ජනක වෙත්තසිංහ
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලාංකේය බිමේ රෝපණය වීමෙන් පසුව බුද්ධ ධර්මය
ගම් දනව් වෙත ව්‍යාප්ත කිරීම සඳහා එක් ප්‍රබල මෙවලමක් ලෙස යොදා
ගැනෙන්නේද බෝ වෘක්ෂය ය. මේ මහා වෘක්ෂය සම්බුදුරජාණන් වහන්සේට දක්වන අති
මහත් භක්ති ගෞරවාදරය ඵල කෙරෙන එක් ප්‍රභල සංකේතයක් වශයෙන් ද බෞද්ධ ජන
සමාජය තුළ මුල් බැසගෙන තිබේ.
එය මිනිස් සන්තානයේ ඇති වන දුක් වියවුල් අපල උපද්‍රව නිවාරණය කරනා මහත්
බලයක් ඇති අදෘෂ්‍යමාන බලවේගයක දෘෂ්‍යමාන සංකේතයක් ලෙසද හඳුනාගත හැකිය.
ඒ තරමට බෝධීන් වහන්සේ හා බෞද්ධ ජනතාව අතර ඇත්තේ මහා අධ්‍යාත්මික
ලෙන්ගතු බන්ධනයකි.
එවන් පසුබිමක් තුළ සිට ඓතිහාසික නිල්ලක්ගම බෝධි ඝරය ගැන සටහනක් තැබීම
ඉතා වැදගත් වේ යැයි සිතේ. බෝධි ඝරය යන්නෙන් අදහස් කෙරෙන්නේ යම්කිසි
බෝධියක් වටා ඉදිවෙන ආවරණයකි, ගෘහයකි.
බෝධීන් වහන්සේට දක්වන ගෞරවයක් භක්තියට කෙරෙන පූජාවක් වශයෙන් මෙසේ බෝධි
ප්‍රාකාරයක්, බෝධි ඝරයක් ඉදි කිරීමේදී එය සුවිශේෂී නිර්මාණාත්මක,
වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන් ඇතුළත් කරමින් අපගේ සංස්කෘතිමය ලක්‍ෂණයන්ට
අනුකූලව අපූර්වත්වයක් ප්‍රදානය කිරීමට නිර්මාණ ශිල්පියා නිබඳවම වග බලා
ගනී.
මෙවන් බෝධිඝර මතින් එම යුගයන්හි සංස්කෘතිමය, සමාජමය, වාස්තු
විද්‍යාත්මක ලක්‍ෂණ ප්‍රකට කෙරෙයි. ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකම
ශිල්පීය නිපුණත්වය ගෞරවනීය හැඟීම ආදී ලකුණු මෙයට ප්‍රභල ලෙස ඇඳී තිබේ.
වෙනත් බෞද්ධ කලාත්මක නිර්මාණයන්සේම එය අපගේ අනන්‍යතා ලකුණ ප්‍රකට කරනා
ප්‍රභල සංකේතයක් බවට ද පත්වී තිබේ. එහෙත් යුග ගනනාවක් වසන් වී තිබූ
නිසා 1954 වසරේදී නිල්ලක්කම බෝධි ඝරය සොයා ගිය ගමනේ දී එහි වූ විනාශයේ
තරම දැක ගැනීමට හැකි විය.
ඒ වනවිට මෙය කුමක් වෙනුවෙන් ගොඩනගන ලද්දක්දැයි නිශ්චිත නිගමනයකට එළඹීමට
ද නොහැකි තරමට මෙහි යථා ස්වරූපයේ හැඩ තලයන් පවා විනාශ කර දැමීමට මහා වන
ආක්‍රමණය – කටු ලැහැබ්, පොළොවේ පස් තට්ටු අකාරුණික වී තිබුණි. ඉතා
ප්‍රවේශමෙන් බාධාවන් ඉවත් කරමින් මෙය තහවුරු කර ගැනීමට මහත් වෙහෙසක්
දැරීමට සිදු විය.
මෙය සම සතරැස් තට්ටු දෙකක මළු දෙකකින් සමන්විතව තිබී ඇත. පහළ මළුව අඩි
43 කි. එහි නැඟෙනහිරට සහ බස්නාහිරට එකිනෙකට මුහුණ ලා ප්‍රවිශ්ඨයන්
දෙකක් තිබී ඇත. නැගෙනහිර ප්‍රක්ෂේපනය දිගින් අඩි 9 යි අඟල් 6 කි.
පළලින් අඩි 4 කි. අනෙක දිගින් අඩි 7 යි අඟල් 6 කි. පළලින් අඩි 2 යි
අඟල් 6 කි.
පහල මළුවේ පනා බැම්ම කළුගල් ලෑලි අත්තිවාරමක් මත ඉදිකරන ලද්දකි. මෙය
තනිකරම කළු ගල් නිමැවුමකි. බැමි නිමකර ඇත්තේ කළු ගල් ලෑලි
පිරිද්දීමෙනි. ප්‍රවිශ්ටයන්හි උළුවහු ගල් කණු වද්දවා ඉතා විචිත්‍රවත්
කැටයමින් අලංකාර කර නිර්මාණාත්මකව නිමවා ඇත. ගල් වැට ඉතා විචිත්‍රවත්
කැටයමින් ඔපවත් කර ඇත. මළුවට ඇතුල් වන ගල් උළුවස්ස අඩි 7 යි අඟල් පහක්
පමණ උසය.
උඩමළුවේ ශෛලමය පූජාසන හතරකි. මළුවේ ගලින් කළ කණු දහයක් සිටුවා තිබුණි.
පහළ මළුවේ ආලින්දයට යා වන සේ ඉන් දොළහස් සිටුවා ඇත. මෙම කණු මත දැවයෙන්
කළ පියසක් ඉදි කර තිබූ බවට සාක්‍ෂි හමු වී ඇත.
1895 වසරේදී මෙම නටබුන් බෝධි ඝරය සොයා ගනු ලැබුවේ එච්. සී. පී. බෙල්
මහතා විසිනි. ඒ වනවිට අවට ගම්වාසීන් මෙය හැඳින්වූයේ ‘ දළදාමාලිගය’ සහ ‘
පත්තිරිප්පුව‘ යන නම් වලිනි.
කළු ගලින් නිමකළ මෙම අගනා බෝධි ඝරය සහිත ප්‍රාකාරය යුග ගනනාවක් තිස්සේ
නොසලකා හැරීම් නිසා ඒ වනවිට විනාශ වී තිබුණි. එවකට මෙය පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ පවා සැලකිල්ලට භාජනය නොවූ ස්ථානයකි.
නමුත් එදාත් අද මෙන්ම ඉතා වටිනා ජාතික උරුමයන් වනසන නිදන් හොරුන්ගේ
ඇල්ම බැල්ම නම් නොඅඩුව මෙය වෙත ද යොමු වු නිසා ඔවුන්ගේ කුරිරු හස්තයට
හසුව මෙහි උඩ මළුව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි.
ඊට අමතරව ආරක්‍ෂාකාරීව මෙය සුරැකීමට අපොහොසත් වීම නිසා අකාරුණික වූ
ස්වභාවධර්මයා ද නොසැලකිලිමත් වූ අවට ජනතාව ද මෙහි විනාශය කෙරෙහි විවිධ
ප්‍රමාණයන්ගෙන් සම්බන්ධ වී ඇත.
1954 වසරේදී මෙම සුවිශේෂී බෝධි ඝරය තහවරු කිරීමේ කාර්ය ඇරඹුනේ හිටපු
පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාණයන්ගේ අධීක්‍ෂණය යටතේ ය. ඔහු
නිල්ලක්ගම බෝධි ඝරය පිළිබඳව පවසන්නේ මෙසේය.
“ නිල්ලක්ගම බෝධි ඝරය පුරාවිද්‍යාව - වාස්තු විද්‍යාව හා කලාත්මක බව
අතින් අද්විතීය ස්ථානයකි. විචිත්‍ර කැටයම් අතින් නිල්ලක්ගම බෝධි ඝරය
අභිබවන සුළු වෙනත් සමකාලීන අන් කිසි ගොඩනැගිල්ලක් නොමැත.”
ඔහු පවසන අදහස අනුව සිතිය හැක්කේ නිල්ලක්ගම බෝධි ඝරය බෝධිඝර, ප්‍රාකාර
සංස්කෘතියේ එක් ප්‍රබල සංධිස්ථානයක මහා පිළිබිඹුවක් බවය.
මෙම නිකේතනය කවරදා කුමක් සඳහා කරවන ලද්දක් දැයි පරීක්‍ෂා කිරීමේදී
බස්නාහිර දොරටුවට වම් පසින් වූ අත්තිවාරම් ගලේ කෙටූ අටවන හෝ නවවන
සියවසට අයත් සිංහල අක්‍ෂර පෙළ පාඨයක් හමුවී තිබේ. එය නම් ‘මොනරගල
බුද්මි මෙ දස ඇතුන් කරවා මහ බොයි පිදූ පිනින් අනුත්තර සම්මා සම්බු...’
යනුයි. මෙහි මැකී ගොස් ඇති අවසන් වචනය සම්බුදු විය යුතු යැයි පරණවිතාන
පවසයි. මෙවැනි වෙනත් පූජා ප්‍රකාශයන්හි වන සමානතාවයන් සසඳන විට මෙම
පාඨයේ අවසානය ‘ වෙම්හයි’ කියා අවසන් විය හැකි බව ද ඔහු පවසයි.
