කොළඹ නව
කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස
බෞද්ධායතනාධිපති
දිවියාගහ
යසස්සි නා හිමි සමාජයේ අපරාධ පිළිබඳව කතා කැරෙනුයේ රටේ තැනින් තැන සිදුවන අපරාධ ඒ
සැටියෙන් ම ජනමාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ප්‍රචාරය වීම ප්‍රධාන හේතුව වී
ඇති බැවිනි. එහෙත් අපරාධ අද ඊයේ සමාජයේ ඇති වූවක් නොවේ. ප්‍රාග් බෞද්ධ
ඉතිහාසයේ පවා සමාජයේ අපරාධ මැඩ පැවැත්වීමට විවිධ පාලකයන් දරුණූ දඬුවම්
ක්‍රම ක්‍රියාත්මක කළ ආකාරය පොත පතේ සඳහන්ය. එහෙත් ලෝකයේ උසස් ආගම්
බිහිවීමත් සමඟ ඒ ආගම්වලින් ලැබුණූ උපදෙස් ක්‍රියාත්මක වීම නිසා අපරාධවල
අඩුවීමක් දක්නට ලැබුණි.
විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීමත් සමඟ මිනිසා සදාචාර
සම්පන්න පිරිසක් බවට පත්විය. මනුෂ්‍යයා ගේ වටිනාකම රඳා පවතින්නේ ඔහු
සතු රන්රුවන්, මුතු මැණික්, දේපළ ආදියෙහි නොව ගුණධර්මවලින් සම්පූර්ණ වීම
මත වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. බාහිර අලංකාරයට වඩා අභ්‍යන්තර
ගුණධර්ම අගය කොට දැක්වූහ.
ධම්ම චේතිය සූත්‍රය, චක්කවත්තී සීහනාද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල දී
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ශ්‍රද්ධා, ප්‍රඥා, වීර්ය වැනි උතුම්
ගුණධර්ම පුරුදු පුහුණු කිරීමෙන් යහපත් සමාජයක් ගොඩනැඟෙන බවයි.
මහින්දාගමනයත් සමග මේ උසස් අදහස් අප රටේ ව්‍යාප්ත වීම නිසා වර්ණනීය
ගුණවත් සාමජයක් බිහිවිය. ශිලාකාල, ආමණ්ඩ ගාමිණී, අභය වැනි රජවරුන් ගේ
පාලන කාලයන් හි සත්ත්ව ඝාතනය සපුරා තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේ
තිරිසන් සතුන්ට පවා මොනතරම් කරුණාවක්, දයාවක් දැක්වූවාද යන බවයි.
‘වේවැල්කැටිය’ සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට ගවයෙක් මරණයට පත් කිරීම
මරණීය දණ්ඩනය පැමිණ වීමට තරම් බලවත් වරදකි.
මෙසේ එක් පැත්තකින් ධර්ම නීතියත්, අනෙක් පසින් රාජ නීතියත් උපයෝගී කර
ගැනීම නිසා අතීතයේ ලාංකේය සමාජය බොහෝ දුරට අපරාධවලින් තොරව ගොඩනැඟිය
හැකි විය. මේ නිසා මෑත භාගය වන තුරුත් ලංකාවේ සොර සතුරු බිය, අපරාධ
බෙහෙවින් අඩු විය. ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් මහතා ලියු ‘එදා
හෙළදිව’ පොතෙහි සඳහන් වන්නේ එකල මෙරට වැසියන්ට තම නිවෙස්වල දොර ජනෙල්
හැර දමා නිදහසේ ගමන් බිමන් යාමට තරම් මේ සමාජයේ සොර සතුරු බිය තුරන් වී
තිබුණු බවයි.
එහෙත් මේ රට, යුරෝපීයයන් ගේ බලපෑම්වලට නතු වීමත් සමඟ මිනිසුන් සතුව
තිබූ සදාචාරසම්පන්න බව, ගුණධර්ම පිරිහී යාම ආරම්භ විය. පරාර්ථකාමී බව
ගිලිහී, ආත්මාර්ථකාමී අදහස් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. ඔවුහු ආගම දහම
පසෙකට දා මුලාවෙන්, මෙලොව ජීවිතයේ තෘප්තිමත් බව සොයා යාමට අතෘප්තිකර
ආශාවන් පසුපස හඹා යාමට හුරු වූහ.
ඒ අතෘප්තිමත් බව සමාජයේ බොහෝ අපරාධ වර්ධනයට හේතු සාධක විය.
එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ
‘තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායති භයං’
ශෝකය හා බිය හට ගැනීමට මූලිකවන්නේ මේ ආශාව ම වන බවයි. රට්ඨපාල සූත්‍රයේ
දී,
‘ඌනො ලොකො අතින්තො
තණ්හා දාසො’
යනුවෙන් පැහැදිලි කොට වදාළේ,
මහා සාගරයට කොපමණ ජලය වැටුණත් සෑහීමකට පත් නොවන්නා සේ, ගිනිගොඩකට කොපමණ
දර දැමුවත් සෑහීමකට පත් නොවන්නා සේ මිනිසා කෙරෙහි වූ ආශාව නම් කොපමණ
දේපළ වස්තුව හිමිකොට දුන්නද සෑහීමකට පත් නොවන බවයි.
බර්ට්‍රම් රසල් වැනි ශ්‍රේෂ්ට බුද්ධිමතුන් පවා ප්‍රකාශ කළේ ලෝකයේ යුද
ගැටුම්, කෝලාහලවලට මුල්වන්නේ ආශාව වන බවයි. පොදුවේ විමසා බැලීමේදි
සමාජයේ ඉතා සුළු පිරිසක් හැර බොහෝ දෙනා කවර හෝ ආගමක් අදහති. ඒ බොහෝ
ආගමික ශාස්තෘවරුන් අවිහිංසාව, කරණාව, දයාව, පරෝපකාරය වැනි ශ්‍රේෂ්ට
ගුණධර්ම ඉතා අගය කොට ඇතිබව පැහැදිලිය. එසේ නම් ඒ ආගම් පිළිපදින අදහන
පිරිස්, තම ආගමට පටහැනිව සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය වැනි
අපරාධයන් හි යෙදීම තමන්ගේම ආගමික ශාස්තෘවරයාණන්ට කරන මහා නිගරුවකි.
පුදුමයට හේතු වන්නේ මිනිසා එය තේරුම් නොගෙන කටයුතු කිරීමය.
සමාජයක් ගුණධර්මවලින් මනාකොට සම්පූර්ණ වීමට එහි නීති රීති මැනවින්
ආරක්‍ෂා කරගත යුතුය. එහිදී රාජ නීතියෙන් පමණක් සමාජය යහපත් භාවයට පත්
කිරීම පහසු නැත. ඒ නිසා බොහෝ රජවරු ජනතාව නීතිගරුක කිරීම සඳහා
රාජනීතියට අමතරව ධර්ම නීතිය ද පැනවූහ.
දෙවන සේන රජු විසින් ලියන ලද කළුදිය පොකුණ ශිලා ලේඛනයෙහි මෙසේ සඳහන් කර
තිබේ.
‘මෙ කතිකා මහත්වා කැමිවා රදොල්වා ගුණ මෙතේ බුදුන් නොදැක හුනු වා හා ..”
මෙයින් අදහස් කැරෙන්නේ පනවන ලද නීති කැඩුව හොත් මතු බුදුවන මෛත්‍රි
බුදුරදුන් පවා දැක ගැනීමට නොලැබෙන බවයි. නෑගම, මොරතොට යන තැන්වල ඇති
සෙල්ලිපිවල කපුටු හා සුනඛ රූප කොටා තිබීමෙන් කියැවෙන්නේ සෙල්ලිපියේ
සඳහන් නීති කැඩූ කෙනකු වෙතොත් ඔහු මරණින් මතු කපුටු, සුනඛ වැනි තිරිසන්
ආත්ම ලබනා බවය.සංඝයා වහන්සේ ජනතාව උදෙසා නිරන්තරයෙන් දෙසු දහම්
කරුණුවලින් යහපත් දේ සිදු කිරීමෙන් සැප ලබා ගැනීම පිළිබඳවත්, වැරැදි දේ
කිරීමෙන් මරණින් මතු දුක් විඳීමට සිදුවන බවත් පැහැදිලි කර දීමට සමගාමීව
පාලකයන් විසින් ඉහත සඳහන් අන්දමට පනවන ලද නීති ඔස්සේද, පරලොව දුගතිගාමී
වන බව පෙන්වා දීමෙන් ද පැහැදිලි වන්නේ අපරාධවලින් තොර යහපත් සමාජයෙක්
ගොඩනැඟීමට රාජ නීතියත්, ධර්ම නීතියක් බෙහෙවින් උපයෝගී කොටගත් බවයි.
මිනිසා බොහෝ විට අපරාධවලට යොමුවීමට ප්‍රධානම කරුණූ සතරක් ගැන බුද දහමේ
සදහන්ය. එනම් ඡන්දය, ද්වේශය, භය හා මෝහයයි. තමන්ට ඇති කැමැත්ත නිසා
කෙනෙක් අපරාධ වලට යොමුවෙති. ද්වේශය හෙවත් තරහව නිසා, තමන්ට විපතක්
සිදුවේය වන බිය නිසා, නූගත්කම නිසා වැරැදිවලට යොමු වීමට පුළුවන. එසේ
සිදුකැරෙන අයහපත් ක්‍රියා ධර්මයේ පෙන්වා දී තිබෙන්නේ සතර අගති වශයෙනි.
යහපත් සමාජයක් ගොඩනඟා නීති පවත්වාගෙන යාමට නම් අන් කිසිවක් නැතත්
නිතිපතා සමාදන්වන පංචශීලය මැනවින් ආරක්‍ෂා කිරීම වුවද ප්‍රමාණවත් ය.
කනගාටුදායක වන්නේ සමාජය ඒ කෙරෙහි උනන්දු නොවීමය. උදේ සිට රෑ වනතුරුත්
ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන්නට සැලසුවත්, ඒ ධර්ම කරුණු
ජීවිතයට සමීප කර ගැනීමට උත්සාහ නොකරන්නේ නම් ධාර්මික සමාජයක් ගොඩනැඟීම
සිදු නොවන්නකි.
වර්තමාන සමාජය විමසමු. මොන තරම් ධර්මය දැන සිටියත් මිනිසා
ආත්මාර්ථකාමීත්වයට මුල්තැන දෙමින් දුරාචාරයේ යෙදෙන බව පෙනේ. යම් සමාජයක
ලජ්ජා බය ජීවමානව නොපවතී නම් එවැනි සමාජයක් අඬදබරවලට, යුද කල
කෝලාහලවලට, අපරාධයන්ට නැඹුරුවීම පුදුමයක් නොවේ.
“යතා අජේලකා කුක්කුට සූකරසෝන සිගාලා....” ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ
චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි දී දේශනා කොට වදාළේ ලජ්ජා භය නැති
පුද්ගලයා එළුවන්, කුකුළන්, ඌරන්, සිවලුන් වැනි තිරිසන් සතුන් මෙන් පහත්
අන්දමට හැසිරෙන බවයි.
කතාවේදී තමන් කිසිවකටත් බය නැති බව සමහරු කියතත් කෙනෙක් බිය ඇති කරගත
යුතු අවස්ථා සතරක් පිළිබඳ ධර්මයේ සඳහන් ය. ඒ අවස්ථාවන් හි බියක් හෝ
තැවීමක් ඇති නොවුණේ නම් ඒ පුද්ගලයා තමන් විසින් ම විපතෙහි වැටීම, දුකට
පත්වීම වැළැක්විය නොහැකිය.
සතුන් මැරීම, සොරකම, කාමමිථ්‍යාචාරය මත්වතුර හෝ මත්ද්‍රව්‍ය භාවිතය
වැනි කවර අපරාධයක යෙදෙන කෙනෙක් වුවද මේ බය සතරෙන් එකක් වන ‘අත්තානුවාද
බය’ ඇතිකර ගත යුතුය.අපරාධයක් කිරීමට සිතන අවස්ථාවේත්, එය සිදු කරන
අවස්ථාවේත් එයින් තමන්ට මෙලොව, පරලොව විඳින්නට විය හැකි විපාක පිළිබඳව
ගැඹුරින් කල්පනා කළ යුතුවේ. එවිට බියක් ඇතිවේ. වරදින් මිදීමට එය
ප්‍රයෝජනවත්ය.
‘පරානුවාද බය’ නමින් හැඳින්වෙන දෙවැනි කරුණෙන් දැක්වෙන්නේ සමාජයෙන්
නැඟෙන චෝදනා හා විවිධ හිරිහැර ගැන සලකා පවට බය ඇති කර ගැනීමයි. සමහර
විටෙක අපරාධයක නියැළෙන පුද්ගලයාට පමණක් නොව ඔහුගේ අඹුදරුවන්, ඥාතින්ට,
දේපළවලට පවා සමාජයෙන් බලවත් හානි සිදුවේ. පසුගිය වකවානුවේ එවැනි
සිදුවීම කොතෙකුත්, අසන්නට දකින්නට ලැබුණි. එවැනි පුද්ගලයාට සමාජයෙන්
ලැබෙන නින්දාවන් හි සීමාවක් නැත.
‘දණ්ඩ බය’ නම් තුන්වැනි බියෙන් පෙන්වා දී තිබෙන්නේ අපරාධයකට පෙර
නීතියෙන් විඳින්නට වන දඬුවම් ගැන සිතා බිය වීමය. අපරාධයක් හෙළි වී
අධිකරණය හමුවේ වරදකරු වීමෙන් වන ධන හානිය සිරගත වීම නිසා අඹුදරුවන්
පෝෂණය කිරීමට නොහැකි වීම, තනිකම, නිදහස, අහිමිවීම, ආදිය ගැන සිතීමෙන්
‘දණ්ඩ බිය’ ඇති කර ගත හැකිය.
මේ සියලු බය දුරු කළත්, අත් හැරියත් කෙනෙක් අපරාධයකදී ‘ දුග්ගති බය’
ඇති කර ගත යුතුමය.අද ලොව ආගම් භේදයකින් තොරව වැඩිදෙනා තමන් කරන හොඳ නරක
කි‍්‍රයාවන් හි පල විපාක විශ්වාස කරති. ඒ අනුව වැරදි දෙයක් කළේ නම් එය
දුගතිගාමී වීමට හේතු වශයෙන් පිළිගනී. මේ නිසා අපරාධ කරන්නවුන් පරලොව
ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුය. කෙනෙක් පරලොවක් ගැන නැවත ඉපදීමක් ගැන
විශ්වාස නොකිරීමට පුළුවන. එහෙත් ඔහුට ‘දිට්ඨ ධම්ම වේදනීය කම්ම’
පිළිගැනීමට සිදුවේ. එනම් යම් අපරාධයක් කළේ නම් එහි විපාක මෙලොව දීම
විඳින්නට සිදුවන බවයි. අපරාධයක් කළ මොහොතේම නැතත් ටික කලක් ඉක්ම යත්ම ඒ
පුද්ගලයාට විවිධ දුක්කරදර, විපත්තීන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
අපි වටහා ගත යුතු වන්නේ ඒ ධර්මතාවයයි. එවිට අපරාධවලින්, සොර සතුරු
බියෙන් තොර සමාජයක ජීවත්වීමට අපට අවකාශය ලැබෙනු ඇත. බෝසතාණන් වහන්සේ
තමන්ට සිදුවන වේදනාව හා අලාභය විඳ විඳත් අනුන්ගේ යහපත වෙනුවෙන්, කරුණා
මෛත්‍රියෙන් ක්ෂාන්ති පාරමිතාව පුරණය කළ ආකාරය මහාකපි ජාතකයෙන් මනාව
විස්තර වේ.
ගොනුන් සෙවීමට වනයට ගිය ගොවියෙක් කුසගිනි වී තිඹීරි රුකකට නැග ගෙඩි
අනුභව කරන්නේය. පය ලිස්සා ගොස් ගස පාමුල වු නරා වළකට වැටී ගොඩ එන්නට
නොහැකිව වේදනාවෙන් කෑගසන්නට පටන් ගත්තේය. එකල වඳුරෙක්ව ඉපදුණු අප මහ
බෝසතාණන් වහන්සේ මේ බව දැක මහත් වීරිය කොට අර මිනිසා ගොඩ ගත්තේය. ඒ
උත්සාහයේ දී ඇති වූ ශාරීරික වේදනාව නිසා, අර මිනිසා කෙරෙහි විශ්වාසය
තබා ඔහුගේ උකුල මත හිස තබමින් නිදන්නට වන්නේය. තමාගේ උකුලෙහි නිදන
වඳුරාගේ මාංශයෙහි ලෝභ වූ අර අකෘතඥ මිනිසා වඳුරා මැරීම සදහා ගල්
පතුරකින් හිසට පහරක් ගැසීය. එයින් නොමැරුණු බෝසත් වඳුරා, නැවතත්
මෛත්‍රිය හා කරුණාව පතුරුවා ලේ පිරි තුවාල ද සමඟින් ඉවසීමෙන් යුතුව ඒ
මිනිසාට ගමට යාමට මඟ පෙන්වීය.
ජීවත් වීමේ දී අප මුහුණ දෙන්නා වු බාධක කරදර පීඩා ඉදිරියේ ඉවසීමෙන්
ක්‍රියා කළ යුතු ආකාරය මේ කතා පුවතින් ඉගැන්වේ. සෑම දෛනික කටයුත්තක දීම
අප ක්‍රියා කළ යුතු වන්නේ කරුණාව මෛත්‍රිය පෙරදැරි වන ලෙසටය. එවිට අප
ජීවත්වන සමාජය මෙන්ම අප ගේ මෙලොව පරලොව ජීවිතය ද සුවදායි වනු ඇත.
සාකච්ඡා කෙළේ - රමණී සුබසිංහ |