සියලු ආගම් වලට
ගරු කරමු
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුළ හිමි
අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට
ගරු කරන බව හොඳින් පෙනෙන්නට තිබෙනවා මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත්
ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක්
කෙරෙහි අප බොහෝ
දෙනාගේ අවධානයක් නැහැ
ආගමික සහජීවනය, එකමුතුව ගැන කතා කළ ලොව ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ
බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ එය ආදර්ශයෙන්ම ඔප්පු කර පෙන්වූවා.
බුදුරඡාණන් වහන්සේ ගම් පියසකට වැඩම කළොත් එම ගම් පියසේ වාසය කළ ආජීවක
පරිබ්‍රාජක, අවේලක නිගණ්ඨ යන කවර හෝ අයකුගේ අසපුවට වැඩම කිරීමට
උන්වහන්සේ පසුබට වූයේ නැහැ.
සන්දක පිරිවැජියාගේ අසපුවට බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවේදී සන්දක තම
අනුගාමිකයන් අමතා කීවේ “ ගෞතම ශ්‍රමණයාණන් වහන්සේ මෙහි පැමිණෙනවා.
උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගයන අයෙක්. නිශ්ශබ්ද වන්න යන්නයි බුදුරජාණන්
වහන්සේට අන්‍ය ආගමික නායකයන් ගරු කළ බවට මෙය හොඳම නිදසුනක් වනවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය ඉදිරියේ එක් එක් විශේෂණයන් තිබෙන නමුත්
ධර්මය යන්න එක් දර්ශනයක් බවයි. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික ආදී
වශයෙන් ආගමික නාමකරණ තිබුණද ධර්මය නියෝජනය එකක් පමණක් බව උන්වහන්සේ
වදාළා. සියලු ආගමික ධර්මයන් එකක් හෝ සම තත්ත්වයෙහි ලා සලකන්නේ යැයි
වරදවා වටහා නොගත යුතුයි. ධර්මය මඟින් බ්‍රහ්මත්වය දක්වා සිත දියුණු කළ
හැකියි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ බ්‍රහ්මත්වය දක්වා සිත දියුණු
කළ පිරිස් සිටි බව අප අමතක නොකළ යුතුයි. එසේනම් එම ධර්මතාවන්හි යම්
සාරධර්ම පද්ධතියක් උගන්වා තිබෙන බව අපට පෙනෙනවා. ධ්‍යාන ලබන්නට පුළුවන්
නම් අප ඒවාට ගරු කළ යුතුයි.
එහෙත් නිවන තිබෙන්නේ බුදු දහමේම පමණයි. සාරධර්ම පෙන්වාදීම් අතින් සියලු
ආගම් වැදගත් තැනක ලා සැලකුවත් බුදු දහම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ත්‍රිලක්ෂණය මත පිහිටා සමාජ යථාර්ථය වටහා දෙන ආගමක්. අනිකුත් සියලු
ආගම් හා දර්ශන නිත්‍ය සුඛ සාර්ධර්ම පද්ධතියක් ඇති ආගම්. එමනිසා
බුදුරජාණන් වහන්සේ වදාළේ එම ආගම්වලට ගරු කරන ලෙසයි. මෙයින් එම ආගම්වල
දර්ශනය පිළිගත යුතු යැයි අදහස් වන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර ඉතා වැදගත් දේශනාවක් මෙහිදී සිහිපත්
කළයුතු වනවා. ‘ යමෙක් තමාගේ දහමට වඩාත් ගරු කරන්නේද ඔහු විසින්
කළයුත්තේ අන්‍ය ආගම්වලට ගරු කිරීමයි.’
බෞද්ධයන් වන අයගෙන් අන්‍ය ආගම් සඳහා ඉහළම සැලකිල්ල ලැබෙන බව මෙයින් ඉතා
පැහැදිලියි. අපේ නිහතමානීත්වය, අපේ ගරුත්වය රඳා පවතින්නේ අප අනෙක් අයට
දක්වන සැලකිල්ල ගරුත්වය මත බව අප සිහි තබා ගතයුතුයි.
අප ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර ගරු කරනවා. එහිදී ස්වාමීන් වහනසේ
එම ගරුත්වය පිළිගත යුතුයි. වැඳ නමස්කාර කිරීමේදී පමණක් නොව අනෙක් සියලු
අවස්ථාවන්හිදීත් මේ තත්ත්වය තිබිය යුතුයි.
බස් රථයකදී අසුනක් ලබා දුනහොත් ස්වාමීන් වහන්සේ නමක් මෙන්ම
වැඩිහිටියන්, ගැබිනි මවක් හෝ වෙනත් රෝගියකු හෝ තමන්ට අසුන ලබා දුන්
තැනැත්තාට වචනයකින් හෝ ගරු කළ යුතු වනවා. අඩුම වශයෙන් ‘ පින් සිද්ධ
වෙනවා’ නැත්නම් ‘ බොහොම ස්තුතියි’ කියා හෝ ඔහුට තම සැලකිල්ල දැක්විය
යුතු වනවා.
‘ මං නිසා කරදර වුණා නේද ?’ කියාවත් අසන්නේ කී දෙනෙකුද ?
ඇතැමුන් අසුන ඉදිරියේ බලා සිටින්නේ තම අයිතියක් ලබා ගැනීමේ
අපේක්ෂාවෙන්. බෞද්ධයන් වන අප සැමවිටම නිහතමානී ගුණයෙන්, කාරුණික බව
පිළිබිඹු කළයුතු වනවා.
අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට ගරු කරන බව හොඳින්
පෙනෙන්නට තිබෙනවා. මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත්.
ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක්
කෙරෙහි අප බොහෝ දෙනාගේ අවධානයක් නැහැ.
‘ පූජ්‍ය’ හා ‘ පූජක’ යන්නෙහි තේරුම අද ඇතැම් දෙනා දන්නේ නැහැ. පූජ්‍ය
පක්ෂය කියා හඳුන්වන්නේ වන්දනා ලබන්නායි. එම පිරිස් තවත් අයට වන්දනා
කරන්නෙක් නෙමෙයි. යාඥා කරන්නෙක් නෙමෙයි. පූජ්‍ය යන්නට අදාළ වන එකම
පිරිස බෞද්ධ භික්ෂූන් වහන්සේයි. ‘ සංඝ’ යනුවෙන් හඳුන්වන්නේ තුනුරුවන්
අතුරින් එක් රත්නයක්. ධාතුන් වහන්සේ මෙන්ම බෝධිය මෙන්ම බුදු පිළිමයට
මෙන්ම දෙදන බිම තබා වන්දනා ලබන්නෙක් වන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේයි.
පූජක යනුවෙන් හඳුන්වන්නේ තවත් කෙනෙක් වෙනුවෙන් වන්දනා කරන්නා. නැත්නම්
යාඥා කරන්නා. බෞද්ධ භික්ෂූන් වහන්සේ හැර අන්‍ය ආගමික පිරිස පූජක
පක්ෂයටයි අයත් වන්නේ.
මාධ්‍යයක හෝ වෙනත් ස්ථානයක අන්‍ය ආගමික නියෝජිතයන් පූජ්‍ය කියා
හඳුන්වනවා නම් එය පූජකතුමාට කරනු ලබන අපහාසයක්.
එසේම ස්වාමීන් වහන්සේට පූජක යැයි හැඳින්වීමත් වැරැද්දක්. උන්වහන්සේ
යාඥා කරන්නෙක් එහෙමත් නැතිනම් කපු මහතකු නෙවෙයි.
එම නිසා පූජ්‍ය හා පූජක දෙපක්ෂය සම අසුන් ගැන්වීම පවා සුදුසු නැහැ.
අනෙක් ආගම්වල සර්වබලධාරී දෙවිවරු ඉන්නවා. සදාකාලික අපාය නැත්නම්
ස්වර්ගයක් තියෙනවා. බුදු දහමේ මේ කිසිවක් නැහැ. ඇත්තේ සදාකාලික නිවන
පමණයි. එසේ නම් බුදු දහම අනෙක් ආගම් හා එකතු කර සර්වාගමික සංකල්පයට එක්
කිරීම වරදක්.
බුදුරජාණන් වහන්සේ වදාළ ශීලය රකිනා ස්වාමීන්වහන්සේට අසුන් ගැනීම පිණිස
අසුනට සුදු වස්ත්‍රයක් යොදනවා.
වර්තමාන සමාජය මෙය වැරැදියට තේරුම් අරගෙන තිබෙන බව ඔවුන්ගේ
ක්‍රියාකාරකම් මඟින් පැහැදිලියි.
භික්ෂූන් වහන්සේ තමන්ගේ මව පියා දේපල ඇතුළු ඥාති පරපුර පවා අතහැර
බුදුරජාණන් වහන්සේගේ ධර්මය උදෙසා කැපවූ පිරිසක්. තමන්ගේ නම පවා අත්හැර
බුද්ධ චීවරය දරා ගන්නවා. උන් වහන්සේට ආගම් භේද ජාති භේද නැහැ. එවන්
අයකුට පමණයි උඩ, වියන් බඳින්න පුළුවන්. පාවාඩ දාන්න පුළුවන්. ආසනයට
සුදු ඇතිරිල්ලක් දාන්න පුළුවන්.
විදේශ රටකට ගියත් භික්ෂූන් වහන්සේට සුදු ඇතිරිල්ලක් දමා ආසනයක් පනවනවා.
භික්ෂූන් වහන්සේ ජාතික කොඩිය ඔසවන අවස්ථාවේ පවා අසුනින් නැඟී සිටින්නේ
නැහැ. තමන් වහන්සේ දරා සිටින අර්හත් ධජය ඊට ඉහළයි. එම නිසයි එසේ
අසුනින් නැඟිටීමට උත්සුක නොවන්නේ.
එහෙත් මේ වනවිට භික්ෂූන් වහන්සේ තීරණය කර තිබෙනවා ජාතික ගීයට හමුදාවට
ගරු බුහුමන් දක්වන අවස්ථාවන්හිදී නැඟී සිට ඊට ගෞරව පුදන්නට. ඒ අනාගත දූ
දරුවන්ට ආදර්ශයක් ලබාදීම උදෙසාය.
සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර |