දන් දීම සැපයකි
සඳු සුපිපුණි විජේසිංහ
අහසේ තරුවලට වඩා ඇස් දන් දුන්, පොළොවේ පස්වලට වඩා මස් දන් දුන්, සාගර
ජලය පරදා ලේ දන් දුන් මහා බෝධිසත්වවරුන් සමතිස් පෙරුම් පුරමින්, ලෝ
සතුන් සසරෙන් එතෙර කරවීම වෙනුවෙන් අපමණ දුක් විඳිමින් උත්සාහයෙන්,
වීර්යයෙන් ලබාගත් උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. මේ නිසා ලොව
දීර්ඝතම අසිරිමත් ඉතිහාස කතා වෘත්තාන්තය හිමිවන්නේ මහබෝසත්වරුන්ටම
පමණි. සම්මා සම්බුද්ධත්වයට පත් උතුමන් වහන්සේ වලාකුළෙන් මිදුණු අහසේ
බබළන පූර්ණ චන්ද්‍රයා බඳු වෙති.
කළ යුත්ත කුමක්දැයි මනාව දැන කරන සම්බුදු සමිඳාණෝ පින් පව්, කුසල්,
අකුසල් තෝරා බේරා පහදා දුන්නේ අප කෙරෙහි අනුකම්පාවෙනි. මහා කරුණාවෙනි.
දාන, ශීල, භාවනා පදනම් කරගත් ප්‍රතිපදාව අපට පෙන්වා දුන් උන්වහන්සේ
සත්වයාගේ දෙලොව යහපත සඳහා දහම් දෙසූ සේක. ගිහියන්ට පංචශීලය රකිමින් හොඳ
මිනිසුන් ලෙස හැසිරෙන්නටත්, පිටතින් පෙන්වන හොඳ ඇතුළතින් ඇති කර
ගන්නටත්, ඇසු දුටු පමණික් නොපැහැද නිවැරැදි ශ්‍රද්ධාවෙහි පිහිටන්නටත්
එතුළින් නිවැරැදි දැක්ම ඇති කර ගන්නටත් බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය
පිහිට විය.
සදහම් රසය හඳුනාගත් ජනයා වල්මත් නොවූහ. සසරෙන් මිදීමේ හැකියාව ධර්මය
තුළින් අත්දැක සැනසුන ජනයා හට වැසී ඇතිදේ ඇරී ගියාසේ දහමෙහි හැසිරෙන්නට
පිනෙහි, කුසලයෙහි ශක්තිය මතු වී උපකාරි විය. එයින් ලෝභ, ද්වේෂ,මෝහ දුරු
වී විරාගය ඇති විය.
සැදැහැති නැණවත් ජනී ජනයා සත්‍ය සොයා ගියහ. බුදුන් වහන්සේ පෙන්වා දුන්
චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීමට උත්සාහගත් පිරිස දුක
පිළිබඳ යථාවබෝධය (දුක්ඛ සත්‍ය), දුක ඇති වීමේ හේතුව හෙවත් තෘෂ්ණාව
(සමුදය සත්‍ය), දුක නැති කිරීම (නිරෝධ සත්‍ය) සහ දුක් නැති කිරීමේ
මාර්ගය (මාර්ග සත්‍ය) යන සත්‍යාවබෝධයට පිළිපන්හ. එයින් සදාකාලික
නිවීමට, සැනසීමට දොර විවර විය.
