ආර්ය්‍ය¸ උතුමන්
වැඩි මග
ගමන් කරමු
තැඹිලිපොල රාජ මහා විහාරාධිපති
කර්මාචාර්ය
ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ
සාහිත්‍ය කලා ශිරෝමනී සද්ධර්ම වාගීශ්වර
අධ්‍යාපන දර්ශනවේදී පණ්ඩිතාචාර්ය
නාමල්වත්තේ
ශ්‍රී ආනන්ද නා හිමි
අපේ කය වචන දෙකෙහිම
සංවරකම නිතර රැකගත
යුතුමය. ඉතා අපහසුවෙන්
ලබා ගත් මේ ජීවිතය තමන්ටත් අනුන්ටත්
අවැඩක් අලාභයක්
පීඩාවක් නොවන ලෙස
පවත්වාගෙන යාමට
උත්සාහ දැරියයුතු බව බුදුරදුන් දේශනාකොට වදාළහ
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස !
එවං මෙසුතං එකං සමයං භගවා බාරණසියං විහරති ඉසිපතනෙ මිගදායේ තත්‍ර ඛො
භගවා භික්ඛු, ආමන්තෙසි භික්ඛවොති......
කාරුණික පින්වතුනි
මහණෙනි ලාමක වූ ජනතාවගේ ස්වභාවය වූ පෘථග්ජනයන්ට අයිති වූ අනාර්ය වූ
අවැඩ පිණිස වන්නා වූ වස්තුකාම ක්ලේශකාමයන්ගේ නැවැත නැවැත යෙදීමක් ඇද්ද
දුකට හේතු වූ අනාර්යයන් සතුවූ අවැඩ පිණිස පවතින්නා වූ යම්
අත්ථකිලමථනයක් වෙද්ද මෙම කරුණු පැවිද්දන් විසින් අත්හල යුතුය.” යනුවෙන්
ශාස්වත හා උච්ඡේද වශයෙන් දෙසැටක් මිසදිටු අදහසින් පිරි භාරත සමාජයට නව
ආලෝකයක් සළසමින් හෙළිකළ උතුම් සැනසීමේ මඟ පෙන්වූ සම්මා සම්බුදු මුවින්
පිටවී වදාළ දම්සක් පැවතුම් සුතුරෙහි ආරම්භයයි ඒ.
සොබා දහමේ අසිරිය කියාපාන ගස් වැල් මල් පලින් බරවූ සාරවත් බොදු
සිතුවිලි ජනනය වන චිත්ත සංයමය ජනිත කරවන මේ අසිරිමත් සමයේ අපේ කය මනස
සුචරිතයෙහි යෙදීම පිළිබඳ සුවිශේෂී අවධානය යොමු කළ යුතුය.
“අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා” යන බුදු වදනට අනුව තමන්ට
පිහිට තමාමය. මේ බව සිහි කෙරෙමින් අධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය
කිරීමෙහිලා උත්සාහවන්ත විය යුතුමය. එහිදී ධර්මය මැනවින් වටහාගෙන
නිවැරැදිව අනුගමනය කිරීම වැදගත් වෙයි . “ස්වාක්ඛාතො භගවතා ධමේමා”
බුදුරජාණන් වහන්සේ ධර්මය මැනවින් දේශනා කොට තිබේ. මිනිසුන්ට මේ ධර්මය
වටින්නේ ඇයි. සුමංගල විලාසිනියේ සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව කරුණූ
කිහිපයක් තුළින් ඒ බව පෙන්වා දෙයි.
මේ ධර්මය පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇති කරනවා. ප්‍රඥාව උපදවනවා. අර්ථවත්
බවින් යුක්තයි. ව්‍යඤජන සහිතයි. ප්‍රකටයි. සැඟවිය යුත්තක් නෑ. කනට
මිහිරියි. හදපත්ලෙන්ම පැන නගින්නක්. තමන් ගේ උසස්කම පමණක් කථා නොකරයි.
අනුන් හෙළා නොදකී.ඇසීමට පි‍්‍රයයි. විමසා බැලීමට යෝග්‍යයි. මේ බලන්න
පිංවත ධර්මයේ වටිනාකම
පින්වත් ඔබ බහුශ්‍රැත අයෙක් වෙන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. බුදුදහම
ප්‍රඥාගෝචර දහමක්. බහුශ්‍රැත වු ඔබට අවශ්‍ය වන්නේ මිත්‍යාව තේරුම් ගෙන
එයින් අත්මිදීමට බව තරයේ සිහියට ගන්න.
ධර්මය නිවැරදිව වටහා ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතු අයුරු අලගද්දූපම
සූත්‍රයෙන් පැහැදිලි වෙයි. ධර්මය නිසි ලෙස වටහා නොගෙන ක්‍රියා කිරීමෙන්
අනර්ථකාරී ප්‍රතිඵල උදාවිය හැකියි. පින්වතුනි, අපේ සිත ස්වභාවයෙන්ම
පාපයට නැඹුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එනිසා නිරන්තරයෙන් අප
උත්සාහ ගත යුත්තේ සිත පාපයෙන් මුදාලීමටය. අපේ කය වචන දෙකෙහිම සංවරකම
නිතර රැකගත යුතුමය. ඉතා අපහසුවෙන් ලබා ගත් මේ ජීවිතය තමන්ටත් අනුන්ටත්
අවැඩක් අලාභයක් පීඩාවක් නොවන ලෙස පවත්වාගෙන යාමට උත්සාහ දැරියයුතු බව
බුදුරදුන් දේශනාකොට වදාළහ.
කයින් කෙරෙන ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් හා වවනයෙන් කෙරෙන මුසාවාදාදි
කථාවන්ගෙන් වෙන්ව ත්‍රිවිධ ද්වාරයම සංවර කරගැනීම ඉතා අගනේය. විවිධ
මාදිලියේ යුතුකම් හා වගකීම් තුළ බැඳී සිටින අප සමාජගත ජීවිතයේදී ඉතා
අවදියෙන් ක්‍රියා කළ යුතුය. මේ සියලු ක්‍රියාදාමයන් තුළ පවතින
සාර්ථකත්වය අනුව අපගේ සාර්ථකත්වයද රඳා පවතින බව අප වඩාත් ගැඹුරින්
සිහිතබා ගැනීම වටී. මිනිසෙකුව ඉපිද මිනිසෙකුව මිය යාම හැර අනෙකෙකු වී
මිය නොයන්නට වග බලා ගත යුතුය.
බුද්ධිමත් මිනිසා නිරතුරුවම තමාත් තම ජීවත් වන වට පිටාව ගැනත් නිරන්තර
අවබෝධයෙන් ක්‍රියා කෙරෙයි. එළැඹ සිටි සිහියත් වීර්යයත් බුදුදහමේ පදනම
බව “උට්ඨානවතො සතිමතො යන බුදු වදනින් පැහැදිලිය. “ගතේ ඨිතේ නිසින්නේ
සුත්තේ ජාගරිතේ උච්චාර පස්සාර කම්මේ. සම්පජානකාරිහෝති ආලෝකිතේ විලෝකිතේ
සම්පජානකාරි හෝති ආදි වශයෙන් සෑම ඉරියව්වකදීම නිවැරැදිව සිහිය පිහිටුවා
ගැනීමේ ඇති වැදගත්කම සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරදුන් පෙන්වා දුන්හ. කළ
යුතු නොකළ යුතුදේ පිළිබඳව සිහියෙන් හා අවබෝධයෙන් ක්‍රියා කිරීම තුළ
මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධියම සළසා ගත හැකිය. යමෙකුට යමෙකු පිරිසුදු
හෝ අපිරිසුදු කරන්නට නොහැකි බවත් පිරිසුදු හෝ අපිරිසුදු බව තමා
සන්තකයේම පවතින බවත් සුද්ධි අසුද්ධී පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසෝධයේ “ යන
බුදුවදනින් ප්‍රකටය.
මෙලොව දියුණුව පරලොව සුබසිද්ධිය උදාකරගැනීමට අප සැවොම දැඩිව අධිෂ්ඨාන
කර ගනිමු. මාතෘකාවේ සඳහන් පරිදි වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන්ව ආය¸
උතුමන් වැඩි මඟ ගමන් කිරීමට උත්සාහ ගනිමු.
බුදුදහම ඔබගේ ආලෝකය පිණිස වේවා. සව්සතුනට සැනසීම උදාවේවා! |