UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 පින්වත් දරුවනේ

මනුෂ්‍ය ලෝකයේ උපදින්නට බලවත් වූ කුසලයක් තිබූ බව හැබෑවකි. එනමුත් මිනිස් ලොව උපදින විට සුජාත වූ උපතක් ලැබීමට සහ ඔය තරමකින් හෝ නිරෝගී යහපත් දරුවෙක් වීමට දෙමව්පියන්ගේ කුසල්ද , කරුණා, මෛත්‍රිය, අපමණ කැපකිරීම, ජීවිත පරිත්‍යාගය තරම් සිත ද බලපෑ බව කවදාවත් අමතක කරන්නට එපා. මේ ගුණ තව කොපමණ නම් පවසන්නද ?

පහත සඳහන් සංවාදයෙන්ම මෙම ලිපිය ආරම්භ කරන්නට කැමැත්තෙමි. “ අම්මයි, තාත්තයි මට මොනවද කරලා තියෙන්නේ ? “ ඇයි නුඹලා හදල වඩලා ඉගැන්නුවේ, ඒ ටික මදිද ?”

“ ඒව මේ ලෝකේ මොන අම්මත් තාත්තත් කරන දේවල්. ඒ නැතිවුනත්, ඔයගොල්ලෝ අපිව මේ ලෝකෙට ගෙනාවා නම්, ඒවා කරන එක ඔයගොල්ලන්ගේ යුතුකමක්.”

මේ සංවාදයේ දෙපැත්තෙන්ම කියවුනු දේවල් සමග මේ ලිපියෙන් පිළිතුරක් ලබාදෙන්නට කැමතියි. අර පුතා අහපු ප්‍රශ්නය ඔබට මතකද ? “ අම්මයි තාත්තයි මට මොනවද කරලා තියෙන්නේ ? “ ඔව් පුතේ, දුවේ, මොනවද දෙමව්පියෝ කරලා නැත්තේ ? නුඹලා ඔය අහන්නේ ඉඩම් කඩම්, යාන වාහන මිල මුදල් ගැන නොවේද ? ඒ ඔක්කෝම දේවල්, මේ ලෞකික ලෝකයේ තාවකාලික වස්තු පමණයි. ඒවා ඇතිවුනා වගේම විනාශ වී යනවා. ඉක්මනින්ම නැතිවේවි. වැඩිම වුනොත් මේ ජීවත්වෙන කෙටිකාලෙට පමණයි. ඒ වුනත් අම්මා, තාත්තා අපගේ ජීවිතවලට කොපමණ නම් වටිනවාද ? ඔබ මේ ගැනත්, ටිකක්වත් සිතා බලන්න. අපි මේ ලෝකයේ උපදින විට, අසවල් ගෙදර, අසවල් දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා උපදින්න කියා තේරීමක් තිබුණාද ? හැබෑවටම නැහැ. අපගේ පෙර කුසලාකුසල ශක්තිය අනුව අප සුදුසු රටක, පෙදෙසක, පවුලක ඉපදුණා නොවේද ? හොඳයි, ලෝකයේ අප වැඩි පිරිසකටම ගුණවන්ත දෙමවුපියෝ හමුවෙලා නැත්ද? ඔබම කියන්න, හැම රටකම වගේ, කලාතුරකින් කීපදෙනෙක් හැර, අනෙකුත් සියලුම දෙමාපියෝ තම දරුවන් කොපමණ නම් දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් රකිනවාද ? හදනවාද ? පෝෂණය කරනවාද ? හොඳයි, එහෙම රකින්නේ නැතිව, අර කලාතුරකින් අහන්නට ලැබෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපිව මහමඟ දාලා ගියා නම්, මොකද වෙන්නේ? පවින් වළක්වලා, යහපතට හුරු කළේ නැතිනම් මොකද වෙන්නේ? හැබෑවට අප මේ ලෝකයේ නොසිටින්නට ඉඩ තිබුණා නොවේද ? අඩුම තරමේ දෑත දෙපයවත් නොකැඩෙන්නට ඉඩ නොදී හදපු එකේ ගුණයවත් අමතක කරන්නේ කොහොමද? දුවේ පුතේ, යම්විටෙක නුඹලාට මේ ලෞකික ලෝකයේ නොතිර වස්තු නිසා දෙමව්පියන්ගේ ගුණ අමතක වුනාට, දෙමවුපියන්ගේ වස්තුව මොනවාද කියලා ටිකක් වත් හිතලා බැලුවාද ? “ මගේ වස්තුව නුඹලායි දරුවනේ” යනුවෙන් පැවසුවානම් ඒ ගුණබර අම්මා කෙනෙකුයි පියාණන් කෙනෙකුයි ඔබව, ඇස් දෙක වගේ රැකගෙන, හදවත වගේ සිතාගෙන හදලා, වඩලා, උගන්නලා, විටෙක රැකියා සොයා දීලා, ආවාහ විවාහ කටයුතු සිදුකොට දීලා දෙමව්පියන් උපේක්ෂා ගුණයට පත්වෙනවා. උපේක්‍ෂා ගුණය යයි මෙහි සඳහන් කළේ සිත මධ්‍යස්ථ භාවයට පත් කර ගැනීමයි. එනම් “ දරුවන් හොඳින් ජීවත්වෙනවා, යම් විටෙක අපටත් වඩා ලෝකය ගැන අවබෝධයෙන් කටයුතු කරන්නට පුළුවනි. දැන් නුඹලාට නුඹලාගේ කටයුතු කරගන්නට පුළුවනි” ආදී ලෙසින් මෙනෙහි කිරීමයි. “ අපිට දැන් දරුවනේ, අපේ හිත නිදහස් කරගෙන නිවී සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නට පුළුවනි. අපි නිසා මේ ලෝකයට ආපු අපේ දරුවන්ට අපි යුතුකම් ඉටු කළා. රජ මාලිගාවක් හදලා දෙන්නට බැරිවුනාට, සිංහාසනයක් හදලා වාඩි කරවන්නට බැරිවුනාට, මිළ මුදල් ලක්‍ෂ ගණනාවක් බැංකුවේ තැන්පත් කර තියන්නට බැරිවුනාට, යහපත් වූ මනුෂ්‍යයෙක් වෙන්නට නුඹලා හැදුවා දරුවනේ. ලෝකයේ කොතැනක හෝ ගමන් කරලා සොරෙක්, මංකොල්ලකරුවෙක්, වංචාකාරයෙක් නොවෙන්නට නුඹලා හැදුවා දරුවනේ. යම්විටෙක එහෙම වුනානම්, අපට අකීකරු වුනු එකේ විපාකයයි, නුඹලා මව්පිය ගුණය අමතක කරපු එකේ විපාකයයි, අවංකවම, හදවතින්ම දියුණුව ප්‍රාර්ථනා කළ දෙමව්පියෝ අමතක කරලා නරක ආශ්‍රයට වැටුණු එකේ විපාකයයි ඒ.

“ දරුවනේ, තවමත් නුඹලා කටක් ඇරලා අහනවාද ? මොනවද අපට කළේ කියලා”

අද තරම් ලෝකය නොදියුණු කාලයේ, දරුවෙක් බිහි කළේ හරියට මරණ මඤ්චකයේ වැතිරිලා වගෙයි. ඒත්, මොනවද ගුණබර අම්මා කෙනෙක් සිතුවේ? “ මම මියදුනත් මගේ දරුවට නම් කරදරයක් වෙන්නට එපා” කියලයි. විටෙක කුස ගින්නෙ සිටගෙනත් දරුවාට කිරිපෙව්වා නොවේද? නාවනකොට, කවනකොට, ඇඳුමින් සරසනකොට, මේ ලෝකයේ සිටින ප්‍රසන්නම දරුවා මගේ දරුවාම වෙන්න කියලා සිතුවානේ. සමහර දෙමාපියන් හරිහැටි ලියන්නට කියන්නට දන්නේ නැති වුනත් තම දරුවට උගන්වන කොයිතරම් මහන්සි වෙනවද ? දරුවන් වෙනුවෙන් දෙමව්පියන් අතර තරගයක් කියලා වර්තමානයේ ඔය තැනින් තැන අසන්නට ලැබෙනෙ ඒ නිසායි. යම් දෙමව්පියන් දරුවන් ඉහළ ගෙනවිත් තම සිතේ “ මානයක්” ඇති කරගන්නට හැදුවත්, තමාට නොලැබුණු ඉගෙනීම හෝ තමාටත් වඩා උගත්කම තමන්ටත් වඩා සැප සම්පත් දරුවන්ට දෙන්නට ඒ තරම් මහන්සි වෙන්නේ. දරුවන් නිසා දෙමව්පියන් කොපමණ දුක් විඳින්නට ඇත්ද?’ වෙහෙසෙන්නට ඇතිද ?

යම් අඥාන දරුවෙක් මෙහෙම සිතන්නට පුළුවනි, අපිව මේ ලෝකයට බිහිකළා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් අපිට මේවා කරන්නට ඕන කියලා. “ දරුවනේ, තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කොට නැති හැම අයෙක්ම ඔවුන්ගේ කර්මානුරූපව කුමන ලෝකයක, කොතැනක හෝ උපදිනවා. නුඹලාට මනුෂ්‍ය ලෝකයේ උපදින්නට බලවත් වූ කුසලයක් තිබූ බව හැබෑවකි. එනමුත් මිනිස් ලොව උපදින විට සුජාත වූ උපතක් ලැබීමට සහ ඔය තරමකින් හෝ නිරෝගී යහපත් දරුවෙක් වීමට දෙමව්පියන්ගේ කුසල්ද , කරුණා, මෛත්‍රිය, අපමණ කැපකිරීම, ජීවිත පරිත්‍යාගය තරම් සිත ද බලපෑ බව කවදාවත් අමතක කරන්නට එපා. මේ ගුණ තව කොපමණ නම් පවසන්නද ? “මාතාපිතූ ගුණො අනන්තෝ” දෙමව්පිය ගුණ අප්‍රමාණ යයි සඳහන් කෙළේ එබැවිනි.

ඉතින්, දුවේ, පුතේ තවමත් අහනවාද ඕගොල්ලෝ මොනවාද අපට කළේ කියලා ? දෙමව්පියන්ගේ ජීවිතවලත් අඩුපාඩු තිබෙන්නට පුළුවනි. ඒවා උපේක්‍ෂාවෙන් බලා සීලයට සමීප කරගන්නට උත්සාහ කරන්න.

පසුකලෙක බිම් අඟලක් දෙමව්පියන්ගෙන් නොලැබුණත්, ස්වල්ප වූ හෝ ධනයක් නොලැබුණත්, මනුෂ්‍ය ලෝකයේ, මනුෂ්‍යයෙක් ලෙස උපදින්නට, ඉන්පසු මේ තත්වයට පත්වෙන්නට දෙමව්පියන් උපකාරී වූ එක වඩා වටින්නේ නැතිද දුවේ පුතේ?

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ සූත්‍ර දේශනාවකින් කොටසක් මෙහි උපුටා දක්වන්නට කැමතියි. ඒ ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ සඳහන් සබ්‍රහ්මක සූත්‍ර දේශනාවෙනුයි.

බ්‍රාහ්මාති භික්ඛවෙ,
මාතාපිතුන්නං ඒතං අධිවචනං
පුබ්බදේවාති භික්ඛවේ
මාතාපිතුන්නං ඒතං අධිවචනං
පුබ්බාචරියාති භික්ඛවේ
මාතාපිතුන්නං ඒතං අධිවචනං
ආහුනෙයයාති භික්ඛවේ
මාතාපිතුන්නං ඒතං අධිවචනං

“ මහණෙනි, බ්‍රහ්ම යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි. මහණෙනි, පූර්වදේව යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි. මහණෙනි, පූර්ව ආචාර්ය යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි. ආහුණෙයය ( දුර සිට ගෙනවිත් ආහාර පානාදියෙන් පිදීමට සුදුසු ) යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි.

“ තං කිස්ස හේතු ?
ඒ කවර හේතුවක් නිසාද ? “
“ බහුපකාරා භික්ඛවේ
මාතාපිතරො පුත්තානං ආපාදකා
පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරො”

“ මහණෙනි, මව්පිය දෙදෙනා දරුවන්ට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙති. දරුවන්ගේ ජීවිතවල ආරක්‍ෂකයෝ වෙති. ( කයින්ද මනසින් ද ) පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකයේ ( හොඳ නරක , කුසල් අකුසල් ) ආකාරය පෙන්වා දෙන්නෝ වෙති.

දැන්, ඔබම කියන්න. දෙමව්පියන් විසින් ඔබට මොනවාද නොදී ඇත්තෙ? නොකොට ඇත්තේ ? ධර්මාවබෝධයම වේවා. උතුම් තුණුරුවන් සරණයි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]