පූජිත 
			පින්කෙත
			
			 
			වස්කඩුවේ
			ශ්‍රී සුභූති නා හිමි
			
			හොරණ 
			බන්ධුල ආර්. ගුලවත්ත 
			 
			කළුතර දිසාවේ ඓතිහාසික ගමක් වූ වස්කඩුව බෞද්ධ හා ජාතික පුනර්ජීවන 
			ව්‍යාපාරයේ ආරම්භක මධ්‍යස්ථානයක් වශයෙන් සුප්‍රකටය. 19 වන සියවසෙහි 
			ව්‍යාප්ත වූ වෙස්ලියන් මිෂනාරි ව්‍යාපාරයට අභියෝගාත්මකව පෙළ ගැසුණු 
			බෞද්ධ යතිවරුන්ගේ කේන්ද්‍රස්ථානයක් වූයේ ද වස්කඩුව ගම් පෙදෙසය. ශ්‍රී 
			සුභූති මාහිමිපාණන් ජන්ම ලාභය ලැබුවේ මේ සුන්දර ගම් පෙදෙසෙහි ය. 
			කරුණාමුනි පනිස් ද සිල්වා උපාසක මහතාගේ සහ පුංචිහාමි උපාසිකා මාතාවගේ 
			බාල පුතණුවන් ලෙස 1835 වර්ෂයේ දී උපන් මේ කුමරුවන්ට සොහොයුරෝ පස් 
			දෙනෙක් සහ සොහොයුරියෝ පස් දෙනෙක් වූහ. චැප්ලියන් සමාගමට අයත් ගොගර්ලි 
			පාදිලිතුමන්ගේ පාලනය යටතේ පැවැති වස්කඩුව ගමේ පාසලෙන් මේ පින්වත් 
			කුමරුවෝ මුල් අකුරු ඉගෙන ගත්හ. වස්කඩුව පාසලේ අති දක්‍ෂයා බවට ඉතා 
			ඉක්මණින් පත්වෙමින් තෑගි රාශියක් ද ලබා ගත්තේ ය. 
			 
			පැවිදි දිවියට පිවිසියහොත් දස දෙස සුපතළ මහා පඬිරුවනක් ලෙස අතිමහත් 
			කීර්තියට ලක්වන බැව් ජන්ම පත්‍රයෙන් පෙන්වා දුන් බැවින් මව්පියෝ මෙම 
			කුමරු ඒ උතුම් කාර්යය සඳහා වෙහෙස ගත්හ. වස්කඩුවේ කන්දේ විහාරේ වැඩ සිටි 
			ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ කලමුල්ලේ සුමනාරාමයේ 
			වැඩ විසූ සරණපාල සීලක්ඛන්ධ හිමිපාණන් වෙතට මේ පින්වත් කුමරු භාර දුන්හ. 
			වස්කඩුවේ ශ්‍රී සූභූති සාමණේර තෙමේ ඉතා ටික කලකින්ම සිය ජන්මයෙන්ම උපන් 
			දක්‍ෂතා විදහා දැක්වූහ. එම යුගයේ මුද්‍රිත බෞද්ධාගම පත් පොත් සුලභ 
			නොවුවත් තම අභිමතාර්ථයන් පසක් කර ගැනීම උදෙසා ශ්‍රී සුභූති පොඩි 
			හාමුදුරුවෝ දැඩි වෙහෙසක් ගත්හ. එකල ශ්‍රී පාදස්ථානයේ සහ සබරගමුවේ නායක 
			ධූරය හෙබවූයේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් ය. ඉගෙනීම කෙරෙහි මහත් ආශාවක් 
			දැක් වූ පොඩි හාමුදුරුවෝ පැල්මඬුල්ලේ විහාරස්ථානයක නතර වී ශ්‍රී සුමංගල 
			නා හිමිපාණන් වෙතින් ගැඹුරු බණ දහම් පොත් ද හැදෑරූහ. 
			සත් වසරකට පසු පොඩි හාමුදුරුවෝ ආපසු වස්කඩුවට වැඩම කළහ. ස්වකීය ඥාතින් 
			හා සහෝදරයන් විසින් අලුතින් තනා නිම කරන ලද වස්කඩුවේ අභිනවාරාමයේ 
			ස්වකීය ආචාර්යවරුන් සමඟ ලැගුම් ගත්තේ ය. ඒ වාදීභසිංහ මොහොට්ටිවත්තේ 
			ගුණානන්ද හිමිපාණන්ගේ ස්වර්ණමය යුගයයි. අභිනවාරාමයට වැඩම කළ ගුණානන්ද 
			හිමිපාණෝ ශ්‍රී සුභූති පොඩි හාමුදුරුවන් ගැන විමසා දැන ගත්හ. ශ්‍රී 
			සුභූති හිමියන්ගේ අනාගත ලකුණු නුවණැසින් දුටු ගුණානන්ද හිමිපාණන් 
			සංස්කෘත භාෂාව ඉගෙනුම පිණිස බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත පඬිතුමන් වෙත යොමු 
			කළහ. ලංකාවට පැමිණි ඉන්දීය බමුණු පඬිවරයෙකුගෙන් ද සංස්කෘත භාෂාව 
			තවදුරටත් ප්‍රගුණ කරන්නට මං පෙත් සැලසූහ. 
			1859 වෙසක් මාසයේ අව අටවක පොහෝදා බලපිටියේ උදක්කුඛේප සීමාමාලකයේ දී 
			රැස් වූ මහා සංඝයාවහන්සේ වෙතින් සිරි සද්ධම්මවංශපාල ධීරානන්ද ලංකාගොඩ 
			නාහිමිපාණන් උපාධ්‍යාය කර ගනිමින් වස්කඩුවේ සරණපාල සීලක්ඛන්ධවනවාසී 
			පඤ්ඤානන්ද ධම්මක්ඛන්ධ මහා ස්ථවිරවරුන් තෙ නම කර්මාචාර්ය කරගෙන වස්කඩුවේ 
			ශ්‍රී සුභූති පොඩි හාමුදුරුවෝ උපසපන් බවට පත් වූහ. සමාජ ආගමික ශාසනික 
			මෙහෙවර උදෙසා පුරෝගාමී ගමන් මඟකට පිවිසියහ. 
			බටහිරින් බාහිරින් පැමිණි මිථ්‍යා දෘෂ්ටික බලවේග නොසිතූ නොපැතූ 
			ආකාරයෙන් මෙකල ව්‍යාප්තිය සිදුවෙමින් පැවතිණි. බෞද්ධාගමේ ඉදිරි ගමන් 
			මගට අභියෝග රාශියක් එල්ල වී තිබිණි. අනිවාර්යයෙන්ම බුද්ධිමය විප්ලවයක 
			අවශ්‍යතාව ඉස්මතුව පැවතුණි. බෞද්ධාගමික මුද්‍රිත පත් පොත් සුලභ නොවීය. 
			කතෝලික ක්‍රිස්තියානි රෙපරමාදු ආගම් සම්බන්ධ මුද්‍රිත පත් පොත් සුලභ 
			විය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණෝ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ 
			බුද්ධිමය විප්ලවය උදෙසා ජනතාව දැනුවත් කිරීමේ මහා කාර්යය භාරයක නිරත 
			වූහ. පානදුර ඌරුගොඩවත්ත බද්දේගම ගම්පොළ වාද භූමි කේන්ද්‍ර කර ගනිමින් 
			පංච මහා වාදය ඇරැඹුණි. පංච වාද විවාද සටනට අවශ්‍ය තර්ක විතර්ක යුත් 
			ගැඹුරු බණ දහම් කොටස් සොයාදීමේ අතිමහත් බැරෑරුම් කාර්ය පැවරුණේ ශ්‍රී 
			සුභූති හිමිපාණන්ටය. වාද විවාද සඳහා අවශ්‍ය අනෙකුත් ආගම් ආශි‍්‍රත 
			දැනුම් සම්භාරයෙන් ද යුක්ත වූ ශ්‍රී සුභූති හිමිපාණෝ පැවරුණු කාර්යය 
