නිකිණි අව අටවක 2011.08.21
සංවර්ධනය පිළිබඳ මිථ්‍යාව
නූතන ආර්ථික සංවර්ධනය ප්‍රථමයෙන් ම ළඟා කැරැ ගත් රට ලෙස
බ්‍රිතාන්‍ය හඳුන්වනු ලැබේ. දහ අට වන සියවස අග භාගයේ දී සිදු
වූ කාර්මික විප්ලවයේ ආශීර්වාදයත්, යටත් විජිතවාදී බලමහිමයෙන්
උරුම කැරැ ගත් අසීමිත සම්පත් ප්‍රමාණයත් නිසා බ්‍රිතාන්‍යයට එය
පහසු ඉලක්කයක් විය. කෙ සේ වූව ද බ්‍රිතාන්‍යයන් ගේ ආකල්ප හා
ජීවන රටාව නිර්මාණය වූයේ හිරු නො බසින අධිරාජ්‍යය නමැති
මහේශාක්‍ය භාවයේ හා ආර්ථික සමෘද්ධියේ අනුහසිනි. අනතුරුව එය
නූතන ශිෂ්ටාචාරයේ ප්‍රමිතිය බවට පත්වීම වෙනම කතාවකි. ආර්ථික
සමෘද්ධිය, පුද්ගල නිදහස, සමාජ සුබසාධනය, මහත්මා දේශපාලනය,
දියුණු කළමනාකරණය හා නීති ගරුක සමාජය ආදී සෑම ක්‍ෂ්ෂේත්‍රයක ම
නවීන ආදර්ශය ලෙස බ්‍රිතාන්‍යයට ඉමහත් ගෞරවයක් ලැබිණ. එහෙත් මේ
සියල්ල එක වෙඩි උණ්ඩයකින් බිඳ වැටීම විස්මයජනක ය.
මේ මස 04 වන දා ලන්ඩනයේ ටොටෙන්හැම් ප්‍රදේශයේ දී මාර්ක් ඩූගන්
නමැති විසිනව හැවිරිදි කළු ජාතිකයා පොලිස් වෙඩි පහරකින් මරණයට
පත් වීම එම සිද්ධිය යි. අනවසර ගිනි අවි සෙවීම පිණිස ටොටෙන්හැම්
ප්‍රදේ්ශයේ සිදු කළ පොලිස් මෙහෙයුමක දී මාර්ක් ඩූගන් ඝාතනයට
ලක්වීම මහා විනාසයක ආරම්භය විය. අනවසර ගිනි අවි සෙවීම සඳහා
පොලීසිය නිවාස සෝදිසි කිරීමට එරෙහි ව ටොටෙන්හැම් ප්‍රදේශයේ
තරුණයන් වීදි බැස විරෝධය පළ කැර තිබේ. එම විරෝධතා මෙල්ල කිරීමට
පොලීසිය තැබූ වෙඩි පහරක්, කුලීරියක ගමන් ගත් ඩූගන්ට වැදී ඔහු
මිය ගියේ ය.
එම ඝාතනයට එරෙහි ව මතු වූ වාර්ගික ස්වරූපයේ විරෝධතා ලිවර්පූල්,
බර්මින්හැම්, බ්‍රිස්ටල් ආදී ප්‍රදේශ කරා පැතිරිණ. මේ විරෝධතා
දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබූ අතර, නිරිතදිග ලන්ඩනයේ
කැලැහැම් ප්‍රදේශයේ මාර්ග පුරා විරෝධතා රැලි පැවැති බව ද රිසි
සේ කඩසාප්පු කොල්ලකන ලද බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහි
තිබූ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැලක් පැය දෙකක් පුරා
කොල්ලකරුවන් ගේ කෙළිබිමක් බවට පත් ව තිබී ඇත. කොයිඩොන්, පෙකම්
හා ලෙවිෂ්හැම් යන පළාත්වල උද්ඝෝෂකයන් හා පොලීසිය අතර දරුණු
ගැටුම් හටගෙන තිබේ.
