ජය සිරි මා බෝ සෙවණේ වැඩුණු
බොදු සංස්කෘතිය
හෙම්මාතගම
හේමමාලි නිලාන්ගනි කරුණාරත්න
ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට
වැඩම කරවන අවස්ථාවේදී
ඒ සමග ඉන්දියානු සංස්කෘතියේ
විවිධ ලක්‍ෂණ මතු කරන්නාවූ ශිල්ප
ශ්‍රේණිවලට අයත් පිරිස් ද පැමිණි බව
මූලාශ්‍ර වලින් හෙළි වේ. මේ පිරිස්
සිංහල සංස්කෘතියට බද්ධ වීමෙන්
නව සංස්කෘතික වටපිටාවක්
ලක්දිව ගොඩ නැඟුණි
බුදු දහම මෙරටට හඳුන්වා දෙන අවධිය වන විට මෙරට වැසියන් විවිධ ඇදහිලිවලට
පුරුදු පුහුණු වී සිටිය බව නොරහසකි. වෘක්ෂ වන්දනාව යනු ඒ අතර ජනපි‍්‍රය
වූ ආගමික සම්ප්‍රදායකි. එකල ලක්වැසියන් අතර පූජනීයත්වයට පත්වූ වෘක්ෂ
දෙකක් ලෙස නුග රුකත් තල් රුකත් පෙන්වා දිය හැකිය. ශ්‍රී මහා බෝධින්
වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමෙන්, එතෙක් නොවිධිමත් වෘක්ෂ
වන්දනාවක නියැළි ලක් ජනතාවට නිවැරැදි අරමුණකින් සිය පුද පූජාවන්
පැවැත්වීමට හැකියාව ලැබිණි. බුදු දහම අගය කොට සැලකුවේ ආමිස පූජාවට වඩා
ප්‍රතිපත්ති පූජාව වුවද බෞද්ධාගම ජනතාව අතර ජනපි‍්‍රය කරවීමටත් සිත්
සතන් තුළ බොදු බැතිය ජනිත කරලීමටත් ආමිස පූජාව අත්‍යවශ්‍ය බව මිහිඳු
මහරහතන් වහන්සේ කල්පනා කරන්නට ඇත. ඒ නිසාම ශ්‍රී මහා බෝධි ශාඛාව පමණක්
නොව බුදුන් වහන්සේ ගේ ගී‍්‍රවා ධාතුවත්, පාත්‍ර ධාතුවත් ලක්දිවට වැඩම
වීමට උන්වහන්සේ කටයුතු කළහ. සෙසු පූජා වස්තුන්ට සේම ශ්‍රී‍්‍ර මහා
බෝධින් වහන්සේට ලක්වැසි ජනතාවගේ සිත් තුළ ප්‍රධාන තැනක් හිමිවිය. බුදු
පිළිම ස්ථූප , මෙන්ම බෞද්ධයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වූ පූජනීය වස්තුව
වූයේ බෝධියයි. එදා මෙදා තුර ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ මූලික කරගෙන
බිහිවුණු නව සමාජ පෙරැළිය විවිධ අංශ යටතේ සාකච්ඡා කළ හැකිය.
ශ්‍රී මහා බෝධිය ඇසුරෙන් සකස් වුණු මෙම නව සමාජ රටාව “බෝධි සංස්කෘතිය”
ලෙස හැඳීන්වේ. මෙම බෝධි සංස්කෘතියේ බලපෑම සිරිත් විරිත් පුද පූජා,
ආකල්ප, භාෂාව සහ සාහිත්‍ය මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය ආදිය වෙතද පුද්ගල
නාම සහ ස්ථාන නාම වෙතද විහිදී ඇති ආකාරය මූලාශ්‍ර ග්‍රන්ථ අධ්‍යයනය
තුළින් පැහැදිලි වේ.
ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවන අවස්ථාවේදී ඒ සමග ඉන්දියානු
සංස්කෘතියේ විවිධ ලක්‍ෂණ මතු කරන්නාවූ ශිල්ප ශ්‍රේණිවලට අයත් පිරිස් ද
පැමිණි බව මූලාශ්‍ර වලින් හෙළි වේ. මේ පිරිස් සිංහල සංස්කෘතියට බද්ධ
වීමෙන් නව සංස්කෘතික වටපිටාවක් ලක්දිව ගොඩ නැඟුණි. මෙසේ පැමිණි සොළොස්
කුලයන්ට අයත් පිරිස සිංහල සංස්කෘතිය හා මිශ්‍ර වූ ආකාරය පිළිබඳ විමසා
බැලීමද මෙහි ලා වැදගත් වේ. සිංහල බෝධිවංශයේ සඳහන් වන තොරතුරුවලට අනුව
බෝධින් වහන්සේ වැඩමවන විට දඹදිව සිට පැමිණි රජ කුමාරවරුන් අට දෙනා හට
දේවානම්පියතිස්ස මහ රජු විවිධ තනතුරු ප්‍රදානය කොට ඇත. මේ සියලු තනතුරු
ශ්‍රී මහා බෝධින් වහන්සේ ආශි‍්‍රතව සිදු කරන ලදී. සිංහල බෝධි වංශයේ
සඳහන් එම තනතුරු සහ කාර්යයන් මෙසේය.
1. බෝධි ගුත්ත කුමාරයා - ජය ශ්‍රී මහා බෝධි පෙරහර කටයුතු භාර ලේකම්
2. සුමිත්ත කුමාරයා – මහ බෝධින් වහන්සේට පෙරහර පැවැත්වීම
3. චන්ද්‍ර ගුප්ත කුමාරයා – මහ බෝ මගුලෙහි රන් බෙර වැයීම
4. දේව ගුත්ත කුමාරයා – මහ බෝධි මූලයට ඉසින පිරිත් පැන් පිරවූ රන්
කෙණ්ඩිය මඟුªල් ඇතුපිට තබා නුවර පැදකුණු කොට ගෙන ඒම
5. ධර්ම ගුප්ත කුමාරයා - මහ බෝ මඟුල්හි සක් පිඹීම
6. සූරිය ගුත්ත කුමාරයා – මහ බෝ මගුලෙහි රන් කෙණ්ඩියෙන් පැන් ඉසීම
7. ගෝතම කුමාරයා – මහ බෝ මුදුනට ධවලඡත්‍රය දැරීම
8. ජුතින්ධර කුමාරයා – මහ බෝ මඟුලෙහි ආරක්‍ෂක කටයුතු භාර ප්‍රධාන තනතුර
යථෝක්ත කුමාරවරුන් අට දෙනා මිහිඳු මහ රහතන් වහන්සේගේ මාමාවරුන් බව
පෙළපොත් වල සඳහන් වේ. ඔවුන් මෙසේ රාජකීය නිලයන්ට පත් කරන්නට ඇත්තේ යට
කී රාජකීය තත්ත්වය නිසා විය යුතුය. මෙම තනතුරුවලට අමතරව මහ බෝධිය සමඟ
ලක්දිවට පැමිණි සියලුම කුලයන්ට උචිත පරිදි තනතුරු දුන් දෙවනපෑතිස්
රජතුමා ඔවුන්ගේ යැපීම සඳහා ගම්වර බැගින්ද ප්‍රදානය කොට ඇත. මෙම
තනතුරුවලට අමතරව ස්ත්‍රී පක්ෂය වෙනුවෙන් තනතුරක් පිරිනැමීමටද
දෙවනපෑතිස් රජතුමා අමතක නොකළේය. ශ්‍රී මහ බෝධින් වහන්සේ ලක්දිවට වැඩමවා
ගෙන එන ලද්දේ ස්ත්‍රියක විසින් වීමත්, බුදුදහම ස්ත්‍රී පක්‍ෂය කෙරෙහි
සමතාවයෙන් සැලකීමත් නිසා. රජු එසේ ස්ත්‍රී පක්‍ෂය සඳහාද තනතුරක්
ප්‍රදානය කිරීමට සිතුවා විය හැකිය. ඒ අනුව, මහ බෝධියට රන් රිදී කළ ගෙන
පැන් වත් කිරීම රාජ කන්‍යාවන් සිවු දෙනකුට පවරා දී ඔවුනට පෙරහර බිසෝ
තනතුර නමින් තනතුරක් ද ප්‍රදානය කළේය.
කල්යත්ම බෞද්ධයන්ගේ පුද පූජාවන්ට පාත්‍ර වූ පූජනීය වස්තු අතර බෝධි
වෘක්ෂයට ප්‍රධාන තැනක් හිමි විය. ශ්‍රී මහා බෝධින් වහන්සේ සිදුහත්
කුමරු හා සහජාත වස්තු අතුරෙන් එකක් බව මහපදාන අට්ඨකථා, කාලුදායි
ථෙරගාථා අට්ඨ කථා, බුද්ධ වංශ අට්ඨකථා යන ග්‍රන්ථවල සඳහන් කොට ඇත. බෞද්ධ
සාහිත්‍ය අනුව බෝධී වෘක්ෂයද චෛත්‍ය ගණයට අයත් වේ. බුද්ධත්වය ලබා ගැනීමට
මහෝපකාරී වීමත් බුදුන් වහන්සේ සතියක් පුරා සමවත් සුවෙන් ඇසතු මුලයෙහි
වැඩ සිටීමත්, එමෙන්ම අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබීමත් යන කරුණු
හේතුකොට ගෙන බෝධි වෘක්ෂය බෞද්ධයාගේ පරම පූජනීය පූජා වස්තුවක් බවට පත්වූ
බව පැහැදිලිය. බුදුන් වහන්සේගේ ප්‍රතිමූර්තියක් බඳු වූ බෝධි වෘක්ෂය
බෞද්ධ ජනයාගේ වන්දනයට පාත්‍ර වූයේද එහි ඇති පූජනීය බව නිසාමය. බෝධි
පූජා කිරීම හා එහි ආනිශංස පිළිබඳ තොරතුරු රැසක් ථෙර ගාථාවලද අන්තර්ගත
වී ඇත. සද්ධික තෙරුන් සත්‍යාබෝධය ලබා ගත්තේ බෝධි වෘක්ෂය සමීපයෙහි දී එය
අරමුණුකොට බුද්ධානුස්මෘතිය වැඩීමෙන් බව සද්ධික ථෙරපදානයෙහි සඳහන් කොට
ඇත.බෝධි සමජ්ජක තෙරණුවෝ බෝ මළුව ඇමැදීමෙන් තමන් ලත් මහත් වූ ආනිශංසය
විස්තර කරනුයේ මේ අයුරිනි.
“බෝපත් බැහැර කළ පිනෙන් මාගේ සිවිය සැම කල්හිම මෘදු ද, මොළොක් ද,
සිනිඳු ද, සියුම් ද, සිව්මැලි ද වේ. සිරුරෙහි දැලි කුණු නොතැවරේ.
උෂ්ණයෙහි ද ඩාදිය නොවැගිරේ. කුෂ්ඨ, කැසිලි, පිළිකා හට නොගනී. සිරුරෙහි
රෝගාබාධ ඇති නොවේ. මානසික පීඩා ඇති නොවේ. පසමිතුරෝ නොවෙති. නොඅඩු භෝග
සම්පත් ඇතිවෙයි. ගිනි,සොර, සතුරු බිය නොවේ. දැසි දස්සෝ සිතැඟි ලෙස
පවතිත්. ආයුෂ නොපිරිහේ. සියල්ලෝම තමහට අනුකුල වෙති. භය සන්ත්‍රාස
නැත්තෙක් වෙමි. දෙව් මිනිස් සියල්ලෝම මා ආරක්ෂා කෙරෙති. යමෙක් බෝධිය
උදෙසා පින් කරන්නේ නම් ඔහුට කුමක් දුලබද?”
(අපදාන 11 –278 පිටුව)
මෙවැනි කථනයන් අපදානයෙහි ස්ථාන කිහිපයකම දැකගත හැකිය. කෙසේ වෙතත්
ලක්දිව ප්‍රථම බෝධි පූජාව පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ දේවානම්පියතිස්ස
රජතුමාටය. එම පූජාව නම්, බෝධිය රැගත් නෞකා නැංගුරම් ලෑමටත් පෙර කරවටක්
දියට බැස පෙර ගමන් කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය ශ්‍රී මහා බෝධි
ශාඛාවට පූජා කොට, ඉනික්බිති බෝධි රෝපණයෙන් අනතුරුව රජු දොරටුපාල වෙස්
ගෙන තවදුරටත් බෝධියට පූජා පවත්වා, අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේද,
සඝමිත් තෙරණියෝද රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්‍ෂත්‍රීය රජ දරුවෝද
තිවක්ක බ්‍රාහ්මණයාද පිළිවෙළින් පූජා පැවැත්වූහ.
(සිංහල බෝධි වංශය – 206 පිටුව)
ශ්‍රී මහා බෝධි ප්‍රතිෂ්ඨාපනයෙන් අනතුරුව එදා මෙදා තුර ඒ සම්බන්ධව
පැවැති පුද පූජා විධි රාශියකි. ඒ අතර වාර්ෂිකව පැවැත්වෙන විශේෂිත වූ
පූජා විධි සතරක් වේ. ඒවා නම්,
1. දුර්තු මංගල්ලය - දුරුතු පොහොය දිනයේ දී පවත්වනු ලබන මෙම උත්සවය
අලුත් සහල් මංගල්ලය නමින්ද හඳුන්වනු ලැබේ.
2. පරණ අවුරුදු මංගල්ලය - සිංහල අලුත් අවුරුද්ද ලබන්නට පෙර අපේ‍්‍රල්
මාසයේ මුල හරියේ බෝධින් වහන්සේ අභියස විශේෂ වූ ගිලන්පස පූජාවක්
පැවැත්වීමත් පසු දින රන් පාත්‍රයෙන් කිරි ආහාර පුජාවක් පැවැත්වීමත්
මෙයට ඇතුළත් වේ.
3. නානුමුර මංගල්ලය – ශ්‍රී මහා බෝධිය නැහැවීම නානු මුර මංගල්ලය නමැති
පූජාවෙහි දී සිදු කෙරෙන චාරිත්‍රයයි. පුරාණයේදී මෙම අවස්ථාව යොදා ගත්තේ
බෝධිය නැහැවීමට වුවද, වර්තමානයේ සිදුවන්නේ බෝධිය අසල පිහිටි විහාරයේ
බුද්ධ ප්‍රතිමාව නැහැවීමයි.
4. කාර්තික උත්සවය :– සෑම වර්ෂයකම අවසාන පොහොයෙහිදී පැවැත්වෙන මෙම
උත්සවයට යොදා ගනු ලබන්නේ කැති නැකත උදාවන දිනය වීම විශේෂත්වයකි. මෙහිදී
ද බෝධින් වහන්සේ අභියස ගිලන්පස හා මල් පහන් පූජාවකුත් පසුදින රන්
පාත්‍රයේ කිරි ආහාර පූජාවකුත් පැවැත්වීම සිදුවේ.
දෛනිකව සිදු කරන්නා වූ පුද පූජාවන්ට අමතරව මෙම පූජාවන් පවත්වනු ලැබේ.
ශ්‍රී මහ බෝධින් වහන්සේ උදෙසා රාජකාරි කටයුතු ඉටුකරනු වස් ගම් 40 ක්
වෙන්කර තිබුණ ද වර්තමානය වන විට එය ගම් 09 ක් බවට පත් වී ඇත. එම විහාර
ගම් මෙසේය.
1. විහාර මැදවච්චිය
2. විහාර පාලුගම
3. විහාර බුලන්කුලම
4. විහාර කල්ලංචිය
5. විහාර ඉලුප්පුකුලම
6. විහාර පූසියන්කුලම
7. විහාර හල්මිල්ලකුලම
8. විහාර තිරප්පනේ
9. විහාර කැප්පිටියාව
දෛනිකව බෝධින් වහන්සේ උදෙසා කෙරෙන පූජාවන් ආරම්භ වන්නේ උදෑසන 5.30 ටය.
බෝ මළුව ඇමැද පිරිසුදු කිරීමෙන් මෙම වතාවන් සිදුකිරීම ඇරැඹෙයි. දෙවැනි
පූජාව සවස 6 ට ආරම්භ වේ. එහිදි බෝ මළු විහාර ගේ පවත්වනු ලබන බුද්ධ
පූජාවෙන් අනතුරුව පැවැත්වෙන බෝධි පූජාව, බෝධි භාරකාරත්වය උසුලන නායක
ස්වාමින් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබයි. මේ සියලු පූජා විධි
පැවැත්වෙන්නේ හේවිසි පූජාවක් සමඟ වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවීම සංස්කෘතික වශයෙන් අතිශය
වැදගත්කමක් උසුලන්නේ කලාශිල්ප පිළිබඳ මෙරට ඇතිවූ පුනරුදය නිසාය. බෝධි
ශාඛාවත් සමඟ කුල රැසකට අයත් විශාල පිරිසක් මෙරට පැමිණි බව මූලාශ්‍රවල
සඳහන් වේ. මේ පිරිස අතර ශිල්ප ශ්‍රේණි 18 කට අයත් ශිල්පීන් සිටි බව
කියැවේ. මෙම ශිල්ප ශ්‍රේණිවලට අයත් වූ ශිල්පීහු එවකට ඉන්දියාවේ වැඩි
දියුණු වී පැවැති ගෘහ නිර්මාණ, කැටයම්, මූර්ති, චිත්‍ර මෙන්ම වෙනත්
කර්මාන්තයන්ද ලංකාවට හඳුන්වා දුන්හ. පසු කලෙක එම කලාවන් සිංහල
සම්ප්‍රදායනට අනුව වැඩි දියුණු විය. චෛත්‍ය වන්දනාව මුල්කොට ගෙන ස්ථූපය
නිර්මාණය වී පසු කලෙක ඒ ආශ්‍රිතව වටදාගෙවල් වාහල්කඩ ආදී කලා නිර්මාණ
බිහි වූවාසේ බෝධිය මුල්කොට ගෙන බෝධිඝරය නම් වූ විශිෂ්ට කලාකෘතිය
බිහිවිය. උස් වේදිකාවක් මත රෝපිත ශ්‍රී මහ බෝධින් වහන්සේ වටා, දඹදිව
ශ්‍රී මහ බෝධින් වහන්සේ වටා කෙරුණු අන්දමේ බෝධිඝරයක් ඉදිකළ බව වංශ
කතාවල සඳහන් වේ. උතුරේ තිවක්ක බමුණු ගමේත්, දකුණේ කාජරගාම හා චන්දන
ගාමයේත් බෝධි රෝපණ අවස්ථාවේදීම බෝධිඝර ඉදිකොට ඇත. කල්යත්ම බෝධිය සෑම
විහාරයකම අනිවාර්ය අංගයක් වූයෙන් බෝධිඝරය ද ඉදිවෙන්නට පටන් ගැනුණි.
සාහිත්‍ය ග්‍රන්ථ සමුදායක්ද ශ්‍රී මහ බෝධින් වහන්සේ පසුබිම් කොටගෙන
බිහිවිය. මෙසේ බෝධිය ආශි‍්‍රතව වර්ධනය වූ සාහිත්‍ය බෝධි සාහිත්‍ය නමින්
හැඳින්වේ. මේ සියලු ග්‍රන්ථ තුළින් බෝධින් වහන්සේට සමාජයේ හිමිවූ
අතිපූජනීයත්වයත්, සමාජයේ හැඩ ගැසීම කෙරෙහි බෝධියේ බලපෑමත් මැනැවින්
හඳුනාගත හැකිය. බෝධිය ආශි‍්‍රතව ලියැවුණු ග්‍රන්ථලෙස, පාලි මහ බෝධි
වංශය, ධර්ම ප්‍රදීපිකාව, සිංහල බෝධි වංශය, සුළු බෝධි වංශය, චූල බෝධි
වංශය, මහා බෝධි වංශ ග්‍රන්ථ පද විවරණය, මධූරාර්ථ ප්‍රකාශනී,
ජිනබෝධාවලී, සිරිලක් බෝ මැඩ අලංකාරය , මහ බෝධි අලංකාරය, සිරිමා බෝ කවි,
සිරිමා බෝ විස්තරය, මහ බෝධි වර්ණනාව, ලංකා බෝධි වස්තුව, මා බෝ වැඳීම,
ලක් බෝ සැහැල්ල, බෝමුල උපත, බෝධි වංස ටීකාව, ජය මහ බෝධි වන්දනා, බෝ මැඩ
අලංකාරය බෝධි වංස කථා බෝධි ආගමනය, බෝධි පිහිටි කථාව, ශ්‍රී මහ බෝධි
කීර්තිය හෙවත් අනුරාධපුර වන්දනාව, බෝධිවංස අට්ඨකථා, බෝධි වන්දනා, බෝධි
වන්දනා ගාථා, මෝ මැඩ විස්තරය,බෝ මැඩ නුදුරු ස්ථානය, සොළොස පූජා ගාථා
යනාදිය පෙන්වා දිය හැකිය.
ශ්‍රී මහ බෝධි ශාඛාව ලක්දිවට වැඩම කරවීමෙන් වෙනසකට ලක්වූයේ සමාජයේ
බාහිර ක්‍රියාකාරකම් පමණක් නොවේ. පුද්ගල චිත්ත සන්තානයන්හි පවා මහත්වූ
විපර්යාසයක් ඇති කරන්නට ශ්‍රී මහා බෝධි ශාඛාවට හැකිවිය. බෝධිය නිසා
ලාංකික ජන සමාජය තුළ ව්‍යාප්ත වී ගිය විවිධ වූ චාරිත්‍ර‍්‍ර වාරිත්‍ර
සහ ආකල්ප පිළිබඳ තොරතුරු ඉතිහාසය පිරික්සිමේදී දැක ගත හැකිය.
බුදු දහම ලක්දිවට පැමිණෙන්නට පෙර යක්ෂයන්, නාගයන්, දෙවියන් වන්දනා
කරමින් සිටි ජනතාව, බුදු දහමේ ආභාෂයෙන් මිථ්‍යා විශ්වාසයන් කෙරෙන්
මිදුණ ද, පසු කලෙක නාගයා බෝධි වෘක්‍ෂ ආරක්‍ෂා කරන්නකු ලෙසින් ජනයාගේ්
විශේෂ ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම වෙසක් ,පොසොන් ආදී විශේෂ පොහොය
දිනවලදී අනුරාධපුරයේ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම පිණිස යන පිරිස්
ප්‍රථමයෙන්ම ශ්‍රී මහ බෝධිය වඳීන්නට යාම සිරිතක් කර ගත්හ.
සිංහල බෞද්ධයා ශ්‍රී මහ බෝධින් වහන්සේ වෙත දැක්වූයේ ජීවමානව වැඩ සිටින
බුදුන් වහන්සේට දක්වන්නා හා සමාන ගෞරවයකි. ඒ නිසාම බෞද්ධයන් ශ්‍රී මහ
බෝධිය හඳුන්වන්නට ප්‍රාණවාචී පද භාවිත කොට ඇති බව පෙනේ. සිරිමා
හාමුදුරුවෝ, බෝ රජ්ජුරුවෝ, සිරිමා බෝ හාමුදුරුවෝ, බෝධින් වහන්සේ
උඩමළුවේ බෝධිසාමි යනු එවැනි ගෞරවාර්ථ පද කිහිපයකි. ලාංකික බෞද්ධ ජනයා
ශ්‍රී මහ බෝධිය කෙරෙහි දැක්වූ ගෞරවය කෙතරම්ද යත් ශ්‍රී මහ බෝධිය
පසුබිමෙහි ඇති සියලු වස්තූන් ද පූජනීය තත්ත්වයෙහි ලා සැලකූහ. රන් වැලි,
රන් පත්‍ර, රන් කඳ පමණක් නොව සිරිමා බෝ හාමුදුරුවන්ට පැන් ගන්නා තිසා
වැවත් ජනතාවට පූජනීය විය. පූජනීය ලෙස සැලකූ නිසා වැවේ මසුන් නොමැරීමද
පුරාණයේ සිට පැවැත එන චාරිත්‍රයෙකි. ශ්‍රී මහ බෝධියෙන් රන් පත්‍රයක්
ගිලිහී වැටෙනුයේ අවුරුදු සතකට වරක් බවත් , එසේ පිරිනිවන් පා වැටෙන
පත්‍රය වුවද නර සතුනට පෑගෙන බැවින් එයද තිසා වැවට වැටෙන බවත්
බෞද්ධයන්ගේ විශ්වාසයයි.
ශ්‍රී මහ බෝධින් වහන්සේ මුල් කරගෙන පවත්වන්නා වූ චාරිත්‍ර අතර නානුමුර
මංගල්‍යයට ප්‍රධාන තැනක් හිමිවේ. මෙහිදී ශ්‍රී මහ බෝධිය ජලයෙන් නැහැවීම
සිදු කෙරේ. අතීතයේ ජනතාව බෝධිය නැහැවීමෙන් පසු නියඟය දුරුවී මහ වැසි ඇද
හැලෙන බව විශ්වාස කළහ. වර්තමානයේදී සිදු කරනුයේ බෝධිය නැහැවීම නොව එහි
ඇති විහාරයේ බුද්ධ ප්‍රතිමාව නැහැවීමයි.
දරමිටි පෙරහර නමින් හැඳින්වෙන තවත් සුවිශේෂි වූ චාරිත්‍ර විධියක්
ශ්‍රී මහ බෝධිය හා සම්බන්ධ ව පවතී. දැනුදු වාර්ෂිකව පවත්වන්නා වූ මෙම
දරමිටි පෙරහර නම් වූ චාරිත්‍රයට දීර්ඝ ඉතිහාසයක්ද ඇත. අනුරාධපුරය
අරාජික සමයෙහිදී ජනතාව විසින් ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කර ගැනීම උදෙසා
දරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම චාරිත්‍රය උපත ලබා ඇත. වන
සතුන්ගෙන් බෝධියට වන හානිය වළක්වා ලීමට බෝධිය සතර පැත්තේ විශාල ගිනි
ගොඩ සතරක් ඇවිළීම තුළින් හැකිවිය. වන්දනාවේ පැමිණි එකල බෞද්ධ ජනයා ද
එසේ ගිනි දැල්වීමට අවශ්‍ය දර සැපයීම සඳහා දර මිටිය බැගින් රැගෙන ආ බව
කියැවේ.
ශ්‍රී මහ බෝධිය ඇසුරු කරගෙන ගොඩනැඟී ඇති තවත් චාරිත්‍රයක් වන්නේ භාරහාර
වීමයි. බෝ සමිඳුන්ගේ අනුසස් පිළිබද රජරට ගැමියන් තුළ පමණක් නොව ලාංකික
සියලු බෞද්ධයන් තුළ ද ඇත්තේ දැඩි විශ්වාසයකි. දෛනික ජීවිතයේදී ගැමි
ජනතාවට මුහුණපාන්නට සිදුවන විවිධ වූ දුක්කම්කටොලුවලට විසැඳුම් ලබා දෙන
ලෙසින් ඉල්ලා ඔවුහු ජය ශ්‍රී මහ බෝධියට භාරහාර වූහ. මෙම භාරහාර වීමේ
අවශ්‍යතාව විවිධාකාර වූවාක් මෙන්ම ඒවා ඔප්පු කිරීමේ ක්‍රමද එකිනෙකට
වෙනස් විය.
කුඹුරු හා සම්බන්ධ විවිධ අවශ්‍යතා උදෙසා භාර වූ විට බොහෝ අවස්ථාවන්හිදි
කෙරෙනුයේ එහි අස්වැන්නෙන් ප්‍රථම භාගය බුද්ධ පූජාවට වෙන් කිරීමයි. රජරට
ගොවින් අතර පාරම්පරිකව පැවැතෙන මෙම චාරිත්‍රය හඳුන්වන්නේ. “අක්කියාල
වෙන් කිරීම” යනුවෙනි.ඇතැම් අවස්ථාවලදී රජරට වැසියන් තම අභිමතාර්ථ ඉටු
වූ පසු බෝධිය වටා රෙදි ඔතනු දක්නට ලැබේ. මෙය ‘කප් රුක් වැසීම’ යනුවෙන්
හඳුන්වනු ලැබේ. පහන් පූජාවක් පැවැත්වීමෙන් භාර ඔප්පු කිරීමද පුරාණයේ
සිට පැවැත එන චාරිත්‍රයකි. රජ රට ප්‍රදේශයේ වසංගත රෝග පැතිරෙන විට
ශ්‍රී මහා බෝධි මළුවේ පිරිත් කීමද පුරාණයේ සිට පැවැත ආ චාරිත්‍රයකි.
එසේ පිරිත් කීමෙන් අනතුරුව පැන් කළයක් ශ්‍රී මහ බෝධියට වත් කිරීමෙන්
වසංගත රෝග සමනය වන බව රජරට වැසියන්ගේ විශ්වාසයයි.
‘දිව්රීම’ බෝධිය හා සම්බන්ධ වූ තවත් පෞරාණික චාරිත්‍රයකි. ජනතාව අතර
විවිධ කාරණා මත හට ගන්නා වූ මතභේද කුකුස් හා ප්‍රශ්න නිරාකරණය කර ගැනීම
උදෙසාත්, තමන්ගේ නිර්දෝෂීභාව තහවුරු කිරීම උදෙසාත් මෙසේ දිව්රීම්
උපයෝගී කර ගෙන ඇත.රාජ්‍ය භාර ගන්නා තැනැත්තා රාජ්‍ය පදවිය භාර ගැනීමේදි
ඒ පිළිබඳ දිවුරුම් දීම ඉපැරැණි චාරිත්‍රයකි. එසේ දිවුරුම් දීමේදී කියවන
පාඨයෙහි මුලටම සඳහන්ව ඇත්තේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ නාමයයි.
අතීතයේදී බෝධින් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ තවත් චාරිත්‍ර විධියක්
වන්නේ සෝමනස්ස පූජාවයි. ‘සොම්නස් මහ බෝ මඟුල ‘ යන පදයෙන් හැඳින්වෙන
මෙම චාරිත්‍රානුකූ®ල උළෙල රටේ සෞභාග්‍යයත්, ජනතාවගේ අභිමතාර්ථ සාධනයත්
අරමුණු කරගෙන පවත්වන ලදී. වර්තමානය වන විට මෙම චාරිත්‍රය අභාවයට ගොස්
ඇති බව පෙනේ.
බෝධිය හා සම්බන්ධ කාරණාවලදී වැළකිය යුතු යැයි සම්මත වූ කරුණු රැසක් ද
වේ. ඒ අතර ප්‍රධාන කරුණක් වන්නේ බෝධියට හානි කිරීමෙන් වැළැකී සිටීමයි.