ඒ අනුව මෙහි තේරුම මම මොනරගල බුද්වෙමි මේ දස ඇතුන් කරවා මහා බෝධියට
පූජා කළ පිනෙන් සම්මා සම්බුදු බව ලැබේවා යන්නයි.
මෙම පාඨය අනුව නිගමනය කළ හැක්කේ මෙහි ඇත් රූ කැටයම් කර බැම්ම සාදා ඇති
බවත් එය මහා බෝධියට පිදූ බවත් ය. එයින් ගම්‍ය වන්නේ මෙතැන තිබී ඇත්තේ
බෝධීන් වහන්සේ නමක් බවත් ය.
බෝධීන් වහන්සේ වෙනුවෙන් කළ ඉදි කිරීමකට එදා සම්මා සම්බුද්ධත්වය පැතීමට
තරම් ශිල්පියාගේ ප්‍රාර්ථනය ප්‍රබල වීමෙන් පෙනී යන්නේ බෝධියට කෙරෙන
පූජාවක ඇති සුවිශේෂීතාවය යි. මේ අනුව මෙම ශෛලමය මාලකය අටවැනි හෝ නවවැනි
සියවසට අයත් බෝධි ඝරයක ඉතිරි කොටස් ලෙස තීරණය කළ හැකි බව පරණවිතාන මහතා
හේතු සාධක ඇතිව අදහසක් ඵල කරයි.
අදටත් ශේෂවී ඇති එම අලංකාර කැටයම් එදා නිර්මාණ ශිල්පියාගේ මනා
නිපුණත්වයේ නිර්මාණාත්මක හැකියාව විදහා දක්වන කැඩපතක් සේය.
ඇතුන්ගේ රූ, උඩු යටිකුරු පියුම්, හංස රූ, ගිනිසිළු රටා, කලස්, ලියවැල්,
නාග මානවකයන්ගේ අශ්ව රූ, සිංහ රූ ආදියෙන් විවිධ තලයන්ට උචිත ලෙස ඉතා
අලංකාරවත් ලෙස කැටයම් කර ඇත.
අනුරාධපුරයේ මහා විහාරයට අයත් බෝධි ඝරයක් ගැන වංශ කතාවල සඳහන් වෙතත් එම
සිද්ධස්ථානය නූතනයේ මොනතරම් වෙනස්වීම් වලට ලක්වී ඇත්දැයි කියතොත් එහි
පැරැණි ස්වරූපය මෙසේ වන්නට ඇද්දැයි පුරා විද්‍යාඥයකුට පවා කිව නොහැකි
බව පරණවිතාන පවසයි. ඒ නිසාම අටවැනි හෝ නව වැනි සියවසට අයත් බෝධි ඝරයක
පැහැදිලි ලකුණු හඳුනා ගැනීමට ලැබීම අපූරු වාසනාවක් ලෙස ඔහු හඳුන්වයි.
බෝධිය පිහිටියේ නිසැකයෙන්ම උඩ මළුව මත විය යුතු බවත් ගල් කණු වලින්
පැහැදිලි වන පරිදි එහි කිසියම් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇති බවත් ඔහු තව
දුරටත් පවසයි.
නිල්ලක්ගම දොර උළුවහු මෙන් විසිතුරු ලෙස කැටයම් කළ උළුවහු නවවන සියවස
තරම් පැරැණි අවදියකදී වෙනත් තැනක දක්නට ලැබි නැත. මෙම ස්ථානය අත්තම්
වලින් මෙතරම් ඔප් නංවා ඇත්තේ මෙය අති පූජනීය සිද්ධස්ථානයකට කැප කර
තිබුණු නිකේතනයක් නිසා විය යුතුය. උඩ මළුවේ මැද පිහිටා තිබූ බෝධිය
දේවානම් පියතිස්ස රජ දවස අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ පළමුව හටගත් ඵලයක්
විය හැකි බවද ඔහු පවසයි.
මහා බොදු සංස්කෘතියක සුවිශේෂී ලක්‍ෂණයක් මතු කරන පරිසරය හා බැඳුණ
සුවිශේෂී කලා ලක්‍ෂණයන්ගෙන් හෙබි අපූර්වත්වයෙන් අනූන පැරැණි නිර්මාණ
ශිල්පියාගේ ප්‍රතිභාව ප්‍රකට කරන මෙම නිල්ලක්ගම බෝධි ඝරයේ විචිත්‍රවත්
බව අද නිර්මාණ ශිල්පියා වෙත පාඩම් බොහොමයක් ඉතිරි කර තබා තිබේ.
ඡායාරූපයෙන් දිස් වන්නේ නිල්ලක්ගම බෝධි ඝරයේ විචිත්‍රවත් ගල් උළුවස්සක
දසුනකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයේ ඇති මොරගොල්ලාගම පාරේ
නිටලව ග්‍රාමයේ මෙය පිහිටා ඇත.
|