උසස් පෞරුෂයකට
බුද්ධචරිතයෙන් ආදර්ශ
පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයනාංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
සිත,කය සහ වචනය යන ද්වාරත්‍රයේ ශික්ෂිත බව, සුචරිතවත් ක්‍රියාකාරිත්වය
පුද්ගල අධ්‍යාත්මික වර්ධනයටත් විශ්වසනීයත්වයටත් හේතුවේ. තමා පිළිබඳ ඇති
මධ්‍යස්ථ බව පුද්ගලයාට තමා පිළිබඳ වන අවබෝධය නිරවුල් කර දෙයි. තමා
පිළිබඳ අධිතක්සේරුවකින් වෙසෙන පුද්ගලයා මානාධික වන අතර තමා පිළිබඳ
අවතක්සේරු කරන්නා හීනමානයෙන් ද අනෙකකු හා සමානත්වයකින් සලකන්නා
සදිසමානයකින් ද පෙළෙයි. ඔහු තමන් පිළිබඳ නිවැරැදි වැටහීමක් ඇති කර
ගැනීමට ඇති අවස්ථාවෙන් දුරස්ථ වේ.
ඒ වැනි වූ මානසික තත්ත්වයක් ඇති පුද්ගලයකුගේ අධ්‍යාත්මික තත්ත්වය
පිරිහෙන අතර පුද්ගල පැවැත්මට මෙන්ම සමාජ ක්‍රියාකාරිත්වයට ද බාධාවක්
වේ. එපමණක් නොව එවැන්නකු පුද්ගල පෞරුෂයෙන් හීන බවට පත්වීම ද
නොවැළැක්විය හැකිය.
මෙහිදී පුද්ගල පෞරුෂය යනු කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. පුද්ගලයකුගේ
පෞරුෂය ඔහුගේ කායික ශක්තිය හෝ ප්‍රමාණය මත තීරණය නොවන්නකි. යමකුගේ සිත
හා එහි ක්‍රියාකාරි ශක්තියත් චින්තන වේගයත් නිවැරැදිව දමනය කර ගනිමින්
කය හා වචනය ඊට අනුරූපීව හැඩ ගස්වා ගැනීම පුද්ගල පෞරුෂය ලෙසින් සරලව
අර්ථගැන්විය හැකිය. එමෙන්ම පුද්ගල මානසිකත්වයේ ඍජු භාවය ද පුද්ගල
පෞරුෂය ලෙසින් දැක්වීම නිවැරැදිය. සිත හා බැඳුණු ගතේ ක්‍රියාකාරිත්වය
පෞරුෂය ප්‍රදර්ශනාත්මකව ඉස්මතු කරයි. පෞරුෂය යනු පුද්ගලයකු හඳුනා
ගැනීමේ දී කැපීපෙනෙන ලක්ෂණයකි. එය පුද්ගල ගති පැවැතුම්, හැකියා
,දක්ෂතා, අනලස්බව, ආකල්ප,රුචි අරුචිකම් හා ලැදියාව යන ගුණාංග සමුදායක
සංකලනයකි. මනෝවිද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයනට අනුව, පුද්ගලයා
සමාජීය අවස්ථාවන්ට මුහුණ පෑමේ දී මතුවන ඔහුගේ ගතිලක්ෂණ සමස්තයේ
වේගාත්මක අපූර්ව සංවිධානය ස්වීයත්වය හෙවත් පෞරුෂය යනුවෙන් ද දළ
නිර්වචනයක් දිය හැකිය.ආරය හා පරිසරය ද ඒ අතරවන අන්තර් ක්‍රියාවලිය ද
පුද්ගල පෞරුෂය හා බැඳී පවතියි.
පරිණත පෞරුෂ ගති ලක්‍ෂණවලින් හෙබි පුද්ගලයා තුළින් දිස්වන ගති ලක්ෂණ
කවරේද යන්න සලකා බැලිය යුතුය. පරිණත පෞරුෂයකින් හෙබි තැනැත්තා
දූරදර්ශිව සිතයි. අධිෂ්ඨානයකින් හා යහ පරමාර්ථ සහිත නිවැරැදි බවකින්
යුතුව ක්‍රියා කරයි. ත්‍යාගශීලිත්වය, අවංකත්වය, අපක්ෂපාතිත්වය හා
නායකත්වය ඉස්මතු කෙරෙන අතර තමා කරන කටයුත්ත මහත් උනන්දුවකින්,
උද්‍යෝගයකින් හා වීර්යයකින් යුතුව ඉටු කරලීමේ හැකියාව ඇත. වගකීමක්
දැරීමේ හැකියාවත්, සියල්ල සිනාමුසු මුහුණින් ඉවසන, අකම්පිත වූ
ස්ථාවරත්වයක් සහිත වීම ද උසස් පෞරුෂයක ලක්ෂණ වේ.
