළ කම අවබෝධ විය. ඔහු මහත් ලජ්ජාවට ද
කම්පනයට ද පත්විය. බුදුරදුන් ඉවසීමෙන් හා ශාන්තව කළ එම ප්‍රකාශය
බමුණාගේ මානය නැති කිරීමට මෙන්ම ඉවසීම ගැන ධර්මාන්විත පාඩමක් කියාදීමටද
සමත්විය. එමෙන්ම තෙරුවන් සරණගිය උපසකයකු වීමේ වරම ද අක්කෝස භාරද්වාජ
බමුණාට හිමි විය.
ආලවක සුත්‍රයේ ද මෙබඳුම වූ අවස්ථාවක් නිරූපිතය. මහත් බලයක් ආරෝපණය
කරගෙන සිටි ආලවක යක්ෂයාගේ භවනට වැඩම කරන බුදුරදුන් ඉවසීමේ ගුණයෙන් ඔහු
දමනය කළ ආකාරය මහත් ආශ්චර්යජනකය. සිය භවනයෙන් පිටවීමට සිවුවරක්ම ආලවක
යක්ෂයා කියූ අවස්ථාවේ උන්වහන්සේ ශාන්ත ගමනින් පිටවීමට සැරසිණි. ඒ හැම
වාරයකදීම ඇතුළුවීමට ද අණ කරමින් බුදුරදුන් වෙහෙසට පත්කිරීමේ අරමුණෙන්
යක්ෂයා කටයුතු කළ ද උන්වහන්සේ ශාන්තව සියල්ල ඉවසා වදාළහ. ඉන් යම්
ප්‍රමාණයකට දැමුණූ යක්ෂයා බුදුන්ගෙන් ප්‍රශ්න අසා වෙහෙසට පත් කිරීමට
සිතා අසන ලද ප්‍රශ්නයන්ට ද ශාන්තව හා ඉවසීමෙන් පිළිතුරු දුන් සේක. එම
පිළිතුරුවලින් සෑහීමට පත්වූ ආලවක යක්ෂ තෙමේ අවසානයේ බුද්ධ ශ්‍රාවකයකු
බවට පත්විය. මෙහිදී බුද්ධචරිතයෙන් ලැබුණූ ආදර්ශයක් වූයේ ඉවසීම තුළින්
අපේක්ෂිත සද්අරමුණු ඉටුකර ගත හැකි බවය. සමාජයේ කටයුතු කිරීමේ දී විවිධ
තරාතිරම්වල පුද්ගලයන් මුණගැසේ. විවිධ අදහස් හා මත දරන පුද්ගලයන්ගේ හඬට
කන් දීමට සිදුවේ. එවැනි අවස්ථාවල තමා සංවරව හා ඉවසීමෙන් කටයුතු කළ
යුත්තේ කෙසේ ද යන්න හා තම යහඅරමුණු වෙත එබඳු පුද්ගලයන් නතු කර ගන්නේ
කෙසේද යන්න වටහා ගැනීමට බුදුන් වහන්සේ ලබාදුන් මේ ආදර්ශය මහත්
ප්‍රයෝජනවත්ය.
සත්වගට මාර්ගෝපදේශකයාණන් වූ බුදුරජාණන් වහන්සේ සිය අනුගාමික පිරිසට
නිවැරැදි නායකත්වයේ ඇති අගය මනාව වටහා දුන් සේක. දිනක් බුදුරදුන්ගේ
මහාපුරුෂ ලක්ෂණ දකින සේල, බමුණා උන්වහන්සේට සක්විති රජකු වීමේ වාසනාව
ඇති බව දැන ඒ ගැන උන්වහන්සේගෙන් විචාළේය. එවිට උන්වහන්සේ, බ්‍රාහ්මණය
මම රජෙක්මි, ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි, අන් කිසිවකුට පවත්වාගෙන යා
නොහැකි ධර්ම රාජ්‍යය මම පවත්වාගෙන යන්නෙමි යැයි වදාළ සේක. ධම්ම චේතිය
සූත්‍රයේ දී පසේනදි කොසොල් මහරජ බුදුරදුන්ට ප්‍රශංසා කරනුයේ මහා
සේනාවක් මධ්‍යයේ වුවද මහත් නිශ්ශබ්දතාවයකින් ශ්‍රාවක පිරිස පාලනය
කරමින් ධර්මදේශනා කරන ආකාරයේ අපුර්වත්වය ගැන හටගත් මහත් පැහැදීමෙනි.
එමෙන්ම උන්වහන්සේ තුළ පැවැති කාරුණිකත්වය, මෛත්‍රිය,අධිෂ්ඨානය, වීර්යය,
නිරාශාව, නිරහංකාරත්වය, යුක්තිසහගත බව හා අයුක්තිය හෙළා දැකීම වැනි
ගුණාංග උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය හා නායකත්වය ශෝභා සම්පන්න කළ අතර
ජනපි‍්‍රය බව ද ඒ පසුපස ඇදී ආවේය. කිසි දිනෙක නායකත්වයේ බලය පෙන්වීමට
සූදානම් නොවූ අතර සිය නායකත්වය අර්ථයෙන් ධර්මයෙන් සැමට සෙත සැලසීමට
යොදාගත් සේක. කිසිදු උස් පහත් භේදයක් හෝ ස්ත්‍රි, පුරුෂ, ළමා, තරුණ,
මහලු ආදි වශයෙන් භේදයක් නොතකා සැමට එක්වන්ව සමානාත්මතාවයකින් සලකමින්
දිය යුතු අවවාදය නිවැරැදි මොහොතේ ලබාදීමට උන්වහන්සේ නිරතුරුවම කටයුතු
කළ සේක. දිනක් තුඹසකට පිවිස සිටි ගැරඩියකු එළියට ගැනීමට ලී දඩුවලින්
අනිමින් සිටි දරු පිරිසක් වෙත වැඩම කළ බුදුරදුන් සෑම සත්වයකුම දඬුවමට
හා මරණයට බිය බවත් තමා උපමා කර ගනිමින් සතුන්ට හිරිහැර කිරීමෙන්
වැළැකිය යුතු බවත් පෙන්වා දුන් සේක.
වගකීම් සියල්ල සිය නායකත්වය මතම රඳවා ගැනීමට උන්වහන්සේ කටයුතු නොකළහ.
නිදහස ඉතා අගය කරමින් සිය ශ්‍රාවක පිරිසට ශාසනික කටයුතු ඉදිරියට
ගෙනයෑමට අදාළ නිදහස ලබාදීමට කටයුතු කළ සේක.
ඒ ඒ ජනපද හා ප්‍රදේශවල මහණ උපසම්පදාව පවත්වාගෙන යෑමට අදාළ උපදෙස්
ලබාදීම මීට නිදසුනකි. එමෙන්ම ශාසනයේ දක්ෂතා ඇති භික්ෂූන් භික්ෂුණින්ට
සහ උවැසු උවැසියන් හටද තනතුරු පිරිනමමින්, ක්‍රියා කළ අයුරු එතදග්ග
පාලියෙන් සනාථ වේ. සිය ශ්‍රාවක පිරිසගේ ගරුත්වය විශ්වාසනීයත්වය දිනා
ගනිමින් එම පිරිසට ආත්ම විශ්වාසයකින් සසුන තුළ කටයුතු කිරීමට ඉඩ හැරීම
ද සිදුවිය.
සසුනට එල්ලවන අපවාද හා චෝදනාවලින් සිය ශ්‍රාවක පිරිස් බේරා ගැනීමට
බුදුරදුන් පෞද්ගලිකවම මැදිහත්වීම තුළින් ද නායකත්වයේ එක් චරිතාංගයක්
ඉස්මතු වේ. පැවිදි දිවියට පත්වීමට පූර්ණයෙන් දරුගැබක් හට ගෙන තිබූ
කුමාර කාශ්‍යප මාතාව වෙත එල්ල වූ අභූත චෝදනාවන්ගෙන් ඇය නිදහස් වූයේ
බුදුරදුන්ගේ කාරුණික මැදිහත්වීම නිසාය. ඇතැම් භික්ෂූන් භික්ෂූනීන්ගේ
සමාජ අපවාදවලට ලක්විය හැකි ක්‍රියා හමුවේ අපක්ෂපාතීව අවවාද කරමින්
ඔවුන් ඉන් මුදවා සුමඟට ගෙන ඒමට ගත් ව්‍යායාමය බුදුහිමියන්ගේ නායකත්ව
ගුණය ප්‍රකට කරලන්නක් විය. නන්ද හා ඡන්න තෙරවරුන් සම්බන්ධයෙන් ක්‍රියා
කළ ආකාරය මීට නිදසුන්ය.
සමාජයක් තුළ කටයුතු කිරීමේදී ජනහඬට කන්දීමට ද සිදුවේ. සමාජය විසින්
දිගු කාලයක් මුළුල්ලේ ආරක්ෂා කරනලද සිරිත් විරිත් සම්ප්‍රදායනට
ගරුකිරීම හා පවත්වාගෙන යෑමද අපේක්‍ෂිත කරුණකි. බුදුරදුන් එම ජනමතයට
ගරුකළ ශාස්තෘන් වහන්සේ නමකි. භික්ෂූන් භික්ෂුනීන් සඳහා විනය ප්‍රඥප්ති
පැනවීමේ දී උන්වහන්සේ ජනමතයට ඉඩදුන් අවස්ථා ගණනාවක් ඇත. නිදසුන් ලෙස
වස් සමාදන්වීම දැක්විය හැකිය. වර්ෂා ඍතුවේ දී එක් ස්ථානයකට වී සිටීම
සඳහා එම විනය ශික්ෂාපද පනවා ඇත. වැසි සමයේ හට ගැනෙන නව තණපත් පාගා යෑම
භාරතීය සමාජය හෙළා දුටු කරුණකි. ඊට පිළියමක් ලෙසින් මෙම ප්‍රඥප්තිය
පණවා උන්වහන්සේ ජනමතයට ගරු කර තිබේ. එමෙන්ම මහාවග්ග පාලියට අනුව බොහෝ
විනය ශික්ෂාපද ජනතාවගේ ඉල්ලීම මත පනවා ඇත. අතිරේක චීවරයක් භික්ෂුවට
දැරීමට අවකාශ සැලසුණේ ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීමට බුදුරදුන් දක්වන ලද
ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් වශයෙනි.
මෙලෙසින් උසස් පුද්ගල පෞරුෂයක් ගොඩනඟා ගැනීමට අදාළවන ආදර්ශ රැසක්
බුදුසිරිත ඇසුරෙන් අපට හඳුනාගත හැකිය.බුදුරදුන් ආගමික නායකයකු මෙන්ම
සමාජ සංශෝධකයකු ලෙසින්ද කළ කටයුතු ඒ ලෙසින් ම අපට ද කළ හැකි වේද යන්න
ඇතැමකුට මතුවිය හැකි ගැටලුවකි. එය සැබෑවකි. උන්වහන්සේ ඒ ශක්තිය අත්පත්
කර ගත්තේ මහාපාරමී බල මහිමයෙනි. එනමුත් උන්වහන්සේ අනුගමනය කළ සරල විධි
ක්‍රම සෑම ජීවිතයකටම ප්‍රගුණකර ගත හැකි අන්දමට පෙන්වා දී ඇත.
කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, නිහතමානී බව,සත්‍යගරුක බව,
නිරහංකාරත්වය හා අපක්ෂපාතිබව, යුක්තිසහගත වීම සහ අකම්පිතබව වැනි පුද්ගල
පෞරුෂවර්ධනයට අදාළ අංග රැසක් බුදුසිරිතෙන් උකහාගෙන අපට ප්‍රායෝගිකව
ප්‍රගුණ කළ හැකිය. යමකු එම ගුණාංග මත පිහිටා කටයුතු කරයි නම් ඔහුගේ
පෞරුෂ ලක්ෂණ ක්‍රමයෙන් දියුණුවීම ද නොවැළැක්විය හැකිය.
අධිෂ්ඨානයත්, විශ්වාසනීයත්වයත්, චරිත පාරිශුද්ධියත් එක්තැන් කරමින් ලබන
ආධ්‍යාත්මික ශක්තිය පුද්ගල ක්‍රියාකාරිත්වය වඩාත් හරවත් හා ඵලදායි
තැනකට යොමු කරයි. එබඳු ශක්තිමත් ආධ්‍යාත්මයක් සහිත පුද්ගලයකු කොතැනක
සිටියත් තමන්ටත් සමාජයටත් මහත් යහපතක් සැනසිල්ලක් අත්කර දෙයි. |