හත්ථිකුච්ඡි මහා වෙහෙර අසිරිය
ජනක වෙත්තසිංහ කුරුණෑගල ගල්ගමුව හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ ගල්ගමුවෙන් හැරී
රාජාංගණ මාර්ගයේ කි.මී. 4.8 ක් පමණ ගමන් කිරීමෙන් බොහෝ සේ නිස්කාන්සු
වූ සිතට අපමණ සුවයක් ප්‍රදානය කරනා මනස්කාන්ත පරිසරයක පිහිටි ඓතිහාසික
රාජාංගණයේ හත්තිකුච්ඡි නම් වූ වන සෙනසුන වෙත ලඟා විය හැකිය.
අක්කර 300 ක පමණ පුළුල් වපසරියක විසිරී පැතිරී ඇති නටබුන් මතින් මෙහි
වන ඓතිහාසික මෙන්ම ආගමික වටිනාකම මැනවින් හඳුනා ගැනීමට පුළුවන.
‘විසුද්ධිමග්ග පඨවි කසිණ නිද්දේස’ යේ සඳහන් වන්නේ ප්‍රාර්ථනීය වූද, ලෝක
පූජිත වූද, පොදු ජනතාවගේ අසීමිත ගෞරවාදරයට භාජනය වූද
දක්ඛිණගිරි,චේතියගිරි, හත්ථිකුච්ජි , චිත්තල පබ්බත යන විහාරස්ථාන එදවස
ඉතා සුප්‍රසිද්ධියට පත්වූ ප්‍රධාන විහාර හතරක්ව පැවැති බවයි.
චේතියගිරිය – මිහින්තලය වශයෙන්ද චිත්තල පබ්බත යන්න සිතුල්පව්ව වශයෙන්ද
අද අපි හොඳින් හඳුනා ගෙන සිටිමු. මෙ පවත් අනුව එදවස මේ දම්දිවේ පිහිටි
මහා විහාර හතරෙන් එක් ස්ථානයක් වශයෙන් මෙම පූජනීය වන සෙනසුන සඳහන් කළ
හැකිය.
එසේ නම් ලාංකේය බෞද්ධ ශාසන ඉතිහාසය වර්ණවත් කළ ප්‍රබල පූජනීය ස්ථානයක්
වශයෙන් හත්ථිකුච්ජි විහාරස්ථානය අපගේ පැරැණි විහාර නාමාවලියේ සුවිශේෂී
නමක් සටහන් කර තබා ඇත.
ක්‍රි.වර්ෂ පළමුවන සියවසේදී ලියන ලදැයි සැලකෙන ‘සහස්සවත්ථුප්පකරණය’ ට
අනුව සද්ධා තිස්ස රජතුමාගේ සොහොයුරියකගේ පුත්‍රයකු වූ ඵුස්සදේව කුමරා
හත්ථිකුච්ඡි විහාරස්ථානයට පැමිණෙන්නේ එහි ඉතා සිල්වත් ප්‍රතිපත්තිගරුක
භාවනායෝගී භික්‍ෂූන් වහන්සේ වැඩ වසන තැනක් බව දැන ගැනීමෙන් පසුවය. ඔහු
එහි වූ චෛත්‍යයටද මහා පූජාවක් පවත්වා විහාර භූමියේ වූ ආසනඝර ලෙන් ආදියේ
පිහිටීම පිළිබඳ චිත්තපී‍්‍රතියට පත්වී එහි විසූ ‘මහාදේව‘ භික්‍ෂූන්
වහන්සේ යටතේ සසුන්ගත වී පසුව විදර්ශනා වඩා රහත් වූ බව එහි සඳහන් වෙයි.
ඵුස්ස දේව භික්‍ෂූන් වහන්සේ රහත්ඵලය ලැබුවේ යැයි සඳහන් කිරීමෙන් අපට
සිතා ගත හැක්කේ මෙම පූජනීය වන සෙනසුන තවත් රහතන් වහන්සේලාගේ පහසින්
පවිත්‍රව තිබූ පින් බිමක් වූ බව ය.
