UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 “විශාල බෞද්ධ ප්‍රබෝධයක්දැන් තිබෙන බව පැහැදිලියි”

යටත් විජිත යුගයෙන් නිදහස ලැබීමෙන් පසු මෙරට බෞද්ධ ප්‍රබෝධයට නව පණක් ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. බෞද්ධ හා හින්දු දහම අදහන රටවල සඳ පිරුණු දිනය පසළොස්වක වශයෙන් හා සඳ නොමැති දිනය අමාවක වශයෙනුත් හැඳින්වුණා.

ඒ වගේම පුර පක්ෂයේ අටවක හා අව පක්ෂයේ අටවක නමින් තව දින දෙකක් සමඟ දින හතරක් තම විවේක දිනයන් ලෙස යොදා ගන්නට මේ පිරිස් හුරු පුරුදු වී සිටියා.

මේ තත්ත්වයට නීතිමය අයිතියක් ලබා ගැනීමට එවකට සිටි පැවිදි ගිහි පිරිස් උත්සාහ කළා. ඒ අනුව ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ කාලයේදී පෝය දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනය බවට පත් වුණා. නමුත් එහිදී යම් ගැටලු මතු වුණා. එක් සතියක නිවාඩු දිනය සඳුදා වන්නට පුළුවන්. තවත් සතියක බදාදා වන්නට පුළුවන්. මේ වගේ නිශ්චිත දිනයකට නිවාඩු දිනය යොදා ගැනීමට නොහැකි වුණා.

ලෝකයත් එක්ක අපේ ඇතිවුණු අන්තර්ජාතික සම්බන්ධතා නිසා අපට පොහෝ දින මාසයේ නිවාඩු දින ලෙසින් තබා ගැනීමට නොහැකි වුණා. එම නිසා යළිත් ඉරිදා දිනයම සති අන්ත නිවාඩු දිනය බවට පත්වුණා.

කොහොම වුණත් පිරුණු සඳ ඇති පසළොස්වක පොහෝ දිනය විශේෂිත නිවාඩු දිනයක් බවට පත්වුණා.

පසළොස්වක පොහෝ දිනය කියන්නේ සිල් ගන්න තියෙන දවසක්ම නෙමෙයි. බොහෝ දෙනාගේ වැරැදි මතයක් තියෙනවා පසළොස්වක පෝය දවස සිල් ගන්න තියෙන දවසක් කියල.

එදාට සිල් සමාදන් වෙන්න පුළුවන් අය සිල් සමාදන් වෙනව. වැඩිහිටියන් බලන්න යාම තම මව්පියන්ගේ විශේෂ ඇප උපස්ථාන කටයුතු සොයා බැලීම ගෙදර දොර වැඩ කටයුතුවලින් නිදහස් වෙලා විවේකීව ගත කිරීම තම අසල්වැසියන් සමඟ කතාබහ කිරීම වැනි කාර්යයන් පවා එම දිනයට යොදා ගෙන තිබුණා.

කොහොම වුණත් පසළොස්වක පෝය දවසෙ සවස පන්සලේ බෝධි පූජාවට යන්න නම් එදා ජනතාව අමතක කළේ නැහැ. සමහරවිට පැවිදි ගිහි සාකච්ඡා පවා එදාට යොදාගන්න ඇති.

අතීතයේ ඉඳල අපේ රටේ හොඳ බෞද්ධ ප්‍රබෝධයක් තිබුණ. ඒ ප්‍රබෝධය 1885 වසර දක්වාම දිව යනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවෝ, රත්මලානේ ධර්මාලෝක නායක හාමුදුරුවෝ රත්මලානේ ධර්මාරාම නායක හාමුදුරුවෝ වගේම එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, අනගාරික ධර්මපාලතුමා වැනි විරුවන් එදා විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වුණා.

පෝය දවසකටවත් පන්සලකට නොයන තත්ත්වයක් තමයි කාලාන්තරයක් තිස්සේ තිබුණෙ. පන්සලට යන එක ලැජ්ජා සහගත තත්ත්වයක් ලෙසයි සමහරුන්ගේ මතය වුණේ. 80 දශකය විතර වෙනකල්ම ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ.

අද තියෙන ප්‍රබෝධය ඇතිවුණේ අවුරුදු 10 කට 15 කට විතර කලින්. බෞද්ධ ප්‍රබෝධය මේ තරම් කාලයක් වැඩි දියුණු වෙමින් පැවතුණේ දහම් පාසල් අධ්‍යාපනය නිසයි.

අතීතයේ ඉහල දහම් පාසල් දරුවන්ට සද්ධර්ම චන්ද්‍රිකාව, බුද්ධ චරිතය වගේ පොත්වලින් දැනුම ලබා දුන්නා.

බණ්ඩාරනායක මහත්තයා දහම් පාසල් අධ්‍යාපනය දියුණු කරන්න පණ දුන්නා. ශාසනාරක්ෂක මණ්ඩල ආරම්භ වුණා. ලේඛකාධිකාරි හිමිවරුන් පත් කරලා වැඩ කටයුතු බාර කළා.

විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් සරසවි බවට පත් කරපු නිසා විශාල හිමිවරුන් සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව ලැබුණා. එයත් විශාල හේතුවක් වුණා මෙරට බෞද්ධ ප්‍රබෝධයේ වර්ධනයක් ඇතිවීමට. මේකට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන්. වසර 15 කට විතර කලින් තිස්සමහාරාමයේ බණ කියන්න ගියහම 300 ක් 400 ක් විතර පිරිසක් හිටියෙ. දැන් 75,000 ක් විතර පිරිසක් විහාරස්ථානයට එනවා. විහාර මළුව, අවට පිට්ටනි හැම තැනක්ම අතුරු සිදුරු නැතිව පිරිලා.

කොයි පළාතක බණකට වැඩියත් දැන් විශාල පිරිසක් බණ අහන්න එනවා. ධර්මයට ලැදි පිරිස වැඩියි. අපේ රටේ ලොකු බෞද්ධ ප්‍රබෝධයක් දැන් තියෙන බව කාටත් පැහැදිලියි. මේ ප්‍රබෝධයට මූලික පාදක වැටුණේ දහම් පාසලෙන් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

පන්සල්වල අමුතුම ප්‍රබෝධයක් ඇති වෙලා සම්බුද්ධත්ව ජයන්තිය නිසාම නෙමෙයි, මේ ප්‍රබෝධය වසර කිහිපයක සිටම ඇති වූවක්. අපේ මේ බෞද්ධ ප්‍රබෝධයේ උන්නතියට හේතුවන දහම් පාසල් පැවැත්වීමට අද විශාලතම තර්ජනයක් වී ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති හෙවත් ටියුෂන් පන්තියි. පිටරටවල නම් මේ වගේ ටියුෂන් වසංගතයක් නැහැ. ඒ රටවල උපකාරක පන්ති පවත්වනව කියන්නෙ ගුරුවරුන්ට ලජ්ජාවක්. ගුරුවරු තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නො කරන බවට සංකේතයක් ලෙසයි ටියුෂන් පැවැත්වීම විදෙස් රටවල සලකනු ලබන්නේ.

පාසලේදී නිසි ලෙස උගන්වන්නේ නැතිව බාහිර උපකාරක පන්ති මුදල් අය කරගෙන වෙනමම පැවැත්වීම විශාල මදිකමක් ලෙසයි සලකන්නේ. ඒත් අපේ රටේ ටියුෂන් පැවැත්වීම අද මෝස්තරයක් වෙලා. මේ ටියුෂන් නිසා අද සදාචාරය සමාජයෙන් දුරස් වෙලා. දරුවන්ගේ ගුණ දහම් ඈත් වෙන්න පටන් අරන්.

මේ නිසා දහම් පාසල් අධ්‍යාපනයට දරුවන් යොමු කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යවන කාලයක් දැන් ඇතිවෙලා.

උපකාරක පන්ති පැවැත්වීමත් අද තරගකාරී අධ්‍යාපන රටාව අනුව අවශ්‍යයි. ඒත් ඉරිදා උදය වරුවේ දහම් පාසල් අධ්‍යාපනයට බාධාවන අයුරින් හා පසළොස්වක පොහෝ දින ටියුෂන් පන්ති පැවැත්වීම නතර කිරීමට කටයුතු කළ යුතුයි. ටියුෂන් නැවැත්වීමට දේශනා කරල වැඩක් නැහැ. අවබෝධ කරල දෙන්න ඕන.

ඉරිදා දවල් 12.00 පමණ වනතුරු දහම් පාසලට සම්බන්ධ වෙලා ආගමික අංශයට නැඹුරුවෙලා සිත සන්සුන් කරගෙන ඉන්න ඉරිදා උදය වරුව වෙන් කරන්නම ඕන. ඇත්තෙන්ම මනසට විවේකයක් දෙන්නයි ඕන.

Day Care ) දවල්ට ගෙදර ගිහින් හුළං පොදක් වදින්නෙ නැතුව මේ දරුවො ඉන්නෙ.

ඒ අයගෙ මනසේ වැඩ කරන්නෙ ඉවසීම, කරුණාව, මෛත්‍රිය නෙමෙයි. පොඩි දේටත් කේන්ති යනවා. පාසල් නිමාවෙලා ගෙදර යන දරුවොත් යන්නෙ කොහොමද ? දවල් වරුවෙ අව්වෙ කරවෙලා පෝරණුවක් වගේ තියෙන පොඩි වාහනයක දරුවො කී දෙනෙක් පටව ගන්නවද ? 15 ක් විතර යන්න පුළුවන් වාහනයක 25 ක් 30 ක් විතර පටවගෙන අතුරු පාරවල් දිගේ ගිහින් වාහනයක ගෙදර යන ළමයි ගොඩක් මහන්සියෙන් ඉන්නෙ. මේ දරුවන්ට ඇතැම්විට ලෙඩ රෝග වැඩියි. ශරීරය වැඩෙන්නෙ නෑ. පොතක් පතක් බලන්න වෙලාවක් නෑ. අද ඇතැම් පොඩි දරුවන්ටත් දියවැඩියාව.

ඇයි ඉතින් ව්‍යායාම නැහැ. මනස නිරවුල් නැහැ. මේ දරුවන්ගෙන් සුබ අනාගතයක් බලාපොරොත්තු වන්න බැහැ. ඒ නිසයි අඩුම ගානෙ මානසික සහනයක්වත් දරුවන්ට ලැබෙන්න ඉරිදා උදේ වරුව දහම් පාසලට වෙන් කරන්න ඕන. අධ්‍යාපනය දරුවන්ට අත්‍යවශ්‍යයි. දරුවන්ට උපකාරක පන්තිත් ඕන. ඒත් ඉරිදට දහම් පාසලට ගිහින් දරුවගේ හිතට දැනෙන මානසික සංවරය, වාචසික සංවරය, කායික සංවරය වෙන කොහෙන්වත් දෙන්න බැහැ. වැඩිහිටියන්ට ගරු කරන ත්‍යාගශීලී මෛත්‍රිය වඩන ගුණගරුක දරුවෙක් බිහි කරන්න පුළුවන් දහම් පාසලෙන් විතරයි.

බෝධීන් වහන්සේ ළඟ චෛත්‍යය මළුවෙ සංවරයෙන් ගත කරන ළමයි අනාගතයේ බුද්ධිමත් දරුවන් ලෙස සමාජයට එනවා.

බුද්ධිමතෙක් බිහි කරන්න පුළුවන් ගුණධර්ම වැඩීමෙන් විතරයි. අද ලෝකයේ උගතුන් විශාල ලෙසින් බිහිවෙනවා. නමුත් බුද්ධිමතුන් අඩුයි. විශේෂයෙන්ම “නිපකෝච” නැත්නම් තැනට ඔබින නුවණ නැහැ. ගතයුතු තීරණය දන්නෙ නෑ. කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියල දන්නෙ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා දමනය කිරීම. ආලවකයා බුදුහාමුදුරුවන් තමන්ගේ ආසනයෙහි ඉන්නව දැකල පුදුම තරහකින් හිටියෙ. බුදු හාමුදුරුවො තමන්ගෙ ඉවසීමටත් වඩා එතනදි පාවිච්චි කළේ තැනට ඔබින නුවණ ආලවකයාගේ අණට කීකරු වුණා. රටේ රජතුමාගෙ ඉඳල සියලු දෙනාම දණ නමස්කාර කරන තැනැත්තා තමන්ගේ අණසකට කීකරු වෙච්ච එකට ආලවකයාට පුදුම හිතුණ. බුදුහාමුදුරුවන්ට තිබුණ ආලවක සෘද්ධියෙන් දමනය කරන්න. එහෙම දමනය කරත් ආලවකයාගේ හිත හදන්න පුළුවන්කමක් නැහැ.ඒ වගේ දරුවන්ටත් ඉරිදටවත් උදේ වරුවෙ මානසික සංවරයක් ඇති කරල ගුණ ධර්ම වඩවල සහනශීලී පුද්ගලයෙක් ලෙස සමාජයට යොමු කරන්න ඕන. සාරාංශයක් හැටියට ඉරිද දවස අනෙක් සියලු වැඩ කටයුතුවලින් වෙන් වෙච්ච දවසක් වෙන්න ඕන. මළ පොතේ අකුරක් බැරිව කෝටිපතියො වෙච්ච අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ බුද්ධිමත්කම නිසයි. නමුත් උගතුන් වෙලා අම්මට තාත්තටවත් සලකන්නෙ නැති අය කොච්චර ඉන්නවද ? සමාජයට ඒ වගේ පුද්ගලයන්ගෙන් ලැබෙන්නේ වැරැදි ආදර්ශයක්.

මේ නිසා ඉරිදා උදය වරුවේ දරුවන් ආගමික ස්ථාන කරා යොමු කරවන්න වැඩ පිළිවෙළක් ඕන. බෞද්ධ දරුවො විතරක් නෙමෙයි සියලුම ආගම්වල දරුවො ආගමික ස්ථානවලට යොමු කිරීමෙන් සමාජයේ විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්. මේ තත්ත්වය අපි හැමෝම අවබෝධ කර ගන්න ඕන. ඒ තත්ත්වය අවබෝධ කරගෙන ඉරිදා දිනයත් පෝය දිනයත් දරු දැරියන්ගේ මනසට විවේකයක් ලබා දෙන්න ඔවුන්ගේ දිවිය නිසි මඟට යොමු කරන්න කටයුතු කරන්න ඕන.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]