වෙනස් ආගම් ඇදහුවත්
අපි මිතුරුයි
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ
අධ්‍යයනාංශයේ
මහාචාර්ය
දේවාලේගම
මේධානන්ද හිමි
බුදුදහමට
අනුව, සිය
දහමට ගරහන විට කිපීමත්
පසසන විට
උද්දාමයට
පත්වීමත් යුතු නැහැ.ඒ අවස්ථා
දෙකේදීම
කළ යුත්තේ
ඉවසිලිවන්තව, බුද්ධිමත්ව,
ගරහන්නාටත් පසසන්නාටත් කන්දී ඇත්ත
වටහාගෙන ක්‍රියාකිරීමයි.
මිනිසුන්ගේ සිතුම් පැතුම්, ගතිගුණ, අභිරුචිය, රසිකත්වය, ඔවුන්ගේ අනේක
විධ චර්යාවන් ,ජීවිකා වෘත්ති සහ අද්දැකීම් ආදි කී නොකී බොහෝ දේ
ඇසුරුකොටගෙන බිහිවූ, පෝෂණය වූ හා විකාශයට ලක් වූවකි ආගම. එය
ශිෂ්ටාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය සමඟ විවිධාකාරයෙන් බැඳී පවතිනවා.
ආගම ඉතිහාසයේ සෑම යුගයකදීම සමාජයට විශිෂ්ට මාර්ගෝපදේශකයෙක් වුණා.
ජීවිතයේ භෞතික වුවමනාවන්ගෙන් ඔබ්බට මිනිස් නෙත යොමු කරන්න ආගමට හැකියාව
තිබෙනවා.
මිනිසාගේ සිතුම් පැතුම්, අත්දැකීම් හා ජීවත්වන පරිසරය විවිධාකාරයි;
විසමයි; විචිත්‍රයි. එනිසා ලෝකයේ ආගම්ද විවිධාකාර වනවා. අරමුණ, ස්වභාව,
චර්යාධර්ම සහ වත්පිළිවෙත් යනාදියෙන් ආගම් එකිනෙකට වෙනස්. ශරීර වර්ණය,
භාෂාව,ජාතිය, කුලය, ගෝත්‍රය ආදි කරුණුවලදීත් පුද්ගලයන් අතර අසමානතා
පැවතුණත් පොදුවේ මිනිසුන් වශයෙන් ආගම් අදහන සියලුදෙනා සමාන වනවා.
සමාජයක් තුළ අනිවාර්යයෙන්ම සහෝදරත්වය, මිනිස්කම පැවැතිය යුතු නිසා
විවිධත්වයන් තුළම ආගම් අදහන අය, පිළිපදින අය සහජීවනයෙන් හා එකමුතුව
කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එය මානව සංහතියේ යහපැවැත්මට හේතුවක්.
බුද්ධ කාලයේ භාරතයේ විවිධාකාර සාමයික දාර්ශනික චින්තන පැවැතුණා.
දෘෂ්ටිවාද, අන්තවාද, ලබ්ධි, ප්‍රතිපදා එකල බහුල වූවා. සාම්ප්‍රදායික
වෛදික, බ්‍රාහ්මණ ආගමික චින්තාවන් හා වත් පිළිවෙත් ආදිය හැරුණු විට
අනේකාකාරයෙන් ප්‍රකාශිත ශ්‍රාමණික දෘෂ්ටිවාද බහුලව දක්නට ලැබුණ බව පාලි
නිකායගත මූලාශ්‍ර පැහැදිලි කර තිබෙනවා. විටෙක එම තත්ත්වය බුදුරදුන්
‘දෘෂ්ටි ජාලයක්’ ලෙස හැඳින්වූ බව දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන්
වනවා.
ආත්මවාද , ශාස්වතවාද, අශාස්වතවාද, නිර්මාණවාද, නියතිවාද, අකිරියවාද,
කිරියවාද සහ අමරාවික්ඛේපවාදාදි වශයෙන්ද හඳුනාගත හැකි සාමයික වාද
වාදාන්තරයන් ජටිල, පරිබ්‍රාජක, ආජීවක, නිඝණ්ඨාදි වශයෙන් හඳුන්වා දිය
හැකි සාමයික ආචාර්යවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයන් අතර පැවැතුණා.
බුදුදහම මධ්‍යම දේශනාවක්. ශාස්වතවාදය හෝ එය පාදකකොටගෙන උපන් කුමන හෝ
වාදයක් බුදුරදුන් පිළිගත්තෙ නැහැ. උන්වහන්සේ ඒ කිසිවකට පක්ෂද විපක්ෂද
යනාදි වශයෙන් කරුණු දැක්වුවේ නැහැ. ඒ කිසිදු වාදයක්, දෘෂ්ටියක් සමඟ
නොගැටුණ බුදුරදුන් අශාස්වතවාදයට හෝ එය පාදක කොටගෙන උපන් වාදයන්ටද එකඟ
වුණේ නැහැ. සිද්ධාන්තමය වශයෙන් දාර්ශනික මධ්‍යස්ථතාවයේ පිහිටා එයද
අන්තවාදයක් කොට නොගෙන හේතුඵල ධර්මය නම් වූ පටිච්ච සමුප්පාදය උන්වහන්සේ
දේශනා කළා. ශාස්වතවාදයෙන් අත්තකිලමතානුයෝගයත් අශාස්වතවාදයෙන්
කාමසුඛල්ලිකානුයෝගයත් අගය කරද්දී බුදුරදුන් එම අන්තවාදි ඉගැන්වීම්වලට
නොවැටෙමින් මධ්‍යම දේශනාව වූ පටිච්චසමුප්පාදය දේශනා කළා.
ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි බුදුරදුන් දේශනා කළේ, අන්තවාදයන්ට නොවැටී
මධ්‍යම ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතු බවයි. මේ
යහ මාවතට පිවිසෙන පුද්ගලයාට ලොව ඇති අන්තවාදි ආගමික චින්තාවන්ට
යොමුනොවී සුහදව සහජීවනයෙන් කටයුතු කළ හැකි වනවා. මන්ද ඔහු චින්තනයෙන්ද,
චරණයෙන්ද මධ්‍යස්ථ අයකු වන නිසයි.
බුදුදහමට අනුව, සිය දහමට ගරහන විට කිපීමත් පසසන විට උද්දාමයට පත්වීමත්
යුතු නැහැ. ඒ අවස්ථා දෙකේදීම කළ යුත්තේ ඉවසිලිවන්තව, බුද්ධිමත්ව,
ගරහන්නාටත් පසසන්නාටත් කන්දී ඇත්ත වටහාගෙන ක්‍රියාකිරීමයි.
බ්‍රහ්මජාල සූත්‍රයේදි බුදුරදුන් දේශනා කළේ මෙසේයි. “මහණෙනි, අනුන් මට
දොස් කියතහොත් ධර්මයට හෝ දොස් කියතහොත් සංඝයාට හෝ දොස් කියතහොත් ඒ
අවස්ථාවේ ඔබ කෝප නොවිය යුතුය. නොසතුටට අමනාපයට පත් නොවිය යුතුය. එසේම,
අනුන් මගේ හෝ ධර්මයෙහි හෝ සංඝයාගේ හෝ ගුණ කියතහොත් එහිදීද ඔබ පී‍්‍රතිය
නොඉපදවිය යුතුය. සිතෙහි පී‍්‍රතියෙන් ඉල්පුණු බව ඇති නොකරගත යුතුයි”
එලෙස කෝපවීම මෙන්ම පී‍්‍රතියෙන් ඉල්පීමද ශ්‍රාවකයාටම අහිත පිණිස වන
බවත් අනුන් කියන දෙයෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට, දැක ගැනීමට බාධක වන
බවත් බුදුරදුන් වැඩිදුරටත් දේශනා කළා. මෙම බුද්ධ වචනය අනුව යන බෞද්ධයා
සිය දහම අරභයා වුවද උපේක්‍ෂා සහගත වෙයි. එබැවින් ඔහුට සෙසු ආගමිකයන්
සමඟ සුහදව සිටීමට හැකිවෙයි.
එස්.ඩී. රසිකා ප්‍රියදර්ශනි |