බුදුදහම හා පුද්ගල පෞරුෂය අතර ඇති සබඳතාව සුවිශේෂි වේ. බුද්ධ චරිතය
පුද්ගල පෞරුෂය වර්ධනය කරන ආකාරය උපදේශාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද පෙන්වා
දෙයි. බුදුරජාණන් වහන්සේ සිය චරිතාංග තුළින් ආදර්ශමත්ව උසස් පෞරුෂයක්
ගොඩනඟාගත යුත්තේ කෙසේ ද යන්න ලෝකයාට පෙන්නුම් කළ ශාස්තෘන් වහන්සේ නමකි.
උන්වහන්සේ වැඩ වාසය කළ සෑම මොහොතක්ම ගත වූයේ සිය පෞරුෂය පදනම් කරගත්
අර්ථාන්විත මෙහෙයක් ලෝකයා වෙත ඉටු කරමිනි. එළැඹි සියලු දුක්ඛ
දෝමනස්සයන් උපේක්ෂාවෙන් ඉවසමින් සිය අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම
අරභයා උන්වහන්සේ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග උන්වහන්සේගේ මහාපුරිස
ගති ලක්ෂණ මනාව ඉස්මතු කරයි.
රාජ කුමාරයකු ලෙසින් උපත ලබා වසර දහසයක පමණ කෙටි කාලයක් තුළ ශිල්ප
ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කොට නායකත්වයට හිමි ගති ලක්ෂණ පෙන්නුම් කිරීමට
සිද්ධාර්ථ කුමරු සමත්විය. උයන් කෙළියට යෑමේ දී දුටු සතරපෙරනිමිති
තුළින් ජීවිතයේ ඇති අනියත බව දැක කලකිරීමට පත්ව සියලු සැපත් හැරීමට හා
සත්‍ය ගවේෂණයට සිත් යොමු කිරීමට ගත් තීරණය උන්වහන්සේගේ අධිෂ්ඨාන
ශක්තියත් බුද්ධිමත් බවත් මොනවට පැහැදිලි කරයි.
සය වසක දුෂ්කර ක්‍රියාවද බෝධිසත්වයන් වහන්සේ නමක වශයෙන් උන්වහන්සේගේ
අධිෂ්ඨානශීලිත්වයට නිදසුන් සපයයි. සියලු සැපත් හැර පියා වනගතව හුදෙකලාව
සිය විමුක්තිය තකා කටයුතු කළ එම දුෂ්කර අවධිය කෙතරම් කටුකවීද යන්න
අරියපරියේසන සූත්‍රය පැහැදිලි කරයි. හිසට සෙවණක් නැතිව කුසට අහරක්
නොමැතිව වන අරණේ බවුන් වඩන බෝසතාණන්ගේ අදිටන විමුක්තිය මිස අනෙකක්
නොවීය. තලැටක් පමණ අහරෙන් යැපෙමින් තිර අදිටනක පිහිටමින් උන්වහන්සේ සිය
කටයුතු මෙහෙය වූහ. අදිටන කිසි දිනක බිඳනොගත් සේක. සසර දිවියේ දී අනන්ත
දුක් විඳිමින් සමත්‍රිංශත් පාරමි ධර්මයන් උන්වහන්සේ වර්ධනය කළේ ද සසර
දුකින් අපමණ දුක් විඳින්නන් ඉන් එතෙර කිරීම අරමුණුකොට ගෙනය. ඒ වෙනුවෙන්
වූ අපරිමිත කාරුණික බවද අධිෂ්ඨාන ශක්තියද උන්වහන්සේ තුළ විය.
