UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කසාගල රජ මහා විහාරය

ඓතිහාසික වටිනාකමකින් අනූන වූ කසාගල රජමහා විහාරය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩයාය ග්‍රාමසේවා වසමේ ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති මෙම විශේෂ පුණ්‍යභූමියේ ඓතිහාසික පුරාවෘත්තය දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දුර අතීතයකට ඇදී යයි.

මඳක් උසට විහිදෙන සෙල් තලාවක් මත විහාරස්ථානය ගොඩ නංවා තිබේ. එය නෙතට පි‍්‍රය උපදවන චමත්කාර වූ දර්ශනයක් මවයි.

මෙම විහාර භූමියේ දැවැන්ත නොවූ මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයන් දෙකක් දක්නට ලැබීම ද විශේෂයකි. සෙල් තලාවක් මත ඉදි කර ඇති මුල් චෛත්‍ය කරවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා විසින් බව කියැවේ. ඊට නුදුරින් ඇති අනෙක් චෛත්‍ය කරවන ලද්දේ සද්ධාතිස්ස (ක්‍රි.පූ. 119 – 137 ) රජතුමා විසිනි.

විහාර භූමිය ආවරණය වන ලෙස ඉදිකර ඇති ශෛලමය ප්‍රාකාරය දිගින් අඩි 236 ක් ද උස අඩි 5 1/2 ක් පමණ වෙයි. පුරාණයේ කසාගල රජමහා විහාරයට අක්කර දහසක නින්ද ගමක් පූජා කර තිබේ.

මෙම ස්ථානය දුටුගැමුණු කුමාරයා විසින් යුද පුහුණු කළ කඳවුරක් වශයෙන් භාවිතා කළ බව සඳහන් වෙයි. පසුකාලීනව රජවරුන් විසින් ගොඩනංවන ලද මාලිගයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් (1747 – 1780 ) පිළිම ගෙයක් බවට පරිවර්තනය කරන ලදී.

ස්ථානයේ ඇති දෙවන ශත වර්ෂයට අයත් ශිලා ලේඛනය අනුව මෙහි පැරැණි නාමය ‘කවගල පබ්බත’ නම් වෙයි.


බුදු මැදුරේ ඇති නුවර යුගයේ සිතුවමක්

මනෝරථපූරණී ග්‍රන්ථයේ සඳහන්වන්නේ ‘කස්සකලෙන’ යනුවෙන්ය. එහි සඳහන් වන්නේ ‘මිත්ත’ නම් මහරහතන් වහන්සේ ‘කස්සක ලෙන’ වැඩ විසූ බවකි. විහාරභූමිය පුරා පෞරාණික ගොඩනැගිලි 21 ක පමණ නටබුන් විසිරී පවතියි. ජනප්‍රවාදය අනුව පැරැණි බුද්ධ මන්දිරය ඉදි කරවා ඇත්තේ මහානාග යුවරජු විසිනි.

මෙම විහාරය පළමුවන විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවූ බව ද කියැවෙයි. (ක්‍රි.ව. 1055-1100 )

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පිළිමගෙයක් බවට පරිවර්තනය කළ බුද්ධ මන්දිරයේ සිතුවම් කර ඇති චිත්‍ර හා නෙලා ඇති පිළිම මහනුවර සම්ප්‍රදායට අයත් වෙයි. ප්‍රවේශ මණ්ඩපය ප්‍රදර්ෂිණපථය සහ ගර්භ ගෘහය යන කොටස් තුනකින් විහාර මන්දිරය සමන්විත වී තිබේ.

මෙහි මහනුවර සම්ප්‍රදායේ බුදුපිළිම, ද්වාර පාලක පිළිම, ශ්‍රාවක පිළිම ආදී සිතුවම් නිර්මාණය කර ඇත. මහනුවර චිත්‍ර මූර්ති කලා සම්ප්‍රදායයේ දකුණු ගුරුකුලයට අයත් ශිල්පීන්ගේ අනගි ප්‍රකාශන ශක්තියේ ප්‍රතිභාව මෙම සිතුවම් සහ මූර්ති මතින් පිළිඹිබුවන බව ක්‍ෂේත්‍රයේ වියතුන්ගේ මතයයි.

දක්‍ෂිණ ශෛලිය හා සංක්‍රාන්තික ශෛලය යන විශේෂිත ශෛලීන් දෙකෙහි සිතුවම් හි ලක්‍ෂණ මෙහිදී දැක ගැනීමට ලැබීම ද විශේෂයක් සේ සැළකෙයි. ප්‍රවේශ මණ්ඩපයෙහි ඇති සිතුවම් මගින් බුදුසිරිත නිරූපනය කෙරෙන අතර, දක්‍ෂිණ සම්ප්‍රදායයේ සංක්‍රාන්තික සිතුවම් ශෛලිය නියෝජනය කරන මෙම සිතුවම්හි වර්ණ රේඛා හැඩතල භාවිතයට ගෙන ඇති ආකාරය අනුව චිත්‍ර ශිල්පය හදාරන්නන්ට මෙම ස්ථානයෙන් ලබා ගත හැකි දැනුම ඉතා වටිනා බව ද කියැවෙයි.

දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දිවෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ සහ පැරැණි විහාරාංගයන් නිසා ඇති වූ පූජනීය වටිනාකම මෙන්ම සිතුවම් නිසා ඇති වූ බෞද්ධ කලා සම්ප්‍රදායයේ කලා ආකෘති කීපයක සම්බන්ධතාව මතින් පිළිබිඹු වන කලාත්මක වටිනාකම මෙන්ම සැබෑ බොදු පුදබිමක ඇති ආකර්ෂණීය සුන්දර පර්සරය සහිත වීරකැටිය, හකුරුවෙල, කසාගල රජමහා විහාරය මේ බිම ද සොභාවත් කරමින් දකුණුලක ඓතිහාසික බොදු උරුමය ද අභිමානවත් කරනා පෞරාණික පුදබිමකි.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk