සම්බුදු දහම
ලාභයට වාසියට හරවා නොගත යුතුයි
සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ,විද්‍යෝදය
පරිවේණාධ්යක්ෂ
ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමි
අපට යමක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීමට අපට
පුළුවන්ද? එසේ නම් චීවරලාභීන් අතර අගතැන් ගන්නේ ආනන්ද හිමියන්. තමන්ට
වැඩියෙන් ඇඳුම් පැලැඳුම් ලබා ගැනීමට ආනන්ද හිමියන්ගේ රූපයක් තබා
ගන්නවාද? අපේ බෞද්ධයන්
මේ අයුරින් මිථ්‍යා මතයන්හි එල්බ නොගෙන සත්‍ය වටහාගෙන දිවි ගෙවීම
නොකළහොත් අපේ බෞද්ධකම
බෞද්ධයාගේ නිසි ප්‍රතිපත්ති රැක ගැනීම අපහසු වනවා
ලෝකයටම ඇහෙන්න බෞද්ධයන්සේ හඬනඟා කියූවද අප සැබෑ බෞද්ධයන් සේ කටයුතු
කරන්නේ ද? මිථ්‍යා මත ගොඩනඟාගෙන ඇති ඇතැම් විශ්වාස නිසා අපගේ බෞද්ධකම
නිසි අයුරින් සුරැකෙන්නේද? එසේම එකම කරුණ අරඹයා මත ගැටුම් තිබියදී අපි
කුමක් කරමුද ? සත්‍යය කරුණ අප වටහා ගන්නේ සොයා ගන්නේ කෙසේද?
මේ සම්බන්ධව සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ හා විද්‍යෝදය
පරිවේනාධාක්‍ෂ ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමි කරුණු පැහැදිලි කළහ. අප
බොහෝ දෙනාගේ ජීවන පැවැත්ම දෙස බැලූවිට පෙනී යන්නේ තමන්ට අවශ්‍ය පරිදි
ධර්මය සකසා ගෙන දිවි ගෙවන රටාවක්. සැබෑ බෞද්ධයකු තුළ තිබිය යුතු
ගුණාංගය මෙය නොවේ. සත්‍ය නිවැරැදිව වටහා ගැනීමට බෞද්ධයා සමත්විය
යුතුයි.
විද්‍යුත් මාධ්‍ය තුළ ආගමික වැඩසටහන් ප්‍රචාරය මෙන්ම පිරිත් සජ්ඣායනා
සම්බුද්ධත්ව ජයන්ති වසර උදාවත් සමඟම වැඩිවුණා. රෑ එළිවෙන කල් ගුවන්
විදුලි නාළිකාවන්හි පිරිත් දෙසුම් විකාශනය වනවා. ඇතැම් අය පුරුදුව
සිටින්නේ තමන්ටත් නිවැසියන්ටත් නිවසටත් සුගතියක් වේ යැයි සිතා රැය
පහන්වනතුරු ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර නිදා ගැනීමටයි. එයින්
කිසිදු සුගතියක් වන්නේ නැහැ. පිරිතක් කියන්නේ ආරක්‍ෂිත දේශනාවක් පිරිත
ශ්‍රවණය කරන තැනැත්තා මෘදු, සුවච ගුණයෙන් යුක්ත විය යුතුයි.
පිරිතක් රෑ එළිවෙනතුරු ගුවන් විදුලියේ විකාශය වීමට සලස්වා තමන් නිදා
ගැනීමෙන් කිසිදු ආකාරයක සුගතියක් වන්නේ නැහැ.
මස්කඩේ ළඟත් මාළුලෑල්ල ළඟත් පිරිත් සජ්ඣායනා කළාට ඉන් ගුණයක් ලැබේවිද?
ලොරිය ඉහළින් බුදුසරණයි, නාම පුවරුවක් යොදාගෙන මස් පිණිස ගවයන්
ප්‍රවාහනය කරනවා නම් එයින් සරණක් ලැබෙනවාද?
පිරිත් නූලක් බැඳගෙන අපරාධයක් කරන්න යනවානම් පිරිතේ බලයක් ලැබෙනවාද? ඒ
වගේ පිරිත් ශ්‍රවණය කරනවානම් ඒ සඳහා සැදැහිසිතින් ඊට සවන් දිය යුතු යි.
විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීමට රතන සූත්‍රය ඉවහල් වුණු බව
අප අමතක නොකළ යුතු යි. සැදැහැසිතින් පිරිත් ශ්‍රවණය කිරීමේ දී අපට
ලැබෙන ප්‍රතිඵලය ඉන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. පිරිතක නියමිත ආනිශංස
ලබාගැනීමට නම් අප පිරිතෙහි ගෞරවය ආරක්‍ෂා කළ යුතු වෙනවා.