තෙමසක් මුළුල්ලේ වේරඤ්ජාවේ දී යව ආහාර වළඳමින් එම වස්කාලය ඉක්ම වූ
ආකාරය බුදු සිරිතේ ආදර්ශවත් බව කියා පාන්නකි. මිසදිටු වදනට අනුව කටයුතු
කළ මාගන්දියා හා චිංචමානවිකාව ආදින් නිසා දසතින් අනේකවිධ අපවාද
බුදුරදුන් වෙතත් මහසඟරුවන වෙතත් එල්ල වෙන අවස්ථාවේ ආනන්ද තෙරුන් එම
අපවාද හමුවේ නුවර හැර යෑමට යෝජනා කළ විට සියලු අපවාදයනට නිහතමානීව
මුහුණ දෙමින් අසත්‍යයේ පහත් බවත් සත්‍යයේ ජයග්‍රහණයත් ලෝකයාට පෙන්නුම්
කොට වදාළහ. ඒ උසස් චරිතාංගයක් වන නොසැලෙන ගුණයේ උදාරත්වය සනිටුහන්
කරමිනි.
ලාභය අලාභය සම සිතින් විඳි බුදුරජාණන් වහන්සේ රජුගේ දානයත් රාජ
මාළිගයත් දුගියාගේ දානයත් දුගියාගේ පැලත් එක ලෙසින් සලකා සැමට සෙත
සැලසූ සේක. සුනීත හා සෝපාක වැනි සමාජයේ අන්ත අසරණ බවට පත්ව දුගී බවේ
පත්ලට වැටී සිටි පිරිස් වෙත සිය කාරුණික දෑත දිගුකොට නඟා සිටුවා
සසුන්දොර විවර කොට දෙන ලද්දේ ද නිහතමානීත්වය මූර්තිමත් කරවමිනි.
අංගුලිමාල ගුරු පූජාවක් වෙනුවෙන් ඇඟිලි කපා මාලාවක් කොට කරේ රුවාගෙන
,මව පැමිණියත් ඇයත් මරා ඇඟිල්ල කපා ගැනීමට සිතා වනය පීරා සැරිසැරූ
අවස්ථාවේ ඔහු වෙත වැඩම කොට ආර්ය සත්‍යයට ගරු කරන පුද්ගලයකු බවට පත්කොට
වදාළේ අපමණ කාරුණිකත්වයෙනි. පුද්ගල ශික්ෂණයට උන්වහන්සේ ලබාදුන් අවවාදය
මහත්ය. සමාජයේ ගැරැහුමට හා අපවාදයට ලක්ව කිසිවකුගෙන් කිසි පිළිසරණක්
නොමැතිව ලෝකයේ අතරමං වූ පටාචාරාවගේ දුක්ගිනි නිවීමට බුදුන් වහන්සේ
ඉදිරිපත් වූ සේක. ඇයට සරණක් වී සසුන් දොර ද විවර කොට භව ගමනින් ද
නිවීමක් උදාකරදීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ සේක. සිය පුතු මළ
සොවින් මළ සිරුර වඩාගෙන ගෙයක් පාසා ඇවිදගිය කිසාගෝතමියට පිහිට වූයේ
බුදුරදුන්ය. සිය ශක්තියෙන් මහත් සේවයක් කොට අවසානයේ දී කිසිවකුගේ
සැලකිල්ලක් නොලත් ධනපාල වැනි හස්තීන් පවා බුදුරදුන්ගේ
මහාකාරුණිකත්වයෙන් සැනසීමක් ලැබීය. තමා මැරීමට නොයෙක් උපක්‍රම භාවිත කළ
දේවදත්ත තෙරුන්ටත් සිය පුත් රහල් තෙරුන්ටත් උන්වහන්සේ දැක්වූයේ එකම
කාරුණිකත්වයකි. පුද්ගල චරිතාංගවල අඩුලුහුඩුකම් ඇති මුත් එම අඩුපාඩු
පෙන්වාදෙමින් යහපත් තැනැත්තත් බවට ඔවුන් පත්කිරීම සෙසු අය වෙතින්
ඉටුවිය යුතු මහත් මෙහෙයක් බව උන්වහන්සේ ආදර්ශයෙන් ලෝක ප්‍රජාවට පෙන්වා
වදාළහ.