දානය,ශීලය සහ භාවනාව පදනම් කරගත් ප්‍රතිපදාව විමුක්තියට මඟයි. ඒ අනුව
ශ්‍රද්ධා සිත් පෙරදැරි කරගත් ජනතාව දන් දීමෙහි ද මහත් සේ ඇලුණේ
විය.ඇත්තෝ දන් දුන්හ. නැත්තෝ ඒ දෙස බලා පින් දුන්හ. සතුටු වූහ. නැත්තෝ
දිරි ගත්හ. නැවත නැවත දිරි ගත්හ. අනතුරුව නැත්තෝද දන් දුන්හ. දුප්පත්
පොහොසත් භේදයක් නැතිව ජනතාව දනට පිනට යොමුවීම නිසා දිව්‍යලෝක පිරී
ගියේය. අල්පේච්ඡතාව රජ වී ලෝභය , මසුරුකම දිළිඳු විය. එබැවින් එදා මෙදා
තුර දන් දීමට පෙළැඹෙන පිරිස බොහෝ වෙයි. එනිසාම එය අද මහත් ආකර්ශනීය
පින්කමක් බවට පත්ව තිබේ. කම්පල අදහා මහත් ආනිශංස ලැබෙන පිළිවෙළට
දන්දීමෙන් අත්වන්නේ මහත්ම ලාභයකි. එසේ වුවත් එම ලාභය තමනට හිමි කර
ගැනීමට යෑමේදී අද සමහරුන් අතර තරගයක්ද දකින්නට ලැබේ. මේ නිසා දන් දීම
නිවැරැදිව කරන්නේ කෙසේද යන්න අප යළිත් මතක් කර ගත යුතුව ඇත.
දානය නිසා රැස්වන පින පින් කන්දක් වන ලෙස දන් දිය යුතු ආකාරය අප දැන
ගැනීම වටී. තෙරුවන කෙරෙහි පැහැදී ශ්‍රද්ධා සිතින් දන් දිය යුතුය. දන්
පිළියෙළ කිරීමේදි පිරිසුදුව කළ යුතු අතර සම්පප්‍රලාපයෙන් මිදී තමා කරන
කටයුත්ත තුළ සතුටු සිතෙන් රැඳෙමින්ම එය කළ යුතුය. බොහෝ අය දාන මාන සකස්
කිරීමේදි කෙලාම්,ඕපාදූප කතා කරමින් අන් අයට බැණ වදිමින් දන් පිළියෙළ
කරති. ඉන් දානය පිරිහී යයි. සියලු පිනට, කුසලයට මුල්වන්නේ සිතයි.එතැනදී
සිත මනාව පිහිටුවා ගනිමින් දන්දීමට සිත සකසාගෙන සිටීම වැදගත්ය.
දානය තමාට හැකි ප්‍රමාණයටත් වඩා හොඳින්,තමා පරිභෝග කරනවාටත් වඩා හොඳින්
සකස්කර දෙන්මෝ සිටිති. බුදුන් සමයේ දන්දීමට වත්කම් නැතිව, තම දිගුකේශ
කලාපය කපා විකුණා මුදල් උපයාගෙන දන්දුන් තැනැත්තියෝද සිටියහ. එවැන්නෝ
‘දානපති’කොටසට අයත් වෙති. සමහර අය තමන් කනබොන අයුරෙන්ම දන් දෙති.
තෙරුවන කියා විශේෂ ගරුබුහුමන් නොදක්වති. මෙවැන්නෝ ‘දාන සහායකයෝ’ ය.
තවත් සමහරුනට මුදල් ඇත. දන්දීමට හැකියාව ඇත. එහෙත් ඉතා දුර්වල මට්ටමෙන්
දන්දෙති. මොවුහු ‘දාන දාසයෝ’ වෙති.
සමහර ඇත්තෝ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේගේ නුගුණ
කියමින්,උන්වහන්සේට බැණ වදිමින්, කරන්නට දෙයක් නැතිකමට දන්දෙන බව
පවසමින් දන්දෙති. දානයේ ආනිශංස මේ අත්බැව්හිම ලැබිය හැකි බව දහමේ
කියැවෙයි. එසේ නම් කම්පල අදහාගෙන තුන් සිත පහදවාගෙන දන් දිය යුතුය. දන්
දීමට පෙරත්, පින්කම සිදුකරන අවස්ථාවේදිත්, එයින් පසුවත් සිතෙහි පැහැදීම
පැවැතිය යුතුය. අසතුටෙන්,ශ්‍රද්ධාව නැතිව,අපැහැදීමෙන් දන් දෙන අයට මතු
ආත්ම භාවයන්හිදී රූපය මඳව ඉපදීමට එය හේතුවෙයි.එවැන්නන් දුටුවිට යමකුගේ
සිතේ ප්‍රසාදයක් ඇති නොවේ. දන් දීමේදී තුන් සිත පහදවා නොගැනීම නිසා,
සිතේ ප්‍රසාදය, සතුට අඩුවීම නිසා දානානිශංස වශයෙන් මතු ජීවිතවල ලබන සැප
සම්පත්වල අඩුවැඩිවීම මෙන්ම සැප සම්පත් තිබුණත් පරිභෝග කිරීමේ හැකියාව
අඩුවැඩිවීමද සිදුවිය හැකිය.
