UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මනස පවිත්‍ර කරගනිමු

පින්කම් කළ පුද්ගලයාට ඊළඟ භවයේදී වුවද සුවපහසු ජීවිතයක් ලැබෙන නිසා තමා ලැබූ සුවපහසු ජීවිතය තමා කළ පෙර පිනට ලැබුණකැයි සිතන විට ඔහුගේ සිතට සතුටක් දැනේ. මේ අයුරෙන් පින්කළ පුද්ගලයාට මෙලොවදීත් පරලොවදීත් වශයෙන් දෙලොවදීම සිතට සතුටක් ඇතිවේ. එසේම තමා කරනු ලැබූ පින්කම පිළිබඳව මෙලොව දී මෙනෙහි කළත් පරලොව දී මෙනෙහි කළත් සිතට සතුට ඇතිවේ. මිනිසකුගේ සිත හැම, මොහොතකම තමා කළ යහපත් දේ පිළිබඳව මතක් කොට සතුටු විය හැකි නම් ඔහුගේ මනස පවිත්‍ර බවින් පිරී තිබේ.

බුදුදහමෙහි උගන්වන වචන අතර ‘මෝදතී’ යන වචනය සඳහා ශබ්ද කෝෂවල ලබා දී ඇති තේරුම වන්නේ සතුට වේ යන්නයි. සතුට, සතුටුවීම, සොම්නස, සැනසුම, සැහැල්ලුව ආදී පරියාය පද රාශියක් සිංහල භාෂාවෙහි දක්නට ලැබේ. මිනිසා මානසික වශයෙන් ඇති කරගනු ලබන සතුට සඳහා විවිධ ක්‍රියාදාමයන් සිදු කරයි. මානසික සතුට ලැබෙන්නේ කායික සහ වාචසික ක්‍රියාවලිනි. එම ක්‍රියාවලින් සිතෙහි සතුට ඇතිවන්නා සේම සිතෙහි සතුට ලබාගැනීම සඳහා ද එබදු ක්‍රියා සිදු කරයි.

සිතෙහි සතුට ලබාගැනීම සඳහා බුද්ධිමත් මිනිසා යහපත් ක්‍රියාවන් (පුණ්‍ය) සිදු කරනු ලබන බව දක්වා තිබේ. තමන්ගේ කයෙන්ද වචනයෙන් ද සමාජයේ යහපත පිණිස හේතුවන තමන්ගේ ලාභය පිණිස නොවූ ක්‍රියාවන් පින්කම් ලෙස දැක්විය හැකිය. තමන්ගේ ලාභය පිණිස හේතු නොවූ යන්නෙන් මෙහි අදහස් කරනු ලැබුයේ තමන් කිසියම් යහපත් වැඩක් සමාජයට කළ පසුව එම ක්‍රියාවෙහි ලාභ ප්‍රයෝජන පිළිබඳ මානසික බලාපොරොත්තු තබා නොගැනීමයි. එබඳු ක්‍රියාවන් සමාජයේ විෂයෙහි ඉටුකිරීම පුද්ගල සතුටක් ලෙසද පින්කමක් ලෙසද දක්වා තිබේ.

පින් කළ තැනැත්තාට එම පින්කම නිසා ලැබෙන ත්‍යාග හැටියට බුදුදහමෙහි දක්වන අවස්ථා කිහිපයක් වෙයි. එනම් තමා කළ එම පින්කම නැවත සිහිපත් කරන විට තමා එබදු පින්කමක් කළා නේද යන සිතිවිල්ල විසින් සිතට සතුටක් ඇති වීමයි. එම පින්කම සිහිපත් කරන හැම අවස්ථාවකදීම තමාගේ සිතට සතුටක් දැනීමයි.

පින්කම් කළ පුද්ගලයාට ඊළඟ භවයේදී වුවද සුවපහසු ජීවිතයක් ලැබෙන නිසා තමා ලැබූ සුවපහසු ජීවිතය තමා කළ පෙර පිනට ලැබුණකැයි සිතන විට ඔහුගේ සිතට සතුටක් දැනේ. මේ අයුරෙන් පින්කළ පුද්ගලයාට මෙලොවදීත් පරලොවදීත් වශයෙන් දෙලොවදීම සිතට සතුටක් ඇතිවේ. එසේම තමා කරනු ලැබූ පින්කම පිළිබඳව මෙලොව දී මෙනෙහි කළත් පරලොව දී මෙනෙහි කළත් සිතට සතුට ඇතිවේ. මිනිසකුගේ සිත හැම, මොහොතකම තමා කළ යහපත් දේවල් පිළිබඳව මතක් කොට සතුටු විය හැකි නම් ඔහුගේ මනස පවිත්‍ර බවින් පිරී තිබේ. මනස පිරිසුදු වූ විට ශරීරයෙහි ගමන් කරන රුධිරය ද පවිත්‍ර වෙයි. රුධිරය පිරිසුදු වූ විට ශරීරය පුරා ලේ ගමනාගමනය පහසු කරයි. එබදු විට නිරෝගි බව පුද්ගල ජීවිතයට ඇතිවේ. මිනිසකු සතු මානසික නිරෝගීකම කායික නිරෝගීකම දක්වා පැතිර යන බවත් කායික නිරෝගීකම මානසික නිරෝගීකම පිණිස හේතුවන බවක් පෙනේ.

බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව සිදු කරනු ලැබුයේ තමා කළ පින්කම් පිළිබඳ සතුටෙන් ජීවත් වූ සහ මරණාසන්න මොහොතේ තමා කළ යහපත් ක්‍රියාවන් පිළිබඳව ප්‍රමුදිත සිතිවිලි වලින් ධම්මික නමැති උපාසකතුමා අරභයාය. ඔහු ජීවත් වූයේ සැවැත්නුවරය. මහා ධනවතකු නොවුණත් සාමාන්‍ය ජීවිතය ගත කර ගැනීමට ප්‍රමාණවත් වන පරිදි ධනයක් පැවතියේ ය. දරුමල්ලන් ආවාහ විවාහ කර දී යුතුකම් ඉටුකළ පසු තමාගේ ජීවිතය ආගමට දහමට නැඹුරුව ගත කරනු ලැබේ. තමන්ගේ ක්‍රියාකලාප බණ දහමට නැඹුරු කළ නිසාම ධම්මික යනුවෙන් ඔහු ප්‍රකට වේ. ධනවත්කමට වඩා ගුණවත්කම් වලින් පොහොසත්ය.

සාමාන්‍ය ජීවිතය ගත කළ ධම්මික මරණාසන්න තත්ත්වයට පත්වීම සැම දෙනාට උරුම මරණය ධම්මික උපාසකතුමාටද ළඟා විය. කවුරුත් මරණයෙන් බියපත් වන නමුදු ජීවත් වන කාලය තුළ අවබෝධයෙන් යුතුව ජීවත් වුන නිසාද අකුසල ධර්මවලට වැඩිය පින්දහම් කෙරෙහි නැඹුරු වූ නිසාද ධම්මික උපාසකතුමාට මරණය පිළිබඳ බියක් ඇතිවූයේ නැත. දරුමල්ලන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඔහු ඉටුකර තිබුණේ ය. මරණාසන්න බවට පැමිණ ඇඳෙහි වැතිරී සිටින ධම්මික උපාසකතුමා කල්පනා කරනු ලැබුයේ හාමුදුරු නමක් නිවසට වැඩමවාගෙන ඇවිත් බණ දහම් ටිකක් අසා සිත සතුටු කර ගැනීමයි. ඔහුගේ මෙම සිතිවිල්ල විසින් අපට පෙනෙන්නේ පින්දහම් කළ නිසාම එහි ප්‍රතිඵලයක් වශයෙන් ධම්මික උපාසකතුමාට මරණාසන්න මොහොතේ දී වුවද හොඳ සිහිකල්පනාව පිහිටා තිබුණු බවයි. භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කොට උන්වහන්සේලා නිවසට වැඩම වූ පසු බණදහම් කීම ආරම්භ කෙරිනි. ධම්මික උපාසකතුමා තමන්ගේ ජීවිත කාලයේ කර තිබූ යහපත් ක්‍රියා සිහිපත් කරමින්ම භික්‍ෂූන් වහන්සේලා විසින් ඔහු වෙනුවෙන් කරනු ලබන ධර්මදේශනාව ශ්‍රවණය කරයි. ධම්මික උපාසකතුමාගේ සිත ද සතුටින් පිරී තිබේ. මරණය ගැන චුන්ද සූකරිකට මෙන් දුකක් ලැබෙන්නේ නැත. වේදනාකාරී නැත. භය චකිතය නැත. ජීවිත කාලයේ සුචරිතය වැඩූ නිසා මරණයෙන් පසු යහපත් තැනක උපතක් සිදුවන බව ධම්මික උපාසකතුමාට සිතේ. ඒ පිළිබඳව සිතෙන විටත් ඔහුගේ සිත වඩ වඩාත් සතුටින් පිරී යයි. මෙම කල්පනා ලෝකය තුළ බණ දහම්ද අසමින් සිටින ධම්මික උපාසකතුමාට අමුතු දසුනක් පෙනෙන්නට පටන්ගනී. එනම් විවිධ දිව්‍යලෝක වලින් දිව්‍ය රථද සහිතව දෙවි දේවතාවරු අහසේ සිට ධම්මික උපාසකතුමාට අඬගසති. අපේ දිව්‍ය ලෝකය මේ තරම් යහපත් ඔබවගේ කෙනෙකුට අපේ දිව්‍ය ලෝකය හොඳයි. ඔබ අපේ දිව්‍ය ලෝකයට එන්න. දිව්‍ය ලෝක හයේම (6) පිරිස් මේ විදිහට ධම්මික උපාසකතුමා අමතනු ඔහුට ඇසේ. ඒ දසුන් ඔහුට පෙනේ. ධම්මික උපාසකතුමාට පමණක් ඇසෙන පෙනෙන මෙම හඬ, දර්ශනය, තමා අවට සිටින අනෙක් පිරිසට නොඇසෙන නොපෙනෙන බව ධම්මික උපාසකතුමාට නොදැනේ. ඔහු කල්පනා කරන්නේ මෙම හඬ නිසා හාමුදුරුවන් වහන්සේලා දේශනා කරන බණ දහම අසා සිටීමට එය කරදරයක් බවයි.

මරණින් පසු දිව්‍ය ලෝකයේ උපත ලබන්නට සිදුවීම් සිතට ඉමහත් සතුටක් ලෙස දැනුණත් හාමුදුරුවන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරනු ලබන බණ අසන්නට නොහැකි වීම සිතට දුකක් ලෙස ධම්මික උපාසකතුමාට වැටහේ. මරණාසන්න මොහොතේ ඇඳෙහි වැතිරී සිටින ධම්මික උපාසක නවත්වන්න, නවත්වන්න, යනුවෙන් හඬනඟා කියයි. ඔහු එසේ කීවේ දිව්‍ය රථ සහිතව පිරිසද සහිතව පැමිණ තමාට අඬ ගසන දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙනි. නමුත් භික්‍ෂූන් වහන්සේලා සිතුවේ මරණාසන්නව පසුවෙන ධම්මික උපාසකතුමා බණදහම් දෙසීම නවත්වන්නට යැයි කියුවායැයි කියාය. ඒ අනුව උන්වහන්සේලා සිය කාර්යය නතරකොට පන්සලට වැඩම කළහ. ධම්මික උපාසකතුමා කලුරිය කොට දිව්‍ය ලෝක හයෙන්ම වඩාත් සුව පහසුකම් සහිත තුසිත දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවේ ය.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk