සද්ධර්ම
ශ්‍රවණයට
මූලික වන්නේ ශ්‍රද්ධාවයි
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
තලල්ලේ
චන්දකිත්ති හිමි
තථාගතයන් වහන්සේ ලොව පහළ නො වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට
හමුවවන්නේ නැත. සද්ධර්මය ලොව පහළ වන්නේත්, පවතින්නේත් කල්‍යාණ මිත්‍රයා
නිසායි. සෝතාපත්ති අංගයන්හි දෙවැනි අංගය සද්ධර්ම ශ්‍රවණයයි. බණ ඇසීමෙන්
සිදු වන්නේ දහම් දැනුම දියුණුවීම. අද අප සාකච්ඡා කරන්නේ සද්ධර්මය
ශ්‍රවණය පිළිබඳවයි.
ගෞරවණීය ස්වාමින් වහන්ස, සද්ධර්ම ශ්‍රවණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ තථාගත ධර්මය හොඳින්ම විමසා බලා අසන
එකයි. එයට බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිය යුතුම නැහැ. උන්වහන්සේ
දේශනා කළ ධර්මය අදටත් ලෝකයේ පවතිනවා. ශ්‍රී සද්ධර්මය නිරවුල්ව
නිවැරැදිව පවත්වාගෙන ආ ගෞරවය හිමිවිය යුත්තේ සංඝ රත්නයටයි. මුල්
යුගයේදී කටපාඩමින් ධර්මය දරාගෙන ඇවිත් කාලයකට පස්සේ පුස්කොළ පොත්වල
ග්‍රන්ථාරූඪ කරලා ඒවා පවත්වාගෙන ආවේ උන්වහන්සේලා විසින්.
තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ සුවිශේෂ බුදු ගුණයක් තිබෙනවා “සත්ථා දේව
මනුස්සානං” කියලා. දෙවියන්ටත් මිනිසුන්ටත් මෙ ලොව සුව හා පරලොව සුව සහ
ලෝකෝත්තර සුවය ලෙස නිවන් සුවයට මඟ පෙන්වූ නිසා ඒ ගුණයෙන් නමස්කාර
කරනවා. අපි දැනගත යුතු වචන දෙකක් ධර්මයේ තියෙනවා. ඒ පැවැත්ම හා
නැවැත්මයි. මෙ ලොව සුව පරලොව සුව කියන්නේ පැවැත්මයි. නිවන්සුව කියන්නේ
නැවැත්මයි. උන්වහන්සේ පැවැත්මට හා නැවැත්ම දෙකටම ධර්මය දේශනා කර
තියෙනවා. නිවන් මාර්ගය අනුගමනය කරන්නේ සසර පවතින්නට නොවේ. සසරින්
මිදීමටයි. පින්දහම් කරගෙන හොඳ දේ කරගෙන සංසාරයේ ඇවිදින්නට
පුළුවන්කමකුත් තිබෙන බව තථාගත ධර්මයේ සඳහන් වෙනව. නමුත් සද්ධර්මය
ශ්‍රවණය සෝතාපත්ති අංගයක් ලෙස පත්වන්නේ සසර පැවැත්මට උපකාර වන ධර්මක්
ලෙස නොවේ. සංසාර නැවැත්මට උපකාර වන ධර්මයක් ලෙසිනුයි. උදාහරණ ලෙස
ගත්තොත් දරුවන් හැදීම, ස්වාමි භාර්යාවන් තුළ තිබෙන ගුණධර්ම කීකරු බව,
මව්පිය උපස්ථානය ආදියත් ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒ දේවල් ඇසුවාට
සෝවාන් වෙන්නට බැහැ. සෝවාන් වීම සඳහා සංසාරය නැවැත්ම සඳහා, නිරෝධය
පිණිස අවශ්‍ය කරන ධර්මයත් මෙහි සඳහන් වෙනවා. ඒ ධර්මය ශ්‍රවණය කිරීම
තමයි අවශ්‍ය වන්නේ. සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයක් ලෙස පවතින්නේ
නිවන පිණිස නිවනට සෘජු වූ ධර්මයන් ශ්‍රවණය කිරීමයි.
සද්ධර්ම ශ්‍රවණයේදී මුලින්ම ඇති කර ගත යුත්තේ කුමන ගුණාංගය ද?
