UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දේශයට පහනකි මිණි අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි

රටත්, දැයත්, සමයත් , සාහිත්‍යයත් එකම ධනය කොටගත් මහනාහිමියන්, උපත ලැබුවේ 1919 දෙසැම්බර් 19 වැනිදා ය. 1932 වෙසක් මස 20 වැනිදා මාතර අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේ දී ප්‍රවෘජ්‍යා භූමියට පත්වූයේ ඇටම්පල රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි. දික්වැල්ලේ දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමාධිපති බැදිගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරයාණෝ වූහ. 1940 දී මහනුවර මල්වතු මහා විහාරයෙන් උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර එහි දී ස්‍යාමෝපාලි වංශික මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජාපදානය “ නමින් පාලි ගාථා බන්ධනයක් ලෙස සංඝ සභාවට ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමක් විය.

එවැනි පාලි ගාථා ප්‍රබන්ධයක් කිරිම ගැන සංඝසභාවේ ප්‍රසාදය පළකරනු සඳහා ලේඛකාධිකාරි හැරමිටිගල ධීරානන්ද අනුනාහිමි කෙටි දෙසුමක් පවත්වා තිබේ. එහිදී සිංහල රජකාලයේ නම් මෙම සමත්කමට ගම්වර ප්‍රදානයක් කරන බැව් පවසා ඇති අනුනාහිමි කාරක සංඝසභාව වෙනුවෙන් අට පිරිකරක් පරිත්‍යාග කොට ඇත.

මහනාහිමියන්ගේ ජීවිතය වඩාත් ආලෝකමත් කෙළේ සිරිලක පහළ වූ අග්‍රගණ්‍ය පඩිරුවනක් වූ මහාවංසයේ තෘතීය භාගය රචනා කළ අතිපූජ්‍ය යගිරල ශ්‍රී පඤ්ඤානන්දාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරට පත්වීමෙන් පසුව බව උන්වහන්සේ නිතර නිතර මහත් ගුරු බැතින් සඳහන් කරනු අපි අසා ඇත්තෙමු. එම භාග්‍යවන්ත හමුව සිදු වූයේ 1936 දී ය. යගිරල පඬි නාහිමි වැඩසිටි ගෝනගල සුධර්මාකර පරිවේණස්ථානය එකල ලංකාවේ ඉතා දීප්තිමත් අධ්‍යාපන ආයතනයක්ව පැවතිණ. මහනාහිමියන්ට එහිදී දිවයිනේ චිරප්‍රසිද්ධ දේශපාලඥයන් , ගත් කතුවරයන් මහා පඬිවරුන් හා මාධ්‍යවේදීන් දැකබලා ගැනීමේ භාග්‍ය යද උදා වී තිබේ. ඔවුන් යගිරල නා හිමි සමඟ කරන සුහද හා ශාස්ත්‍රිය සංවාදවලට සවන්දීමට උන්වහන්සේ දැඩි කැමැත්තක් දැක් වූහ. එසේම දිවයිනේ කොතැනක හෝ අලුත් පොතක්, පත්‍රයක් පළ වී නම් එහි පිටපතක් යගිරල නාහිමියන්ට නොපමාවම ලැබිණි. මෙසේ පිරිවෙණේ ඉගෙන ගන්නා අවධියේ දීම මේවා පරිශීලනය කිරීමට ලැබීමෙන් මහනාහිමියන්ගේ සිත භාෂා සාහිත්‍යාදිය කෙරෙහි ගැඹුරින් හැදෑරීමට නිතැතින්ම යොමු විණ. එම දැනුම අනුක්‍රමයෙන් දියුණු වී යත්ම එවක පුවත්පත් සඟරාදියට උන්වහන්සේ ගැදිපැදි නිර්මාණ ඉදිරිපත් කළහ. මුලින්ම කාව්‍ය නිර්මාණයක් පළවූයේ “සරසවි සඳරැස” පත්‍රයේය. පසුව සිංහල බෞද්ධයා සිළුමිණ ආදි පුවත්පත්වලට උන්වහන්සේ නිතර නිතර ගැදි පැදි නිර්මාණ යොමු කළහ. ඩබ්ලිව්. ඒ.සිල්වා සූරීන්ගේ “තිලක” සඟරාවේ මහනාහිමියන් ලියු “දුන්හිඳ” නමැති කවි පන්තියද ඉතා රසවත්ය.

