UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවෙලේගොඩ පුරාණ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ජනපති සුරතින් 12 දා

දකුණු සිරිලක බොදු සිත පුබුදු කරන අගනා පින් බිමක් වශයෙන් ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය හැඳීන්වීමට හැකිය. මූලගිරි සඟ පරපුරට උරුමකම් කියන මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය මෑත කාලයේ ශීඝ්‍ර දියුණුවක් ලැබූ අතර එහි තවත් අනගි ප්‍රතිඵලයක් වශයෙන් වත්මන් විහාරාධිපති අක්‍ෂි වෛද්‍ය විශේෂඥ වරකාපිටියේ සද්ධානන්ද මාහිමිපාණන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් මිලියන දහයකට අධික මුදලක් වැය කරමින් ඉදිකර ඇති සම්බුද්ධ ජයන්ති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මෙම මස 12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අතිගරු ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාණන්ගේ පින්බර සුරතින් සිදු කිරීමට නියමිතව ඇත. මේ ඒ හා බැඳුනු සටහනකි.

කෝදාගොඩ සිද්ධත්ථ හෙවත් මීගහවත්තේ නාහිමියන් දවස ප්‍රදේශයේ වන සතුන්ගේ රජ දහනක්ව පැවති දිවෙලේගොඩ කඳු මස්තකයෙහි වැඩ විසූ බොහෝ අනුහස් ඇති බෝධින් වහන්සේ නමක් අසල පොල් අතු මඩුවකින් 1865 දී පසු කාලීනව ඇති වූ ශීඝ්‍ර දියුණුවත් සමගින් මෙම පුදබිම පළාත් වාසී බොදු හදවත් ප්‍රබෝධමත් කරන මහා විහාරස්ථානයක් බවට පත්ව ඇත.

මීගහවත්තේ නාහිමියන්ගෙන් පසු හබරාදුව ශ්‍රී සරණපාල,කෝදාගොඩ පඤ්ඤානන්ද, තල්පෙපත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද යන සංඝපීතෘන් වහන්සේලා මෙම විහාරස්ථානයෙහි අධිපති ධූරය හොබවමින් සුවිශාල ආගමික හා සාමාජීය සේවාවක් ඉටුකර ඇති බව ප්‍රකට කරුණකි. දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානය ගොඩ නැංවීමෙහිලා එවකට වාහල කනංකේ කණුකැටිය වතුයායෙහි අධිපතිත්වය හෙබවූ ඩී.ඩී.වික්‍රමසූරිය මැතිතුමා විසින් සිදු කරන ලද සේවාව අමරණීයය.

1988 වසරේදී කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද නාහිමියන් අපවත් වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් උන්වහන්සේගේ ශිෂ්‍ය වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන් වහන්සේ තුළ තිබෙන්නා වූ පුණ්‍යකෘත මහිමයත් අධිෂ්ඨාන ශක්තියත් නිසාම මෙම පුද බිම මේ වන විට ශ්‍රද්ධාකාමීන්ගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරන සියලු විහාරාංගයන්ගෙන් යුත් පින් බිමක් බවට පත් කොට ඇත.

සද්ධානන්ද හිමියන් දුර්ලභ ගණයේ නිර්මාණයක් වන කොස් දැවයෙන් තනා නිම කරන ලද අඩි 08 ක් උස අඩි 48 ක් වැට කැටයම් සහිත ගාම්භීර පෙනුමකින් යුත් භික්‍ෂූන් වහන්සේ 35 නමකට එකවර වැඩ සිටිය හැකි පිරිත් මණ්ඩපය ආරක්‍ෂා වන පරිදි පැරණි ධර්ම ශාලාව ඉවත් කොට ඉතා අලංකාර ධර්ම මන්දිරයක් ගොඩනැඟීය.