සමහරුන් දන් දෙන්නේ ලොවට පෙනෙන්නටය. අන් අය දෙනවාට වඩා වැඩියෙන් දී
කැපී පෙනෙන්නට තරගයට මුදල් ලක්ෂ ගණනින් වැය කර දන් දෙන්නෝද සිටිති.
මුදල් කෝටි ගණනින් වියදම් කළද, එය වැය කරන්නේ මාන්නයෙන්, උඩඟුකමෙන්,අන්
අයට පහරක් වදින ලෙස නම් එම දානයේද ආනිශංස මඳය. මාන්නය වෙනුවට
ශ්‍රද්ධාවෙන් දන් දුනහොත් ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව නොඅඩුව
හිමිවේ. සැප සම්පත් සහිත යහපත් භවයක මනා නුවණ සහිතව උපත ලබන්නට හේතුවේ.
ඇතැමුන් දානය සකස් කර අන් අය අතේ විහාරයට යවන අවස්ථා ඇත. අපගේ අත්
දෙකෙන් සකස්කළ දානය අපගේ දෑතින්ම පූජා කළ මනාය. මතු භවයන්හි තමනට කීකරු
දූ දරුවන් ලබන්නට එය හේතුවේ. තමාට යටහත් සේවක දැසි දස්සන් ලැබේ. අද
සමාජයේ කීකරු අවනත දරුවන් ලබන මවුපිය පිරිස මඳය.නිවෙසක දැසි දස්සන්
වුවද ස්වාමිවරුන් ඉක්මවා යන අවස්ථා ඇත.මේවා සිදුවන්නේ පූජාගෞරවයෙන්
යුතුව දන් නොපිළිගැන්වීමත්, දැසි දස්සන් අත දානය සකස්කර යැවීමත් වැනි
කර්මයක විපාක නිසා විය හැකිය.
තවත් සමහරුන් දන් දීමට සුදුසු ප්‍රණීත ආහාරපානාදිය තිබුණද ඒවා නොදී
කෑමට අපහසු කටුක ආහාර දෙන අවස්ථා ඇත. ‘කනවනම් කන්න, නැත්නම් නොකා ඉන්න’
වැනි අදහසකින් දෙන මෙබඳු දීමනාද දානයෙන් ලැබිය හැකි ආනිශංස අඩුකරයි.
මෙවැනි අය කෙතරම් සැප සම්පත් ඇති පවුලක ඉපදුණත් දුර්වල,කෙසඟ ශරීර ඇතිව
උපදිති. ධනවත් නිවෙස්වල එම ධනයට හිමිකම ඇතිව ඉපදුණත් සමහරුන් පි‍්‍රය
වර්ණ නැති, අවලස්සන සිරුරු ඇතිව සිටිනු අප දැක ඇත.දන් දුන් නිසා සැප
සම්පත් ඇතිව උපත ලැබුවත් හොඳින් දන් දීමට හැකියාව තිබියදී කටුක ආහාර
දීම හේතුකරගෙන කර්කශ ශරීර ලබා ඇත.
බුද්ධ ශරීරය අසිරිමත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මහා
තේජාන්විත භාවයක්, අප්‍රමාණ සෞන්දර්යයක්, මහා කාය ශක්තියක් උන්වහන්සේට
හිමි විය.නෙළන ලද දඹරන් පිළිමයක් බඳු ඓශ්චර්යමත් සිරුරකි. බෝසතාණන්
වහන්සේ පාරමී පුරන අවධියේදි දානයක් දුන්නා නම් ඒ ප්‍රණීත දෙයක්මය. දන්
පිළිගැන්වූයේ සිය උපරිම ශක්තියෙන්මය. එසේම උන්වහන්සේ තනිව නොව බෙදා
හදාගෙන ආහාර භුක්ති වින්දහ. බුදුරජාණන් වහන්සේට ලැබුණු අසිරිමත් රූප
කාය, මහා පුරුෂ ලක්ෂණ ,මහාකාය ශක්තිය එහි ප්‍රතිඵලයකි. ප්‍රණීත දේ දන්
දුන් විට ප්‍රණීත දේ ලැබෙන්නේ ඒ ඇසුරෙනි.
