UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරුකීම මහා පාප කර්මයකි

අද අප ඉගෙන ගන්නේ සමාජයේ බොහෝ දෙනෙකු අනුගමනය නොකරන නමුත් අනුගමනය කළ යුතු වැදගත් ගුණධර්මයක් පිළිබඳව වන සූත්‍ර දේශනාවකි. එම සූත්‍ර‍්‍රය නම් “ මුසාවාදසූත්‍රයයි” මේ සූත්‍රයය අන්තර්ගත වන්නේ සංයුත්ත නිකායේ මහාවග්ගපාලියට අයත් සච්චසංයුත්තයේ දුතිය ආමකධඤ්ඤපෙයපාල වර්ගයටයි. මෙම සූත්‍රය එම වර්ගයේ හතරවැනි සූත්‍රයයි.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව පරිහරණය කරන්නෙකුට මෙම සූත්‍රය එම ග්‍රන්ථ මාලාවට අයත් 17(2) කෘතියෙන් හෙවත් සංයුත්ත නිකායේ පස්වැන්නෙහි දෙවැනි භාගයේ 338 පිටුවෙන් කියැවිය හැකිය.

බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සමඟ වැඩ සිටි අවස්ථාවක නියසිළට ගත් පස් බිඳද නැති නම් මේ මහපොළොවද? “

මෙම පැනයට පිළිතුරු දුන් භික්‍ෂූහු පවසා සිටියේ මේ මහපොළොවම ඉතා වැඩි බවයි. තවද භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් ටික ඉතා ස්වල්පයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස් ස්වල්පය මහපොළොව හා සන්සන්දනය කිරීමේ දී සන්සන්දනය කිරීමටත් නොහැකි තරමේ ඉතා ස්වල්පයකි.

පස් බිඳක් නියට ගෙන දැක්වූ මේ මාහගි උපමාවෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වටිනා දහමක් දේශනා කළ සේක.

“එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා, තෙ සත්තා යෙ මුසාවාදා පටිවිරතා.අථඛො එතෙව බහුතරා සක්කායෙ මුසාවාදා අප්පටිවිරතා....”

“ එසේම මහණෙනි, යම් සත්ත්වයෝ මුසාවාදයෙන් වැළකුණාහු නම් ඒ අය අල්පයකි. තවද මුසාවාදයෙන් නොවැළකුණූ සත්ත්වයෝම ඉතා වැඩිපුර සිටිති....”

බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණ එදාටත් අදටත් සත්‍යක්මය. විශේෂයෙන් මේ වචනය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේ දි අද සමාජයේ බොහෝ දෙනෙක් බොරු කීමට පුරුදු වී සිටිති. අද වැඩ කිරීමට හෙවත් ක්‍රියාවට වඩා කථා කිරීමට දක්‍ෂ පිරිසක් බිහිවි සිටිති. වැඩ නැතිව කථා කරන බොහෝ දෙනෙකු ගැන කිව යුත්තේ තමන් තමන්ටවත් අනුන්ටත් අර්ථයක් යහපතක් වන කිසිවක් නොකර සමාජයට බරක් වෙමින් අකුසල් ද රැස් කර ගන්නා පිරිසක් ය කියායි. මේ ‘වචනය’ නිසා බොහෝ දෙනා හානි කර ගනිති. ඇතැම් විට ආර්යයන් වහන්සේලාට උපවාද කොට බොහෝ කාලයක් නිරයේ පැසීමටද හේතු වන්නේ මේ වචනයේ ඇති අසංවර බවයි. කෙනෙකු නිරයේ ඉපිද බොහෝ කාලයක් දුක් විඳවීමට ඇතැම් විට එක වචනයක් හෝ දෙකක් ප්‍රමාණවත් වේ. ඒ මොහොතේ ඇති වු කට වාචාලකමින් පිට කළ වචනයක් දෙකක් නිසා තම ජීවිතය බොහෝ කාලයකට මහත් දුකකට මුහුණ දීමට සිදුවේ. එක් එක් පුද්ගලයා විවිධ විවිධ හේතූන් මත බොරු කීමට පෙළඹේ. ඇතැමෙක් විනෝදයට බොරු කියති. ඒ තැනැත්තා බොරු කීමෙන්ම අනුන් රැවටීමෙන්ම මහත් ආස්වාදයක් ලබයි. නමුත් මේ ආස්වාදය නින්දිත වූවකි. තවත් අය බොරු කියන්නේ තමන්ගේ පුහු පණ්ඩිතකම පෙන්වා ගැනීමටය. කිසිවක් නොදන්නා කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවරණය කොට පෙන්වීමේදි වුවද තමන්ට රිසි රිසි ආකාරයෙන් ධර්ම කරුණුවලට අර්ථ විවරණ දක්වයි. එය අසන අය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විනය යැයි රැවටී පිළිගත්තද එය සැබැවින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මවයත් විනයවත් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනයේ නිවැරැදි අර්ථ මතු කර ගැනීමට නම් ඒ සඳහා පැවත එන නිවැරැදි අර්ථ විවරණ ක්‍රමය දැන ගත යුතුය. එසේ නොවු විට බුදුන් වහන්සේගේ ධර්මය වැරැදි ලෙස පෙන්වමින් අනුන් රැවටීමෙන් තමන්ගේ වැරැදි මතය ඉදිරිපත් කිරීමෙන් බොහෝ කාලයක් නිරයේ දුක් විඳීමටත් නිවන දුරස්ථ වීමටත් එය හේතුවක් වේ.

අප බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහිද, අපට යම් උදව්වක් උපකාරයක් කළ අය වේ නම් ඒ අයට ද කළ ගුණ සැලකිය යුතුය. කෘතඥ විය යුතුය. එසේ නැතිනම් දිව හැරෙන හැරෙන පැත්තට කතා කිරීමෙන් අයහපතක්ම සිදුවේ.

අපි පන්සිල් ගන්නා විට “ මුසාවාදා වෙරමණී සික්ඛා පදං සමාදියාමි “ යනුවෙන් සිකපදයක් සමාදන් වෙමු. මෙහි බොරු කීමෙන් වළකිමි යන්න පමණක් නොව බොරු නොකීමේ බොරුවෙන් වෙන් වීමේ කුසලය ද ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ ගැන “මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සමණො ගොතමො සච්චවාදි සච්චසෙන්‍ධා ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්සා “ ති යනුවෙන් සඳහන් වේ. සමණො ගොතමො ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, මුසාවාදං පහාය - බොරු කීම දුරුකොට ,මුසාවාදා පටිවිරතො, බොරු කීමෙන් වැළකුණෝ , සච්චවාදී, සත්‍යය කියන්නෝ, සච්චසන්සධො, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නෝ, ථෙතො ස්ථාවර තහවුරුව පිහිටි කථා ඇත්තෝ, පච්චයිකො , හේතු සහිත දෙයක් පමණක් කථා කරති. ඇදැහිය යුතු කථා ඇත. අවිසංවාදකො ලොකස්සාති, ලොව රවටන්නෙක් නොවෙති. අපද බොරු කීමෙන් වෙන් විය යුත්තේ මේ ආකාරයට මය.

දිනක් බුදුරජාණන් වහන්සේ හා රාහුල පොඩි හාමුදුරුවන් අතර ;මවැනි සංවාදයක් සිදු විය. ඔබගේ පාත්‍රයේ තිබෙන්නේ මොනවාදැයි බුදුන් වහන්සේ විමසා සිටියහ. එයට පිළිතුරු දුන් රාහුල හිමියෝ අල්ප මාත්‍ර වූ ජලය ප්‍රමාණයක් ඇති බව පැවසූහ. පාත්‍රය මුනින් නැවීමට බුදුහිමියෝ පැවැසූහ. රාහුල හිමියෝ එසේ කළහ. පාත්‍රයේ දැන් මොනවද? තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විචාළහ. පාත්‍රයේ කිසිවක් නැති බව රාහුල හිමියන්ගේ පිළිතුර විය. යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ තැනැත්තා මුනින් නැමූ පාත්‍රය මෙනි. ඇතුළේ ඇති දෙයක් නැත. පිටින් එහි පිරෙන්නේ ද නැත. මුනින් නැමූ පාත්‍රය හිස් එකක් මෙන් බොරු කියන තැනැත්තාගේ ජීවිතය ද හිස් එකක් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට තිබේ.

”අභූතවාදී නිරයං උපෙති
යො චාපි කත්වා න කරොවීති චාහා
උභොපි තෙපෙච්ච සමාභවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථා”

සිදු නොවු දේ අභූ®ත නම් වේ. එසේ සිදු නොවූ දෙයින් යමෙක් ආර්ය උපවාද වශයෙන් බොරු කියනවාද හෙවත් ආර්යයන් වහන්සේලා ට උපවාද කරමින් බොරු කියනවාද, යම් කෙනෙක් පව්කම් කොට කළේ නැත යැයි ප්‍රකාශ කරයි ද ඒ අය පදුම ආදී නිරයට පැමිණෙති’ නිහීන කර්ම ඇති ඒ දෙදෙනාම පරලොවදි නිරයේ ඉපිද සමාන තත්ත්වයකට පත්වේ. දෙදෙනාටම නිරයේ දුක් විඳීන්නට සිදුවේ. එබැවින් අප මේ බොරුකීමට බිය විය යුතුය.බොරු කියන්නෝ නිහීන පුද්ගලයෝ වෙති. මේ මුසාවාදය සම්බන්ධයෙන් බුදුන්වහන්සේ තවත් අවස්ථාවක මෙසේ වදාළ සේක.

“එකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණපරලොකස්ස
නත්ථි පාපං අකාරියං”

වචනයෙන් ඇත්ත කීම නම් වු එකම ධර්මය ඉක්ම ගියාවූ , බොහෝ කොට බොරු කියන සුලු වු තැනැත්තා දෙව් මිනිස් සැපට ද නිවන් සැපට ද අයිති කරුවෙක්, හිමි තැනැත්තෙක් නොවේ. මෙසේ අවාසනාවන්ත පරලොව ගමනක් ඇති සත්වයාට කරන්නට නොහැකි අකුසලයක් නම් නැත. මෙලෙස බොරු කියන තැනැත්තාට කරන්නට නොහැකි අකුසලයක් නැත යන්නෙන් බොරුව පුද්ගල අධ්‍යාත්මයට ප්‍රබලව හානි කර බව පැහැදිලි වේ.

මෙලෙස බොරු කීම නිරයට පත්වීමට හේතු වන්නාක් මෙන්ම උපන් උපන් ජීවිතවලදී මුඛදුර්ගන්ධය ඇතිවීමට, අවිශ්වාසි වචන ඇත්තෙකු බවට පත්වීමට, අවාසනාවන්ත ජීවිත ලැබීමටද හේතුවේ. එබැවින් පස් පව් අතර හතරවැන්න වන මේ බොරුකීම ඉතා ප්‍රබල පාප කර්මයක් බව අවබෝධ කරගත යුතුය.

තවද බොරු කියන අය ඉතා වැඩිපුර සිටින බවත් බොරු නොකියන බොරු වෙන් වැළකුණු අය අල්ප බවත් මේ සූත්‍රයේ සඳහන් වන බව දැන ගතිමු. ඒ අනුව පැවැසිය යුත්තක්ද ඇත. එනම් බොරුව කරණ කොටගෙන නිරයට යන සත්ත්වයන් බොහෝ බවත් සත්‍යය කරණකොටගෙන සුගතිගාමි වන සත්ත්වයන් අල්ප බවත් ය. එසේ නම් මේ දුලබ මනුෂ්‍ය ජීවිත ලද අය අතුරින් බොහෝ දෙනෙක් බොරු කියා , මුසාවාද තෙපලා අපාගත වෙති. ස්වල්ප දෙනෙක් සත්‍ය වචන තෙපලා, ඇත්ත කියා සුගතිගාමී වෙති.

බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ වචන නිසාද උන්වහන්සේ තුළින් මහා පෞරුෂයක් දිස්වේ. “භූ®තවාදි “ බුදුරජාණන් වහන්සේ සිදුවු දෙයක් පමණක් දේශනා කළ සේක.”අත්ථවාදි උන්වහන්සේ ප්‍රයෝජනවත්, අර්ථවත් දෙයක් පමණක් දේශනා කළ සේක. “කාලවාදී “ බුදුන් වහන්සේ සුදුසු කලදී දේශනා කළසේක. ඒ ඒ අවස්ථාවට ගැළපෙන අයුරින් දේශනා කළසේක. මෙලෙස උන්වහන්සේගේ වචන තුළින් මහා පෞරුෂයක් දිස්වේ. අපද මේ නිහීන වූ බොරුවෙන් වෙන් වී සත්‍යවාදි ව සත්‍ය වචන කථා කිරීමට අදිටන් කර ගනිමු. පෞරුෂය පිරි භූතවාදී, අත්‍ථවාදී කාලවාදි බව අනුගමනය කිරීමට අදිටන් කර ගනිමු.

මෙහි ඉතිරි කොටස ලබන කලාපය හා බැදේ

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]