UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුද්ගල සම්බන්ධතා රැක ගනිමු

බෞද්ධ ඉගැන්වීම් තුළින් පෙන්වා දෙන සමාජ චින්තනය න්‍යායික වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සමාජයක යහපැවැත්ම ඇති කරන පුද්ගලාන්තර සම්බන්ධතා පද්ධතියක් හෙළිදරව් කරනවා. බෞද්ධ ඉගැන්වීම් වල පෙන්වාදෙන සිව් බඹ විහරණ, සිව් සඟරාවත් ආදිය පුද්ගල සබඳතාවන්ගේ ආධ්‍යාත්මික හා චර්යාමය පදනමක් වෙනවා

සමාජ ජීවියෙකු වන මිනිසා සමූහචාරීයි. මිනිසා ඇතැම් සතුන් මෙන් හුදකලාව, ඒකචාරීව තනිව වසන්නෙක් නොවේ. මානව සබඳතා ඔස්සේ සමාජයක් වශයෙන් සාමූහිකව කටයුතු කිරීමට මිනිසා යොමුවූයේ අද ඊයේ නොවෙයි. පවුල නමැති මූලික සමාජ ඒකකයද තවත් බොහෝ ඒකකද මිනිස් සමාජ සංවිධානය තුළ දක්නට ලැබෙනවා. නීතිය, ආගම, සංස්කෘතිය, අනුව පවත්වාගෙන යන එම සමාජ ඒකක තුළද ඒවා අතර ද පුද්ගලාන්තර සබඳතා විද්‍යමාන වෙනවා. එකී සබඳතා දියුණු ශිෂ්ට සම්පන්න හා සාමකාමී සමාජයක පදනම වෙනවා. පුද්ගල සම්බන්ධතා බිඳවැටීම වළකාලමින් ඒ තුළින් ඇතිවන ගැටලු මගහරිමින් වඩාත් ප්‍රීතිදායක වූ තෘප්තිමත් වූ සමාජ පරිසරයක් පවත්වාගෙන යාමට අන්තර් පුද්ගල සම්බන්ධතා නිසැකවම අවශ්‍ය වෙනවා. සමාජය දැළක් වාගෙයි. මිනිසුන් එකිනෙකා පිළිබඳ අපේක්ෂාවෙන් බැඳීමෙන් එකිනෙකාගේ යහපත, සාධනය වන පරිදි ක්‍රියා කිරීමේ වැදගත්කම නීතිය, ආගම, පොදුවේ මානව සංස්කෘතිය විසින් පිළිගෙන තිබෙනවා.

බෞද්ධ ඉගැන්වීම් තුළින් පෙන්වා දෙන සමාජ චින්තනය න්‍යායික වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සමාජයක යහපැවැත්ම ඇති කරන පුද්ගලාන්තර සම්බන්ධතා පද්ධතියක් හෙළිදරව් කරනවා. බෞද්ධ ඉගැන්වීම් වල පෙන්වාදෙන සිව් බඹ විහරණ, සිව් සඟරාවත් ආදිය පුද්ගල සබඳතාවන්ගේ ආධ්‍යාත්මික හා චර්යාමය පදනමක් වෙනවා.

සියල්ලන්ගේ සුවපත් බව, සැපත යහපත කැමැතිවීම, එකිනෙකාගේ දුක අයහපත විපත නොපැතීම මෙත්තාවයි. කවර සත්වයෙකුගේ වුවද, දුක, පීඩාව, විපත දැක ඉවත නොබලා සානුකම්පිතව පිහිටවීම කරුණාවයි. කවරෙකුගේ වුවත් සැපත, යහපත, දියුණුව දැක ඊර්ෂ්‍යා නොකිරීම මුදිතාවයි. අනේකවිධ සිතුම් පැතුම්, ගතිගුණ, රුචි අරුචිකම් ඇති විවිධ ප්‍රභේදයන්ගෙන් යුත් සමාජය තුළ මැදහත්ව සිතීම හා ක්‍රියා කිරීම උපේක්ෂාවයි. සිව්බඹ විහරණ ප්‍රගුණ කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික හා චර්යාමය හැඩගැස්ම නිසැකවම පුද්ගලාන්තර සම්බන්ධතා ගොඩනඟනවා. ශක්තිමත් කරනවා එලෙසම ආරක්‍ෂා කරනවා.

පුද්ගලයන් එකිනෙකාගේ දුක කැමැති වන විට එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් වෛරයෙන් යුක්තව ක්‍රියා කරන විට පුද්ගල සම්බන්ධතා විනාශ වෙනවා. බිඳ වැටෙනවා. සමාජයක් වශයෙන් ගිහි පැවිදි සියලු දෙනා සිව් බඹ විහරණයන් ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

සිව් බඹ විහරණයන්ගෙන් යුක්තවන මිනිසුන් සිව් සඟරාවතින් එකිනෙකාට සංග්‍රහ කළ යුතු බව බුදුදහම තුළ සඳහන් වෙනවා. ලෝභාදියෙන් තොරව නිර්ලෝභීවීමෙන් පරිත්‍යාගශීලී වීමෙන්, ප්‍රිය වචනයෙන්, එනම් මුසාවාද, පිසුනාවාචා, පරුසාවාචා, සම්ඵප්පලාපා යනාදී අනිසි වාචසික චර්යාවන්ගෙන් බැහැර විය යුතු වෙනවා. කනට මිහිරි, වඩාත් දියුණු හදට සුවදෙන පෙම් වඩනා බොහෝ දෙනා කැමැති, මනාප වූ, අර්ථචර්යා එකිනෙකාගේ දියුණුවට උපකාර වීම, කුල ගෝත්‍ර, ජාති, ආගම් ආදී වෙනස්කම් නොසලකා සමානාත්මතාවයෙන් සැලකීම පුද්ගල සම්බන්ධතා විධිමත්ව පවත්වාගෙන යාමට හේතු වෙනවා. පුද්ගලයා පවින් අකුසලයෙන් වැළැකී පිනෙන් කුසලයෙන් සරුවිය යුතු බව නිබඳව බුදු දහම උගන්වනවා. පුද්ගලයාට නොකළ යුත්ත නොකිරීම ද (වේරමණී) කළ යුත්ත කිරීම ද (සමාදාන) අවශ්‍ය වෙනවා. එය මෙලොව, පරලොව යහපත සලසා දෙනවා. විමුක්තියට උපකාරී වෙනවා.

පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙන පාපී අකුසල ධර්මයන්ගෙන් වැළැකි, පුද්ගල සම්බන්ධතා තහවුරු කරන පුණ්‍ය ධර්ම, කුසල ධර්ම වැඩීමටත්, කළ නොකළ යුක්ත තේරුම් ගැනීම හේතු වෙනවා. පංච ශීලය ආරක්‍ෂා කිරීම තුළින් පුද්ගලාන්තර විශ්වාසය, හොඳ හිත ගොඩනැඟෙනවා. තමාට අහිත දුක් පිණිස පවත්නා ක්‍රියාවන්ගෙන් මෙන්ම අනුන්ට ද, දෙපක්‍ෂයටම අහිත දුක් පිණිස පවත්නා ක්‍රියාවන්ගෙන් ද වැළැකීම තුළින් යහපත්, ශක්තිමත් පුද්ගල සම්බන්ධතා ගොඩනඟාගත හැකිවෙනවා.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]