වප් අමාවක 2011.10.26
භාෂා සම්ප්‍රදායට ගැළැපීම
මානව සංහතිය නිපද වූ මහා දැනුම් සම්භාරයේ සාඩම්බර උරුමකරුවන්
වීම සඳහා අපට ලැබුණු වරම භාෂාව යනුවෙන් හැඳින් වේ. මෙයට සියවස්
විසිහයකට පෙර සිදුහත් කුමරු අපමණ වෙහෙස විඳ අවබෝධ කොට ගත් දහම
අපට උරුම වූයේ ද භාෂාව නමැති මේ වරම නිසා ම ය. අප ගේ මව්
භාෂාවට හිමි තැන, මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් ලියන
ලද ‘සිංහල භාෂා පරිණාමය’ නමැති ලිපියෙහි (1956 දී) මෙ සේ
විස්තර කැර තිබේ.
‘සිංහල භාෂාව වනාහී ඉන්දු – ආර්ය භාෂා ගණයට අයත් වූවක් ලෙස
දැන් සාමාන්‍ය වශයෙන් සැලකේ. එය වනාහී මනුෂ්‍ය සංහතිය පිළිබඳ
ඉතිහාසයේ අවුරුදු හාරදහසක් පමණ වූ කාල පරිච්ඡේදයක් මුළුල්ලෙහි
අධ්‍යාත්මික උන්නතියේ හා බුද්ධිවර්ධනයේත් ඉතා උස් මුදුනට ම
පැමිණ සිටි මිනිසුන් ගේ පාණ්ඩිත්‍යය මෙන් ම චින්තාවන් ද රකින
මහඟු කරඬු වැනි වෛදික භාෂාවෙන් පැවතෙන ලෝකයෙහි ඉතා විශාල
කොටසක් අත්පත් කර ගෙන වසන, ආර්ය වර්ගයාගේ භාෂාවන්ට නෑ සබඳකම්
ඇත්තකි. මෙසේ හෙයින්, අපේ භාෂාව වනාහි උතුරු දඹදිව වහරෙහි
පැවතෙන හින්දි, බෙංගාලි, මරාඨි ආදී භාෂාවන් ගේ සහෝදරියක ලෙස
ගැණේ.’
එ සේ වුව ද භාෂාව එක තැන රඳා පවතින්නක් නො වේ. භාෂාවේ එම
වෙනස්වීම, ලක්දිව නූතන වාග් විද්‍යාවේ ආදි කර්තෘ ලෙස සැලැකෙන
මහාචාර්ය සුගතපාල ද සිල්වා විස්තර කැර ඇති අයුරු දැන් බලමු.
‘කථා කිරීමේ භාෂාව පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙමින්
වැඩෙනවා. ඒ වැඩීමේ දී කලින් තිබුණු ක්‍රමය මොකක්ද කියා බලන්න
විදියක් නැහැ. කලින් තිබුණු ක්‍රමය තමයි, කලින් මිනිස්සු කථා
කරපු ක්‍රමය. නමුත් ඒක කටකතාව පමණක් නිසා ඒක ඒ මිනිස්සුත් එක්ක
ම නැති වෙනවා. එම නිසා කලින් තිබුණු ක්‍රමය බලාගන දැන් පවතිනා
ක්‍රමය හැඩ ගැස්වීමට යත්න දැරීමත්, කථා කිරීම විෂයේ දී කරන්න
පුළුවන් කමක් නැහැ. ලිවීමේ දී එහෙම නෙවි. භාෂාව වෙනස් උනේ වී
නමුත් කලින් අවධියේ ලියවිලි බලාගන වර්තමාන ලියවිලිවල යෙදිය
යුතු භාෂාසම්ප්‍රදාය සකස් කිරීමට කෙනකුට ඉඩ තියෙනවා. මේ අවකාශය
නිසා තමයි, වැඩියෙමත් ලිවීමේ භාෂාවෙ විකාශනය වේගවත්ව නො
වන්නෙ.’ (භාෂා විෂයක ලිපි - 1972 )
මේ අනුව බලන කල සිංහල භාෂාවේ විකාශනය පිළිබඳ ව මෙන් ම වර්තමාන
භාෂා සම්ප්‍රදාය සකස් කැර ගැනීම පිණිස ද හැදෑරීම සඳහා අපට ඇති
ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
හැඳින්වීමට පුළුවන. කුරුණෑගල සාහිත්‍ය යුගයේ දී වීරසිංහ
ප්‍රතිරාජ නමැති ඇමැතිවරයා විසින් සිංහලට පරිවර්තනය කරන ලද
ජාතක පොත් වහන්සේ, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් හා
උන්වහන්සේ ගේ ශිෂ්‍ය ජනානන්ද හිමියන් ගේ සංස්කරණයෙන් පළමු වරට
මුද්‍රණය කැරැ තිබේ. දෙවන වරට වල්පොල චේතියාරාම විහාරවාසී
රතනසාර තිස්ස හිමියන් විසින් ද (1903 දී) තෙවන වරට සිංහලසමය
යන්ත්‍රාලය මඟින් ද, හතරවන වරට 1955 දී ජිනාරලංකාර
යන්ත්‍රාලයෙහි ද මුද්‍රණය කළ බව සඳහන් ය. ඉන්පසු ජාතක පොත්
වහන්සේ මුද්‍රණය කිරීම කිහිප අවස්ථාවක දී සිදු වූ නමුදු
වර්තමාන භාෂා සම්ප්‍රදායට හොඳින් ගැළැපෙන අයුරින් සකස් කළ බවක්
නො පෙනේ. 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන සරල
බසට නඟා ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන සමාගම විසින් පළ කරන
ලද පන්සිය පනස් ජාතක පොත අපට වැදගත් වන්නේ මේ නිසා ය. මෙහි ඇති
වැදගත්කම තේරුම් ගැනීම සඳහා ඇම්.ඒ. අලහප්පෙරුම විසින් 1955 දී
පළ කළ ජාතක පොත් වහන්සේ සමඟ සසඳා බැලීම පිණිස අපණ්ණක ජාතකයේ
ආරම්භක ඡේදය මෙ සේ උපුටා දක්වමු.
‘ශාක්‍ය කුලතිලක වූ පරදුක්ඛ දුක්ඛිත වූ කරුණානිධාන වූ අසරණ සරණ
වූ සමත්තභද්‍ර වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මේ
භද්‍ර කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් යට සාරමණ්ඩ නම්
කල්පයෙහි තණ්හංකරය, මෙධංකරය, සරණංකරය යි තුන් බුදුකෙනෙකුන්
වහන්සේට ඉක්බිතිව උපන් තුන්ලොවට ඛෙමංකර වූ මොහඳුරට දිවාකර වූ
මුළු සත්නට ශාන්තිකර වූ පින්වත්නට සිවංකර වූ මරසෙනඟට භයංකර වූ
දිපංකර නම් වූ සර්වඥයන් වහන්සේ බුදුව සියලු සත්ත්වයන්
අමාමහනිවන් දක්වමින් සුදසුන් විහාරයෙහි වාසය කරන සමයෙහි
රඹගම්නුවරවාසී මනුෂ්‍යයෝ සර්වඥයන් ප්‍රධාන කොට භික්‍ෂුසංඝයා
වහන්සේ පවරා සර්වඥයන් වඩනා මාර්ගය සරහන්නට වන්හ.’
සරල බසට නඟා ඇති එහි ආරම්භය මෙ පරිදි ය.
‘භාග්‍යවත් වූ තිලෝගුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවන
මහාවිහාරයෙහි දිව්‍ය, බ්‍රහ්ම, ආර්ය යන ඉරියවු නම් වූ විසීම්
අතුරින් එක්තරා, විසීමෙකින් කල්ගෙවන කල්හි අනේපිඬු මහසිටාණන්ගේ
යහළුවන් වූ අන්‍යාගමික ශ්‍රාවකයන් පන්සියයක් දෙනා අරබයා මේ
අපණ්ණක ජාතක ධර්ම දේශනාව කළ සේක.’
මෙ සේ පන්සිය පනස් ජාතක පොත සරල බසට නැඟීම සඳහා දායක වූ
ප්‍රධාන සංස්කාරක සිරි තිලකසිරි වියතාණන් ඇතුළු සියලු දෙනාට අප
ගේ ප්‍රණාමය පුදනු පිණිස මේ සටහන තැබූවෙමු. |