සුබසාධන වියදම් අඩු කිරීම හා රැකියා විරහිත භාවය ඉහළ යෑම වැනි
ආර්ථික පීඩනය මේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පදනම සපයා ඇතැයි බොහෝ
විචාරකයෝ පවසති. එහෙත් එය අසම්පූර්ණ විග්‍රහයකි. ආර්ථික
වුවමනාවන් ඉක්මවා ගිය වාර්ගික අසහනයක් මෙයට හේතු වී ඇති බව අප
ගේ විශ්වාසය යි. අප එ බඳු නිගමනයකට එළැඹියේ සුදු පොලිස්
නිලධාරීන් විසින් කළු තරුණයකු ඝාතනය කිරීමට එරෙහි ව මේ
ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම යන සරල විග්‍රහය මත නො වේ.
කෙ සේ වුව ද ටොටෙන්හැම් ගැටුමෙන් ප්‍රකාශ වන වාර්ගික ස්වභාවය
හඳුනා ගැනීම අප සියලු දෙනාට වැදගත් ය. ඒ සඳහා වර්ගවාදය නමැති
රෝගයේ ලක්‍ෂණ දැන ගැනීම අවශ්‍ය කැරේ. ඊට සහය වනු පිණිස මාර්ග
අටුවා මෙහි උපුටා දක්වමු.
‘ලෝකයේ සෑම සංස්කෘතියකට ම අයත් ජනයා, තම ජීවිත ක්‍රමය අන්
සියල්ලන් ගේ ජීවන ක්‍රමවලට වඩා ශ්‍රේෂ්ඨ යැයි කල්පනා කරති.
වර්ග වාදයට මඟ පෑදෙන්නේ මේ විශ්වාසය තුළිනි. පොදු ශාරීරික
ලක්‍ෂණ ඇති කිසියම් මානව වර්ගයක්, ඊට වෙනස් පොදු ශාරීරික
ලක්‍ෂණ ඇති වර්ගවලට වඩා, සංස්කෘතිය, භාෂාව, සිරිත් විරිත් හා
බුද්ධිය අතින් එක්කෝ සහජයෙන් ම උසස් යැයි නැත්නම් සහජයෙන් ම
පහත්ය යන විශ්වාසයෙහි එල්බ සිටීම වර්ග වාදයේ ලක්‍ෂණයකි.’
‘එක් ජන වර්ගයක් තවත් වර්ගයකට වඩා උසස් හෝ පහත් යැයි විශ්වාස
කිරීමෙන් පටන් ගන්නා වර්ග වාදය, විශ්වාසයෙන් ඔබ්බට ගොස්
ක්‍රියාවට පරිවර්තනය විය හැකි ය. එක් ජන සමූහයක් තවත් ජන
සමූහයකට පිළිකුල් කිරීම, අවමන් කිරීම, ඊර්ෂ්‍යා කිරීම, වෛර
කිරීම, වෙනස්කම් කිරීම, අයිතිවාසිකම් අහිමි කිරීම, වර්ගවාදී
ව්‍යවහාරය පිළිබඳ ලක්‍ෂණ වේ. අන්තිමේ දී එය, මිනිසුන් වහල් කර
ගැනීම, මරා දැමීම හා සමූල ඝාතනය කිරීම දක්වා දරුණු විය හැකි
ය.’
‘වර්ග වාදයට හේතූන් මොනවා දැයි යන්න ගැන නොයෙක් න්‍යායයන් ඇත.
වර්ගවාදී වෙනස්කම් කිරීම්වලට හේතුව ඊට ගොදුරු වන්නන්ගේ ම වරද
යැයි ඔවුන් ගේ ගතිගුණ, හැසිරීම හා ක්‍රියාවන් යැයි යන්න එකකි.
පෙනුම අතින් වෙනස් ජන කණ්ඩායම් අතර උනුනුත් නොරිස්සීම,
විකර්ෂණය සහජයෙන් ම හා ස්වභාවයෙන් ම ඇතිවන්නේය යන්න තවත්
එකකි.”
මේ කුමන අර්ථයකින් සිදු වුව ද ටොටෙන්හැම් වාර්ගික ප්‍රචණ්ඩත්වය
මඟින් සංවර්ධනය පිළිබඳ නූතන පිළිගැනීම් මිථ්‍යාවන් බව පැහැදිලි
කොට තිබේ. භාණ්ඩ සුලබ වීම, සේවා බහුල වීම හෝ විවෘත සමාජ රටාව
නමැති සාධක මත පමණක් යහගුණ පිරි සමාජයක් ගොඩනැගිය හැකි යැයි
සිතීම මුළාවකි. |