කුසල් වඩමු
කුඹුකේ
විසුද්ධිචිත්ත හිමි
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘සබ්බ පාපස්ස අකරණං -කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියො දපනං -එතං බුද්ධානසාසනං’
පින්වත්නි,
‘කුසලය’
නම් යහපත්, හොඳ ක්‍රියාවන් සිදුකිරීමේ හැකියාවයි. ‘අකුසලය’ නම් අයහපත්,
නරක ක්‍රියාවය. කුසල් වර්ධනය කර ගත යුතු අතර අකුසල් සහමුලින්ම නැති කර
ගත යුතු වෙමු. මේ සඳහා ඉවහල් වන්නේ පුද්ගලයාගේ සිත, කය හා වචනයයි.
පළමුව කුසලයෙහි ස්වභාවය හඳුනා ගත යුතු වේ. තමන්ටත්, අනුන්ටත් වැඩදායක
වන්නේ, හිත සුව පිණිස පවතින්නේ යමක් ද එය කුසල ක්‍රියාවකි. මෙලෙස ලෝවැඩ
පිණිස හේතු වන මෙවන් ක්‍රියා සිදුකිරීම දුෂ්කර, අමාරු දෙයක් බව ද
බුදුරජාණන් වහන්සේ වදාළහ. දුෂ්කරතාවය, අපහසුව නොතකා ‘යහපත’ ක්‍රියාවට
නැංවීම සත්පුරුෂ ලක්‍ෂණයක් බව කාටත් පැහැදිලි විය යුතු කරුණකි. හිංසාව
නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ
වචන කීම, හිස් වචන කීම, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය දස අකුසල් වේ. ‘දස
කුසල්’ ලෙස පෙන්වා දී ඇත්තේ ඉහත දැක්වෙන එක් එක් අකුසලයෙන් වැළකී
සිටීමයි.
දස අකුසලයන්හි කයින් සිදුවන වැරදි තුනක් ද, වචනය තුළින් සිදුවන වැරදි
හතරක් ද, සිතින් සිදුවිය හැකි වැරදි තුනක් ද ඇති බව විමසුම් ඇසකින්
යුතුව ඒවා කියවීමෙන් දැනගත හැකි වනු ඇත.
අකුසලයෙන් වැළකී සිටීම දියුණුවේ පළමු අදියරයයි. මෙලෙස සංයමය කොට කුසලයට
නැඹුරු කරගන්නා සිත පිනට දහමට යෙදවීම දෙවන අදියර වේ. ඒ සඳහා බුදුරජාණන්
වහන්සේ ‘දස පුණ්‍ය ක්‍රියා’ හෙවත් ‘දස පින් කිරිය වත්’ අපට උගන්වා
තිබේ. එනම් දාන, ශීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වත්
පිළිවෙත් හි යෙදීම, වැඩිහිටියන්ට ගරු සැලකිළි දැක්වීම, ධර්ම දේශනා හෝ
ධර්ම සාකච්ඡා පැවැත්වීම හා දහම් පොත්පත් බෙදා හැරීම, ධර්ම ශ්‍රවණය
දෘෂ්ටිය සෘජු කර ගැනීම හෙවත් නිවැරැදි දැකීම දියුණු තියුණු කර ගැනීම
යනාදියයි.
‘කුසලය’ පිළිබඳව සැබෑ විශ්වාසයක් ගොඩනඟා ගත් සත්පුරුෂයා අනතුරුව පාරමී
ගුණ දහම් පුරන්නේ ය. එදා සිද්ධාර්ථ බෝධි සත්වයාණන් වහන්සේ සාරාසංඛ්‍ය
කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ‘දස පාරමිතා’ පිරූ සේක. ඒ ලෝක සත්ත්වයා වෙත පතළ
වූ අපරිමිත කරුණාවෙන්ම ය. මේවා නම් වශයෙන් දක්වතොත් දානය, ශීලය,
නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්යය, ක්‍ෂාන්තිය සත්‍යය, අධිෂ්ඨානය,
මෛත්‍රිය සහ උපේක්‍ෂාවය.
ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ ආදර්ශ පාඨය වූයේ ‘කිං කුසල ගවෙසි’ එනම්
‘කුසලය යනු කුමක්දැයි’ ගවේෂණය කිරීම හෙවත් සොයා යෑම යන්නය. කුසලයෙහි
අග්‍ර ඵලය වන, දස පාරමිතා යම්තාක් දුරට හෝ පිරීමෙන් ලබන්නා වූ නිර්වාණය
හෙවත් දුකෙහි කෙළවර වීම, බෞද්ධයාගේ පරම නිෂ්ටාව වේ.
ගෘහස්ථ බෞද්ධයාගේ නිත්‍ය ශීලය ‘පන්සිල්’ වේ. මේ එක් එක් සිල් පදයෙහි
අංශ දෙකක් නිරූපණය වේ. එනම් විරමණය සහ සමාදානයයි. ශිෂ්ට සම්පන්න දිවි
පෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ ‘සිරිත් විරිත්’ අනුගමනය කරති. ‘සිරිත්’ යනු
පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට
ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය වේ.
‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේ ය.
බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි
පැවැත්වීමට ය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම් ඇස, කන, නාසය, දිව සහ
ශරීරය යන පසිඳුරන් පිනවමින්, කම් සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව
සිටීම ‘අනුසොතගාමී’ පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී
පරිදි ‘පටිසොතගාමී’ ප්‍රතිපදාව අනුගමනය කරන්නෝ ය.
කුසලයට නැඹුරු වීම සහ අකුසලයෙන් දුරු වීමට අවශ්‍ය වන්නේ උත්සාහයයි. මෙම
මාහැඟි ගුණාංගය ඇති කර ගත හැකි ආකාර හතරක් දහමෙහි දක්වා ඇත. නූපන්
අකුසල් එලෙසම මතු නූපදවීම, උපන් අකුසල් යළි නූපදවීම, නූපන් කුසල් උපදවා
ගැනීම හෙවත් මතු කර ගැනීම සහ උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම යනාදිය ඒ
සතරයි.
තම ජීවිතයේ සිත, කය සහ වචනය මුල් කරගෙන සිදුකොට නොමැති යම් පාපී
ක්‍රියාවක් ඇත්නම් එය එපරිද්දෙන්ම අනාගතයේ සිදු නොකර සිටීමටත්, කිසියම්
පාපී ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එය නැවත වරක් කිරීමෙන් වැළකී සිටීමටත්,
කිසිදා අත්හදා බලා නොමැති යම් පුණ්‍යවන්ත ක්‍රියාවක් කවදා හෝ සැලසුම්
සහගතව ක්‍රියාවට නැංවීමටත්, වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්‍රියාවට නංවන
ලද යහපත් ක්‍රියාවන් නැවත වරක් සිදු කොට ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවන්ත
විය යුතු ය.
අකුසලයෙන් මිදීමට ගන්නා පළමු ප්‍රයත්නය හෙවත් වෑයම බොහෝ විට අසීරු
වන්නට පුළුවන. ඒ මන්ද, පෘථග්ජන මිනිස් සිත ස්වභාවයෙන් පවට නැඹුරු වන
සුළු බැවිනි. එබැවින් මුළාව හෙවත් නොදන්නාකම හේතුවෙන් හෝ දැනුවත්ව දිගු
කලක් නැත්නම් කෙටි කලක් සිදු කළා වූ පාපය මකා දැමීම හෙවත් නැති කර
ගැනීම, සිතන තරම් හෝ කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත. කෙසේ
නමුත් එම අකුසලය දුරු කර ගැනීමට වීර්යය දැරීම සත්පුරුෂ ගුණාංගයක් වන බව
කිව යුතු ය.
යම් කුසල ක්‍රියාවක් සඳහා සිතෙහි ඇතිවන කැමැත්ත, උනන්දුව නැත්නම් ඕනෑකම
හඳුන්වන්නේ ‘කුසලච්ඡන්දය’ ලෙසය. මෙසේ යහපත් ක්‍රියාවක් සිදුකිරීමේ
නිපුණත්වයක් අප විසින් ගොඩ නඟා ගත යුතු ය.කරනු ලබන ක්‍රියාවන් සිතට
බලපාන අන්දම ධම්මපදයේ එන ගාථා යුගලයක මෙලෙස පිළිබිඹු වේ.
යමක් කොට පසුතැවිලි වීමටත්, එහි විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව
විඳ දරා ගැනීමටත් සිදුවේ නම් එවැනි දෑ කිරීම යහපත් නොවේ. තවද පසුතැවිලි
නොවීමටත්, සතුටින් ඉපිල යෑමටත් තුඩු දෙන යහපත් ක්‍රියාවන් ක්‍රියාවට
නැංවීම සාධු චර්යාවකි. තවත් ධම්මපද ගාථාවක අකුසලය දුරලීමේත්, කුසලයෙහි
පිහිටීමේත් වගකීම තමන් සතුව පවතින බව පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. ‘පව්
සිදුකරනු ලබන්නේ තමන් විසින්ම ය. එමඟින් කිලිටි වන්නේ තමන්මය. ඒ හැරත්,
පවින් වැළකී සිටීමෙන් පිරිසුදු වන්නේ තමාමය. පිරිසුදු වීම හෝ අපිරිසුදු
වීම පවත්නේ තමා තුළමය. වෙනත් කෙනෙකුට තවත් කෙනෙකු පාරිශුද්ධත්වයට පත්
කිරීමට හෝ පිරිසුදු කිරීමට නුපුළුවන’ යනුවෙනි.
අත්තාහි අත්තනො නාථො - කො හි නාථො පරො සියා ?
අත්තනා ව සුදනෙතන – නාථං ලභති දුල්ලභං
මෙය ද ධම්මපදයෙන් උපුටා ගන්නා ලද ගාථාවකි. ‘තමාට පිළිසරණ වීමට සිටින්නේ
තමාමය. වෙන කවරෙක් තමාට පිහිට වන්නේ ද? තමා මනාව දමනය කර ගැනීම තුළින්
– පුද්ගලයා දුර්ලභ යැයි කියනු ලබන ‘නිවන’ සාක්‍ෂාත් කර ගනියි. මෙහි
තේරුමය. අකුසලය හඳුනා ගැනීම, ස්වශක්තිය මත පදනම් වී ඇති බව මින් ගම්‍ය
වේ. මේ සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය වැදගත් වන බව බුදුරදුන්ගේ ඉගැන්වීම්
අධ්‍යයනය කිරීමේ දී දැන ගත හැකි ය. ‘මා නිවත්ථ අභික්කම’ යන බුදු වදනට
අනුව මින් නොනැවතී අකුසලයත්, එහි අමිහිරි, වේදනාකර දුර්විපාක පිළිකුලට
ලක් කිරීමට ද ලහි ලහියේ කුසලයට යොමු වී සියලු දුකින් නිදහස් වීමේ
මාර්ගය එළිපෙහෙළි කර ගැනීමට ද අප යුහුසුළු විය යුතු ය.
කෙසේ නමුදු පාපකාරී මිත්‍රයෙකු පවින් මුදවා සුමඟට ගැනීම සඳහා උපදෙස්
දීමත්, ආදර්ශ සම්පන්න වීමත් සැබෑ මනුෂ්‍යත්වය විදහාපාන අවස්ථාවක් බව
පැවසිය යුතු ය. මෙහිදී, එම පව් රැස්කරන්නාට පාපයෙහි ආදීනවත්, කුසලයෙහි
වටිනාකමත්, කුසල් රැස් කිරීමෙන් මෙලොවම එහි සැප විපාක භුක්ති විඳිය
හැකි ආකාරයත් පෙන්වා දීමට තරම් හැකියාවකුත්, මානසික පසුබිමකුත් ඔහු හෝ
ඇය සතුව තිබිය යුතු ය. එනමුත් ලබා දුන් උපදෙස් වටහා ගැනීමට හෝ
පිළිගැනීමට හෝ පිළිපැදීමට ඇවැසි නුවණ විටෙක පව්කරන්නා තුළ නොතිබෙනු
දැකිය හැක. මෙවැනි මොහොතක දී නොසැලී සිටීමටත්, අවවාද කිරීමෙන් තම
යුතුකම නොපිරිහෙළා ඉටු කළ බව සිතා සතුටු වීමටත් ‘සත්පුරුෂයා’ වගබලා ගත
යුතු වීම වැදගත් කරුණකි.
‘සියලු පවින් දුරුවන්න - සියලු කුසල් දහම් රැස් කරන්න
තම සිත පිරිසුදු කරන්න - මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
|