UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිළිවෙතෙහි යෙදූ සිත සිදුකරන යහපත

බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුයේ තමන්ගේ හිත තමන් විසින් නිවැරැදිව පිහිටුවා ගනු ලබන්නේ නම් තම මව් දෙමාපියන්ටවත් නැදෑ හිතමිතුරන්ටවත් තමා වෙනුවෙන් කළ නොහැකි උතුම් උදව් පදව් සිය සිත විසින් තමාට ලබාදෙන බවයි.

මනාකොට හදාවඩා ගත් තමන්ගේ හිත තම මව්පියන් විසින් පවා නොකළ හැකි උතුම් බවක් ඇතිකර වන්නේය යනුවෙන් ධම්මපදයෙහි දැක්වෙන ගාථා ධර්මයක් වෙයි.

නතං මාතාපිතා කයිරා -අඤ්ඤෙවා පිච ඤාතකා
සම්මා පණීහිතං චිත්තං – සෙය්‍ය සො නං තතො කරේ

ජීවමාන බුදුරදුන් දවස “සොරෙය්‍ය නම් නුවර” සොරෙය්‍ය නම් වූ ඉතා ධනවත් සිටුවරයෙක් වාසය කරනු ලැබීය. එක දවසක් ඔහු තමන්ගේ රථයට නැගී යහළුවකු සමග ගමනක් පිටත් විය. එසේ යන අතරමගදී ඔහුට දක්නට ලැබුණේ මහා කච්ඡායන තෙරුණ් වහන්සේ “ මග වඩින අවස්ථාවකි. මනා රූසිරු බවින් පිරි මහා කච්ඡායන හිමියන්ගේ ශරීර ස්වභාවය දුටු සොරෙය්‍ය සිටුවරයාගේ සිත වික්ෂිප්ත භාවයට පත් විය. සිතිවිලි වෙනස් විය. නොසිතිය යුතු සිතිවිල්ලක්. එකවර ඔහුගේ සිතට හැඟුණි. ඔහුගේ හිතට නැගුණු සිතිවිලි නම් මෙයයි. මේ තෙරුණ් වහන්සේ මාගේ බිරිඳ වූවා නම් කොපමණ හොඳ ද? යන්නයි. මහා කච්ඡායන තෙරුණ් වහන්සේ රහතන් වහන්සේ නමකි. යම් කිසි සිතිවිල්ලක් පවා එතුමන් වහන්සේලා කෙරෙහි වැරැදි සහගත ලෙස හටගනු ලබන්නේ නම් එයද බරපතළ පාපයකි. එසේම අපරාධයකි. සොරෙය්‍ය සිටුවරයා නොදැනී වුවත් සිතූ සිතිවිල්ල බරපතළය. එවකට දෙදරු පියෙකු වශයෙන් සිටි ඔහු විසින් නොසිතිය යුතු සිතිවිල්ලකි. බුදු දහමෙහි බොහෝ කර්ම සිතින් සිතාම වචනයෙන් ප්‍රකාශ කළ විටද සිතින් සිතාම කයෙන් කළ විටද විපාක ලැබෙන බව දක්වයි. ඇතැම් අකුසල කර්ම මානසික ඒවාය. එනම් අභිජ්ක්‍ධාව (දැඩි ලෝභය) ව්‍යාපාද (අනුන් නැසීමේ චේතනාව) මිථ්‍යාදෘෂ්ටිය (වැරැදි දැකීම) දස අකුසල් වල සිතින් සිදුවන අකුසල් ලෙස දක්වා ඇත්තේ මේවායි. සොරෙය්‍ය සිටුවරයාට ඇතිවූ සිතිවිල්ල මේ එකකටවත් ඍජු වශයෙන් අඩුවෙන ඒවා නොවේ. එනිසාම මෙය එක්තරා අයුරකින් මානසික අහඹු අකුසලයක් ලෙසද දැක්වීම වරදක් නැත.

සොරෙය්‍ය සිටුවරයා විසින් කරගත්තේ බලවත් අකුසල කර්මයකි. ගිහි පිරිමි කෙනකුගේ, ශරීරය දැක භාර්යාවකගෙන් සිදුවිය යුතු ක්‍රියාවක් ඔහුගෙන් බලාපොරොත්තු වීම මානසික වශයෙන් කෙනෙක් සිදුකර ගත්තේ අකුසල කර්මයක් බව මෙයින් හෙළි වේ. සොරෙය්‍ය සිටුවරයා සිය සිතිවිල්ල ඇතිකර ගත්තේ සියලු කෙලෙස් දුරින් දුරුකර රහතන් වහන්සේ නමක් වෙනුවෙනි. කෙලෙස් බරිත සමාජය සහ කෙලෙස් රහිත සමාජය අතර බරපතළ වෙනසක් පවතින බව ධර්ම සාහිත්‍යයේ දක්නට ලැබේ. සොරෙය්‍ය සිටුවරයා තමා කළ අකුසල කර්මයේ විපාක එසැනින් ලැබුවේ තමාගේ ශාරීරික පිරිමි අවයව සියල්ල ස්ත්‍රී බවට පත්විය. ලිංගික විපර්යාසයන් සිදුවිය. තමාගේ සිරුර දෙස බලන සොරෙය්‍ය සිටුවරයා තමා පිළිබඳව ඇතිකර ගත්තේ විමතියකි. සමාජයේ කිසියම් තත්වයක ජීවත් වූ කෙනකු හැටියට සමාජයට මුහුණදීමට බැරි බව ඔහුට වැටහී ගියේය. එනිසාම තමන් ජීවත් වූ නුවරත් බිරිඳද ඇතුළු දරු දෙදෙනාත් සිටු තනතුරු දක්වා වූ සියලුම ධනයත් අතහැර දමා හොර රහසේම කිසිවකුටවත් නොකියා තක්සලානුවරට පැන ගියේය. අප්‍රකට කාන්තාවක ලෙස එම නුවර ජීවත්වන්නට විය.

මේ සිද්ධියත් සමගම පැහැදිළි වන කරුණු කාරණා කිහිපයක් වෙයි. ඒ අතර ප්‍රධානත්වය ගන්නේ ඕනෑම මිනිසකු තමන්ගේ තත්වය ඉතා උසස් කොට සලකන බවයි. මෙහි පැහැදිළි කරනු ලබන තත්වය යන වචනය එම සිද්ධිය ඇසුරෙන් වටහා ගත යුතුය.

තක්සලා නුවර අප්‍රකට කාන්තාවක ලෙස කළක් ජීවත් වීමෙන් පසු ඒ නුවර ධනවත් මිනිසෙක් ඇය විවාහ කරගත්තේය. ටික කලක් ගත වන විට දරුවකුද ලැබිණ. දෙදරු මවක වූ පසු කිසියම් කටයුත්තක් සඳහා නුවරට ගිය අයට සැගවී සිටි චරිතය එළිපෙහෙළි කරන්නට වුන සිද්ධියකට මුහුණ පෑවේය. එනම් සොරෙය්‍ය නුවර තමා ළඟින් ඇසුරු කළ පාපී හිත මිත්‍රයකු මුණ ගැසීමයි. දෙදෙනා දැන හඳුනාගෙන කතා බස් කිරීමේදී ඇය විසින් මෙතෙක් සඟවාගෙන සිටි සියලු පවත් සිය මිතුරාට කියා පෑවේය. එනම් මහා කච්ඡායන රහතන් වහන්සේ දැක උන්වහන්සේ පිළිබඳව වැරැදි සිතිවිල්ලක් ඇතිකර ගැනීම නිසා තමන්ට මෙය සිදුවූ බවයි. එනිසාම සමාජයට මුහුණ දීමට නොහැකිව මෙසේ රහසිගත ජීවිතයක් ගත කිරීමට ඉටා ගත්තාය. සිද්ධිය අසා සිටි මිත්‍රයා ඇයට තවත් යෝජනාවක් කළේය. එනම් මෙයට බොහෝ කළකට පෙර තමා අතින් සිදුවූ අත්වැරැද්ද මහා කච්ඡායන රහතන් වහන්සේ සමීපයෙන් දක්වා වරද සමා කරගන්නා ලෙසයි. ඒ කාර්යය සඳහා තම යහලුවාට උදව් උපකාර කිරීමේ අටියෙන් තමාටද සහභාගි විය හැකි බවයි. ඒ අනුව දෙදෙනා විසින් රහතන් වහන්සේ මුණගැසී සිදුවු අත්වැරැද්ද ප්‍රකාශ කොට සමාව ඉල්ලා සිටියේය. තෙරුණ් වහන්සේද නොදැන සිදුවූ වරදට සමාව දුන්හ. වරද නිවරද වීමත් සමග නැවතත් ලිංගික විපර්යාසයකට පත් විය. කාන්තා වෙස් අතුරුදන් වී පිරිමි බවට පත්විය.

මේ වන විට සොරෙය්‍ය සිටුවරයා පිරිමියකු ලෙස දරුවන් දෙදෙනෙකුගේ ද කාන්තාවක ලෙස දරුවන් දෙදෙනෙකුගේද සිවු දරු පිරිසකගේ පියකු සහ මවක වී සිටියේය. ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක්ද ලබා සිටියේය. ගිහි ජීවිතයේ සියල්ල අතහැර පැවිදි බවට පත්විය. සොරෙය්‍ය සිටුවරයා ලෙස සිටින විට ලැබූ දරුවන් දෙදෙනාටද කාන්තාවක ලෙස සිටින විට ලැබූ දරුවන් දෙදෙනාටද තමන් වඩා ආදරේ යැයි පිරිස අසන විට ඔහු කීවේ දරුවන් හතර දෙනාටම එකසේ ආදරේ නමුදු තමා වැඩිපුරම ඇල්මක් දක්වන්නේ කාන්තාවක වශයෙන් සිටින විට ලැබූ දරුවන්ට බවය. මහණ වී රහත් වූ පසුව කිසිවෙකුටත් ආදරය නැතැයි ප්‍රකාශ කරනු ලැබීය.

මෙම සිද්ධිය අරභයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුයේ තමන්ගේ හිත තමන් විසින් නිවැරදිව පිහිටුවා ගනු ලබන්නේ නම් තම මව් දෙමාපියන්ටවත් නැදෑ හිතමිතුරන්ටවත් තමා වෙනුවෙන් කළ නොහැකි උතුම් උදව් පදව් සිය සිත විසින් තමාට ලබාදෙන බවයි.

සටහන -
හේමමාලා රන්දුනු

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]