UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත පටුනම් සසර දිගයි

මේ සිත පටු වුවොත් ඒ පටු සිත මුල් වී වචන කතා කරනවා. කයින් ක්‍රියා  කරනවා. එවිට මේ සංසාර ගමනේ බොහෝ කාලයක් සතර අපායේ අපට ඉන්න සිදුවෙනවා. මෙහි තිබෙන අනතුර අපි දකින්නේ නැත්නම් අපට ගැලවෙන්න බැහැ. පටු සිතෙන් මිදෙන්න නම් අපි සිහියෙන් සිටිය යුතු වෙනවා

අප මේ මිනිස් ලොව ගතකරන මේ ස්වල්ප කාලය අපේ ජීවිතයේ එක්තරා තීරණාත්මක පරිච්ඡේදයක්. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමි ධර්ම සම්පූර්ණ කර ගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින් ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයෙකු ට කරන්න පුළුවන් දෙයක් නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.

මේ ඉපද ඉපද මැරි මැරී යන රටාවේ කිසිදු සාධාරණයක් නැහැ. මේ නිසා තමයි තථාගතයන් වහන්සේ වදාළේ මෙයින් එතෙරවීම හොඳ බව. උන්වහන්සේ ලොව පහළ වූයේ සත්ත්වයා අනතුරෙන් බේරෙන්නයි. ඒ අනතුර තමා සිත පටුවීම. පටු සිතක් ඇතිවන්නේ කෙළෙස් නිසා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නිසා.

තථාගතයන් වහන්සේ මේ සම්බන්ධව “ලෝනපල සූත්‍රයේ” දී ඉතා ලස්සන උපමාවක් දේශනා කළා. ඒ තමා පටු සිතක් ඇති පුද්ගලයාගේ සිත කුඩා බඳුනක් වගේ කියා. ජලය දැමු කුඩා බඳුනකට ලුණු කැට කීපයක් දමනවා. එවිට කුඩා බඳුනේ ඇති වතුර ස්වල්පයේ ලුණු කැට දිය වී ඒ වතුර ලුණු රස බවට පත්වෙනවා. එයට හේතුව කුඩා බඳුන තුළ වතුර ස්වල්පයක් තිබීමයි. තථාගතයන් වහන්සේ වදාළා පටු සිතත් ඒ වගේ කියා. ඒ වගේම පළල් සිත උපමා කොට උන්වහන්සේ වදාළා යම් පුද්ගලයෙක් ගංගානම් ගඟට ඒ ප්‍රමාණයේම ලුණු කැටයක් දමනවා. ඒ ගංඟාවේ ජලය තුළත් ඒ ලුණු කැටය දියවෙනවා. හැබැයි ලුණු රසක් ඒ ජලය තුළ නැහැ. එයට හේතුව මහත් ජල කඳක් ගංගාවේ තිබෙන නිසා.

කෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගනිද්දී ඔහු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. එහෙම නැත්නම් ධර්ම මාර්ගයට පිවිසෙනවා. එසේ පිවිසීමෙන් ඔහුගේ පටු සිත නැති වී යනවා. ඔහු නිතරම වාසය කරන්නේ පළල් වූ සිතකින්. එහෙමනම් මිනිසාගේ සිතේ ඇති පටු බව නැති කර දෙන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පමණයි. මේ ලෝකයේ වෙන කිසිම දෙයකට මේ පටු සිත නැති කරන්න බැහැ. සිත පටුවෙන්න හේතුව මමත්වයයි. ඔබ බලන්න වෛර බැඳගෙන, ඉඩකඩම් දේපල වලට අධික ලෙස ගිජුවෙලා එහෙම නැත්නම් පරණ කෝන්තර ගැන කථා කරමින් ඉන්න පිරිස ගැන. මේ සියලු දෙනා ළඟ තිබෙන්නේ පටු සිතෙහි ලක්ෂණය යි. අධික මමත්වය ඇතිවන්නේ සක්කාය දිට්ඨිය නිසායි. මේ සක්කාය දිට්ඨිය තමා තුළින් ප්‍රහාණය කරන්න නම් තමා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීමට තමාට හැකියාවක් නැත්නම් ඒ ගැන විමසා බැලීමට අවශ්‍යතාවයකුත් නැතිනම් පටු සිත හටගත් වෙලාවට ප්‍රකෘති සිහිය නැතිවී යනවා. එවිට ඔහු පටු සිතට අවශ්‍ය ආකාරයටයි ක්‍රියා කරන්නේ.

රාගය ඇතිවෙන විට පටු සිතක් ඇති පුද්ගලයා වරදේ බැඳෙනවා. අන් සතු දෙයට ආශා කරන පටු සිත ඇති පුද්ගලයා සොරකම් කරනවා. මේ ආකාරයට ඔහු බොහෝ පව් සිදුකරන්නේ පටු සිතින් යුතු පුද්ගලයකු නිසයි. යම් දෙයක් කරන්නට බොහෝ විට මුල් වන්නේ අපේ සිතයි. මේ සිත පටු වුවොත් ඒ පටු සිත මුල් වී වචන කතා කරනවා. කයින් ක්‍රියා කරනවා. එවිට මේ සංසාර ගමනේ බොහෝ කාලයක් සතර අපායේ අපට ඉන්න සිදුවෙනවා. මෙහි තිබෙන අනතුර අපි දකින්නේ නැත්නම් අපට ගැලවෙන්න බැහැ. පටු සිතෙන් මිදෙන්න නම් අපි සිහියෙන් සිටිය යුතු වෙනවා.

අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී එයට අවශ්‍ය පහසුකම් සලස්වා ගැනීම පිළිබඳව සිතනවා.ගේ දොර, යාන වහන, රැකි රක්ෂා ආදිය. ඒ සඳහා එකම අරගලයක යෙදී සිටිනවා. මේ අරගලය කවදාවත් සම්පූර්ණ කරන්න බැරි අරගලයක්. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් තොරව මෙහි සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට කිසිම පිළිවෙලක් නැහැ. මේ නිසා පටු සිතයි පළල් සිතයි අතර යම් තේරුම් ගැනීමක් ඇතිකර ගත යුතුයි. පළල් සිතක් ඇතිකර ගන්න බොහෝ උපකාරි වන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයයි. පටු සිතක් ඇති වූ අවස්ථාවක මුළුනින්ම ධර්මය මෙනෙහි කරලා ඒ සිත බැහැර කරන්න පුළුවන්නම් ඒක තමා වාසනාව. පටු සිතක් ඇති වූ වෙලාවට ධර්මය මෙනෙහි කරන්නට බැරිනම් ධර්මයෙන් ඔහුට උපකාරයක් ලැබෙන්නේ නැහැ. සිතේ ඇති පටු බවින් ඒ අනතුරින් මිදෙන්නට අපට ඉතාම ප්‍රයෝජන වන්නේ සසර ගැන සිතීමයි. අප මේ කෙළෙවරක් නැති සංසාරයේ දුක්විඳ තිබෙන්නේ පටු සිතක් නිසයි. මේ සිත පිළිබඳව අපි නිතර නිතර අධ්‍යයනයක යෙදිය යුතුයි. තමා විසින් විමසා බැලීම කළ යුතුයි. තම සිත පිළිබඳව තමා විමසා නොබලන තාක් මේ අනතුර තමා තුළ තිබෙනවා කියා හඳුනා ගන්නට බැහැ.

එනිසා පළල් සිතක් ඇතිකර ගැනීමට ඔබ ලාභ සත්කාරයට සිත යට නොකර ගැනීම, කෘතගුණ දන්නා බව, අප්‍රමාදය වගේ ගුණධර්ම පුරුදු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිහිය දියුණු කිරීමයි. සිහිය දියුණු කිරීමට ප්‍රඥාව අවශ්‍යයි. තමා තුළ හට ගන්න අකුසල හේතුවෙන් තමා ධර්මයෙන් බැහැරව ඈත්වන ස්වභාවයක් හඳුනා ගන්න. එනිසයි තථාගතයන් වහන්සේ වදාළේ මාගේ ධර්මය ප්‍රඥාවන්තයට පමණයි කියා. ප්‍රඥාවන්තයා පමණයි මෙය තෝරා බේරා ගන්නේ.

එනිසා මේ පටු සිතේ ඇති අවධානම කෙතරම් බරපතලද කියා ඔබ සිහි කරන්න. කල්ප ගණනක් අප දුගතියට රැගෙන යන්නේ පටු සිත විසින්. එනිසාම අප බොහෝ පරිස්සම් විය යුතු වෙනවා. ඔබ එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේ දී පවා පටු සිතෙන් බැහැර වෙලා පළල් සිතත් ඇතිකරගෙන තථාගතයන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කරමින් අපගේ ප්‍රඥාව දියුණුකර ගෙන ඒ ප්‍රඥාව පාදක කරගෙන සසරින් නිදහස් වීමට උත්සුක විය යුතුයි.

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]