UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිනිස් සිත් සතන් තුළ සනාතතිකව පවතින මානසික තත්ත්වයක්

බුදුරජාණන් වහන්සේ මෙහිදී සමාජයට පැහැදිලි කරන අදහස සාම්ප්‍රදායික සමාජ චින්තනය ඉක්මවා ගිය කාරණාවකි. මිනිසා හැම අවස්ථාවකම ක්‍රියාත්මක වන්නේ සාම්ප්‍රදායික සමාජ රාමුවෙහි බැසගෙනය. සිතන්නේද කියන්නේද කරන්නේද එපරිදිමය. දහමෙහි එන කරුණු ජීවිතයට ඇතුළත් කර නොගෙනම ඒවා දැනුම පිණිස පමණක් තබාගනී. සිද්ධියක් පැමිණි පසු සාම්ප්‍රදායික රාමුවකින් ඊට පිළිතුරු සොයන්නට වෙහෙස ගනී.

මිනිස් සිත් සතන් තුළ සනාතනිකව පවතින මානසික තත්ත්වයකි. වෛරය, පාලි භාෂාවෙහි මෙය ‘වේර’ යන වචනයෙන් දක්වා තිබේ. තමා පිළිබඳව තම සමීපතමයන් පිළිබඳව ඇතිකර ගන්නා එම ස්වභාවය නිසා මිනිසා අවුලෙන් අවුලට පත්වේ. සාමාන්‍ය මිනිසා කල්පනා කරනු ලබන්නේ තමන්ගේ මනසට ඇතිවන වෛරී අදහස නිවැරදි අදහසක් ලෙසය. එය අනුන් තුළ හටගන්නා විට වැරැදි අදහසක් ලෙසය. මෙසේ වීමට හේතු වන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවය තමන් කරන දෙය නිවැරදි යැයි පෙන්වීමට තර්ක ගොඩනැගීම නිසාය.

තම සිතෙහි ඇතිවන්නා වූ වෛරී ස්වභාවය කලක් ඒ මතයේම සිටින විට එය බද්ධ වෛරයක් බවට පත්වේ. වෛරය සාමාන්‍ය වශයෙන් කෙටිකාලීන එකක් ලෙස දැක්විය හැකි වුවද බද්ධ වෛරය එසේ නොවේ. එය ඇතැම් විට ජීවිත කාලය පුරාම විය හැකිය. ඇතැම් විට සංසාරය පුරා දිවෙන ගැටලුවක් විය හැකි. වෛරයක් ඇතිවන්නේ අන්‍යයා සිතාමතාව තමන්ට අසාධාරණයක් කළායැයි කල්පනා කරන හෙයිනි. ඇතැම් විට තම මනසෙහි පවතින යම් යම් අඩුලුහුඬුකම් නිසාද විවිධ අය සමඟ වෛර බැඳගන්නෝ ද වෙති. වෛරයක් බැෙඳන්නේ කිසියම් හෝ ලෙසක දැන හැඳුනම්කමක් ඇති පුද්ගලයකු සමග වීම වෛරය ඇතිවීමේ විශේෂත්වයකි.

වෛරයට විසඳුම වෛර කිරීම යැයි කල්පනා කරන්නේ ධර්මානුකූල ශික්ෂණයෙන් තොර සාමාන්‍ය ප්‍රජාවයි. ධර්මානුකූ®ල දැනුම් තේරුම් ඇති මිනිසා කල්පනා කරන්නේ වෛරයට විසඳුම එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකින් ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි. එනම් වෛර කරන්නාට ඊට ප්‍රතිවිරුද්ධ සංකල්පය වන මෙත් වැඩීම, මෙත් පැතිරවීමය. වෛරය සමාජය දුකට නැඹුරු කරවන සංකල්පයකි. එය මිනිස් ස්වභාවයක් නොවේ. ඇතැම් මිනිසුන් තුළ ඒ ස්වභාවය පවතින විට පුද්ගලයාටද එම සංකල්පයම අදාළ කතා කිරීම සිරිතය. එනම් වෛරක්කාරයා යනුවෙනි. වෛරයට විසඳුම විය යුත්තේ මෛත්‍රිය දැක්වීමය. එය හුදෙක් වෛරක්කාරයාට මෙත් වැඩීම යැයි වරදවා වටහාගත යුතු නොවේ. වෛරය ද මෛත්‍රීය ද එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාජ සංකල්ප දෙකක් බව වටහා ගත යුතුය. බුදුදහමෙන් මිනිසාට අවබෝධ කරදීමට උත්සාහ කරනු ලබන්නේ ‘වෛරය’ නොදැමුණු මිනිස් ස්වභාවයක් බවය. ‘මෛත්‍රීය’ දැමුණු මිනිසුන්ගේ ස්වභාවයක් බවය. ‘මෛත්‍රියට’ වඩා ‘වෛරය’ ප්‍රබලය. එය රැහැනකි. එසේ රැහැනේ බැඳී එහි ගැලී ඒ තුළින්ම විසඳුම් සොයන මිනිසා සංසාරය පුරා බොහෝ දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.