සිද්ධාර්ථ තාපසතුමන් ලෙස දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ උන්වහන්සේ
ක්ලාන්තය නිසා අප්‍රාණික වූ විට දෙවිවරුන් පැමිණ උන්වහන්සේගෙන් විමසා
සිටියේ, “ස්වාමිනි, දිව්‍ය ඕජස් රෝම කූප තුළින් ඇතුළු කරන්නද?” කියාය.
පිණ්ඩපාතයේ වඩින බුදුරජාණන් වහන්සේට කෙතරම් ප්‍රණීත දානයක් මිනිසුන්
පිළිගැන්වූවත් එම ආහාරය තව තවත් ප්‍රණීත වීමට දෙවියෝ දිව්‍ය ඕජස් එකතු
කරති. කටුක අහරක් ලැබුණද එසේමය. එබැවින් දානයේ ආනිශංස වටහාගෙන අප දන්
දීම කළ යුතුයි. කන්නට බැරි දෙයක් කිසිම දිනෙක තිරිසනකුටවත් දීම නොවටී.
එහි පල විපාක නපුරුයි. තිබෙන දෙය කුමක් වුවත් එය ලබන්නාට ප්‍රයෝජනවත්
නම් සද්භාවයෙන් යුතුව ඒ යහපත් දාන වස්තුව කම්පල අදහාගෙන දන් දීමයි
අවැසි වන්නේ.
සමහර උදවිය දන් දී පසුව ඒ ගැන ළතැවෙති; හූල්ලති. දුන්දේ වැඩියි, අපරාදෙ
දුන්නෙ කියා පසුතැවෙති. දන් දී එසේ පසුව දුක්වීම නිසා තමන් ළඟ තිබෙන
දෙයවත් පාවිච්චි කරන්නට නොහැකි වෙති. ඊට සිත් නොදෙන බැවිනි. කෙතරම්
ධනවත් වුවද, ප්‍රණීත ආහාරපාන ලද හැකිව තිබුණද,හොඳ ඇඳුම් පැළැඳුම්
හිමිවුවද ඒවා පාවිච්චියට නොගෙන කටුක ලෙස ජීවත්වන අය අද සමාජයේද දක්නට
ලැබෙති. දුන් නිසා ලැබුණත් තමාටවත් ඒ ලද දෙය පරිහරණය කිරීමේ භාග්‍ය
නැත.
මේ නිසා දන් දීමේදී තුන් සිත පහදවා දන් දීම මැනැවි. එසේ කරන දානපතියෝ
මනුෂ්‍යයන්ට මෙන්ම අමනුෂ්‍යයන්ටද පි‍්‍රය වෙති. සද්පුරුෂ කල්‍යාණ
මිත්‍ර ආශ්‍රය බොහෝ කොටම ලබති. අරුණෝදය දුටු අය මඳ වේලාවකින් ඒකාන්ත
වශයෙන් හිරු උදාවන බව ප්‍රකාශ කරන්නාක් මෙන් සද්පුරුෂ ඇසුරද ඒකාන්ත
වශයෙන් ලැබෙන බව දහමේ දැක්වේ. එසේම ඔවුන්ගේ කල්‍යාණ කීර්තිරාවය දසත
පැතිරේ. යම් පිරිසක් වෙත එළැඹේ නම් විශාරදව එළැඹෙති. තෙදවත්ව ගරු
ගාම්භීරව ජීවත්වීමේ භාග්‍ය මේ අයට හිමිවේ. මරණෙන් මතු සුගතිගාමි වෙති.
ඔබකළ පින, දුන් දානය ස්වල්පයක් වුවද සැදැහැ සිතින් ඒ දුන් දානය ගැන
නැවත නැවත සිහිකරන්න. අප්‍රමාණ කුසලස්කන්ධයක් රැස්වන අතර චාගානුස්සති
භාවනාව බවටද එය පත්වේ. එසේ බලවත්වන ඒ කුසල් අරමුණ ඔබට මරණ මඤ්චකයේදී
පවා සිහිවන උදාර කුසලාරම්මණයක්ද වනු ඇති. |