හත්ථිකුච්ඡි විහාරයේ තිබූ සෙල් ලිපි 60 ක් පමණ සොයාගෙන තිබේ.වෙනත්
කිසිදු ස්ථානයක නොවන තරම් සෙල්ලිපි සංඛ්‍යාවක් මෙහිදී හමුවීමද
විශේෂත්වයකි. මෙම සෙල් ලිපි විමර්ශනය කිරීමෙන් තහවුරු වී ඇත්තේ
ක්‍රි.පූ. 03 වන සියවසේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා වූ ඉතා දිගු
කාල පරාසයක් මෙම වන සෙනසුන සක්‍රීයව පැවැත ආ බවයි. මේ අතර වූ ඇතැම්
සෙල්ලිපි කියවිය නොහැකි ලෙස විනාශයට පත් වී තිබේ. ඒ අනුව හත්ථිකුච්ඡි
විහාරයේ මහා ඉතිහාසයක වැදගත් පුවත් තවත් රාශියක් සැඟ වී තිබිය හැකි ය.
මෙහි වන පරිසර පසුබිමද නෙත් පිනවන සුළු ය. භූ®මි හැඩතලයන්ට අනුගතව ඉතා
ආකර්ෂණීය දසුනක් මවන නිස්කාන්සුවෙන් අනූන කදිම පරිසරයක මෙම විහාර
සංකීර්ණය ගොඩ නංවා තිබෙයි. තෝ තැනි, උස්බිම් කදු සිඛරයන්ගෙන් සමන්විත
වූ භූමියේ දිය පොකුණු සකස් කළ ස්වාභාවික ලෙන් කුටි අතර දැනට නටබුන්ව
ඇති පොහොය ගෙය, බුද්ධ මන්දිරය, තෙමහල් ධාතු මන්දිරය, වටදාගෙය , විනාශ
වූ චෛත්‍ය 8 ක් දාන ශාලාවක් පොකුණූ 60 ක් කටාරම් සහිත මෙන්ම පූජා ලිපි
සහිත ලෙන් ඇතුළුව ලෙන් 38 ක් පමණ පධානඝර ඇතුළුව තවත් කුටි රාශියක්
සෙනසුන් බිම පරිපූර්ණත්වයට පත් කර තිබෙයි. මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි
වු නටබුන් ගොඩනැගිලි තවත් ප්‍රමාණයක් මෙම පූජනීය පෙදෙස පුරා විසිරී
පවතියි.
විහාර සංකීර්ණය තුළ වන එම නටබුන් දැකීමෙන් හැඟී යන්නේ මිහින්තලය
සිතුල්පව්ව වැනි එදා ප්‍රධාන ආරණ්‍ය සේනාසනයන් සේම හත්ථිකුච්ඡියද මේ
දම් දිවේ බෞද්ධ සංස්කෘතික ප්‍රබල උරුමයක්සේ එදවස මේ බිම සුගන්ධවත් කළ
අසිරිමත් මහා පුද බිමක් වූ බව යි . සද්ධතිස්ස රජතුමාගේ සිට විවිධ රජවරු
මෙහි පූජනීය ඉදිකිරීම් සඳහා තම දායකත්වය ලබා දී ඇති බව කියැවෙයි.
අපගේ රාජ්‍ය ඉතිහාසය පිරික්සීමේදී වසර 2 ක පමණ ඉතා කෙටි කාලයක් රජ
කිරුළු දැරූවද වංශ කතාවේ නොමියෙන මතකයන් ඉතිරි කර තැබූ සිරිසංඝ බෝධි
(ක්‍රි.ව. 251 – 253) රජතුමා පිළිබඳ පුරාවෘත්තය තවමත් අප සිතතර රැඳී
තිබීමට තරම් එතුමාගේ චරිත කතාව විශේෂිත වෙයි. සිරි සංඟ බෝධි රජතුමා
දැහැමි සිරි සඟ බෝ නමින්ද ප්‍රකට ය එතුමා ‘මතු ආත්මයකදී බුදු බව
අත්වේවා’ යන උදාර අපේක්‍ෂාවත් සමඟින් තම හිස දන්දීමේ මහා දාන පාරමිතාව
පිරුවා වූ උත්තමයෙකි. එසේම පසු කාලීන රාජ පරම්පරාව සිරි සංඝ බෝධී
රජතුමා බෞද්ධ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකූ බව ද කියැවෙයි.
හත්ථිකුච්ඡි විහාරය පිළිබඳ සටහනක් තැබීමේදී ශ්‍රී සංඝබෝධි නාමය එතැනට
ඈඳෙන්නේ මහත් ආන්දෝලනාත්මක ඉතිහාස පුවතක පසුබිම් කථනයට මෙම හත්ථි
කුච්ඡි විහාරයේ සම්බන්ධතාවයක් ඇතැයි බොහෝ වියතුන් මෙන්ම තවත් බොහෝ අය
විශ්වාසය ඵල කරන නිසාය. ඔවුහු සිරි සඟබෝ රාජේන්ද්‍රයාණන් මහාදාන
පාරමිතාවක් පුරමින් තම හිස සිරුරෙන් වෙන්කර මඟියකු අත තිබීම සිදුවන්නේ
මෙම හත්ථිකුච්ජි විහාරයේදී බව සනාථ කිරීම උදෙසා සාක්‍ෂි ගෙන හැර
දක්වති.
එහෙත් එම පුවත හා බැඳි පරම සත්‍ය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත.
එසේ නිශ්චිත නිගමනයකට එළඹෙන තුරු සැකයේ වාසිය මත තීරණයකට එළඹෙන්නේ නම්
මේ අසිරිමත් හත්ථිකුච්ඡි විහාරයට එහි වාසිය ප්‍රදානය කිරීමට තරම්
සාක්ෂි ඇති බව හැඟෙයි. පුරා විද්‍යාත්මක නිශ්චිත සාක්‍ෂි හෝ ඉතා
නිවැරැදි ලිඛිත සටහන් නොමැති බැවින් මෙය යම් යම් අනුමාන සාධක ඔස්සේ
සාක්‍ෂි විභාග කරමින් නිගමනයකට එළඹිය යුතු ප්‍රශ්නයකි. ඒ නිසා ඒ පිළිබඳ
කෙටියෙන් සටහනක් තැබීමට පෙළඹෙමි.
සී.ඩබ්ලිව්. නිකලස් හා එස් පරණවිතානයන්ගේ ‘සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය’
නම් පරිවර්තන ග්‍රන්ථයේ සඳහන් වන්නේ පුරාණයේදී සිරිසඟබෝ රජුගේ මරණය
සිදුවූ ස්ථානය අත්තනගල්ල නොව අනුරාධපුරයට ආසන්න වූ වෙනත් ස්ථානයක් යැයි
විශ්වාස කරන බවය.
මේ පිළිබඳව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරයන්ගේ මතය නම් අනුරාධපුරයේ සිට
පැමිණි මගියකුට දහවල් බත් පත සඳහා වත්මන් අත්තනගල්ල තරම් දුරකට පැමිණිය
නොහැකි හෙයින් මෙම සිද්ධිය සිදුවූයේ රාජාංගණයේ විය යුතු බවය.
