ධම්මපදට්ඨ කථාවෙන් 05
භික්‍ෂුන් වහන්සේටත් නිවන් මඟ සාදා දුන්
මගඵල ලාභිනිය මාතිකමාතා
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන
අගලකඩ
සිරිසුමන හිමි
භික්‍ෂුව එම මාතිකමාතා උවැසියගේ වෙහෙරට වැඩ ඇයට තමන් පැමිණි බව දන්වා
එහි වැඩ සිටියේය. පෙර භික්‍ෂූන් ගුණකථනය කළ පරිදි තමාගේ අවශ්‍යතා
සියල්ල ඇය ඉටු කර දෙනු ඇතැ’යි සිතූ ඒ භික්‍ෂුව තමන්ට ලැබිය යුතු විවිධ
දේ සිතුවේය. විහාරය අතුගාන්නට මිනිසකු,
හකුරු බීමක්, කැඳක්, කැවිල්ලක් යනාදී වශයෙන් සිතූ සිතූ දේ උපාසිකාව දැන
විහාරයට එවුවාය. අවසන ඇය දකිනු කැමැත්තක් ඇති වූ අතර එයද ඉටු විය. එවිට
මේ භික්‍ෂුව කල්පනා කළේ තමන් සිතන සියල්ලම මේ උපාසිකාව දැන ගන්නා
බැවින් තමන් නපුරට සිතන දේ පවා ඇය දැනගනු ඇතැ’ යි කියාය.
ඒ ගැන බියෙන් විහාරයෙන් පිටත්ව නැවත
බුදුන් හමුවට පැමිණියේය.
බුදුරදුන් සැවැත්නුවර වැඩවසන සමයෙහි ආසන්න එක්තරා ජනපදයක මාතිගාම නම්
ගමක් විය. මේ ගමෙහි බොහෝ වැසියන් වාසය කළ අතර, එහි ගම් ප්‍රධානියා වූයේ
මාතික නමැත්තාය. ඔහුගේ මව මාතික මාතා නම් වූවාය. ඈ ඉතා සැදැහැති
කාන්තාවක් වූ අතර බුදුරදුන්ගෙන් කමටහන් ලබා මෙගමට පැමිණි භික්ෂූන්
සැටනමක් තම නිවෙසෙහි වඩා හිඳුවා නානා ප්‍රකාර අග්‍ර රසයෙන් යුතු දානය
පිරිනැමුවාය. දානය වළඳා අවසන පිටත්ව යන්නට සූදානම් වූ උන්වහන්සේ කවර
දිශාවකට වඩින්නේදැ’ යි විමසුවාය. වස් වසන්නට සුදුසු තැනක් සොයා යන බව
උන්වහන්සේගේ පිළිතුර විය.
එවිට තම නිවෙසෙහි වස් වසන්නැයි ඉල්ලා සිටි ඇය වස් සාර මස පුරාම සියලු
ඇප උපස්ථාන කරන බවත්, තමා පෙහෙවස් සමාදන්ව වසමින් බොහෝ පින් රැස් කර
ගන්නා බවත් පැවසුවාය. ඇගේ ඉල්ලීම සලකා බැලූ භික්‍ෂූහු දුෂ්කර තැනක්
සොයා යෑමට වඩා මෙම ස්ථානය තමන්ට පහසු බව කතිකා කොට එකඟත්වය පළකොට වස්
අදිටන් කළහ.
තම නිවෙස විහාරයක් බවට පත් කළ ඇය නිවෙසෙන් වෙන්වී වෙනත් තැනෙක වාසය
කරන්නට තීරණය කළාය. සැම දිනෙකම විහාරයට පැමිණ සියලු අවශ්‍යතා සොයා බලා
සපුරමින් ඇය ද බොහෝ පින් රැස් කර ගත්තාය. මේ අතරෙහි භික්‍ෂුහු සැට නම
රැස්ව අප්‍රමාදීව සසරින් එගොඩ වීමට වහාම උත්සාහ කළ යුතු බව කතිකා කළහ.
නිරයෙහි දොරවල් සියල්ල ඇරී ඇති බැවින් අප එයින් මිදී සසරින් ද මිදිය
යුතු බවට අදිටන් කළහ. ඒ වෙනුවෙන් දෙදෙනකු එක් තැන නොවසා වෙන් වෙන්ව
හිඳිමින් භාවනාවෙහි යෙදිය යුතු බවත් මහ තෙරුන්ට උපස්ථාන කිරීමේදී සහ
පිණ්ඩපාතයේදි පමණක් එක් විය යුතු බවත් විහාරයේ ගණ්ඨාව නාද කළවිට සියලු
දෙනා පැමිණිය යුතු බවත් කතිකා කොට විසිර ගියහ.
මේ අතරෙහි මාතිකමාතා උවැසිය භික්‍ෂුන්ට අවැසි දානමානාදිය ද රැගෙන දැසි
දසුන් සමඟ උපස්ථානයට පැමිණි අතර විහාරයෙහි කිසිදු භික්‍ෂුවක නොදැක
උන්වහන්සේ කොහිදැ’ යි මිනිසුන්ගෙන් විචාලාය. තම තමන්ගේ වාසස්ථානවල වසති
‘ යි කියා ගෙන්වා ගැනීමට ගණ්ඨාරය නාද කළයුතු බව දැන්වූහ.
ඈ ගණ්ඨාරය නාද කළාය. භික්‍ෂූහු එය අසා ස්වකීය වාසස්ථානවලින් නික්ම තනි
තනිව අවුත් විහාර මධ්‍යයෙහි රැස්වූවාහුය. දෙනමක් එක් මඟින් නොආහ.
භික්‍ෂූන්ගේ කතිකාව නොදත් මාතිකමාතා කල්පනා කළේ මේ භික්‍ෂූන් කෝලාහළ
කොට එකිනෙකා අමනාපයෙන් මෙසේ පැමිණෙන්නට ඇති බවයි. ඒ ගැන ඇගේ සිතේ හටගත්
සැකය ඈ භික්‍ෂූන් වෙතින් දැන ගන්නට විමසුවාය. භික්‍ෂූන් ප්‍රකාශ කළේ
වෙන් වෙන්ව සිට භාවනාවෙහි යෙදෙන බවයි. එය මහණදහමක් නොවන බව ඇය ප්‍රකාශ
කළ විට භික්‍ෂූන් කියා සිටියේ තමන් වහන්සේ වෙන වෙනම වැඩ සිට
ද්වත්තිංසාකාරය ( පිළිකුල් භාවනාව ) වඩන බවයි.
එය තමාට ද උගන්වන ලෙස ඇය ඉල්ලා සිටි අතර භික්‍ෂූහු ඇයට එම භාවනාව
ඉගැන්වූහ. ඇය එතැන් පටන් ද්වත්තිංසාකාරය වඩමින් ඒ පිළිබඳ සිත පිහිටුවා
භික්‍ෂූන්ට පෙරාතුවම ත්‍රිවිධ මාර්ගාවබෝධය හා ඵලාවබෝධය ලබා
සිව්පිළිසිඹියාවන්ට ද පැමිණ ලෞකික අභිඥාවන්ට ද පැමිණියා ය.
අනතුරුව තම භික්‍ෂු පිරිස කවදා මේ මාර්ගඵලාවබෝධය ලබත්දැ’ යි සොයා බලන
ඇය රාග ද්වේශ මෝහයෙන් යුතු මේ භික්‍ෂූන් විපස්සනාවෙහි ආලෝක මාත්‍රයක්
හෝ නොලද බව දැක උන්වහන්සේට තිබූ අපහසුතා සියල්ල සොයා බලා මඟ හැර දී
උන්වහන්සේ විදර්ශනාවට යොමු කළාය. අනතුරුව භික්‍ෂුහු ධර්මාවබෝධය ලදින්
සිව්පිළිසිඹියාපත් රහත් බවට ද පත්වූහ.
මෙම උපාසිකාව තමන්ට ඒ සඳහා මහත් සේ පිහිට වූ බව දත් භික්‍ෂුහු ඇයට තුති
පුුදා බුදුන් හමුවට පැමිණියහ. පැමිණ උපාසිකාව වෙතින් තමන් ලද සියලු ඇප
උපස්ථාන හා විදර්ශනාවට ඇය මඟ පෙන්වූ ආකාරය මුල සිට අග දක්වාම
බුදුහිමියන්ට පැහැදිලි කළහ. මාතිකමාතා උපාසිකාව සතු මේ උතුම් ගුණ
පිළිබඳ බුදු හිමියන් හමුවේ භික්‍ෂූන් ප්‍රකාශ කරන ආකාරය අසා සිටි
එක්තරා පෘථග්ජන භික්‍ෂුවක් ඇගෙන් උපස්ථාන ලබන්නට බුදුන්ගෙන් කමටහන් ලබා
අවසර ද ලබා පිටත්ව ගියේය.
එම භික්‍ෂුව එම මාතිකමාතා උවැසියගේ වෙහෙරට වැඩ ඇයට තමන් පැමිණි බව
දන්වා එහි වැඩ සිටියහ. පෙර භික්‍ෂූන් ගුණකථනය කළ පරිදි තමාගේ අවශ්‍යතා
සියල්ල ඇය ඉටු කර දෙනු ඇතැ’යි සිතූ ඒ භික්‍ෂුව තමන්ට ලැබිය යුතු විවිධ
දේ සිතුවේය. විහාරය අතුගාන්නට මිනිසකු, හකුරුබීමක්, කැඳක්, කැවිල්ලක්
යනාදී වශයෙන් සිතූ සිතූ දේ උපාසිකාව දැන විහාරයට එවුවාය. අවසන ඇය දකිනු
කැමැත්තක් ඇති වූ අතර එයද ඉටු විය. එවිට මේ භික්‍ෂුව කල්පනා කළේ තමන්
සිතන සියල්ලම මේ උපාසිකාව දැන ගන්නා බැවින් තමන් නපුරට සිතන දේ පවා ඇය
දැනගනු ඇතැ’ යි කියාය. ඒ ගැන බියෙන් විහාරයෙන් පිටත්ව නැවත බුදුන්
හමුවට පැමිණියේය. එම පැමිණි කාරණාව දැනගත් බුදුන් මේ භික්‍ෂුවට වදාළේ
සිත රකින්නට වෑයම් කිරීම වැදගත් බවයි. සිත රැකීම ඉතා අපහසු බවත්
එබැවින් තමන්ගේ සිතට තමන්ම නිග්‍රහ කර ගනිමින් විසිරෙන්නාවූත් එක් තැනක
නොරැඳෙන්නාවූත් මේ සිත ආරක්‍ෂා කර ගන්නට වෙර දැරීම හෙවත් චිත්ත දමනය
සියලු සැප ලබන්නට හේතුවන බවත් බුදුහිමියෝ වදාළහ.
මෙම අවවාදය දුන් බුදුහිමියෝ භික්‍ෂුව ආපසු මාතික මාතා විහාරයටම පිටත්
කොට යැවූහ. මාතිකමාතා උපාසිකාව ඒ ගැන මහත් සේ සතුටුව උන්වහන්සේට සියලු
උපස්ථානාදිය සිදුකොට දින කිහිපයකින්ම රහත් ඵලය ලබන්නට ද අවැසි පහසුකම්
හා උපකාර සැලසුවාය.
කාන්තා ලෝකයේ විශිෂ්ටත්වය අපූර්ව ලෙස අනාවරණය කරන්නකි මේ මාතික මාතාවගේ
කථා පුවත.
|