පැරණි දාන ශාලාව ඉවත්කොට නව තෙමහල් දාන ශාලාව සහිත ආවාස ගෙයක් හා දක්‍ෂිණ ලංකාවෙහි කිසිම ස්ථානයක දැකිය නොහැකි අන්දමේ විශේෂයෙන් රෝපණය කරන ලද බෝධින් වහන්සේලා විසි අට නමක් සෙවනෙහි බුදුවරයන් වහන්සේලා වැඩ සිටින අයුරු පිළිබිඹු කරමින් නිර්මාණය කරන ලද අටවිසි බෝධින් වහන්සේලා හා විශාල මුදලක් වැය කරමින් ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමා හා චෛත්‍ය ආගමික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද ඉතා වැදගත් අපූර්ව නිර්මාණයක් වනු අත. එසේම වීදුරු පමණක් භාවිතා කරමින් නිර්මාණය කරන ලද අලංකාර ධාතු මන්දිරය දැක බලා වන්දනා කිරීමට පැමිණෙන පිරිස ද ඉතා විශාලය. මේ අයුරින් ශීඝ්‍ර දියුණුවක් ලබන විහාරස්ථානයෙහි විහාරාංග සඳහා අභිනවයෙන් ඇතුළත් වනුයේ විසි අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේය.


වරකාපිටියේ සද්ධානන්ද හිමි

වත්මන් විහාරාධිපති වරකාපිටියේ සද්ධානන්ද හිමියන් මෙලෙස ආගමික හා ශාසනික වශයෙන් සුවිශාල සේවාවක් සිදු කරමින් වැඩවසන අතර විශේෂයෙන්ම ඇස් වෙදකම ආදී තම නිපුනතාවන් මතින් සිය දහසක් අසරණ මිනිසුන් වෙනුවෙන් ඉටු කරනු ලබන සේවාව ඉතා අගය කළ යුතුය. බුදු සසුනෙහි අනාගත සේවාව නොපිරිහෙලා ඉටු කර ගැනීමට හැකි වන පරිදි උගත් භික්‍ෂූන් වහන්සේලා 25 නමක් පමණ වැඩ වසන මෙම පින් බිමට සුවිශාල ආශිර්වාදයක් ලෙස අනුරාධපුරයෙන් ලැබුණු අඩි 4 ක් දිග ඉපැරණි කිරිගරුඬ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හැඳීන්විය හැකිය. එමෙන්ම “ශ්‍රී සංඝානන්ද” නාහිමියන්ට උපහාරයක් වශයෙන් පවත්වා ගෙන යන දහම් පාසල මගින් ගම්වාසී බොහෝ දූදරුවන් ගේ නැණ’ස පාදා ගැනීම වෙනුවෙන් ඉටුකරන සේවාව පැසසිය යුතු වෙයි.

2010 වසරෙහි සුබ මොහොතින් මුල් ගල් තබමින් ආරම්භ කරන ලද විසි අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉතා කෙටි කාලයක් තුළ වැඩ නිම කරමින් පසුගිය ජුනි මාසයේදි නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. මේ අයුරින් දිනෙන් දින දියුණුවන දිවෙලේගොඩ පුද බිම අද වන විට ලක්වැසි බොදු ජනතාවගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වන රමණීය විහාරස්ථානයක් බවට ගොඩ නැංවීමෙහිලා වත්මන් විහාරාධිපති හිමියන් ගනු ලබන උත්සාහය ඉතා අගය කළ යුතුය. ඒ අනුව අභිනව විසි අටරියන් සම්බුද්ධ ජයන්ති සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීම මෙම මස 12 වන දින යෙදෙන සුබ මොහොතින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාණන්ගේ සුරතින් සිදු කිරීමට නියමිතය. මෙම උතුම් අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමි ,පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ,රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නා හිමි ආදි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙන්ම නියෝජ්‍ය කථානායක අධිනීතිඥ චන්දිම වීරක්කොඩි , කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ආදී ගිහි ප්‍රභූන් ද සහභාගි වීමට නියමිතව ඇත.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]