ධර්ම ශ්‍රවනයේදී මුලින්ම ඇතිකරගත යුත්තේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවක් නැති
පුද්ගලයාට බණ අහන්න බැහැ. තුණුරුවන් කෙරෙහි විශ්වාසයක් ගෞරවයක් නැති
පුද්ගලයාට බණ අහන්න බැහැ.
අනෙක් කරුණ ඉවසීම. ශ්‍රද්ධාව නැතත් අඩුම තරමේ ඉවසීම තියෙන්න ඕන.
තථාගතයන් වහන්සේ ළඟට ගිය හැමෝම බණ ඇසුවේ ශ්‍රද්ධාවෙන් නොවේ. ශ්‍රද්ධාව
ඇතිවුණේ බණ අහල ඉවරවුණාට පස්සේ. නමුත් දැන් අපට ඒ ප්‍රතිලාභය තියෙනවා.
අපට නැත්තේ ඉවසීමයි. ඒ නිසාම කියන දහම් කරුණු අපට මතක හිටින්නේ නැහැ. ඒ
නිසා බණ අහන කෙනෙකුට හොඳ සංයමයක් තිබෙන්න ඕන. සංයමයක් ඉවසීමක් ඕන. ඒකයි
මුලින්ම පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳළා බණ කියන්න පටන් ගන්නේ. එතකොට
සිත නිවෙනවා. සංයමයකින් යුතුව ධර්මය ශ්‍රවණය කළවිට ඒ බණ පද උරා ගන්නට
දරා ගන්නට තිබෙන ශක්තිය වැඩියි. එක සැරේටම බණ අහන්න වාඩි වුණොත් එය
සමහර විට දරාගන්න බැරි වෙනවා. එනිසා ඉවසීම ශ්‍රද්ධාව හා විවේක
මානසිකත්වයත් නැවත නැවත මෙනෙහි කිරීමේ විමසා බැලීමේ හැකියාවක් තිබෙන්න
ඕන. ඒනිසා නියම ආකාරයට ධර්මය ශ්‍රවණය කළහොත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට
යන්න පුළුවන්කම තියෙනවා.
සද්ධර්මය ශ්‍රවණය කළයුත්තේ කෙසේද?
ධර්මයෙහි සඳහන් වෙනවා සුනාථ - හොඳට අහනවා. දෙවැන්න ධාරේථ - අහපු ධර්මය
හිතේ දරා ගන්නවා. තුන්වැන්න චරාථ – ඒ ධර්මය අනුව හැසිරෙනවා.
ධර්මය ශ්‍රවණය කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාවන්ත
පුද්ගලයා ධර්මය අසන්නට කැමැත්ත ඇතිකරගෙන පන්සලට එනවා. ඇවිත් ස්වාමින්
වහන්සේ සමග නොදන්නා ධර්ම කරුණු සාකච්ඡා කරනවා. ඊට පස්සේ කන් ඒ පැත්තට
යොමු කරගෙන මුළු හිතින්ම බණ අහනවා.
ඒ වගේම ධර්මය ඇසීමේදී සඳහන් වෙනවා සුතා - හොඳට අහනවා. ධතා - ඒක දරා
ගන්නවා. පරිචිතා - ඒ ධර්මය පුරුදු කරනවා. වචසා පරිචිතා - වචනයෙන්
කියමින් ධර්මය පුරුදු කරනවා. මනසානුඋපෙක්ඛිතා - මනසින් නුවණින් කල්පනා
කරමින් පුරුදු කරනවා.
අද කාලයේ දී නම් හුඟක් අය බණ අහන්නට ගිහින් බණ අවසන් වුණාම හොඳ බණ ටික
කියලා නැගිටලා එනවා. නමුත් අහපු බණ දරාගෙන මතක තියාගෙන නැහැ. නුවණින්
හිතන්නෙත් නැහැ. විමසන්නෙත් නැහැ. එහෙම අයට මේ ධර්ම මාර්ගයේ දියුණුවක්
ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා දිට්ඨියා සුප්පටිවිදයා- තමන් දෘෂ්ඨියෙන්
හොඳට සම්මා දිට්ඨියේ පිහිටලා ඒ ධර්මය නුවණින්ම විමසන්නට පුරුදු වෙන්න
ඕන. එතකොට තමයි ප්‍රඥාව වැඩි වෙන්නේ.