බෝ ගසක අත්තක් හෝ කැපීමට අවසර ලැබුණේ එයින් සධාතුක චෛත්‍යයකට හෝ
ආසනඝරයකට බාධාවක් ඇති කල්හි පමණි. එසේ නැතහොත් දිරන හෝ දුම්මලකාරී
වෑස්සෙන අතු කපා දැමීමට අවසර තිබේ. එසේ කැපීමෙන් ගසෙහි වැඩීමට සහනයක්
සැලසෙන්නේ නැතිනම්, එයද වරදක් වෙයි. චෛත්‍ය දෙසට විහිදුණු බෝ අතු මත
සිට කුරුල්ලන් චෛත්‍ය මත වසුරු හෙළයි නම් එබඳු අතු කපා දැමීමටද අවසර
තිබේ. (අංගුත්තර නිකාය 250 පිටුව)
බෝධි ආගමනය මේ රටේ සමාජ ව්‍යුහය කෙරෙහි බලපෑ අන්දම පැහැදිලි කෙරෙන තවත්
විශේෂිත අංගයක් වන්නේ ඒ ආභාෂයෙන් ගොඩනැඟුණු කුල පරම්පරා, නම් ගොත් සහ
ස්ථාන නාම ආදියයි. සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට පැමිණි පිරිස අතර සිටි
බෝධි ගුත්ත කුමාරයා එම පිරිසෙහිම සිටි සුනන්දා නම් සාමණේරින් සිවුරු
හරවා, සුදුවත් හන්දවා සර්වාභරණයෙන් සරහා මහ පෙරහරින් සිය ගෙට කැඳවා ගෙන
ගිය බව බෝධි වංශයේ සඳහන් වේ. මේ දෙදෙනාගෙන් ඇරැඹුණු වංශය, මෙහෙණවර වංශය
නමින් හඳුන්වනු ලැබේ. මේ පරපුරට අයත් වූවෝ වර්තමානයේද ලංකාව පුරා
විසිරී සිටිති. පසු කලෙක බුලත්කුලමේ පරම්පරාව, වේවැල්ල පරපුර ආදී
වශයෙන් මෙම වංශය ව්‍යාප්ත වී ගොස් ඇත.
පොළොන්නරු යුගයේ රාජ්‍ය බලයට උරුමකම කී කාලිංග වංශය ද බෝධි ආගමනයත් සමග
මේ රටේ ඇතිවූ තවත් පරම්පරාවකි. බෝධිය ආරක්ෂා කරීමට පැමිණි පිරිසෙන්
පැවැත එන තවත් පරපුරක් ලෙස බෝධි පක්‍ෂ පරම්පරාව හැඳින්විය හැකිය.
සිරිමා බෝධියේ ආරක්ෂාව භාර වූ තවත් වංශයක් නම් වෙල්ලිදුර වංශයයි.
බෝධිගුත්ත කුමාරයාගෙන් තනතුරුලත් මේ පුරපුර මහ බෝධිය රිළා, වඳුරු,
වවුල් ආදි සතුන්ගෙන් රැක ගැනීමේ කාර්යභාරය අද දක්වාම නිසියාකාරව ඉටු
කරයි. එපමණක් නොව උඩමළුවේ භාරහාර වීම් සහ ඒවා ඔප්පු කිරීමේ කටයුතුත්,
සැදැහැවතුනට මල් සැපයීමේ වගකීමත් පැවැරී ඇත්තේ මේ වෙල්ලිදුර වංශයටමය.
බෝධි ආගමනයෙන් මේ රටේ ආරම්භ වූ තවත් පරපුරක් වන්නේ ජය මහලේ පරපුරයි. මේ
පරපුර සුමිත්ත කුමාරයාගෙන් පැවැත එන බව කියැවේ.
ශ්‍රී මහ බෝධිය සමඟ මෙහි පැමිණි බෝධි ගුත්ත කුමාරයාගේ පරම්පරාවෙන්
පැවැත එන්නකි. නුවර වැව පරම්පරාව , අටමස්ථානයේ භාරකාර තනතුරද දැරූ මේ
පරම්පරාව, අටමස්ථානාධිපති පදවියට භික්ෂූන් වහන්සේ නමක් තෝරා පත් කර
ගැනීමේ සහ එසේ පත්වන භික්ෂූන් වහන්සේ එම තනතුර සඳහා නුසුදුසු වන්නේ නම්
උන්වහන්සේ එම නිලයෙන් පහකිරීමේද සුවිශේෂී බලයකින් යුක්ත විය. මෙම වංස
පරම්පරාවන්ට අමතරව ලංකාවේ කුල භේදය කෙරෙහිද බෝධි ආගමනයේ බලපෑම දැකගත
හැකිය. ඉන්දියාවේ කුල භේදයට පදනම වූයේ උපතයි. උපතින් කෙනෙකු බමුණෙකු
ක්‍ෂත්‍රිැයෙකු , වෛශ්‍යයකු හෝ ශුද්‍රයෙකු වන බව බ්‍රාහ්මණ ඉගැන්වීමයි.
මේ මතය ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ
ශුද්‍රයෙකු වන්නේ ඔහු කරන ක්‍රියාවන් පදනම් කරගෙන බව පෙන්වා දුන්හ.
නමුත් ලංකාවේ කුල භේදය නිර්මාණය වූයේ උපත අනුව නොව පුද්ගලයාගේ
කර්මාන්තය අනුවය. ශ්‍රී මහා බෝධි ශාඛාව මෙහි වැඩමවීමත් සමඟ පැමිණි
විවිධ ශිල්ප ශ්‍රේණිවලට අයත් පිරිස් මෙහි පදිංචි වීම හේතුකොට ගෙන
ලක්දිව කුල භේදයෙහිද ආරම්භය සිදු විය. විශේෂයෙන් මෙය රජ ගෙදර රාජකාරිය
පදනම් කොට ගෙන ගොඩ නැඟුණි. පසු කලෙක ජනගහන වර්ධනයේ අඩුවැඩි ස්වභාව අනුව
මෙම කුල පරම්පරාවද වර්ධනය විය. සිංහල කුල ගම් ව්‍යාප්තිය පිළිබඳ
පරිපාලන වාර්තාවලට අනුව වැඩි ජනගහනයක් කෘෂි කර්මාන්තයෙහි නියැළුනවුන්
නිසා ගොවිකම ලෙසටත් වෙනත් කර්මාන්ත කරන්නවුන් ඊට අනුපාතික වශයෙනුත්
විසූ බව පෙනේ.
