පාදුක්ක අරුක්වත්තේ වේරගල
පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය
සටහන හා සේයා රූ
ජනක වෙත්තසිංහ
ඉහළ කඳු මෙවුලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ |
කෝට්ටේ රාජධානිය පැවැති සමයේ කෝට්ටේ රාජධානියේ සිට නම්බපාන තානායම
දක්වා වැටී තිබූ අශ්වකරත්ත පාර අද පාදුක්ක ඉංගිරිය මාර්ගය වශයෙන්
හඳුන්වන ප්‍රධාන පාර බව කියැවෙයි.
කඳු මුදුනෙදී පෙනෙන දසුනක් |
එම යුගයටත් එපිටට දිවෙන ඉතිහාසයකට නෑකම් කියැවෙන බව පැවසෙන පාදුක්ක
අරුක්වත්තේ වේරගල පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය මේ වන තෙක් නිශ්චිතවම
ආරම්භය මෙය යැයි නිගමනය කිරීමට සමත් පුරාවිද්‍යා ගවේෂණයකට භාජනය වී
නොමැත.
එහෙත් විශාල ඉතිහාස කතාවක් මෙම විහාරස්ථානය සමග සම්බන්ධ වී තිබෙන්නට
හැකි බව එතැනට පිවිසෙන කෙනෙකුගේ සිතට දැනෙයි. ඒ තරමට විහාරස්ථානය
පෞරාණික ලක්‍ෂණ මතුකර පෙන්වන සුළුය.
මෙම විහාර භූ®මියේ ඇති එවැනි විශේෂිතම ස්ථානය වන්නේ රළු ගිරි කුළු
දෙකක් මධ්‍යයේ කුඩා කපොල්ලක් හරස් කරමින් සාදා ඇති ඉදිකිරීමය. අද එතැනට
එක එල්ලේ පිවිසීමට හැකියාව ඇතත් ඈත අතීතය් දී මෙය රූස්ස ගහ කොළ අතරේ
වනයට නතුව ඉතා සුරක්‍ෂිත ලෙස සැඟවී සිටිය හැකි කදිම ස්ථානයක් වශයෙන්
පවතින්නට අතැයි සිතිය හැකිය. එම ස්ථානයේ ගල්ලෙන තුළ වලගම්බා රජතුමා
සැඟවී සිටි බව ජනමතයක් ගොඩනැඟි තිබූ බව ද කියැවේ.
අද මෙතන ඇත්තේ කුඩා බුදු මැදුරකි. එය වලගම්බා රාජ්‍ය සමයේ ඉදිවූවක්
යැයි සමහරු අදහස් කරති. ඉහත සඳහන් කළ රළු ගල්කුළු අතර ගුහාව හරහා ඈත
විහිදී ගිය උමං මාර්ගයක් තිබූ බවත් එය කාලයත් සමග වැසී ගොස් ඇති බවක්ද
පැවසෙයි.
මැද කන්දේ බුදු මැදුර |
මෙම ලෙන් විහාරය තුළ අද දක්නට ඇති සමාධි හා සැතපෙන බුද්ධ ප්‍රතිමා
වහන්සේලා නුවර යුගයටත් එපිට දී සාදා ඇති බවත්, නැවත ප්‍රතිසංස්කරණ කර
සායම් ආලේප කර ඇති බවත් විහාරාධිපති වහන්සේ පවසති.
සිරිපා මැදුරේ සිරිපා අනුරුව |
මෙම ලෙන් විහාරයට ඇතුල්වන පිවිසුම් වාහල්කඩ පවා පැරැණි ලක්‍ෂණ මතුකරයි.
පැරැණි නිර්මාණ දැකීමෙන් සතුටුවන කෙනෙකුගේ සිත ඇද බැඳ තබා ගැනීමට සමත්
ආකර්ශනීය පෙනුමක් මෙතැන ඇත.
අක්කර 14 ක පමණ කඳු බෑවුම් සහිත ස්වභාවධර්මයේ සුන්දර පරිසරයක් මධ්‍යයේ
ඉදිවී ඇති මෙම විහාරස්ථානය පරැණි මෙන්ම නව නිර්මාණයන් රාශියකින් අලංකාර
වී ඇත.
නිල්ලෙන් පිරි ගහකොළ අතරින් දිවෙන පිය ගැට සියයක් පමණ නැග ගිය පසු ලෙන්
විහාරයට පිවිසිය හැක. මේ වන ගහනයේ තුළ ඖෂධ වර්ග මෙන්ම කොහොඹ සපු,නා,
සල්, ඇට්ටේරිය, නුග, කුරුඳු, කොහොඹ ආදි වෘක්‍ෂලතාදියත් පිරි බිමකි.
විහාරගෙය අසළ ඇති පැරැණි පෙනුමැති නා වෘක්ෂයට වසර 500 ක් පමණ වන බව දැන
ගැනීමට ලැබුණි. එතැනම පැරැණි බෝ වෘක්ෂයක්ද දක්නට ලැබේ.
වම් පස ඇති පැරැණි විෂ්ණු දේවාලයේ මැටියෙන් නෙළා ඇති විෂ්ණු දේව රූපයක්
ද දැක ගත හැක.
ලෙන් විහාර මන්දිරය පසු කර දුෂ්කර ගිරිදුර්ගයක් මතින් විහාරගල නම්
මුදුන්ස්ථරයට පිවිසුණු කළ තවත් අමුතු නිර්මාණයක් දැක ගැනීමට ලැබෙයි.
එය වර්තමානයේ ඉදිවූවකි. ශ්‍රී පාදස්ථාන විහාරය වශයෙන් හඳුන්වා ඇති එය
ගල්තලාව මත සිමෙන්තියෙන් නූතන තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් කළ
නිර්මාණයකි.
ඉහළ කන්දට පිවිසෙන වාහල්කඩ |
සිමෙන්තියෙන් කළ කෘත්‍රිම කළු ගල මත්තෙන් දිය දහරාවක් ගලා හැළෙන ලෙස කළ
එම නිමැවුව සොඳුරු පරිසරය තවත් උද්දීපනය කිරීමට කළ උත්සාහයකි. සතර අතට
වීදුරු ආවරණ යොදා නිමකර ඇති පුංචි සිරිපා මන්දිරය මත සිට පෙනෙනා දර්ශනය
මනහරය.
ගුරුගොඩ සුමන හිමි |
වනයට වහන්ව තිබූ පැරැණි ලෙන් විහාරය සහිත බිම මුලින්ම සොයාගෙන ඇත්තේ
විහාරස්ථානයේ ආදී කර්තෘ කළුපහන ශ්‍රී ඤාණවිමල නාහිමියන් විසිනි.
කීර්තිමත් භික්‍ෂූන් වහන්සේ කීප නමකගේ සෙවණෙන් වර්ධනය කරා පිවිසි විහාර
භූමියේ වත්මන විහාරාධිපතින් වහන්සේ ගුරුගොඩ සුමන ස්වාමීන් වහන්සේය.
විහාරස්ථානයේ නව දියුණුව ඇතිවන්නේ උන්වහන්සේගේ මහත්වූ වීර්යයේ
ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම විහාරභූ®මිය තුළ ‘බුදුන් වැඩිය මහ ගල’ නමින් හඳුන්වන උස්වු කඳු
මුදුන මත ඇති අඩි 8 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසා විනාශ වීමට
ගිය මහා කළු ගල් පද්ධතියක් ආරක්‍ෂා වී තිබීම විශේෂයකි. එම සෙල්කුළ මතට
පිවිසෙන වාහල්කඩ ද අමුතු චමත්කාර දසුනක් මවයි.
වෙසෙසින් යා යුතු වුවද එම ඉහළ ගිරග මඟට පිවිසුන විට සිතට දැනෙන්නේ අපමණ
වූ සුවයකි.
පුංචි ශ්‍රී පාදස්ථානය ඇති විහාරගල කන්ද මතදී උතුරෙන් බැලුම්ගල කන්ද
දකුණෙන් රයිගම පුරවරයද නැඟෙනහිරෙන් ශ්‍රී පාද කන්දද දකුණෙන් කොළඹ
අගනගරයද දැක ගැනීමට ලැබේ.
මුදුන් ගල්තලාවේ සිට බැස යන විට සම්බුදුරජාණන් වහන්සේලාට සෙවණ සැලැසූ
සියලුම බෝධීන් වහන්සේලා වනය මධ්‍යයේ තැන තැන රෝපණය කර තිබේ. එය අපූරු
චමත්කාරයක් මෙන්ම දැනුම ලබා ගන්නකුට කදිම අවස්ථාවක් උදා කරදෙයි.
සොබා සොඳුරු බව මධ්‍යයේ කඳුපන්තීන් ආශි‍්‍රත බිමෙක සිත්ඇද බැඳ තබා
ගන්නා ඉදිකිරීම් මධ්‍යයේ ඇති වේරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරය දැක
පැහැද සිත් සනසා ගැනීමට සමත් අපූර්වත්වයෙන් පිරි පුදබිමකි. |