UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
සකල සත්වයා කෙරෙහි හිතානුකම්පාව දැක්වීම බෞද්ධ ඉගැන්වීම බව ‘ සබ්බේ සත්තා සංකල්පය” පෙළ දහමෙහි අවධාරණය කෙරේ. සූත්‍ර දේශනා ඇසුරෙන් මෙය පැහැදිලි කරන්න.

පිළිතුර
කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට අනුව මවක් තම එකම පුතු යම්සේ රකින්නේද එසෙයින්ම සව් සතුන් කෙරෙහි අප්‍රමාණවූ මෙත් සිත වැඩිය යුතුය. අංගුත්තර නිකාය මෙත්ත සූත්‍රයෙහි සඳහන් වන්නේ අපා - දෙපා - සිව්පා - බහු පා සව් සතුන් වෙත මාගේ මෛත්‍රිය වේවා.

‘ අපාදකෙහි මෙ මෙත්තං
මෙත්තං දිපාදකෙහි මෙ
චතුප්පදෙහි මෙ මෙත්තං
මෙත්තං බහුප්ප දෙහි මෙ
සබ්බේ - සත්තා සබ්බේ පාණා
සබ්බේ භූතා ච කෙවලා
සබ්බේ හදානි පස්සන්තු
මා කංචි පාප මා ගමා

සියලු සත්වයෝ සියලු ප්‍රාණියෝ සියලු භූතයො යන හැම දෙන ( භද්‍රදෑ ) හිතකාමී දේවල් දකිත්වා කිසිවෙකු කරා අහිත දැයක් නොඑළඹේවා යනුයි. සංසාරික ප්‍රවෘත්තියෙහිදී ( ගමනෙහිදී ) මිනිසාට නොනෑවූ කිසිවකුත් මිනිසුන් අතර තබා තිරිසන් සතුන් අතර ද නොවේමය.

ප්‍රශ්නය
සත්ව ප්‍රජාව තුළ මිනිසාට විශිෂ්ට ස්ථානයක් හිමිකර දෙන බුදුදහම “ සංයුත් සඟියේ ජිග්ගල” සූත්‍රයේ එන පරිදි මහ මුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක එම සිදුරෙහි සියවසකට වරක් උඩ එන කණ කැස්බෑවකු ගෙල පිවිසෙන්නට ඉදින් අවස්ථාවක් ලබන්නේද නුසුදුසු තැනක සිට මිනිසත් බව ලැබීම ඊට ද වඩා අපහසු දුර්ලභ කරුණකැයි සඳහන් කරයි. කිච්චො මනුස්ස පටිලාභො” මෙසේ සෙසු ජීවින් අතර විශිෂ්ටයා වුවද සමාජය තුළ පරමාධිපත්‍යයක් බුදු දහම ඔහු වෙත පවරා නැත. පැහැදිලි කරන්න.

පිළිතුර
මිනිසා ද හේතු ප්‍රත්‍ය සමවායක ප්‍රථිඵලයක් නිසා එම ධර්මතාවයට අනුව ඔහුද පැවතිය යුතුමය. “ නළ කලාප සූත්‍රය පෙන්වා දෙන පරිදි එකිනෙක නොවැටී කෙළින් එකට නැඟී සිටින බට දඬු දෙකක් මෙන් සාපේක්‍ෂකව පැවතිය යුතුය. ඉන් එකක් ඉවත් වුවහොත් අනෙක ද වැටේ මිනිසාට නැගී සිටිය හැක්කේ හේතු ප්‍රත්‍ය රාශියක එක්වීමෙනි. පතිරූපදෙස වාසය මෙන්ම සප්පුරිස ආශ්‍රයත් දියුණුවට මූලික හේතුවක් වෙයි. භෞතික පාරිසරික සාධකය මෙන්ම සමාජ සාධකය ද මිනිස් ප්‍රගතියෙහිලා මූලික වෙයි. මිනිසා සතු සිය කැමැත්ත සේම ( ස්වච්ඡන්දතාවය ) කුසගින්න, දිරායාම වැනි සාධක මිනිස් සමාජයටද පොදුයි. ආර්ථික හේතූන් පමණක් නොව සංස්කාරයන් සතු මූලික ලක්‍ෂණය වන අනිත්‍යතාවයද මිනිසා කෙරෙහි ආධිපත්‍යය පතුරුවයි. මේ සියලුම කරුණු තුඩුදෙන්නේ මිනිසා ලෝකයෙහි සත්ව ප්‍රජාව තුළ විශිෂ්ඨස්ථානයක් විනා පරමාධිපත්‍යයක් ලබා නොමැති බවය.

ප්‍රශ්නය
දඹදිව නාලන්දා නුවර විසු ඉතා ධනවත් ගෘහපතියෙක් ජෛන නිගණ්ඨනාථපුත්ත ශාස්තෲවරයා අමතා මෙසේ කියයි. “ මම බුදුන් හමුවට ගොස් දිග ලොම් ඇති එළුවෙකු ලොම් වලින් ඔබමොබ ඇද වෙහෙසට පත්කරන්නාක් මෙන් බුදුන් හා වාද කොට වෙහෙසට පත් කරන්නෙමි. මේ තැනැත්තා කවුද ?

පිළිතුර : ජෛන මහාවීර ශ්‍රාවක උපාලි ගහපති

ප්‍රශ්නය
සිය සැමියාට තම චරිතයෙහි උසස් ගුණ සිහිකරමින් සත්‍ය ක්‍රියාකොට සිය සැමියා සුවපත් කළ උත්තම කාන්තාවගේ නම කුමක්ද ?

පිළිතුර
නකුල මාතාව

ප්‍රශ්නය 
බෞද්ධ සීලය පැරැණි භාරතීය සමයවාදීන් අතරවු ව්‍රත සමාදන් වීමක් නොවේ. අජව්‍රත- ගොව්‍රත – උදකොරොහන ව්‍රත ආදී ව්‍රත සමාදන් වීමක් නොවේ. “ සීල පරිභාවිනො චිත්ත සමාධි” පරමාර්ථ සාධනය සඳහා ආදී චරණයක් ( පළමු හැසිරීමක ) පමණි. බෞද්ධ සීලයෙහි විවිධ ප්‍රභේදයන් අතර හීන සීල – මජ්ඣිම සීල – පණීත සීල යනුවෙන් කොටස් තුනකි පැහැදිලි කරන්න.

පිළිතුර
කීර්ති ප්‍රශංසා - භවභෝග සම්පත් කැමැතිව සමාදන්ව රක්නා ශීලය හීන ශීලයැයි සිල් රැකීමෙන් මතු උසස් කුල උපත හා දිව්‍ය සම්පත් ලැබීම සඳහා සිල් රැකීම මධ්‍යම සීලයයි. සියලු සතුන් සසරින් එතර කරනු සඳහා රකිනු ලබන බෝසත් සීලය ප්‍රණීත සීලය නම් වෙයි.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අරඹයා දේශනා කොට වදාළ ජාතක කථා දේශනාව කුමක්ද ?

පිළිතුර
චුල්ලසෙට්ඨි ජාතක කථා ධර්ම දේශනය චුල්ලපන්තක තෙරුන් අරභයා දේශනා කළ වදාළහ.

ප්‍රශ්නය
චතුයාම ‘ සංවරවාදය’ ඉදිරිපත් කළ බුද්ධකාලීන ශාස්තෘවරයා කවුද?

පිළිතුර
ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයා විසින් චතුයාම සංවරවාදය ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය
සද්ධර්මය - සන්දිට්ඨික – අකාලික ඒහි පස්සික, ඔපනයික, පච්චත්තං වෙදි තබ්බ යන ගුණයන්ගෙන් යුක්තය. මෙහි ‘ සන්දිට්ඨික’ දහම් ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර
දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨ නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවෙධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නාසේම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය
අමරා වික්ඛෙපවාදය ඉදිරිපත් කළ ශාස්තෘවරයා බුද්ධ කාලීන අයෙකි. ෂට් ශාස්තෘවරුන් අතුරින් ඉතාමත් දුර්වල අදහස් ඉදිරිපත් කළ මොහුගේ නම කුමක්ද ?

පිළිතුර
සංජය යනු මොහුගේ ආරම්භක නාමයයි. පියාගේ පරපුරු නාමයත් එකතු වීමෙන් සංජය බෙල්ලට්ඨිපුත්ත නම් වූ ඔහු අමරාවික්ඛෙප වාදය ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ සයවන වස් කාලයෙහි බිම්බිසාර මහරජුගේ අග මෙහෙසිය රූප මදයෙන් මත්ව සිට පසුව බුදුරදුන් වෙතින් මහානිදාන සූත්‍ර දේශනාව අසා සෝවාන් වූවාය. රජුගෙන් අවසර ගෙන පසුව පැවිදිව අඩමසකට පසුව පහනක ඇවිලීමත් නිවීමත් අරමුණුකොට විදසුන් වඩා රහත් වූවාය. මේ තැනැත්තියගේ නම කුමක්ද ?

පිළිතුර
බිම්බිසාර මහරජුගේ අග මෙහෙසිය වූ ඛේමා බිසව බුදුරදුන්ගෙන් බණ අසා විදසුන් වඩා රහත් වූවාය.

ප්‍රශ්නය
සැබෑ බෞද්ධයකු හැඳින්වීම සඳහා සද්ගුණවත් – ධනපති – දානපති යන සම්මානනීය නාමයන්ගෙන් බුහුමන් ලබයි. බෞද්ධ පිළිවෙතට අනුව “ ධනපති” යන්න ආර්ය ධන සතක් වශයෙන් ( සප්ත ආර්යධන ) පෙළ දහමෙහි හඳුන්වා දී ඇත. බාහිර ව්‍යවහාරික ධනයන්ට වඩා මෙම සද්ගුණ වඩා උසස් වෙයි. “ අරිය “ යන්න උත්තම උසස් යන අර්ථයන්හිම විවරණය වෙයි. සප්ත ආර්ය යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
සද්ධා ධනං - සීල ධනං
හිරි ඔත්තප්පියං ධනං
සුත ධනංච චාගොච
පඤ්ඤා මෙ සත්තමං ධනං
ශ්‍රද්ධාව - ශීලය – ලජ්ජාව - භය
ශ්‍රතවත්බව - පරිත්‍යාගය – ප්‍රඥාව

ප්‍රශ්නය
සිත ආවරණය කරන දියුණුව වළකන දේ වශයෙන් සළකන පංච නීවරණයන්ගෙන් එකකි කාමච්ඡන්ද නීවරණය පැහැදිලි කරන්න.

පිළිතුර
රූප - ශබ්ද – ගන්ධ – රස හා ස්පර්ශ යන පංචවිධ ප්‍රියජනක අරමුණු විෂයෙහි ඇලීම කාමච්ඡන්දයයි. මෙය සත්වයා සසර බැඳ තබන සංයෝජනයක් වශයෙන් ද හැඳින්වෙයි. සිත් ගන්නා සුළු කාම වස්තූන් නිසා සාමාන්‍ය පුහුදුන් සිත් සතන් ව්‍යාකූල තත්වයට පත් කරයි. මෙම නීවරණය එබඳු අවුල් මනස් ඒකාග්‍රතාවයක් සඳහා යොමු කර ධ්‍යාන ආදී උසස් මානසිකත්වයක් ගොඩ නැගීමට ආධාර වෙයි. සකෘදාගාමී වනවිට කාමච්ඡන්දය දුර්වල කරන අතර අනාගාමී විමෙහිදී මුලුමනින්ම කාමච්ඡන්ද නීවරණය ප්‍රහීන වෙයි.

ප්‍රශ්නය
පහත රට ප්‍රදේශයේ එක් අවස්ථාවක පිරිහී ගිය ධර්ම ශාස්ත්‍රීය සේවාව නැවතත් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ මහ තෙරුන් වහන්සේගේ නම කුමක්ද ?

පිළිතුර
වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ පහතරට ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි පුරෝගාමීවූ සේක.

 

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]