මහනාහිමියන් මෙලෙස ඇරැඹි සාහිත්‍ය නිර්මාණ කරණය මල්පල ගැන්වූයේ එදාමෙදා තුර අඩසියවසකට අධික වූ ධර්ම ශාස්ත්‍රීය සිංහල සාහිත්යික හා කාව්‍ය ග්‍රන්ථ රාශියක් රචනා කිරීමෙනි. 1957 දී උන්වහන්සේගේ වැදගත් ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මුල්වරට ප්‍රකාශයට පත් විය. ඒ සමන් මුද්‍රණාලය පළ කළ “බෞද්ධ දර්ශනය” යි. මහනාහිමියන්ගේ ග්‍රන්ථාවලිය අතුරෙන් සීමිත ප්‍රමාණයක් මෙසේය.

1. සිරි සරණංකර සංඝරාජාපදානය
2. බෞද්ධ දර්ශනය
3. සරසවි විචාර
4. බුද්ධ කර්මය සමාජය හා සංස්කෘතිය
5. තැනුම්පත පුරාවෘත්තය
7. මුනිගුණ මිහිර
8. බෞද්ධයාට අත්පොතක්
9. ජීවිතයේ පරමාර්ථය කුමක්ද?
10. මානාවුලු සංදේශය (සිංහල කවි)
11. තෙල්කටාරමේ කවි (තෙලකටාන ගාථා)
12. සුහද අස්න (ආචාර්ය නාගාර්ජුන පාදයන්ගේ සුහෘල්ලේඛා)
13. තිස්සමහාරාමය
14. බුදුහාමුදුරුවෝ
15. ගිරිහිස වනපෙත හා මේ කුළ
16. පිරුවානා පොත් වහන්සේ
17. විචිත්‍ර ධර්ම දේශනා
18. බෞද්ධ විශ්වාස විමර්ශන
19. බෞද්ධ ශිෂ්ටාචාරය
,20. ධම්මපදය (පාලි හා සිංහල)
21. සාමණේර බණ දහම් පොත
22. මහායානය
23. පැවිදිමග
24. උසස් පෙළ බුද්ධ ධර්මය
25. අරියවංස සූත්‍රය
26. බෞද්ධ සංස්කෘතික ලේඛන සංග්‍රහය
27. අට්ඨ කථා සාහිත්‍ය හා අටුවා රසකතා
28. බෞද්ධ ඇදහිල්ල
29. බෞද්ධ සංස්කෘතිය හා ශාසන ඉතිහාසය
30. සාරාර්ථදීපනී සතර බණවර සන්නය

මහනාහිමි ග්‍රන්ථාවලිය දැක්වීම මෙතෙකින් නවතනුයේ සියල්ල දැක්වුවහොත් මෙම සටහන කෙළවර කරගත නොහැකි නිසාය.

මහනාහිමියන් පිළිබඳ සිරිලක බොහෝ දෙනා දන්නේ බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතියත්, සිංහල සාහිත්‍යයත් පිළිබඳ ග්‍රන්ථ රාශියක් රචනා කළ ශාස්ත්‍රීය ලේඛකයෙකු හා ධර්මවිනයධර මහා යතිවරයන් වහන්සේ නමක් ලෙසයි. ශාස්ත්‍රීය ලේඛනයේ පැතීරීමේ වේගය වැඩි වූ නිසාදෝ උන්වහන්සේ ගේ කාව්‍ය නිර්මාණ කරණය ගැන වැඩිදෙනෙක් කතා නොකරති. පැරැණි කවි සමයෙන් හා කොළඹ කවියෙන් ආභාෂය ලැබූ මහනාහිමියෝ ද සිව්පද කවි මග අනුගමනය කළහ. නිරුත්සාහයෙන් යොදන එලිවැටෙන් ද, සාම්ප්‍රදායික ආකෘතියෙන්ද යුත් කවියේ කාව්‍යමය ගුණය සුරැකීමේ ශක්තිය නෛසර්ගිකව මෙන් මහනාහිමි තුළ මනාව පිහිටා තිබූ බවත්, අර්ථ රසයට මෙන්ම ශබ්ද රසයට ද සමතැන් දීමට උන්වහන්සේ රුචි කළ බවත්, එකී විදග්ධ කාව්‍ය නිර්මාණ රස විඳින්නෙකුට මනාව හැඟී යයි.

ලාංකේය සංදේශ කාව්‍ය අතර පැරැණිතම කෘතිය ලෙස සැලකෙන පොළොන්නරු යුගයේ රචිත පාලි පද්‍ය 62 කින් යුත් මානාවුල් සංදේශය මහනාහිමියෝ පද්‍ය 62 කින් යුත් සිංහල කාව්‍යයක් බවට පත් කළහ. පාලි පද්‍ය සමගම සිංහල පද්‍ය දැක්වීමෙන් එය පදානුගත පරිවර්තනයක් බවට පත් වුවද පාලි පෙළ ඉවත් කරගත් විට සිංහලෙන් රචිත සංදේශයක් සේ දැනෙන තරමට කාව්‍යමය ගුණයෙන් ද සරල බවින්ද සිත්ගන්නා ලක්ෂණ පෙන්නුම් කරයි. මහනාහිමියන් විසින් විරචිත සෙසු කාව්‍ය ග්‍රන්ථ අතර “ගිරිහිස වන පෙත සහ මේ කුළ” නමැති ථෙර ථෙරී ගාථා පරිවර්තනයක්, ආචාර්ය නාගාර්ජුන පාදයන්ගේ සුහෘල්ලේඛාව සිංහලට නගමින් රචිත සුහද අස්නත්, පාලි තේලකටාහ ගාථා සිංහලට නැඟූ “තෙල් කටාරමේ කවි” නමැති කාව්‍ය සංග්‍රහයත් වන අතර “ බුදු හාමුදුරුවෝ” හා “මුනිගුණ මිහිර” නම් වූ ස්වාධීන භක්ති කාව්‍යයන් දෙකක්ද වෙයි.

ඉහත විස්තර වූ ධර්ම ශාස්ත්‍රිය හා සාහිත්‍ය සේවාවන්ට අමතරව මහනාහිමියන්ගේ උදාර චරිතයේ අනෙක් අර්ථවත් සංසිද්ධිය සංක්ෂිප්තව හෝ සටහන් කිරීමට ඉඩ ලැබෙන්නේ මෙතැන් සිටය. ඒ අනෙකක් නොව ස්‍යාමෝපාලි මහා නිකායේ රුහුණේ භික්ෂූන් වහන්සේලාගේ ඓතිහාසික ස්වාධීනත්වය, ශාසනාලෝමික පැවැත්ම ධර්මඥාණය වර්ධනය කිරීම, සංඝ සාමගි‍්‍රය, ප්‍රාදේශීය උපසම්පදාව විනයානුකූලව සිදුකිරීම ජාතික ආගමික ප්‍රශ්නවලදි ස්වාධීනව ඉදිරිපත්ව කටයුතු කිරීම ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය කරගැනීම ආදි වූ සත් පරමාර්ථයන් මුල් කරගෙන ශ්‍රී රෝහණ මාහ සංඝසභාව ඇරැඹීමෙහිලා පුරෝගාමි නායකත්වයක් දැක්වීමයි. එහිදී පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ ශ්‍රී වනරතන මහනාහිමියන්ට මහත් ශක්තියක් වූ රුහුණේ විද්වත් යතිවරයන් වහන්සේලා අතර අප මහනාහිමියන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවුණි.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය ඌරාපොළ සිරි රතනජෝති පරිවේණස්ථ බද්ධ සීමා මාලකයේ දී 1986 අපේ‍්‍රල් 24 , 25,26 තෙදින තුළ සිදුකළේ සාමණේරයන් වහන්සේලා 32 නමක් උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභයෙහි පිහිටුවීමෙනි.

මහනාහිමියන්ට ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක පදවිය පිළිබඳ අක්ත පත්‍රය පිරිනැමුවේ 1987 ජූලි මස 18 වැනිදාය. එසේම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘවර කඹුරුපිටියේ මහනාහිමියෝ 1998 නොවැම්බර් 18 දින අපවත් වී වදාළහ. එමගින් පුරප්පාඩු වූ මහානායක පදවිය සඳහා අප මහනාහිමි පත්වූයේ ශ්‍රී රෝහණපාර්ශ්වීය ත්‍රිංශත් වර්ගික විධායක කාරක මහා සංඝසභාවේ සමානච්ඡන්දයෙනි. තවද රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද උන්වහන්සේ පිදුම් ලැබූහ. මෙකී තනතුරු කිසිවක් යමෙකු ගෙන් ඉල්ලීම් කොට ලබාගත් ඒවා නොවේ. තනතුරු මහනාහිමි පසුපස හඹා ආවේය.

