බිනර පුර පසළොස්වක 2012
සැප්තැම්බර් 29 වන දා
සම්බුදු දහමේ උදාවෙන්...
අපේ රට සහ ඉන්දියාව අතර ඇති සුහද සම්බන්ධතාවය වසර දෙ දහස්
ගණනක් පුරා පැවැත එන්නකි.
අප දෙ රට අතර ඇති සබඳතාවය අංශ රැසක් ඔස්සේ වර්ධනය වූවක් බවද
කිවයුතු නොවේ.
එම අතීත සුහදතාවය ද වර්ධනය කරන, සිහිගන්වන ඓතිහාසික කරුණක්
නොබෝදා උදාවිය. ඒ නිමිත්තෙන් මේ සටහන තබමු.
“සමස්ත ඉන්දියාව මිත්‍රත්වයෙන් වැළඳ ගැනීම අප දෙරට අතර
සමබන්ධතා ශක්තිමත් කෙරෙන අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා
දිය හැකි බව“ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ
සාංචිනුවර ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා
මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගිවෙමින් පැවැසූ බව “දිනමිණ” ඉකුත්
22 වැනිදා වාර්තා කර තිබිණි.
“ශ්‍රී ලංකාවේ අප ඉන්දියාව සහ එහි ජනතාව මිතුරන් ලෙස සැමදා
සැලකූ බවත් අතීතයේ දී මෙන්ම අදත් මෙරට ජනතාව ඉන්දියාව
හඳුන්වන්නේ දඹදිව සහ ජම්බුද්වීපය ලෙසින් බව” ත් එහිදී
ජනාධිපතිතුමා ගේ දෙසුමෙන් පැහැදිලි කැර ඇත.
“ශ්‍රී ලාංකික බෞද්ධයන් දඹදිව වන්දනාවේ යන බවද ඉන්දියාව
මිත්‍රත්වයෙන් සහ ඓතිහාසික බැඳීම්වලින් පිරි එකම රටක් ලෙස අප
තුළ දෘෂ්ටීය සන්ධීය රාජ්‍යයක පවතින ප්‍රාන්ත ආණ්ඩු නිසා වෙනස්
වී නැති බව”ද ජනාධිපතිතුමා සඳහන් කර තිබිණි.
එහිදී ජනාධිපතිතුමාගේ දෙසුමෙන් කොටසක් පමණක් අපි මෙහි සඳහන්
කරමු.
“සාංචි පූජනීය ප්‍රදේශයේ සිටයි වසර 2300 ට පෙර අශෝක අධිරාජයා
විසින් සිය පුත්‍රයා සහ දියණිය මහින්ද රහතන් වහන්සේ සහ
සංඝමිත්තා තෙරණිය මගේ රටට එවූයේ. ඔවුන් සාමයෙන් සහ
මිත්‍රත්වයෙන් මගේ රටට සැපත්වූවා. ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ වන
ගෞතම බුදුරදුන්ගේ පණිවුඩය එනම් දයාවේ, අවිහිංසාවේ, උපේක්‍ෂාවේ
ඉවසීමේ සහ අවබෝධයේ පණිවුඩය රැගෙනයි ඔවුන් මගේ රටට සැපත් වූයේ.
ශශ්‍රී ලංකාවේ විසූ මගේ මුතුන් මිත්තන් සුවිශේෂ ගෞරවාදරයකින්
යුතුව ඔවුන් පිළිගනු ලැබුවා.ගෞතම බුදුන් බුද්ධත්වයට සැපැමිණීමේ
දී පිටදුන් බෝධි වෘක්ෂයේ අංකුරයක් ඔවුන් බුද්ධගයාවෙන් රැගෙන
ආවා. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේ 2600 වන ජයන්තිය අප
මේ වසරේ සමරනවා. මෙම පූජනීය වෘක්ෂය ලෝක ඉතිහාසයේ වාර්තාගත ම
පැරැණිම වෘක්ෂය ලෙස පිළිගෙන තිබෙනවා. ක්‍රි.පූ. 03 වන ශතවර්ෂයේ
සිට එය ශ්‍රී ලාංකිකයන්ගේ වන්දනාමානයට ලක්වෙමින් මගේ රටේ
අනුරාධපුරයෙහි පවතිනවා.
සාංචි ප්‍රදේශයට පැමිණෙන්නන්හට වන්දනාමාන කරනු පිණිස රෝපණය
කිරීමට එම වෘක්ෂයේම අංකුරයක් අද මා මෙහි ගෙන ආවා.
බුද්ධත්වයට සපැමිණ දෙවන සතියේදී ගෞතම බුදුන් සංසාරයෙන්
එතෙරවීමට තමාට සෙවණ දුන් වෘක්ෂයට කෘතවේදිත්වය පළ කිරීම සඳහා
සතියක් බෝරුක ඉදිරිපිට අනිමිස ලෝචනයෙහි යෙදී සිටියා.සොබාදහම
කෙරෙහි අප රට බෞද්ධයන්ගේ කෘතවේදිත්වයෙහි මූලාරම්භය ගෞතම
බුදුන්ගේ එම ක්‍රියාව දක්වා විහිදී තිබෙනවා. වර්තමානයේ දී
අවශ්‍යතාවන් වන පාරිසරික සංරක්‍ෂණය සහ තිරසාර සංවර්ධනය
සාක්ෂාත් කර ගැනීමෙහිලා ඉන් අපට ආදර්ශයක් ගත හැකි” යි යනුවෙන්ද
ජනාධිපතිතුමා කළ දෙසුමෙහි සඳහන් වේ.
“අද සාංචිය වෙත මගේ සංචාරය මූලික වශයෙන් මගේ රට වැසියන්
වෙනුවෙන් සිදු කරන කෘතවේදී කි‍්‍රයාවක් පූජනීය සාංචි වෙහෙරට
ගෞරවාදරය පුද කිරීමටත් මෙම ප්‍රදේශයේ අභිමානවත් අතීතයට ආචාර
කිරීමටත් මා මෙහි පැමිණියේ වන්දනාකරුවකු ලෙස”යි යනුවෙන්ද
ජනාධිපතිතුමා එහිදී සඳහන් කර ඇත.
මේ අනුව බලන විට අප දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තව තවත්
වර්ධනය කැරෙන අතරම එමගින් සමාජ සංවර්ධනයට සුවිශේෂී මෙහෙවරක්
සිදුවන ඓතිහාසික මොහොතක් එසේ උදාවූ බව මෙසේ සටහන් කරමු. |