ධර්මයේ ප්‍රඥා වර්ග තුනක් සඳහන් වෙනවා. සුතමය ප්‍රඥා , චින්තාමය
ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. සුතමය ප්‍රඥා කියන්නේ අහලා ඇතිකර ගන්නා වූ
දැනුම. චින්තාමය ප්‍රඥා කියන්නේ - ඇසූ ධර්මය නැවත ආවර්ජනය කර ඒ ගැන
නැවත නැවත සිතීම. භාවනාමය ප්‍රඥා කියන්නේ ඇසු දේ ආවර්ජනය කර තමා ඇතිකර
ගත් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම.
සද්ධර්ම ශ්‍රවණයේ අනුසස් මොනවාද?
සද්ධර්ම ශ්‍රවණයේ ආනිශංස 05 ගැන සඳහන් කරලා තියෙනවා.
ඒ තමයි අස්සුතං සුනාති - නො ඇසු දේ අහන්න ලැබෙනවා. සමහර වෙලාවට තමා
දන්නවා කියන මාතෘකාවක් යටතේ වුවත් නො දන්නා කරුණු තිබෙන්න පුළුවන්.
එයින් දන්න දහම් කරුණු නැවත නැවත විමසා බලන්නට අවස්ථාව උදා වෙනවා.
දෙවැන්න සුතං පරියෝදපේති – ඇසු දේ වඩ වඩාත් පිරිසුදුව නිරවුල්ව, තේරුම්
ගන්න පුළුවන් වෙනවා. තුන්වැන්න කඞ්ඛං විතරති – ධර්මයේ සැක සංකා
තියෙනවානම් ඒවා දුරුවෙනවා. වැරැදි දුෂ්ඨි වැරැදි ලෙස මා තේරුම් ගෙන
තිබෙන්නේ කියා සිතෙනවා. හතරවැන්න දිට්ඨිං උජුං කරෝති – ධර්මය නිවන් මඟ
පිළිබඳව දෘෂ්ඨිය, සම්මා දිට්ඨිය සෘජු වෙනවා බණ අසන තරමටම. පස්වැන්න
චිත්තමස්ස පසීදති – බණ අසන සිත පිරිසුදු වෙනවා. එනිසා ඇසු බණ පදයක්
වුවත් නැවත නැවත අහන තරමට සිත පිරිසුදු වෙනවා. ඒ නිසා මේ ධර්මය මම අහල
තියෙනවා කියලා සිතුවොත් සිත කිලුටු වෙනවා. ඒ තමයි සාමාන්‍ය මිනිසුන්ට
බණ ඇසුවාම තිබෙන ප්‍රතිඵල.
ඊළඟට අපේ ධර්මයේ පුද්ගලයෝ වර්ග දෙකක් ඉන්නවා. “සේක” සහ “අසේක” කියලා.
සේක කියන්නේ නිවන් මාර්ගයේ තවම හික්මෙන්න ඕන පිරිස. මේ පිරිසේ
හත්දෙනෙක් ඉන්නවා. සෝතාපත්ති මාර්ගයේ යන පුද්ගලයා, සෝතාපත්ති පුද්ගලයා,
සකෘදාගාමි මාර්ගයේ යන පුද්ගලයා, සකෘදාගාමි පුද්ගලයා, අනාගාමි මාර්ගයේ
ගමන් කරන පුද්ගලයා, අනාගාමි පුද්ගලයා සහ අරහත් මාර්ගස්ථ පුද්ගලයා. මේ
හත් දෙනා තමා හික්මුණු පුද්ගලයන්. අසේක කියන්නේ හික්මෙන්නට දෙයක් නැහැ
නිවන් මගේ හික්මුණු රහතන් වහන්සේයි ඒ. ඒ දෙපිරිසටම තියෙනවා ධර්ම
ශ්‍රවණයේ ප්‍රතිලාභ. සේක පුද්ගලයාට ධර්මය අහනවිට හිතෙනවා අපි තව මේ
මාර්ගයේ ඉදිරියට යන්න ඕන. අපි තව ලබාගත යුතු මාර්ග තියෙනවා කියලා. ඒ
මාර්ගවල ගමන් කරන්න උනන්දුව උත්සාහය ඇතිවෙනවා. අසේක පුද්ගලයා වූ රහතන්
වහන්සේත් බණ අහනවා.
උන්වහන්සේලා එසේ ධර්මය ශ්‍රවණය කරන්නේ නිරාමිස ප්‍රීතියක් තෘප්තියක්
ලැබෙන නිසයි. ඒ සද්ධර්ම ශ්‍රවණයේ තිබෙන ආනිශංසයි.
සාකච්ඡා කළේ
නයනා නිල්මිණි |