ඓතිහාසික සේරුවිල නිකිණි මහා පෙරහර
කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය
කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවාවිල ආසනයේ කොට්ටියාර් පත්තුවේ
තෝප්පූර්හි සේරු නම් විල සමීපයෙහි පිහිටි ගෞතම බුදුපියාණන් වහන්සේගේ
ශ්‍රී ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදි කරනු ලැබූ සේරුවිල චෛත්‍ය
රාජයාණන් වහන්සේ මුල් කොට ගෙන නිකිණි මහා පෙරහර සංවිධානය කෙරේ.
නැගෙනහිර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය මධ්‍යකාලීන යුගය දක්වා පැහැදිලි
ලෙසම දිව යයි. ඒ බව සනාථ කිරීම සඳහා ප්‍රාථමික මූලාශ්‍රයය රැසක් අප
සතුවේ.
තිරියායේ නිතුපත්පානෙහි පිහිටි අභිලේඛනය හා තදාශ්‍රිත නෂ්ටාවශේෂයන්
මගින් කියවෙන්නේ මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ මහායාන බෞද්ධ සම්ප්‍රදායට
අයත් ආයතනයක සංවර්ධිත ලක්‍ෂණයන් ය. කුච්චවේලි ප්‍රදේශයේ ගල් කුළු අතර
කොටා ඇති චෛත්‍ය ලක්‍ෂණ 16 සහිත සංස්කෘත මාධ්‍ය අභිලේඛනය ද ඉහත කරුණට ම
නිදසුනකි.
මෙකී ඓතිහාසික බෞද්ධ ආගමික තොරතුරු මෙන් ම වෙනත් ඓතිහාසික
මූලාශ්‍රයයන්ගෙන් ද පැහැදිලි ව පෙනෙන්නේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ
විශේෂයෙන් එවක ත්‍රිකුණාමලයේ දියුණුවේ ලක්‍ෂණයි. චෝඩගංගදේව නම්
කුමාරයාගේ ත්‍රිකුණාමල සම්ප්‍රාප්තිය සිදු වූ බව කියැවෙන ඉතා වටිනා
අභිලේඛනය ද හමුවන්නේ මේ ප්‍රදේශයෙනි. ඉහත කී හා නොකී බොහෝ ඓතිහාසික
මූලාශ්‍රයයන්ගෙන් පෙනී යන්නේ ශ්‍රී විභූ®තිමත් ඉතිහාසයක් සහිත
ත්‍රිකුණාමලයේ අභිමානවත් ප්‍රෞඩත්වයයි. බෞද්ධ උරුමයයි. ඓතිහාසික
සේරුවිල නිකිණි මහා පෙරහර මංගල්‍යය සතු ඓතිහාසිකභාවය සාකච්ඡා කිරීමේ දී
පසුබිම් තොරතුරු වශයෙන් ඉහත කරුණු ද වැදගත් ය.
සාහිත්‍ය මූලාශ්‍රයයන්ට අනුව මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහලවූ කකුසඳ,
කෝණාගම, කාශ්‍යප බුදු පියවරුන්ගේ ද පහස මේ සේරුවාවිලට ලැබී ඇත. ගෞතම
බුදු පියාණන් වහන්සේ පන්සිය නමක් සමග ලංකාවට වැඩි ගමනේ දී සේරුවාවිල
පින් බිමෙහි නිරෝධ සමාපත්තියට සම වැදී වැඩ සිටිය බවත් එම ප්‍රදේශයේ
ආරක්‍ෂාව සුමන නම් නාරජුට පැවැරූ බවත් දාගැබ් තැනවිය යුතු ස්ථානය
සලකුණු කිරීමක් වශයෙන් මෙම ස්ථානය වටා මහරහතන් වහන්සේ පිරිවරා
ප්‍රදක්‍ෂිණා කළ බවත් ධාතුවංශයේ සඳහන් ය.
කාවන්තිස්ස රජතුමන් විසින් මෙම ස්ථානයෙහි ලළාට ධාතු තැන්පත් කොට සෑයක්
කරවූ බව ද ධාතුවංශයේ වැඩිදුරටත් සඳහන් ය. තථාගත ධාතුන් වහන්සේ අතරින්
ලළාට ධාතුන් වහන්සේ මල්ලව රජ දරුවන්ට අයත් ව තිබී පසු ව මහාදේව මහරහතන්
වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබූ ලළාට ධාතුන් වහන්සේ මහානාග
රජු විසින් මහත් හරසරින් පිදූ බවත් එම මංගල්‍යය යටාලතිස්ස, අභය,
ගෝඨාභය, කාවන්තිස්ස යන රජවරුන් විසින් ද පවත්වා ගෙන ආ බවත් ඉතිහාසය
කියයි. ( මහානාග රජු දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා ය. පර සතුරු
උපද්‍රවයන්ගෙන් කාලයක් වල් බිහිව පැවති සේරුවිල සෑ රජුන් වහන්සේ සතු
නූතන සංවර්ධනයේ පසුබිම්කරුවා වූයේ අපවත් වී වදාළ මංගල ධර්මකීර්ති
නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරන්දර සහ ගාල්ල දොඩන්දූව
ශෛලබිම්බාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී කල්‍යාණවංශ මහානිකායේ මහානායක
දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහාස්වාමින්ද්‍රයන් වහන්සේ ය. 1922 දී දකුණේ
ගාල්ලේ සැදැහැවත් බෞද්ධයන් පිරිසක් සමග සේරුවාවිල වන්දනාවේ යෙදුනු ඉහත
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වන්දනා ගමන ඵල දුටුවේ ඒ අයුරිනි. එහි දී
එවක ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලියම් හෙන්රි මැනිං මහතා ද එහිලා
රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කර ඇත. 1922 පිහිටවූ සේරුවාවිල විහාර
චෛත්‍ය සංවර්ධන සමිතිය මගින් දෑවුරුද්දකින් කළ ප්‍රතිසංස්කරණයන් නිමවී
1931 දී ඉන් පසුව අත්‍යුත්කර්ෂවත් ලෙස සේරුවිල මංගල මහා සෑයේ කොත්
පැළඳවීමේ පුණ්‍යෙීත්සවය පැවැත්වූ බව සඳහන් ය. 1984 දී සුමේධංකර මහ නා
හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ අතර වර්තමාන විහාරාධිපති සේරුවිල
සරණකිත්ති නාහිමිපාණන් වහන්සේ මහානාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය
රත්නය වේ. සේරුවිල මංගල විහාරය ඇතුළු සිද්ධස්ථාන දහ හතරකට අධික
සංඛ්‍යාවකට නායකත්වය දෙමින් තර්ජිත ගම්මාන ද රැක ගනිමින් කටයුතු කරන
උන්වහන්සේගේ මෙහෙය අනුපමේය ය. මෑතකදී ත්‍රස්තවාදීන් මාවිල් ආරු සොරොව්ව
වසා දැමූ අවස්ථාවේ නිර්භීත ව ජීවිත පරිත්‍යාගයෙන් මාරාන්තික උපවාසයක
නියැලුණු උන්වහන්සේ මොන ම හේතුවක් නිසාවත් සේරුවිල ජනයා අමතක කොට
සේරුවිල හැර නොගියහ. රුදුරු කුරිරු ත්‍රස්තවාදයෙන් ප්‍රදේශය බේරාගත්
රණවිරුවන්ගේ උත්තරීතර පරිත්‍යාගය ද මෙහිලා සිහිපත් කළ මනාය.
සේරුවිල මහා සෑ රජුන් වහන්සේ වෙනුවෙන් බිනර පෝදා පැවැත්වෙන නිකිණි මහා
පෙරහර පූජාවට මෙසේ සුභාශිංසන පතන අතර ම සමස්ත නැගෙනහිර පළාත ද ආලෝකවත්
කරමින් සිරිලක් දිවයිනට ම මහා සෑ රජුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා යි
මෙසේ ආසිරි පතම්හ. |