වරද සහ දඬුවම
ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ
සමාජ විද්‍යා හා
මානව විද්‍යා
අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
ප්‍රණීත්
අභයසුන්දර
සමාජයේ යහපත්භාවය බිඳ වැටීමට ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා
හැසිරීම, බොරු කීම සහ සුරා පානය යන පස් පව් කිරීම හේතුවේ. පස් පවින්
වැළැකීම පන්සිල් රැකීම වේ. බුදු දහමේ උගන්වනු ලබන සීලය මගින් මෙම
වැරැදිවලින් මිදුණු යහපත් සමාජයක් උදා කර දෙයි. බුදු දහම සමාජ
හිතානුකම්පීය. වරද කළ පුද්ගලයාහට වුවද නැවත යහපත් පුද්ගලයකු වශයෙන්
කටයුතු කිරීමේ අවස්ථාව මෙහිදී බැහැර නොකෙරේ.
තමාට පහර දුන් තැනැත්තාට වුවද පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බුදු දහම
අනුමත නොකරයි. සමාජය පවෙන් වැළැක්වීමට යැයි සලකා හෝ ම්ලේච්ඡ ක්‍රෑර
දඩුවම් ක්‍රම අනුගමනය නොකළ යුතුය. වැරැදි මාර්ගයට යොමුවූ පුද්ගලයා ආයති
සංවරයෙහි පිහිටුවිය යුතුය. තමන් කළ වරද වරද වශයෙන් හඳුනාගෙන නැවත එවන්
වරදක් නොවීමට සංවරවීම වරදට කළ යුතු පිළියම වන්නේය.
නීතිගරුකවීමේදී ද රාජදණ්ඩන විධියේදී ද රජුට අනුව කටයුතු කිරීමට හා
රාජ්‍ය නීතියට එකඟවීමට සිදුවෙයි. බුදුරජාණන් වහන්සේ රාජ්‍ය නීතියට
එකඟවීම යහපතැ යි පෙන්වා දී තිබුණ ද රාජ දණ්ඩන ක්‍රමය පැසැසුමට ලක් කොට
නැත. වැරදි කළ වරදකරුවනට අතීත රජවරුන් ඉතා දරුණු දඬුවම් දී තිබේ.
වේවැලෙන් තැලීම, කටු සැමිටියෙන් තැලීම, අත් කැපීම, පා කැපීම, අත් පා
කැපීම, කන් කැපීම, නාසා කැපීම, කන් නාසා කැපීම, හිසෙහි සම හරවා
බොරළුයෙන් මැදීම, කටෙහි රෙදි කඩ ඔබා ගිනි දැල්වීම, ශරීරය තෙල් පෙඟවූ
රෙදි කඩින් වෙළා ගිනි තැබීම, දෑත තෙල් පෙඟවූ රෙදි කඩින් වෙලා ගිනි
තැබීම, ඇඟේ දෙපස උල් ගැසීම, හිස ගසා දැමීම වැනි දරුණු දඬුවම් ක්‍රම
ක්‍රියාත්මක වී තිබේ. එහෙත් සිංහල ආණ්ඩුව තුළ ඉතා දරුණු දඬුවම් ක්‍රම
ක්‍රියාත්මක වීම සාමාන්‍යයෙන් සිදු නොවීය. ඒ වෙනුවට සැහැල්ලු දඬුවම්
ක්‍රම ක්‍රියාත්මක වී තිබේ.
කෙසේ නමුත්, මෙවැනි දඬුවම් දීමේ ක්‍රම තුළින් අනිටු ප්‍රතිවිපාක ලැබුණු
බව කූ®ටදන්ත සූත්‍රයෙහිදී විස්තර වෙයි. සොරකම් කිරීම වැඩි වූ විට,
දඬුවම් දීමෙන් සොරකම් කිරීමේ අපචර්යාව වඩ වඩා දියුණු වූ බව චක්කවත්ති
සීහනාද සූත්‍රයේ ද පෙන්වා දී තිබේ. මේ ආකාරයට දඬුවම් දී අපරාධ හා
වැරැදි මර්දනය කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බව පැහැදිලිය.
රටක් පීඩාවට පත් කරන සැහැසිකම් කරමින් බලවත් වන සොරමුළක් මර්දනය කර
ගොවීන්ට, ගව පාලනය කරන්නන්ට ඒ සඳහා අවශ්‍ය දෑ ද වෙළෙඳුන්ට පහසුකම් හා
රජයේ සේවකයන්ට බත් වැටුප් ද දෙන මෙන් පාලකයනට උපදෙස් දී තිබේ. මේ
ආකාරයට බුදුසමය අපරාධ හා වැරැදි වැළැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ වඩා මානව
හිතවාදී ක්‍රමයක් අනුගමනය කිරීමෙනි.
බෞද්ධ සමාජය පාලනය කිරීමේදී අනුගමනය කළ ප්‍රතිපත්තිය සපුරා
අවිහිංසාවාදී වේ. දැහැමි වේ. දඬුවම් පැමිණවීමෙන් නොව දඬුවම් පැමිණවීමට
නුසුදුස්සන් වන ආකාරයට පුද්ගලයන් කය, වචනය, සිත යන තුන් දොරින් වන
දුසිරිත්වලින් බැහැර කොට ඔවුන්ගේ ජීවිත සුචරිතවත්ව සකස් කර ගැනීමට
උපකාරවත් වන මාර්ගය පෙන්වා දී තිබේ.
ඒ සඳහා හොඳ නරක, යහපත, අයහපත ගැන කියා දිය යුතුවේ. සුචරිතවත්, යහපත්
සමාජයක් ගොඩ නැගීමට අවශ්‍ය වත් පිළිවෙත්, සිරිත් විරිත්, හරදහම්,
වටිනාකම් කියා දිය යුතුවේ. සමාජය පාලනය කිරීමට හෝ අපරාධ මර්දනය කිරීමට
හෝ ක්‍රෑර දඬුවම් පැමිණවීමක්, මර්දනය කිරීමක් නොවීය.
හොඳ කිරීමෙන් ලැබෙන හොඳ ප්‍රතිඵලත් නරක කිරීමෙන් වන නරක ප්‍රතිඵලත්
පිළිබඳ කියා දීමෙන් වැරැදි අවම කරගැනීම වඩා උචිත වේ. කයෙන් වචනයෙන්
මනැසින් සුචරිතයෙහි යෙදීමෙන් මේ ජීවිතයේදීත් ප්‍රශංසාවට පත් වේ. භව භෝග
සම්පත් ලැබීම, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබීම සිදුවේ.
එහෙත් දුසිරිතෙහි යෙදීමෙන් මෙලොව අපකීර්තියට, පරිහානියට පත්වනවා පමණක්
නොව මරණින් මතු අපායයන්හි, තිරිසන් ලෝකයෙහි, ප්‍රේත ලෝකයෙහි ඉපිද බොහෝ
කාලයක් තීව්‍ර වූ කටුක වූ දුක් විඳින්නට සිදුවේ. එබැවින් වරදෙන් අත
මිදීමට අප්‍රමාදී විය යුතුය. වහ වහා වරදෙන් මිදී, යහපතෙහි යෙදී තම සිත
මනා කොට දමනය කර ගත යුතුය.
ඒ තුළින් උතුම් ශාන්තිය, විමුක්තිය උදා කර ගත හැකි වේ. සියලු දුක්වලින්
නිදහස් වී සැපය උදා කරගත හැකිවේ. මෙම උතුම් දේශනා කන වැකෙන බොහෝ දෙනා
යහපත් මාර්ගයට එළැඹෙති. තම මිනිස් දිවියේ වටිනාකමත් එහි ඇති අතිදුර්ලභ
බවත් මැනැවින්ම වටහාගෙන තම ජීවිත නිවැරැදි මාවතට යොමු කරති.
මේ ආකාරයට සලකා බලා නුවණැත්තන් වශයෙන් අප කළ යුත්තේ වැරැදි කොට දුක්
පීඩා විඳීම නොව යහපත කොට සැප විපාක භුක්ති විඳීමයි. වැරැදි,අපරාධ සිදු
කර මෙලොවදී රාජ්‍ය දඬුවමෙන් කුමන ක්‍රමයකින් හෝ බේරී සිටිය ද ඒ
තැනැත්තාට මෙලොව දී ද පරලොව දී ද විඳින්නට සිදුවන කර්ම විපාක වලින්
නිදහස් විය නොහැකිය.
වැරැදි කරන තරමටම අනිටු විපාක දීමට ද කර්ම සකස් වේ. එබැවින් පුද්ගලයකුට
යහපතටත් අයහපතටත් යෙදවීමට හැකියාව ඇති මේ සිත, කය, වචනය, යහපතට පමණක්
යෙදවීමට වග බලා ගත යුතුය. ‘ දුර්වාදී හෘදය විදාරණය’ නම් කෘතියේ පහත
කවිය සඳහන්වේ.
මහනෙල් සුවඳමය
කුඩ මසු පිළී ගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට කටමය
මනහර මහනෙල් සුවඳට ද කුඩමසු පිළී ගඳට ද යන දෙකටම දිය උපකාරී වේ. එමෙන්ම
හොඳටත් නරකටත් යන දෙකටම ඇත්තේ කටමය.
බුදු දහමට අනුව වරදට දඬුවම් කිරීමේදී අනුගමනය කරන ක්‍රමයකට නිදසුනක්
භද්දාලි භික්ෂුවගේ චරිතය ඇසුරෙන් පෙන්වා දිය හැකිය. චතුරාර්ය සත්‍යය
අවබෝධ කරගෙන ලොව්තුරා නිවන් සුවය විඳීමට බුදුසසුනට ඇතුළු වූ භික්‍ෂූන්
පමණක් නොව වෙනත් නොයෙක් හේතු නිසා ද පැවිදි බිමට පත් වූවෝ වූහ.
අකීකරුව, විනය නොසලකමින් කටයුතු කළ සුළු පිරිසක් ද බුදුසසුනෙහි වූහ.
භද්දාලි භික්‍ෂුව ද අකීකරු භික්‍ෂුවක විය.
විකාලයෙහි අහර වැළැඳීමෙන් වැළැකීමේ ශික්ෂාපදය කඩකිරීම සම්බන්ධයෙන්
චෝදනා ලබා සිටි උන්වහන්සේ තුන් මාසයක් බුදුරජාණන් වහන්සේ මඟ හැර
සිටියහ. භික්ෂු සංඝයාගේ මැදිහත් වීමෙන් පසුව එම භික්ෂුව බුදුරදුන් වෙත
පැමිණ තමාගෙන් සිදුවූ එම වරද භාරගෙන ආයති සංවරය පිණිස සමාව ඉල්ලා
සිටියේය. එහෙත් සමාව නොලැබිණ. දෙවැනි වරද සමාව නොලැබිණ. තෙවැනි වර සමාව
ඉල්ලා සිටි විට කලින් දෙවතාවට ද වඩා අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ,
වරද වරද හැටියට පිළිගෙන ආයති සංවරය සඳහා පිළියම් කිරීම බුද්ධ ශාසනයෙහි
උතුම් ලක්ෂණයක් බව වදාරා සමාව දුන් සේක.
ඡන්න භික්‍ෂුවට බ්‍රහ්මදණ්ඩය පනවන්නට නියම කළේ බුදුරදුන් පිරිනිවන්
පෑමට පෙරය. බ්‍රහ්මදණ්ඩන නම්, යම්කිසි භික්‍ෂුවක භික්‍ෂූන්ට ඇනුම්
බැනුම් ගැරැහුම් කරයි නම් හෝ කිසිවෙකුගේ අවවාද අනුශාසනා නොපිළිගනියි
නම් හෝ ඔහු හික්මෙන තුරු ඔවාදීම හා ඔහු සමඟ කතා බස් කිරීම නැවැත්වීමයි.
ඡන්න හිමියන් කිසි තෙර නමකට ගෞරවයක් නොමැතිව මුරණ්ඩුව හැසිරීම නිසා
බ්‍රහ්මදණ්ඩනය පණවන ලෙස ආනන්ද තෙරුන්ට බුදු හිමියෝ වදාළහ. පණවන ආකාරය ද
පැහැදිලි කළහ. බුද්ධ නියමය අනුව මෙම දඬුවම ඡන්න හිමියන්ට පැණවීමෙන්
පසුව එහිමියන්ට සිදු වූයේ එයින් පරිපීඩිතව තනිව සිටින්නටය. ඉක්බිති
උන්වහන්සේ නොපමාව රහත් බවට පත්වී බ්‍රහ්මදණ්ඩනයෙන් නිදහස් වූහ. මහ
දඬුවම හෙවත් බ්‍රහ්මදණ්ඩනය පැනවූ පසු ඔහු හික්මවීම සඳහා භික්ෂු
සමාජයෙන් කොන් කෙරේ.
මේ ආකාරයට ගිහියකුට පනවන මහ දඬුවම පත්තනික්කුජ්ජන කර්මය කිරීමය.
ගිහියකුගේ පිණ්ඩපාතය නොපිළිගෙන පාත්‍රය යටි අතට හැරවීමය. වරදක් කළ
ගිහියකු සමඟ ඇසුර අතහැරීම මෙහි අදහස වේ.
මේ ආකාරයට බුදුසමයට අනුව, වරදට දෙන දඬුවමෙන් පුද්ගලයා මැනැවින් හික්මී
උතුම් ඵලයන් ලබා ගැනීම සිදු වේ. එය සෝවාන්, සකදාගාමී, අනාගාමී හා
අර්හත් යන මග ඵල ලබා නිවන් සුවය ලැබීම දක්වා වේ. එය උතුම් හික්මවීමකි.
හසන්ත වාසනා සමරසිංහ |