අල්පේච්ඡත්වය ද පුද්ගල පෞරුෂයක දැකිය හැකි උදාර ගුණාංගයකි. බුදුසිරිත
අල්පේච්ඡත්වයේ ප්‍රතිමූර්තියක් බඳුය. සැහැල්ලු බව උන්වහන්සේ නිරතුරුව
අගය කළ සේක. වන අරණ කායික මානසික නිදහසේ ප්‍රමුඛ තැනක් ලෙසින්
උන්වහන්සේ අගයකළා පමණක් නොව බොහෝ අවස්ථාවල වන අරණේ බවුන් වඩමින්
අල්පේච්ඡත්වයේ අගය ලෝකයාට වටහා දුන් සේක.රාජරාජමහාමාත්‍යාදින් ලක්ෂ
ගණනින් වියදම් කොට ජේතවනය,වේළුවනය හා නිග්‍රෝධාරාමය වැනි මහා විහාර
උන්වහන්සේ වෙනුවෙන් ඉදිකොට පූජා කළද ඒ සියල්ල උපේක්‍ෂාවෙන් ඉවසමින් එහි
නොඇලි අල්පේච්ඡත්වයෙන් කටයුතු කළහ. ගම් නියම් ගම්වලට වැඩම කොට අසරණ
දනන් හට දහම් දෙසා සසර ගමනින් ඔවුන් මුදවාලීමට කටයුතු කළ අතර කිසි
විටෙක සැප පහසුකම් නොසෙවූ සේක.
අටලෝ දහමින් කිසි දිනෙක කම්පානොවූ උන්වහන්සේ ඒ සියල්ල සම මෙත් සිතින්
ඉවසූ ආකාරය ලෝකයාටම ආදර්ශයකි. මිසදිටුවන් බුදුරදුන් වෙත එල්ල කළ නින්දා
අපහාස අපමණය. බුදුරදුන්ගේ චරිතය විනාශ කිරීමට හා ගර්හාවට ලක් කර එම
චරිතය දූෂිත වූවක් ලෙසින් ලොවට පෙන්වාදීමට ගත් ව්‍යායාමයන් සියල්ල
ඉවසමින් කරුණාවෙන් මෛත්‍රි සහගත සිතින් උපේක්ෂාවෙන් ඒ සියල්ලට සාර්ථකව
මුහුණ දුන් සේක. ඔවුන්ගේ මිසදිටු බව බිඳීමටත් සත්‍ය මාර්ගය කවරක්ද යන්න
වටහා දෙමින් යහගුණයේ පිහිටුවීමටත් උන්වහන්සේ පියවරගත් සේක. වෛරය වෙනුවට
අවෛරීව නින්දාවට පිළිතුරු ලබාදීමට උන්වහන්සේ පොහොසත් වූහ. කීර්තිය
ප්‍රසංසාව කිසිදිනෙක සොයා නොගියහ.
දෙසැටක් මිසදිටු ආගමික මතවලින් වෙලි ගැලී සිටි සමාජයක ආගම් ව්‍යාප්තියේ
තරගකාරිත්වය කෙතෙක් ද යන්න නොකිවමනාය. බ්‍රහ්මජාල සූත්‍රය තුළ මේ
පිළිබඳ මනා විවරණයක් වෙයි. එනම්, ‘ස්වාමීනි මේ සැවැත්නුවර විවිධ දැක්ම
ඇති විවිධ මත දරන රුචි අරුචි ඇති විවිධ දෘෂ්ටීන් ගැනීමෙන් ඇලුණු නානා
වැදැරුම් තීර්ථකයෝ ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ සහ පරිව්‍රාජකයෝ වාසය කරති’
(ඉධ භන්තෙ සම්බහුලා නානා තිත්ථියා සමණා බ්‍රාහ්මණා පරිබාජකා සාවත්ථියං
පටිවසති නානා දිට්ඨිකා නානා බ්‍රාහ්මණා නාන රුචිකා නානා දිට්ඨි නිස්සාය
නිස්සසිතා) ආදි වශයෙනි. එමෙන්ම ඔවුනොවුන් වාද විවාද හා තර්කනය වඩාත්
මතු කරමින් වාසය කළ බව ද උදාන පාලියෙන් පැහැදිලි කරයි. ‘ඔවුහු කළකෝලාහල
කරමින් වාද විවාද කරමින් එකිනෙකාට වචන නමැති ආයුධවලින් පහර දෙමින් වාසය
කරති’ (තෙ භණ්ඩන ජාතා කලහාජාතා විවාදපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තිහි
චිතුදන්නා විහරන්ති) යනාදි වශයෙන් ඒ බව සඳහන් වේ. එබඳු පරිසරයක සිය දහම
මිනිසුන් අතර ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ ගත් ප්‍රයත්නය
අවිහිංසාවාදිය;අව්‍යාජය.
ඉතිරි කොටස ඔක්තෝම්බර්
08 වැනිදා පත්‍රයේ |