			ඉතා සාර්ථකව ඉටු කර දුන්නාහ. 
			එපමණක් නොවේ. අතිශය දුර්ලභ පුස්කොළ පොත් සොයා ගත් සුභූති හිමිපාණෝ ඒ 
			සංස්කරණයෙහි නියුක්ත වූහ. මොග්ගල්ලාන හිමිපාණන්ගේ අභිධානජපදීකා නම් වූ 
			පාලි නිඝණ්ඬුව සංස්කරණය කර ඉංගී‍්‍රසි සිංහල අර්ථ යොදා 1864 දී 
			මුද්‍රණය කළහ. 1876 දී නාමමාලා නමැති විශාල ග්‍රන්ථය රජයේ 
			මුද්‍රණාලයෙන් මුද්‍රණය කර හත්වැනි එඩ්වඩ් මහ රජු මෙරටට පැමිණි 
			අවස්ථාවේදී පිළිගැන්විණි. මෙපොත දෙස් විදෙස් වියතුන්ගේ අති මහත් 
			සම්භාවනාවට ලක් විය. ශ්‍රී සුභූති හිමිපාණන්ගේ භක්තිමත් ශිෂ්‍යයෙකු වූ 
			ආර්.සී. විල්ඩර්ස්ගේ යෝජනාවක් ඔස්සේ මේ අමිල ග්‍රන්ථය මුද්‍රණය කෙරිණ. 
			මෙම සම්භාවනීය ග්‍රන්ථයෙහි පෙරවදන ඉංගී‍්‍රසි සිංහල දෙබසින්ම ලියා ඇත. 
			ෂඩ්භාෂා පරමේශ්වර ශ්‍රී රාහුල නාහිමිපාණන් පරිශීලනය කළ ග්‍රන්ථ රාශියක 
			තොරතුරු එම මාහැඟි ග්‍රන්ථයෙහි ඇතුළත් කර ඇත. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ 
			මහාචාර්ය ආර්.සී. විල්ඩර්ස් පඬිතුමන් පාලි භාෂාව ප්‍රගුණ කර ඇත්තේ 
			සුභූති හිමිපාණන් ගෙනි. සුභූති හිමිපාණන්ගේ ආරාමය පසුව පිරිවෙනක් බවට 
			පත් කෙරිණ. බුරුම, සියම, කාම්බෝජ, චීන ආදී රටවලින් පැමිණි බොහෝ දෙනෙක් 
			ද මේ පිරිවෙනින් බුද්ධ ධර්මය හා සිංහල භාෂාව හදාළහ. ඒ අතර එල්.එෆ්. ලී, 
			ඒ.ඇස්. පැග්ඩන් විදේශීය පඬිවරු ද වෙති. 
			බුරුම රටේ සුප්‍රසිද්ධ රාජකීය වෛද්‍යවරයෙකුව සිටි අගම්පොඩි සාලිස් 
			සිල්වා ගුරුතුමා, බුරුම රජතුමන්ගේ ලැබුණු තුන් පිටකයේ පුස්කොළ පොත් 
			දුර්ලභ පාලි ව්‍යාකරණ පොත් කිරිගරුඬ පිළිම කීපයක් ද සුභූති හිමිපාණන්ට 
			පූජා කළේ ය. මේ ආකාරයෙන් සියමේ චූලාලංකාර මහරජු ඇතුළු විදේශීය වියතුන් 
			රාශියක් අප හිමිපාණන් වෙත දුර්ලභ පාලි පොත් රාශියක් පරිත්‍යාග කළ 
			අවස්ථා රාශියක් වේ. 
			රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාමාධිපතිව වැඩ විසූ සුගතසාසන ධජ විනයාචාරිය 
			ධම්මාලංකාර නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසු අමරපුර සද්ධම්ම වංශ නිකායේ 
			නායක ධූරයට 1893 දී වස්කඩුව ශ්‍රී සුභූති හිමිපාණෝ පත් කර ගත්තහ. 
			සුභූති නාහිමිපාණන්ගේ කීර්ති කදම්භයත් ශාසනික සේවාවත් කොතරම් දුරට 
			විදෙස් රටවල ව්‍යාප්තවීද යත් පි‍්‍රස්ඩන් චුම්සායි නම් සියම් රජකුමරු 
			1896 දී අප රටට පැමිණ අභිනවාරාමයේ, නතරව බණ දහම් හැදෑරුවා පමණක් නොවේ. 
			1896 නොවැම්බර් 01 වන දින නාහිමිපාණන් උපාධ්‍යාය කර ගනිමින් පැවිදි 
			ජීවිතයට පිවිසියේ ය.  
			ජිනවරවංශ නාමය ලැබූ එහිමියන් වැලිතර උදකුක්ඛෙප සීමාවේ දී උපසම්පදාව 
			ලැබූ දිනයේ ශ්‍රී සුභූති නාහිමිපාණන් රාජගුරු නාමයෙන් පිදුම් ලැබීය. 
			බුද්ධාගම හා බෞද්ධ සංස්කෘතිය පිරිහෙමින් තිබූ අවධියක බුදුදහමේ පුනරුදය 
			උදෙසා මහත් මෙහෙවරක් ඉටු කළ අමිල ශාස්ත්‍රීය සේවාවක් උදෙසා ඇප කැප වූ 
			බුරුම සියම් චීන රාජ රාජ මහා මාත්‍යාදින්ගේත් ගරු සම්මාන ලැබූ ලංකාවේ 
			එවකට සිටි සංඝ පීතෘවරුන්ගේ හා ප්‍රභූන්ගේ අත්‍යන්ත ගෞරවාදරයට පාත්‍ර වූ 
			වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමිපාණෝ මෙයින් වසර 95ට පළමු 1917 අප්‍රේල් 
			මස 19 වන දා රාත්‍රියේ දී වස්කඩුවේ සුපුරුදු අභිනවාරාමයේ දී 
			සිහිබුද්ධියෙන් යුතුව අපවත් වී වදාළහ. 
			 
			 
			   |