UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දන්දීම

විශාල පිරිසකට දානයක් දෙන විට ඒ ඒ දේ සපයා ගැනීම දන් උයා පිහා සංවිධානය කොට පූජා කිරීමද බැලූ බැල්මට යුද්ධයක් වැනි ය. එහෙත් මෙහි යුද්ධය යයි දක්වන ලද්දේ දන්දීමේ දී කෙරෙන මානසික යුද්ධයයි. පෘථග්ජන සත්වයාගේ ස්වභාවය රැස් කිරීමයි. දීම යනු රැස්කිරීමට විරුද්ධ පක්‍ෂයයි. දෙම් ද? නොදෙම් ද? යන මානසික ගැටීමෙන් ජයගත්ත අයට පමණකි දන්දිය හැක්කේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු
අප්පාපි සන්තා බහුකේ ජිනන්ති
අප්පම්පි චේ සද්දහානො දදාති
තේනේව සෝ හෝති සුඛී පරත්ථ

දන් දීම ද යුද්ධ කිරීමක් හා සමාන යයි කියති. ජීවිතය කෙරෙහි ආශාවක් නැතුව ස්වල්ප දෙනෙක් සටන් වැදුණත් බොහෝ සතුරන් පරදවා ජය ගනිති. එමෙන් කුසලය ස්වල්ප වුවද බොහෝ අකුසල් පරදවාලිය හැකි ය. කම්පල අදහාගෙන ස්වල්ප වූ හෝ යමක් පරිත්‍යාග කළහොත් පරලොව දී සැපවත් වීමට එම දානමය පින්කම උපකාරවත් වේ. මේ ඉහත සඳහන් ගාථාවේ අදහසයි.

මේ ගාථාව ආදිත්ත ජාතකයෙහි එන එක් ගාථාවෙකි. ආදිත්ත ජාතකය බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන විට දේශනා කරන ලද්දකි. කොසොල් රජතුමා හා රටවාසීන් අතර දාන තරගයක් පැවතුණි. එහිදී රටවැසියෝ දුන් දානය රජුගේ දානයට වඩා උසස් විය. පරාජයෙන් කනස්සල්ලට පත් රජතුමා සනසමින් මල්ලිකා දේවිය මහා දානයක් සංවිධානය කළා ය. එම දානය අසදෘශ මහා දානය නමින් ප්‍රකට විය. එම අසදෘශ මහා දානය පිළිබඳව දම්සභාවට රැස් වූ භික්‍ෂූන් කතා කරමින් සිටින විට බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කොට කළ කතාව විමසා දැනගෙන, පෙරත් නුවණැත්තෝ මෙසේ දන්දුන්හයි අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක.

පෙර ‘සෝවීර’ නම් රටෙහි ‘රෝරුව‘ නම් නුවර ‘භරත’ නම් රජෙක් දැහැමින් රජකම් කළේ ය. භරත රජතුමාගේ දේවිය ‘සමුද්දවිජයා’ නම් වූවා ය. රජතුමා දුගී මගී යාචකාදීන්ට දන් දෙයි. දිනක් රජතුමා එම දන්දීම පරීක්‍ෂා කරන්නේ ගුණ ධර්මයන්ගෙන් තොර දුසිල් මිනිසුන් එම දානය පරිභෝග කරනු දැක එයින් කලකිරී සිල්වත් පසේබුදුවරුන්ට දන් දෙන්නට සිතී ය. එහෙත් පසේබුදුවරු වැඩසිටින්නේ හිමාලයෙහි ය. ඒ නිසා උන්වහන්සේට ආරාධනා කරන්නේ කෙසේදැයි කල්පනා කළේ ය. එම අදහස තම දේවියට ද දැනුම් දුන්නේ ය. එවිට දේවිය ‘මහරජතුමනි, මේ ගැන වෙහෙසෙන්නට ඕනෑ නැත. මල් වට්ටියක් ගෙන ඔබතුමා මෙතෙක් කල් දුන් දානයේ බලයෙන්, රැකී සීලයේ බලයෙන් මල් වට්ටිය පසේ බුදුන්ට ආරාධනා පිණිස හිමාලයට යේවා! යි අධිෂ්ඨාන කොට අහසට දමන්නැයි’ කීවාය.

රජතුමා එය පිළිගෙන පෙහෙවස් සමාදන්ව රන් බඳුනකට සමන් මල් ගෙන රජමිදුලේ සිට නැගෙනහිර දෙසට වැඳගෙන ‘මේ නැගෙනහිර දිසාවේ වැඩසිටින රහතන් වහන්සේ අප කෙරෙහි යම් ගුණයක් ඇත්නම් එය සලකා අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ දානය ඉවසා වදාරන සේක්වා’ යි මල් මිටවල් හතක් අහසෙහි පාකර හැරියේ ය. නැගෙනහිර දිසාවේ පසේ බුදුවරුන් නො සිටි හෙයින් රජතුමාගේ ප්‍රාර්ථනය ඉටු නොවීය. ඉන් පසු දකුණු දිසාවට ද බටහිර දිසාවට ද මල් අහසේ පාකර යැවී ය. ඒ දිසාවලින් ද ප්‍රතිඵල නොලත් විට උතුරු දිසාවට මල් පාකර යැවී ය. එම මල් ගන්ධමාදන පර්වතයෙහි වැඩවෙසෙන පන්සියයක් පසේ බුදුන් වහන්සේගේ සිරසට උඩින් මල් වියනක් මෙන් පිහිටා පසුව බිමට පහත් විය. ඒ ගැන දිවැසින් බැලූ පසේබුදුන් වහන්සේ නමක්, රජතුමාගේ දානයට ආරාධනාවක් බව දැනගෙන පසුදින දානයට සත් නමක් රජමාලිගයට වැඩම කළහ. රජතුමා දින හතක් උන්වහන්සේට දාන මානාදියෙන් සංග්‍රහ කොට සත්වැනි දින පිරිකර ද පූජා කළේ ය. වැඩිමහලු පසේ බුදුරජාණන් වහන්සේ රජුට අනුමෙවැනි දහම් දෙසන්නේ,

“ආදිත්තස්මිං අගාරස්මිං - යං නීහරති භාජනං
නං තස්ස හෝති අත්ථාය - නෝ ච යං තත්ථ ඩය්හති”

යනාදී ගාථා දෙකක් දේශනා කළ සේක. ගිනිගෙන දැවෙන ගෙයකින් යම් භාජනයක් බැහැර කර ගතහොත් එය ඔහුට ප්‍රයෝජනය පිණිස පවතී.

එවමාදිපිතො ලෝකෝ ජරාය මරණෙන ච
නීහරේථේව දානේන දින්නං හෝති සුනීභතං

මෙසේ ලෝකයා ජරාවෙන් ද මරණයෙන් ද ගිනිගෙන දැවෙන්නේ ය. දන් දීම ගිනිගත් හෙයින් බඩු ඉවත්කර ගැනීමක් වැනි ය. දුන් දේ මනාව රැක ගත් දෙයක් වේ.

සත්වයා ප්‍රධාන වශයෙන් ජරා, මරණ දෙකින් නිතර ගිනිගෙන දැවෙන්නේ ය. සත්වයා උපන්දා පටන් මරණය කරා ගමන් කරයි. ඒ ගමනෙහි නැවතීමක් නැත. එසේ මරණය කරා යන සත්වයා ක්‍ෂණයක් පාසාම වෙනස් වීමට භාජනය වෙයි. මෙය ධර්මයෙහි ක්ෂණික මරණ වශයෙන් සඳහන් වේ. තවද, සත්වයා එකොළොස් ගින්නකින් නිතර දැවෙන බව සඳහන් ය. ඒ එකොළොස් ගින්න නම්, රාග, ද්වේෂ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, කායික දුක, චේතසික දුක, උපායාස යන එකොළොස ය.

මෙසේ ප්‍රධාන පසේබුදුරජාණන් වහන්සේ රජතුමා ඇතුළු පිරිසට අනුමෝදනා කොට අහසින්ම ආපසු වැඩි සේක. උන්වහන්සේට පිරිනැමූ පිරිකර ද උන්වහන්සේ පසු පස අහසින්ම ගියේ ය. ඊළඟට දෙවන පසේබුදුරජාණන් වහන්සේ,

යො ධම්මලද්ධස්ස දදාති දානං
උට්ඨානවිරියාධිගතස්ස ජන්තුනෝ
අතික්කම්ම සෝ වේතරණිං යමස්ස
දිබ්බානි ඨානානි උපේති මච්චෝ

යන ගාථාවෙන් දම් දෙසූහ. යම්කිසි කෙනෙක් දහදිය වගුරා දැහැමින් උපයා සපයා ගත් වස්තුවෙන් දන් දෙන්නේ ද ඔහු යමරජුගේ වේතරණී නදිය, අට මහනිරයන් හා ඔසුපත් නිරය ඉක්මවා දිව්‍ය සම්පත් ලබා ගනී යනු එම ගාථාවේ අදහසයි. උන්වහන්සේ ද මේ ධර්මය වදාරා පිරිකරත් සමඟ අහසින්ම ආපසු වැඩියහ.

මෙසේ පසේ බුදුරජාණන් වහන්සේ ඉතිරි සය නම ම ගාථාව බැගින් දේශනා කොට අහසින්ම ආපසු වැඩියහ. මාතෘකා වශයෙන් තැබූ ගාථාව ද එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් දෙසූ ගාථාවකි. එහි දානය යුද්ධයකට සමාන කොට ඇත. විශාල පිරිසකට දානයක් දෙන විට ඒ ඒ දේ සපයා ගැනීම දන් උයා පිහා සංවිධානය කොට පූජා කිරීමද බැලූ බැල්මට යුද්ධයක් වැනි ය. එහෙත් මෙහි යුද්ධය යයි දක්වන ලද්දේ දන්දීමේ දී කෙරෙන මානසික යුද්ධයයි. පෘථග්ජන සත්වයාගේ ස්වභාවය රැස් කිරීමයි. දීම යනු රැස්කිරීමට විරුද්ධ පක්‍ෂයයි. දෙම් ද? නොදෙම් ද? යන මානසික ගැටීමෙන් ජයගත්තහුට පමණකි දන්දිය හැක්කේ.

යමෙක් යමක් දුන් පසු ද දුන් දෙය ගැන විපරම් කරන්නේ එහි ආශාව සම්පූර්ණයෙන්ම අත්හළ නොහැකි නිසා ය. සසරදී ද දීමෙහි පළපුරුද්දක් නැති අයට දීම අසීරු ය. ඒ සඳහා මානසිකව ලොකු යුද්ධයක් කළ යුතු ය. බොහෝ වශයෙන් දීමෙහි යෙදන්නේ සසරදීත් දානාදී පින්කම් කළ පින්වතුන් ය. සසර දී දුන් නිසා ඔවුන්ට මෙලොව දී ලැබෙයි. මෙලොවදීත් දෙන නිසා පරලොවදීත් ලැබෙයි.

බුද්ධ කාරක ධර්මයන් සපුරන බෝසත්වරු දානය පාරමිතාවක් වශයෙන් පුරති. දීම පාරමිතාවක් බවට පත්වන්නේ, තණ්හා, මාන, මිථ්‍යාදෘෂ්ටි වලින් තොරව කරුණාව, උපාය කෞෂල්‍ය ආදී ගුණධර්මයන්ගෙන් යුක්තව ලබන්නන් ගැන නො සලකා දිය කළයක් මුනින් නැමුවා සේ දීමෙනි. එහිදී පරමාර්ථය වන්නේ ආශාව දුරුකිරීමයි. එසේ බාහිර තමන් සතු වස්තු දන් දීමෙන් බෝසත්වරු තම අඟ පසඟ පවා දීමට පුරුදු වෙති. එය උපපාරමිතාවයි. ජීවිත දානය ද කිරීමෙන් පරමාර්ථ පාරමිතාව සපුරා ගනිති.

මෙහිදී පසේබුදුවරු හත් නම දේශනා කොට ඇත්තේ මහත්ඵල මහානිශංස ලැබීමට දිය යුතු ආකාරයයි.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk