UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාණදුර මහ පෙරහර 30 වනදා පැවැත්වෙන

පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරය


විහාරස්ථානයට ඇතුළුවන විට පෙනෙන දැකුම්කළු දර්ශනය මෙම විහාරස්ථානයේ තිබෙන ශ්‍රී මහ චෛත්‍යරාජයා

පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයෙහි ආරම්භය රාජ්‍ය වර්ෂ 1818 වශයෙන් සලකනු ලැබේ. එහෙත් එහි ඉතිහාසය ඊට වඩා බොහෝ අතීතයට දිවයන බව පෙනේ. 2001 දී විහාරස්ථානයේ තිබෙන ඉපැරණි බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව බිඳ වැටුණු අවස්ථාවේදී එය පරීක්‍ෂාකල උද්භිද විද්‍යාඥයෝ බෝධින් වහනසේ වසර 600 ක් තරම් පැරණි වෘක්‍ෂයක් බව සනාථ කළහ.

ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය ශ්‍යාමෝපාලි වංශික නිකායේ කෝට්ටේ සංඝ සභාවට අයත් ෂඩ්විධ පාර්ශ්වයන් අතුරෙන් ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශ්වයේ මූලස්ථානයයි. පාණදුර බෞද්ධ පුරවරයේ ඇති ඓතිහාසික මෙන්ම දැකුම්කළු විහාරස්ථානයකි ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය.

ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ බුදු මැදුර

ගල්ගොඩ ශ්‍රී මහා විහාර භූමියට ඇතුල්වන විට
දකින්නට ලැබෙන දර්ශනයකි.

වසර 600 ක් පමණ පැරණි බෝධින් වහන්සේද පෞරාණික ශ්‍රී විෂ්ණු දේවාලයද වසර අසූවක් පමණ පැරණි දර්ශනීය විහාර මන්දිරයද මෑත ඉතිහාසයේ ඉදිකරණ ලද විශාලතම දාගැබ වූ ශ්‍රී මහා විහාර සෑයද බෝධිඝරයද සත්රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත පූජා භූමියද අංග සම්පූර්ණ පුන්‍ය භූමියක් බවට පත්වී ඇත.

මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ පුන්‍ය භූමියක් බවට පත්වූයේ 1924 දී ඉදිකිරීම් ආරම්භ කොට පරම්පරා කිහිපයක් තුළ කඩින්කඩ ඉඳිකිරීම් නතර කර තිබූ ශ්‍රී මහා විහාර මහා සෑයෙහි කටයුතු විහාරාධිපති රත්නපුර පොතුපිටියේ පඤ්ඤාශේඛර හිමියන්ගේ උත්සාහය සහ දායක භවතුන්ගේ කැපවීම නිසාම වැඩ අවසන් කළ ශ්‍රී මහා විහාර මහා සෑය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කිරීමත් සමගය. විශාලතම පිත්තල පහනද මෙම විහාරස්ථානයෙහි අදත් දක්නට ඇත.

එය නිර්මාණය කර ඇත්තේ බොරලැස්ගමුවේ නාහිමියන් විසිනි. පිත්තල එකතු කර විහාරස්ථානයේදීම උණුකර එම පිත්තල පහන 1924 ඔක්තෝබර් මස 12 වැනි දින පාණදුරේ ඇල් .ජේ. ප්‍රනාන්දු යුවලගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට විහාරස්ථානයේ දී ආලෝකමත් කර ඇත.

එම පහන මීටර් 3 ක් (අඩි 10 ක්) උස් වූ අතර බර ක්‍රි.ග්‍රෑම් 544.46 කි. (රාත්තල් 1200 කි) එවකට එහි වටිනාකම රුපියල් 1500 කි. සංඝයා වන්සේලා එක්දහස් හත්සියයකට දවල් දානය පිරිනැමුණ විහාරස්ථානය දැක බලා ගැනීමට පැමිණි අනගාරික ධර්මපාල තුමා බෙහෙවින් ප්‍රසාදයට පත්ව ප්‍රතිමා මන්දිරයෙහි බිම ඇතිරීම සඳහා පිඟන් ගඩොල් පන්සියයක් සහ තිපිටක මුද්‍රණයෙහි පිටපතක්ද විහාරස්ථානයට පූජා කර ඇත.

1993 දී විහාරාධිපතිව වැඩ සිටි රණ්මිණිකේ විමලජෝති මාහිමිපාණන්ගේ මෙහෙයවීමෙන් වසර 72 ක් පැරණි සංඝා වාසය ප්‍රතිසංස්කරණය කෙරිණි.
අපවත්වී වදාළ විහාරාධිපති රයිගම් සල්පිටි දෙකෝරළයෙහි
ප්‍රධාන සංඝ නායක
රන්මිණිකේ  විමලජෝති නා හිමි
විහාරාධිපති
ශ්‍රී සද්ධර්මවාගිශ්වර
ධර්ම විශාරද, විචිත්‍රභාණි
රත්නපුර පොතුපිටියේ
පඤ්ඤාසේකර නාහිමි

වත්මන් විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාශේඛර හිමිපාණන්ගේ සහ සැදැහැවතුන්ගේ ආධාර ඇතිව වත්මන් තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතී. රන්මිණිකේ විමල ජෝති මාහිමිපාණෝ ගලගොඩ ශ්‍රී මහා විහාරාධිපති රයිගම සල්පිටි දොකෝරලයෙහි ප්‍රධාන සංඝනායක පදවියට පත් වූයේ 1984 දීය. 1991 වන විට උන් වහන්සේ විශාල ආගමික සේවාවක් කරමින් වැඩ සිටියහ. ඊට අවුරුදු කිහිපයකට පසුව එනම් 2000 සැප්තැම්බර් තුන්වැනිදා උන්වහන්සේ අපවත් වූ සේක.

විමලජෝති නාහිමියන්ගේ උදාර ජාතික හා ආගමික සේවාවන් කිරීම සඳහා විහාරාධිපති ලෙස පත්වූයේ රත්නපුර පොතුපිටියේ පඤ්ඤාශේඛර හිමිපාණන් වහන්සේය.

යාපනයේ නාගදීප රජමහා විහාරයෙන් ත්‍යාගකල කිරිපලුනුග පැලයද පඤ්ඤාශේඛර හිමිපාණන් විසින් විහාරස්ථානයෙහි රෝපණය කලහ.

විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාශේකර හිමිපාණෝ පාණදුර සර්ව ආගමික පදනමේ සභාපතිවරයා මෙන්ම පාණදුර රෝහල් කමිටුවේද සභාපතිවරයාය. උන්වහන්සේ පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති ලෙස පත්වූවාට පසු සුවිශේෂ ආගමික මෙන්ම සාමජසේවයක් පාණදුර ප්‍රදේශයට ඉටුකර ඇති බව එම විහාරස්ථානයට යන එන ඕනෑම සැදැහැවතෙකුට දැකිය හැකිය. උන්වහන්සේ ආරම්භ කළ ආශිර්වාද අධිෂ්ඨාන පූජාවේ 3500 වැනි විශේෂ අධිෂ්ඨාන පූජාව උදුවප් පොහෝදින පැවැත්වූහ.

මෑතක සිට අවුරුද්ද අවසානයේදි සති පිරිත් දේශනාවක් සහ බෝධි පූජා මාලාවක් පවත්වා රටවැසියන්ට රජයට සහ ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ද සෙත්පැතීම සිදු කෙරේ.

වාර්ෂිකව ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ සංවිධානයෙන් පානදුර මහා පෙරහර දෙසැම්බර් මස 30 වැනිදා රාත්‍රි උඩරට සහ පහතරට නැටුම් සහ අලි ඇතුන්ද සහිතව පැවැත්වේ. මෙම පෙරහර පැවැත්වීමට පෙරාතුව දේවාල පෙරහරද පැවැත්වේ. පානදුර බෞද්ධ නගරයේ පෞරාණික ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය සැදැහැවතුන් විසින් සංවිධානය කර ඇති උදුවප් උදානය පිළිබඳ පින්කම් මාලාව උඳුවප් පොහෝදින විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර ධර්මවිශාරද විචිත්‍රභානි රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවට පානදුර ප්‍රදේශවාසීන් පොලිස් සහ යුද හමුදා නිලධාරීන් සහ කලුතර නියෝජ්‍ය පොලිස්පති ඉ.කරුණාතිලක මහතා පානදුර පොලිස් අධිකාරි එච්.එම්. ධර්මසේන මහතා හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා සහ පානදුර පොලිසියේ නිලධාරීහු ඇතුලු පානදුර ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වූහ. එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දාන ශාලාව සහිත සංඝා වාසය සඟ සතු කිරීම 19 වනදා තෛ‍්‍රනිකායක මහ නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.

මෙම මස 24 වන දා සවස 4 ට එම සංඝා වාසය විවෘත කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බව පානදුර සර්වාගමික පදනමේ සභාපති රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර මාහිමියෝ පැවසූහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බුදුසරණ පුවත්පතේ පිටපතක් ප්‍රදානය කිරීමද එදින එම අවස්ථාවේදී සිදුකෙරේ.

අමරපුර සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි කෝට්ටේ සංඝ සභාවේ අනු නායක ඉත්තෑපාන ධර්මාලංකාර නා හිමි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමි , කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි, ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති රත්නපුර පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නා හිමි හා කෝට්ටේ ශ්‍රී‍්‍ර නාග විහාරාධිපති මාදුලුවාවේ සෝභිත හිමියන් ඇතුලු සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් 24 වනදා ගල්ගොඩ ශ්‍රී මහ විහාරස්ථ සංඝාවාසයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වේ.

දෙසැම්බර් 30 වනදා පානදුර බෞද්ධ මහා පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරෙන්නේ සවස 4 ටය. මෙම අවස්ථාවට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය. අලි ඇතුන් උඩරට සහ පහත රට නැටුම් සහිත මෙම මහා පෙරහර පැවැත්වීමෙන් පසුව දිය කැපීම සිදුවන්නේ පානදුර ගංගාවේදීය. ජනාධිපතිතුමා ප්‍රධාන රජයට සහ ජනතාවට සෙත් පැතිම සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහි කිරීම පසුදින සවස විහාරස්ථානයේ පැවැත්වෙන සර්වාගමික උත්සයකදී සිදුකෙරෙන බැව් පඤ්ඤාසේකර හිමිපාණෝ පැවසූහ. අප රටේ වෙසෙන සියලුම ජාතින් එකම පවුලක සහෝදර සහෝදරියන් ලෙස ජීවත් කරවීමට පෙරහුරුවක් ලෙස මෙම විහාරස්ථානයේ පැවැත්වෙන උඳුවප් දානයේ පරමාර්ථය බව පූජ්‍ය පඤ්ඤාසේකර මාහිමිපාණෝ පැවසූහ.

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]