5 වන සියවසේ ලියන ලද මහාවංශයේ සිරි සංඝ බෝධී හිස දන්දීම සඳහන් කළත් එය
කොහේදැයි සඳහන් නොකරයි. මගියා ගෙනා රජුගේ හිස ඉසුරුමුණියට දකුණින්
ආදාහනය කළ බවත් එහි දැගැබක් කළ බවත් සඳහන්ව තිබෙයි. හත්ථිකුච්ජි විහාරය
පිහිටා ඇත්තේද ඉසුරුමුනියට දකුණු දෙසට වන්නටය. එසේම සිරි සඟ බෝ හිස දන්
දුන් ස්ථානයේ ගොළු අබා රජු විසින් කෙරූ දා ගැබ යැයි සිතීමට වංශ කතා
අටුවාවෙන් සාක්‍ෂි ලැබේ. (ශාස්ත්‍රිය ලිපි හා කථා 1971 මුද්‍රණය පිටුව
114)
’අස අචරිය සිරස ‘ යනුවෙන් සටහන් කර ඇති ගල් පුවරුවක් හත්ථී කුච්ඡි
විහාරයේ දැනට බුදු මැදුර පිහිටි තැන නටබුන් අතර තිබෙයි. එය ඇත්තේ සිරුර
ආදාහනය කර ඒ මත ගොඩ නගා ඇති වටදාගෙය සහිත ස්තූපය ආසන්නයේය. හිස ආදාහනය
කළ තැන එතැන විය හැක. “ (උපුටා ගැනීම දර්ශනපති නොච්චියාගම සෝමානන්ද
හිමිගේ ‘හත්ථිකුච්ජි විහාරවංශ’ ග්‍රන්ථයෙනි)
එහිම තවත් තැනක මෙසේ සඳහන්වෙයි. ‘මෙම විහාරයේ මගියාගේ රූපය සහිත චෛත්‍ය
පිහිටි ගලෙන් බටහිර කොටස පැරැණි හත්ථිකුච්ජි විහාරය ලෙසත් එම ගලෙන්
නැගෙනහිර කොටස ගෝඨාභය රජතුමා විසින් කරවන ලද අභයාරාමය ලෙසත් සෙල්ලිපි
හා නටබුන් අනුව හඳුනාගත හැකිය.අභයාරාමය ලෙසින් හැඳින්වෙන්නේ ගෝඨාභය
රජතුමා විසින් කරවූ ගොඩනැගිලි සහ වෙනත් රජවරුන් හා සැදැහැතියන් විසින්
අලුතෙන් කරවන ලද හා ප්‍රතිසංස්කරණය කරවන ලද ගොඩනැගිලි ඇතුළත් කොටසයි.
ගෝඨාභය රජතුමාගේ නියම නම ශ්‍රී මේඝ වර්ණ අභය බැව් ‘තිබිරිවැව‘ සෙල්
ලිපියෙන් තහවුරු වන නිසාත් සිරිසගබෝ රජු දැවූ තැන ගෝඨාභය රජු එනමින්
විහාරයක් කරවූ බැව් මූලාශ්‍රවල සඳහන් වන නිසාත් එම නිගමනය යුක්ති සහගත
ය.
හත්ථිකුච්ජි විහාර භූමියේ ඉතා දැකුම්කළු ගල්කුලක් පාදමේ වටදාගෙයක් සහිත
චෛත්‍යයක් දකින්නට ලැබේ. මෙම ගල්කුල මුදුනට නැගගත් පසු ගල් කුහරයක් තුළ
ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් වූ දියපොකුණක් සෑදී තිබෙයි. එතැනින්
නැගෙන ගල් තලාව මතදී වටදාගෙය සහිත නටබුන්, තේවා මණ්ඩපය ආදිය සහිත ඉතා
රමණීය වූ භුමි දර්ශනයක් පසුබිම වරණවත් කළ රුක් පෙළත් නෙත විචිත්‍රවත්
කරන දසුනක් මවයි. මෙම ස්ථානය සිරිසඟ බෝ රජතුමා හිස දන් දුන් ස්ථානයේ
පසුබිම හා මනාසේ ගැලපෙතැයි ද සිතෙයි.
ඉදිරියටත් ඒ පිළිබඳ සැක සංකා මතු වූ වද යෝගාවචර භික්ෂූන් වහන්සේ
විදසුන් වඩා උතුම් වූ රහත් ඵලයේ සදාතනික වූ මහා සුවය විඳීමට පෙර
තෝරාගත් අවසාන වන්දනීය නවාතැන් පොළක් වූ සුන්දර මේ හත්ථිකුච්ඡි වන
සෙනසුන අපූර්වත්වයෙන් පිරිපුන් මහා පුණ්‍ය භූමියක්මය. දුක්ඛ
දෝමනස්සයන්ගෙන් පිරි සසර මඟ අතරමඟදී මෙවන් පිවිතුරු පින් බිමක පහස
විඳීමට වරම් ලැබීමත් පෙර පිනකැයි සිතෙන තරමට මෙවන් අජන භූ®මි සසර සහරා
කතරක ක්‍ෂේමභූමි සේ ම ය. |