අත්තුක්කසංන පරවම්භනයෙන් තොරව නිහතමානි චාම් පැවැත්මෙන් පරිපූර්ණව ඉතා සැහැල්ලු දිවි පැවැත්මක් අප මහනාහිමි ගත කලාක් මෙන්ම අපවත්වීමෙන් පසුවද කිසිවෙකුටත් කරදරයක් බරක් නොවීමට ද වගබලා ගත්තේය. උන්වහන්සේ ලියා තිබූ අවසාන ඉල්ලීම ඊට හොඳම සාක්ෂියයි.

මාගේ ශිෂ්‍යයන් දායකයන් ඥාතීන් හා හිතවතුන් වෙත කාරුණික නිවේදනයයි

මා අපවත්වීමෙන් පසු මගේ සිරුර වෛද්‍ය විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා දන්දීමට මගේ අපේක්ෂාව බැවින් එය ඉටුකරන මෙන් හිතාධ්‍යාශයෙන් ඉල්ලා සිටිමි. ගේට්ටුව ඉදිරිපිට “අනිච්චාවත සංඛාරා” බැනරය එල්වා පන්සල් වත්තේ බෞද්ධ කොඩි කීපයක් එල්ලා ළඟ පහත තුන් නිකායේ හිමිවරුන් 10 නමක් වැඩමවා පැන්වැඩිය යුතුයි. සියලු කටයුතු අවසන්කොට පුවත්පතක මගේ අවසන් ගමන අදහස අනුව ඉටුකළ බව පමණක් පළකළ මැනවි.
මෙයට
අත්තුඩාවේ රාහුල

මෙම ඉතා කාරුණික වූ ඉල්ලීම එලෙසින්ම ඉටු කිරීමට සහ නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වන දර්ශනපති පල්ලේගම සමිත, ශාස්ත්‍රපති මහගල්වැව විමල යන හිමිවරුන් ඇතුලු අප සියලුදෙනාත්, දායකකාරකාදි පිරිසක්, දැඩි තීරණයෙක සිටියෙමු.

රෝහණ පුරවරයට මහත් අලෝකයක් වූ මහනාහිමියෝ 2011 දෙසැම්බර් 01 වැනිදා අපවත්වන තුරුම අනලස්ව ලෝක ශාසනික හා ශාස්ත්‍රීය සේවාවන් හි නිරත වූහ. පුරාකෘත පුණ්‍ය මහිමය මේ යැයි ප්‍රකට කරමින් ජීවත්වීමත්, අපවත්වීමත් යන සියල්ල සිදුවුණි.

ශ්‍රී රෝහණ පාර්ශ්වය ආලෝකමත් කළාක් මෙන්ම ශ්‍රී රෝහණ උපෝසථාගාර විහාර සංකිර්ණය මාතර නගර මධ්‍යයේ ඉදිකරවීමට මූලික මැදිහත්වීම ලබාදීම තුළින් මහනාහිමි සිදු කළ සේවාව සංඝ සභා ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවෙනු ඇත. සංඝ සමාජයේ උසස්ම පදවිය වන මහානායක පදවියත්, සරසවියේ කුලපති පදවියත් යන උසස් පදවි දෙකම දැරීමට තරම් මහනාහිමියෝ භාග්‍යවන්ත වූහ. එසේම අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහනාහිමියන් වෙතින් “තෙවලා වදනිසුරු” නාමයෙන්ද පිදුම් ලබහ.

අවසාන වශයෙන් අප ගුරුදේවෝත්ම අතිපූජ්‍ය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේම කවි දෙකක් උපුටා දක්වමින් ලිපිය අවසන් කිරීම යෝග්‍ය යැයි හඟිමි.

සත්වග ආයු වැනසෙයි මොහොතින්   මොහොත
පසුපස ලුහුබඳී,මරණය නම්                              නියත
නොලැබෙයි කෙසේවත් ගිය කල නම්        නැවත
එබැවින් සිතිය යුතු බව දුක ගැන                නියත

අඩු වැඩි ආයු ඇති ලොව හැම දෙන     මැරෙති
වැඩි කල් වසන අය මහලුව දුක්                   විඳිති
කොහොමට විසුවමුත් සුවයක් නොම        ලබති
පින් කළ යුතුය එබැවින් සුදනෙනි           නැණැති
(තෙල්කටාරමේ කවි)

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]