බෝධිය නිසා ගොඩ නැඟුණු නව සංස්කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයක් නම් “බෝධි”
යන පදය පුද්ගල නාමයන්ට එකතුවීමයි. උදාහරණ ලෙස අක්බෝ, කුඩා අක්බෝ, සිරි
සංඝ බෝධි, වැනි නාම පෙන්වා දිය හැකිය. සාමාන්‍ය ජනතාව අතරද බෝධි යන පදය
නමට එක්කර ගැනීම බහුල වශයෙන් පැවැති බව බෝධිපක්‍ෂ , බෝධිනායක, බෝධිපාල,
බෝධිසේන, වැනි නාමයන්ගෙන් පැහැදිලිවේ. ස්ථාන නාම හැඳින්විමේදී ද බෝධි
යන පදය භාවිත කරන ලද අවස්ථා රාශියක් දැක ගත හැකිය. උදාහරණ ලෙස බෝතලේ
,බෝවත්තේ හෙල, බෝවල, බෝපිටිය, බෝගහවෙල, බෝගම්බර, බෝරුක්ගමුව එවැනි
ග්‍රාම නාමයන් සමහරකි.
බෝධි සංස්කෘතියේ ආභාෂය ලක්දිව කලා ශිල්ප කෙරෙහිද යම් තරමකට හෝ බලපෑම්
ඇති කර ඇති බවට සාධක හමුවේ. බෝගස බෞද්ධ සංකේතයක් ලෙසින් මුලින්ම කලාවට
පිවිසෙන්නේ භාරතයේදීය. ධර්මාශෝක රජුගේ පාලන අවදිය වන විටත් බුද්ධ
ප්‍රතිමාව නිර්මාණය වී නොතිබුණු බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. මෙම
හේතුව නිසා එකල කලා ශිල්පීහු බුදුන් වහන්සේ නිරූපණය කරනු වස් බෝ ගස
යොදා ගත්හ.
ශ්‍රී මහ බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පසු සිංහල කලා නිර්මාණ
අතරට බෝ රුක සහ බෝපත් එකතු වී ඇති ආකාරය සිංහල කලා ඉතිහාසය තුළින් දැක
ගත හැකිය. බෞද්ධයන්ගේ ආගමික කටයුතු අතර බෝධි පූජාවට හිමිවූයේ විශේෂ
තැනකි.
එදා සිට අද දක්වාම බෝධි වන්දනය හා බෝධි පූජා පැවැත්වීම බෞද්ධයන්ගේ
ජනපි‍්‍රය ආගමික කටයුත්තක් ලෙසින් පැවැති අතර එහි ජනපි‍්‍රයත්වය අද
දක්වාම අඩු නොවී පවතී.
දෙවනපෑතිස් මහ රජතුමාගෙන් පසුව ලක්ෂයක් පමණ ධනය වැයකොට අතිවිශාල බෝධි
පූජාවක් දුටුගැමුණු රජු විසින් පවත්වනු ලැබූ බවත් ඉන් පසුව භාතිය,
ධාතුසේන, අඹ හෙරණ සලමෙවන්, දෙටුතිස් යන රජුන් විසින්ද මෙබඳුම පූජා
පවත්වන ලච බවත් බෝධි පූජා පිළිබඳ ඓතිහාසික තොරතුරු සඳහන් කරන විමල්
අබේසුන්දර මහතා පෙන්වා දෙයි.
බෞද්ධයා බෝධි පූජාවෙන් බලාපොරොත්තු වූයේ ශ්‍රද්ධාව මුලික කොටගෙන
කෙලෙසුන් කෙරෙන් මිදී, නිවන් අවබෝධ කර ගැනීමයි. ථෙරවාදී බෞද්ධයෝ බෝධි
තුනක් පිළිබඳ කථා කරති. ඒ බුදු, පසේබුදු, අර්හත් නම් බෝධින්ය. මෙය
තුන්තරා බෝධිය නමින් බෞද්ධයෝ ව්‍යවහාර කරති. මෙකී බෝධි තුනෙන් එක්තරා
බෝධියකට පැමිණීමෙන් සංසාර විමුක්තිය ලැබීම ථෙරවාදී බෞද්ධයන්ගේ අරමුණයි.
ශ්‍රී මහා බෝධින් වහන්සේ නිසා පුළුල් වූ සංස්කෘතික පසුබිමක් මෙරට
ගොඩනැඟුණු බව යථෝක්ත කරුණු තුළින් පැහැදිලි වේ. මෙසේ බිහිවුණු බෝධි
සංස්කෘතිය ලාංකේය ජන ජීවිත විනිවිද ගොස් ඒ තුළින් ඇති කරන ලද්දා වූ
පුනරුදය ජන සමාජයේ අභිවෘද්ධියට මූලාධාර සපයා ඇත. |