න හි වේරෙන වේරාණි
සම්මන්තී ධ කුචාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ’

වෛරයට විසඳුම වෛරය නොවේ. වෛරයෙන් වෛරය නතරවීමක් සිදු නොවේ. වෛරයට විසඳුම වෛර නොකිරීමයි. එය ලෝකයේ හැමදාම පවතින ධර්මතාවයකි. මෙම සනාතනික දහම සමාජයට දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේට හේතු වූයේ ‘කාලී’ නමැති යකින්නක් උදෙසාය. වෛරය සාමාන්‍යයෙන් යක්ෂ ස්වභාවයක්ම ගනි කුදු එහි ආරම්භක අවස්ථාව ඇතිවන්නේ මිනිස් මනස තුළය. නොදැමුණු මිනිස් මනස වෛරයම බලාපොරොත්තුවෙන් සමාජයේ හැසිරෙයි. දිනපතා ඔවුන් එකතු කරන්නේ තමාගේ වෛරක්කාරයන් ය. ‘කාලි’ යක්ෂණිය තුළ මෙබඳු වෛරයක් හටගැනීමට හේතු වූයේ එම ආත්මයේ සිද්ධියක් නොවේ. නමුත් යක්ෂණියක් වීම දක්වා ඇයගේ් සංසාර ගමන දික්වූයේ වෛරයේ බරපතලකම නිසාය.

සැවැත්නුවර පෙර ජීවත් වූ එක්තරා තරුණයෙක් පියාගේ ඇවෑමෙන් මවගේ අනුමැතිය ඇතිව විවාහයක් කරගනු ලැබීය. විවාහයෙන් බොහෝ කලක් ගතවුවද ඇයට දරුවන් නො ලැබුණේය. එමනිසා ඇයගේද මවගේද අනුමැතිය ඇතිව එම විවාහකයා වෙනත් බිරිඳක් ගෙදරට කැඳවාගෙන ආවේය. එම කාන්තාවන් දෙදෙනාම පුරුෂයාට සෙනෙහෙබර බිරිඳක්ව සපත්නීන් ලෙස කටයුතු කළෝ ය. කල්ගත වනවිට නව බිරිඳට දරුවකු ලැබීමේ ලකුණු පහළ වනවිට අනෙක් බිරිඳගේ සිතෙහි රෝෂයක් (වෛරයක්) ඇති විය. නමුත් එය ඇය අනෙක් තැනැත්තියට නො ඇඟෙව්වාය. හිතවත්කමද, සුහදත්වයද පෙන්වමින් ඇයට කෑමබීම ආදිය පිළියෙල කර දුන්නාය. හොර රහසින් කුසෙහි වැඩෙන දරුගැබ විනාශවීමට බෙහෙතක් ද පිළියෙල කොට දුන්නාය. දෙදෙනා අතර පවතින සුහදත්වය නිසාම දරුගැබ විනාශ වීම පිළිබඳ අනෙකිය සමග සැක සංකා පහළකර නොගත් අතර දෙවන දරුවාද කුසෙහිදීම විනාශ වී යාම නිසා ඇය පිළිබඳව සැකකොට තෙවැනිවර පිළිසිඳ ගත් දරුවා පිළිබඳ අදහස සඟවා ගත්තීය. කෙමෙන් ගැබ මෝරා යන විට රහස වසන් කළ නොහැකි විය. ඒ අනුව දෙදෙනා අතර බහින්බස් වීමද අනෙක් තැනැත්තිය විසින් සුහදත්වයම පෙන්වා ගෙන ඉදිමින් තෙවැනි වරද දරුවා විනාශ කිරීමට උපායක් යෙදුවාය. ඒ අවස්ථාව වනවිට කුසෙහි දරු ගැබ මෝරා තිබූ නිසා ඒ බෙහෙතින් කුසෙහි මෝරා වැඩෙමින් සිටින දරුවාද මවද මිය ගියෝය. මියයන අවස්ථාවේ ඇය අනෙකියට වෛර කළාය. මගේ දරුවන් තිදෙනෙක්ම නැසීමේ පළිය කෙසේ හෝ ගන්නවාය යැයි සිතුවාය. ඒ වෛරයෙන්ම මරණයට පත් විය. දෙදෙනා අතර සුහදකම නිසා පසුව හටගත් නොමනාපය වෛරයක් වී පසුව බද්ධ වෛරයක් බවට පත්වූවාය. සංසාරය පුරා වෛරය ඇදී ගියේය. වෛරයෙන් වෛරය දිගින් දිගටම ඇදී ගියා මිස නතර වීමක් සිදුවූයේම නැත. ‘කාලී’ යක්ෂණිය ලෙස බුද්ධ කාලයේ උපත ලබා අනිකියගේ දරුවන් කෑමට පුරුදු වූයේ මේ සංසාර පුරුද්ද නිසාය. සසර පුරුදු සුබවාදී ලෙසට ඉටුනොවන අවස්ථා පවතින බව මින් පෙනේ. සමාජයේ කිසිදු හේතු සාධක විරහිතව මිනිසුන් අතර ඇතිවන බරපතල ගැටුම්වලට හේතු සාධක සංසාරික හේතු ලෙස අර්ථ විග්‍රහ කළහැකි වන්නේ මෙබඳු කරුණු පදනම් කරගෙනය.

මේ කතාවෙන් හෙළිවන තවත් කරුණක් ලෙස ගැබ් හෙළීම දැක්විය හැකිය. සමාජයේ මිනිස් කැමැත්තෙන් සහ අකමැත්තෙන් කිසියම් හෝ ලෙසක පැවතී තිබෙන බව මින් පෙනේ. බුදුදහමෙහි දක්වන්නේ කුසෙහි වෙසෙන දරුවා පිළිසිඳ ගැනීමක් වුවද කෙනෙක් විනාශ කරනු ලබයි නම් හෝ එය අනුමත කරයි නම් හෝ එයට අනුබල දෙන්නේ නම් හෝ එය ප්‍රාණඝාත අකුසලයක් බවයි. එය බරපතල විපාක ලැබීමට හේතුවන අකුසලයකි. බුදුරජාණන් වහන්සේ මෙම කරුණ අරබයා දේශනා කරනු ලැබුයේ ගැබ් හෙළීමේ පාපය සම්බන්ධ විපාකය පිළිබඳව නොවේ. මේ සිද්ධියට මූලකාරණා සැකසෙන්නේ එනිසාම නොවේ. එය අතුරු ඵලයකි. මූල හේතුව වන්නේ කාන්තාවකගේ සිතෙහි අනෙක් තැනැත්තිය පිළිබඳව හටගත් නො මනාපයයි. එයට හේතු වූයේද තමාට නොලැබුණු දෙයක් අනෙක් තැනැත්තියට ලැබීම නිසා ගෘහය තුළ ඇයට තමාට වඩා වැඩි වරප්‍රසාද ලැබේවිය යන අනුමාන සිතිවිල්ලයි. එම නරක සිතිවිල්ල විසින් ඇය වරදකට පොළඹවනු ලැබුයේ ඇයගේ නොදැමුණු මනසයි. ඇය එම නොමනාපය පිටකරනු ලැබුයේ බරපතල වරදක් සිදුකිරීමෙනි. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කල්පනා කරන්නේ තමාට වරදක් කිරීමට වඩා තම දරුවන්ට වරදක් කිරීම බරපතල සිද්ධියක් ලෙසය. මෙහිදී සිදුවන්නේ ඊටත් වඩා බරපතල දෙයකි. එනම් මෙළොව එළිය දැකීමට සිටින දරුවෙකුට හිතාමතාම එම අවස්ථාව අහිමි කිරීමය. එනිසා එම අම්මා තුළ ඇතිවුන වෛරය සාධාරණ එකක් ලෙස කෙනෙකුට කල්පනා විය හැකිය. නමුත් බුදුදහම දක්වන්නේ වරද වරද ලෙස මිස සාධාරණ වැරැදි ලෙස නොවේ. කෙනෙකු වරදක් කළ පසු එබඳු වරදක් තමාද කිරීම නොදැමුණු සාමාන්‍ය සමාජයේ සිරිත වුවද බුදුදහම මිනිසාට අවවාද කරනු ලබන්නේ සුළු වරදක් වුව පුද්ගලයකුට හෝ සමාජයට එරෙහිව නොකළ යුතු බවය. කෙනෙක් පුද්ගලයකුට එරෙහිව කරන වරදට වඩා පොදු සමාජයට එරෙහිව කරන වරද බරපතලය. නීතියෙහි වුවද සලකන්නේ එපරිදිය. ඒ අනුව නීතිය පිළිගන්නේ පළමු වරද සිවිල් වරදක් හැටියටය. එයට දඬුවම් කරනු ලබන්නේ ද සිවිල් නීතිය යටතේය. දෙවැනි වරද අපරාධයක් ලෙස එයට දඬුවම් කරන්නේ අපරාධ නීතිය යටතේ්ය. මේ සිද්ධියෙහි එන කාන්තාව කළ වරද වරද ඉක්මවා අපරාධය දක්වා වැඩුණු එකක් වශයෙන් කල්පනා කළ හැකිය. බුදු දහමෙහි දක්වන්නේ අපරාධයටත් එහා ගිය මානසික නොමනාපය (බද්ධ වෛරය) බරපතල බවය.

බුදුරජාණන් වහන්සේ මෙහිදී සමාජයට පැහැදිලි කරන අදහස සාම්ප්‍රදායික සමාජ චින්තනය ඉක්මවා ගිය කාරණාවකි. මිනිසා හැම අවස්ථාවකම ක්‍රියාත්මක වන්නේ සාම්ප්‍රදායික සමාජ රාමුවෙහි බැසගෙනය. සිතන්නේද කියන්නේද කරන්නේද එපරිදිමය. දහමෙහි එන කරුණු ජීවිතයට ඇතුළත් කර නොගෙනම ඒවා දැනුම පිණිස පමණක් තබාගනී. සිද්ධියක් පැමිණි පසු සාම්ප්‍රදායික රාමුවකින් ඊට පිළිතුරු සොයන්නට වෙහෙස ගනී. ඈත අතීතයේ සිදුවූ මෙම දේශනාවට පසුබිම වූ සිද්ධිය තුළද පසුබිම එපරිදිය. තවද ජීවත් වූ මිනිසා තමා පිළිබඳව සිතන විට ‘මං නිවැරදි මම කළ වැඩේ හරි ඒ දේ නොකළානම් ඒ වෙලාවේ වෙන කළ හැකි දෙයක් තිබුණේ නැහැ’ ආදි වශයෙන් සිතති. මේ නිසාම බණ දහමේ කරුණු නිවැරැදිව දැන උගෙන සිටියත් ක්‍රියාත්මක වීම අතින් තරමක අඩුබවක් දක්නට ලැබේ. බුදුදහමෙහි උගන්වනු ලබන්නේ සිතා විමසා කටයුතු කළ යුතු බවය. සාමාන්‍ය මිනිසා එබදු දෙය පිළිබඳ හිතන්නේ එය තමාගේ පරාජයක් ලෙසය. නමුත් ක්‍ෂණයක ලැබෙන ජයග්‍රහණයට වඩා සිතා විමසා කටයුතු කරන්නේ දීර්ඝ කාලීන බොහෝ ජයග්‍රහාණ ලබයි. මෙය සමාජයට කියාදීමට කාලි යක්ෂණිය සිද්ධිය හොඳ නිදසුනක් බව පෙනේ.

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]