මිය ගිය ඥාතීන්ට නිවසේ දී පින් පැමිණවීම නුසුදුසු බවට ඇතැමුන්ගේ මතයක්
තිබෙනවා. මෙහි කිසිම සත්‍යයක් නැහැ.
බ්‍රාහ්මණ සමාජයේ මතය වූයේ දෙමව්පියන් ස්වර්ගයට යැවීම පුත්‍රයන්ට පමණක්
කළ හැකි බවයි. ඒ සඳහා නව අර්ථයක් ලබා දීමයි බුදුරජාණන් වහන්සේ විසින්
ඉටු කරනු ලැබුවේ. ඒ අනුව මව්පියන් මියගිය පසු පින් පැමිණවීම දරුවන්
විසින් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා.
විශේෂයෙන් සදිසා නමස්කාරයේ දී දරුවන් විසින් මව්පියන්ට ඉටු කළ යුතු වත්
පිළිවෙත්හි ‘මව්පියන් මියගිය පසු පින් පෙත් පැමිණවීම’ අඩංගුවනවා.
මව්පියන්ට පමණක් නොව සෙසු අය සඳහා වුවත් පින් පැමිණවීමට ස්ථානයක් බුදු
දහමේ කොතනකවත් දක්වා නැහැ. ඒ සඳහා නිවස හෝ විහාරස්ථානය හෝ වෙනයම් ඕනෑම
තැනක් තෝරා ගත්තාට වරදක් නැහැ. කෙසේ වුවත් මේ මිථ්‍යා මතයන්ගෙන් ඈත්
වීම බෞද්ධයන් වශයෙන් අපට හරිම වැදගත් වනවා.
ඒ වාගේම අවමංගල්‍යයක් වූ නිවසක දෙන හත් දවසේ දානය නිවසේ දී ලබා දීම හෝ
විහාරස්ථානයට ගෙන ගොස් දීම හෝ දෙකින්ම නිසි පරිදි පින්කම් සම්පූර්ණ
වනවා. දහවල් දානය නිවසේ දී පිරිනැමීමේ දී බෞද්ධයන්ට වෙලාව සම්බන්ධ
ගැටලුවක් මතු වී තිබෙනවා. ඇතැමුන් පවසන්නේ දහවල් 12.00 ට පෙර භික්‍ෂූන්
වහන්සේ නිවසට වැඩම කළ යුතු බවයි. තවත් මතයක් වන්නේ දහවල් 12.00 ට පෙර
සියලු දානමය කටයුතු අවසන් කළ යුතු බවය. මෙහිදී අප සැලකිල්ලට ගත යුත්තේ
වේලාව නොව ඉර බැස යාම පිළිබඳවයි. ඉර බැස යාමට පෙර දානයේ කටයුතු අවසන්
කිරීමයි වැදගත් වන්නේ.
එම නිසා දහවල් 12.00 – 12.15 පමණ වන විට දාන පින්කම් අවසන් කරනවා නම්
එය වඩාත් යෝග්‍ය බව කිව යුතුයි. නගරයේ භික්‍ෂූන් වහන්සේ වුවත් දහවල්
11.15 පමණ වන විට දානයට නිවසකට වඩිනා ස්වභාවයක් තිබෙනවා. මූලික ආගමික
චාරිත්‍ර සඳහා විනාඩි 20 ක් පමණ වැය කළ පසු දානය වැළඳීම දහවල් 11.35 ට
11.45 පමණ ආරම්භ කළ හැකි ය. දහවල් 12.05 පමණ වන විට ආහාර වැළඳීම අවසන්
කිරීමට පුළුවන්. එම නිසා දානය වැළඳීම ඉර බැස යාමට පෙර නිමා කරන්න
පුළුවන්.
දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හා සම්බන්ධවද අප අතර විවිධ මති මතාන්තර
තිබෙනවා. ඒ සම්බන්ධව ද අප නිසි පරිදි දැනුම්වත් විය යුතුයි. මෙහිදි
පළමුවෙන්ම ‘එත්තාවතාච අම්හෙහි...’ යන ගාථාවෙන් පින් අනුමෝදන් කිරීමත්
‘ආකාසට්ඨාච භුම්මට්ඨා’... ගාථාවෙන් අනුමෝදන් කරගන්නා ලද පිනෙන් අප
ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම බුදු පිළිම හා දේව පිළිම එකම
ස්ථානයේ තබා වන්දනා කිරීම සුදුසු නැහැ.
දෙවියො කියා හඳුන්වන්නේ කෙලෙස් බර අය. කෙලෙස් බර අය බුදුරජාණන් වහන්සේ
හා සම තත්ත්වයේ තිබීම සුදුසු නැහැ.
එසේම බුදු පිළිමය අසල පහන් දැල්වීම සම්බන්ධව ඇතැම් අයගෙ වැරැදි මති
මතාන්තර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා පහන දල්වන්නේ අඳුර දුරු
කිරීම උදෙසාය. පස්වරුවේ අඳුර වැටෙන විට පහන දැල්වීම කළ යුතු වුවත්
හදිසි අවස්ථාවකදී, ප්‍රමාදවී නිවසට පැමිණි අවස්ථාවකදී පහසු වේලාවක
බුදුරජාණන් වහන්සේ උදෙසා පහන තැබීමේ වරදක් නැහැ. මෙහිදී සියලු
බෞද්ධයන්ගේ දැන ගැනීම උදෙසා යමක් පැවසිය යුතු ය. බුදුරජාණන් වහන්සේ
උදෙසා පහන් පූජා කරනු ලබන ගාථාව වැරැදියි.
‘ඝනසාරප්ප දිප්තේන’.. යනුවෙන් පොල්තෙල් පහන දැල්වීම නිවැරැදි නැහැ.
‘ඝනසාර’ කියා පොල්තෙල් පහනට කියන්නට බැහැ. කපුරු, ඉටිපන්දමක් වැනි ඝන
දෙයක් උදෙසා නම් ඒ වන්දනය නිවැරැදියි. මේ වන විට නිවැරැදි පහන් පූජා
වන්දනා ගාථාව ලෙසින් දහම්පාසල් පෙළ පොත් හි එය දක්වා තිබෙනවා.
සද්ධාය සම්ප දිත්තේන
දීපෙන තම දංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තථාගථං
මෙම ගාථාව පහන් පූජා කිරීමේ නිවැරැදි ගාථාව ලෙසින් අප භාවිතා කිරීමට
පුරුදු විය යුතුයි. එසේම බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පිදීමෙන් පසු
අනුභවයට ගැනීම නුසුදුසු බවයි බොහෝ දෙනා කියන්නේ. තවත් අය කියන්නේ එය
සතකුට දුනහොත් පව් සිදුවන බවයි. මේ සම්බන්ධවත් අප සත්‍යය දැන ගත
යුතුයි.
බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනු ලබන බුද්ධපූජාව ඉවත් කිරීමෙන් පසු
කවුරුන් හෝ ආහාරයට ගැනීමයි ඉතාම සුදුසුම ක්‍රියාව. අප සමාජයේ මුල්
බැසගෙන ඇති තවත් වැරැදි මතයක් වන්නේ සීවලී මහ රහතන් වහන්සේගේ රූපයක්
නිවසට ඇතුළු වන ප්‍රධාන උළුවස්සේ ඇතුළු පැත්තේ ඉහළින් එල්ලා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේට බුදු පහන තබන්නේ ඊට වඩා පහළ ස්ථානයකයි. මෙය
බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. සීවලී මහ රහතන් වහන්සේ ලාභීන් අතර
අගතැන්පත් ගන්නා හෙයින් උන්වහන්සේගේ රූපයත් තබා ගැනීම මඟින් තමන්ට
ලාභයක් අපේක්‍ෂා කිරීම අපේ අයගේ මතයයි. මෙය ඇත්තෙන්ම බෞද්ධකමක් නොවේ.
එය ‘කෑදරකමක්’ ඊට වඩා හොඳ වචනයක් ඒ සඳහා ලබා දෙන්න බැහැ.
අපට යමක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීමට අපට
පුළුවන්ද? එසේ නම් චීවරලාභීන් අතර අගතැන් ගන්නේ ආනන්ද හිමියන්. තමන්ට
වැඩියෙන් ඇඳුම් පැලැඳුම් ලබා ගැනීමට ආනන්ද හිමියන්ගේ රූපයක් තබා
ගන්නවාද? අපේ බෞද්ධයන් මේ අයුරින් මිථ්‍යා මතයන්හි එල්බ නොගෙන සත්‍ය
වටහාගෙන දිවි ගෙවීම නොකළහොත් අපේ බෞද්ධකම බෞද්ධයාගේ නිසි ප්‍රතිපත්ති
රැක ගැනීම අපහසු වනවා. ඒ සඳහා නිසි පරිදි ධර්මය හා ධර්ම පිළිවෙත් දැන
ගැනීම වැදගත් වනවා.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |