UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිළිවෙතින් පෙළ ගැසෙන සැටි පිළිවෙළින් කියාදෙන මහාධර්මපාල ජාතකය

සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් ඉකුත් වී ඇති මේ කාල වකවානුවේ ‘’පිළිවෙතින් පෙළ ගැසෙමු’’ යන්න ප්‍රධාන තේමා පාඨය වී තිබේ. වසර 2555 න් මේ සම්බුද්ධ ශාසනය රැකුණේත්, වසර 2300 ගණනක් මේ ලක් දෙරණ මත බුදුදහම පැවත ආවේත් පිළිවෙත් ගරුක බව නිසාය. එහෙත් වර්තමානය වන විට සියලු ආකාරයෙන් මෙය සිහිපත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත්තේ ඒ පිළිවෙත් ගරුකභාවය කෙමෙන් අඩු වෙමින් පවතින නිසා බැව් පැහැදිලිය.

අප මුතුන් මිත්තන් සම්බුදු දහමෙන් ඉගැන්වූ පංචශීලය ප්‍රමුඛ කරගත් මෙලොව පරලොව සාර්ථක කර ගැනීමට ඉවහල් වන ප්‍රතිපත්තීන් දිවි දෙවැනි කොට ආරක්ෂා කළහ. එහි ප්‍රතිඵල ලෙස මෙරට ආර්ථික, සාමාජීක, සංස්කෘතික, දේශපාලනික ආදී සියලු අංශයන්ගෙන් ඉතා දියුණු තත්ත්වයකට පත්වූ බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. ප්‍රතිපත්තිගරුක බව මිනිස් ජීවිතයේ සාර්ථකත්වයට පදනමයි. පන්සිය පනස් ජාතික පොතේ අඩංගු මහාධර්මපාල ජාතකය තුළින් අපට පෙන්වා දෙන්නේ ඒ ප්‍රතිපත්තිමය පදනම සකස් කරගන්නා ආකාරයයි.

පෙර දඹදිව බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන කල්හි කසීරට ධම්මපාල නම් ග්‍රාමයක් විය. එහි ගම් දෙටුවා ද එනමින් ම හැඳින්විණ. අප මහා බෝසතාණන් වහන්සේ එම ගම්දෙටුවාට දාව උපන් බැවින් ඔහුට ද ධම්මපාල යන නම තැබිණි. නිසි වියට පත් වූ ධම්මපාල කුමරු තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමන් වෙතින් ශිල්ප ශාස්ත්‍ර ඉගැන්මෙහි නිරත විය. මේ අතර දිසාපාමෙක් ආචාර්යවරයාගේ වැඩිමහල් පුතණුවන් හදිසියේ මරණයට පත්විය. අනෙක් සියල්ලෝ ම හඬා වැළපෙද්දී ධර්මපාල කුමරු පමණක් නිහඬ ව සිටියේය. මේ ගැන විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ අපගේ කුලයෙහි කිසිවකු අඩු වයසින් නොමැරෙන නිසා මෙය තමාට නුහුරු දෙයක් බවයි. මෙයින් පුදුමට පත් දිසාපාමොක් ආචාර්යවරයා මැරුණු එළුවෙකුගේ ඇටකටු ටිකක් උරයක බහා ධම්මපාල කුමරුගේ පියාණන් හමුවීමට ගොස්, ආගන්තුක සත්කාර විඳ පිළිසඳර කතා කර මෙසේ පැවසීය. ‘’ඔබේ පුතණුවන් වන ධර්මපාල කුමරු හොඳින් ශිල්ප උගත් නමුත් ලෝකස්වාභාවය අනුව හදිසියේ මරණයට පත්වුණා. මේ ඔහුගේ ආදාහනයෙන් පසු ඉදිරි වූ ඇටකටු. මේ ගැන ඔබට දැනුම් දීමටයි මා පැමිණියේ. එහෙයින් කම්පා නොවන්න’’. මෙවදන් ඇසූ ධර්මපාල බ්‍රාහ්මණතුමා ඇතුළු අනෙක් පිරිස අත්පොළසන් දී මහ හඬින් සිනාසීමට පටන් ගත්හ. මෙයින් තවත් පුදුමයට පත්වූ දිසාපාමොක් ඇදුරුතුමාට ඔවුන් පැවසුයේ කිසිකලෙකත් තම පරපුරේ කිසිවෙකුත් නොකල්හි මරණයට පත්වීමක් අසා නැති බවයි. ඊට හේතුව විමසූ ඇදුරුතුමන්ට ධර්මපාල බමුණුතුමන්ගෙන් ලැබෙන පිළිතුර මගින් ප්‍රතිපත්තිගරුක වීමේ ආනිශංස මනාව පැහැදිලි කරයි.

ධම්මං චරාම න මුසා භණාම පාපානි කම්මානි පරිචජ්ජයාම
අනරියං පරිවජ්ජේමු සබ්බං තස්මාහි අම්හං දහරා න මීයරෙ

දහමෙහි හැසිරෙමු. බොරු නොකියමු. පව්කම් දුරු කරමු. අනාර්ය දෑ මුළුමනින් ම වර්ජනය කරමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

සුණොම ධම්මං අසතං සතඤ්ච
න චාපි ධම්මං
අසතං රොචයාම
හිත්වා අසන්තෙ න ජහාම සන්තෙ
තස්මාහි අම්හං දහරා න මීයරෙ

යහපත් වූ ද අයහපත් වූ ද ධර්මයන් අසමු. එහෙත් අයහපත් ධර්මයන්ට පි‍්‍රය නොකරමු. ඒ අනුව අයහපත් දෑ හැර දමමු. යහපත් දෑ අත් නොහරිමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

පුබ්බෙව දානා සුමනො භවාම දදම්පි චෙ අත්තමනා භවාම
දත්වාපි චෙ නානුතප්පාම පච්ඡා තස්මාහි අම්හංදහරා න මීයරෙ

දන්දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේත් අප සතුටු සිත් ඇත්තෝ වෙමු. එසේ ම දන් දී අවසන් ව නොතැවෙමු. වඩාත් සතුටු වෙමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

සමණෙ මයං බ්‍රාහ්මණෙ අද්ධිකෙ ච
නිබ්බකෙ යාචනකෙ දළිද්දෙ
අන්නෙන පානෙන අභිතප්පයාම
තස්මාහි අම්හං දහරා න මීයරෙ.

අප ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී, මගී, යාචකාදීන් ආහාර පානවලින් සතුටු කරවමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

මයඤ්ච භරියං නාතික්කමාම අම්භෙ ච භරියා නාතික්කමන්ති
අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම තස්මාහි අම්හං දහරා න මියර

අප කිසි විටෙකත් අපගේ් බිරින්දන් ඉක්මා නොයමු. අපේ භාර්යාවන් ද අප ව ඉක්මවා නොයති. සෑම විට ම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

පාණාතිපාතා විරමාම සබ්බෙ ලොකෙ අදින්නං පරිවජ්ජයාම
අමජ්ජපා නොපි මුසා භණාම තස්මාහි අම්හං දහරා න මීයරෙ

සියලු ආකාර වූ ප්‍රාණඝාතයෙන් වෙන්වෙමු. ලොවෙහි නොදුන් දෙය ගැනීම මුළුමනින්ම දුරු කරමු. මද්‍යපාන නොකරමු. බොරු නොකියමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

එතාසු වෙ ජාවරෙ සුත්තමාසු, මෙධාවිනො
භොන්ති පහුතපඤ්ඤා
බහුස්සුතා වෙදගුනො ච හොන්ති තස්මාහි
අම්හං දහරා න මීයරෙ

අප පරපුරෙහි උපදින දරුවෝ නුවණැති, ප්‍රඥාවන්තයෝ වෙති. බහුශ්‍රැත වූවෝ ද වේදය දන්නෝ ද වෙති. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

මාතාපිතා ච භගිනී භාතරො ච පුත්තා ච දාරා ච මයඤ්ච සබ්බෙ
ධම්මං චරාම පරලොකහෙතු තස්මාහි අම්හං දහරා න මීයරෙ

මව්පිය, සොයුරු සොයුරියන්, පුත්‍රදාරාදීන් සහ අප ද යන සියලු දෙනා සුගතිගාමි වනු පිණිස දහමෙහි හැසිරෙමු. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

දාස ච දාසියො අනුජීවිනො ච පරිවාරකා කම්මකරා ච සම්බෙ
ධම්මං චරන්ති පරලොකහෙතු තස්මාහි අම්හං දහරා න මියරෙ

දැසිදසුන්, ඤාතීන්, පරිවාරකයින්, කම්කරුවන් ද යන සියලු දෙනා සුගතිගාමි වනු පිණිස දහමෙහි හැසිරෙති. එහෙයින් අපේ දරුවෝ නොකල්හි නොමියෙති.

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි

ධර්මය රකින්නා ඒකාන්තයෙන් ම ධර්මය විසින් රකිනු ලබයි. ධර්මයෙහි යෙදීම සුව ගෙන දෙයි. ධර්මචාරී පුද්ගලයා දුගතිගාමී නොවෙයි. මෙය දහම මනාව රැකීමේ ආනිශසංසයි.

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරීං ඡත්තං
මහන්තං විය වස්සකාලෙ
ධම්මෙන ගුත්තො මම ධම්මපාලො
අඤ්ඤස්ස අට්ඨිනි සුඛී කුමාරො

ධර්මය රකින්නා ඒකාන්තයෙන් ම මහ වර්ෂා කාලයක කුඩයක් මෙන් ධර්මය විසින් රකිනු ලබයි. මගේ ධර්මපාල කුමරු ධර්මය විසින් රකින ලද්දේ ය. මේ ඇටකටු වෙනත් අයෙකුගේ ය.

මහා ධර්මපාල ජාතකය තුළින් දෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වන පංචශීලය මුල්කර ගත් ප්‍රතිපත්ති මාලාවක් පෙන්වා දී ඇත. වර්තමාන සමාජයට මේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට නොහැකි ද? ඉතා පැහැදිලි ව හැකියාව ඇත. මේ කිසිවක් අපට ආගන්තුක ප්‍රතිපත්තීන් නොවේ. සියවස් 26 ක් පුරා අපේ සම්, මස්, ඇට ලේවලට කාවැදුණු සංස්කෘතික සාරධර්මයන් හිතට එකඟ ව කි‍්‍රයාත්මක කරන්නේ් නම් ඊට ප්‍රචාරක පුවරු අවශ්‍ය නැත. පිළිවෙතින් පෙළ ගැසෙමු යනුවෙන් නැවත නැවත සිහි කැඳවීම් තුළින් පසක් වන්නේ අප ඉහත කී පිළිවෙත්වලින් බැහැර ව ඇති බව නොවේ ද?

මෙම ජාතක කථාව තුළින් වඩාත් අවධාරණය කරන කාරණය නම් වැඩිහිටියන්ගේ ධාර්මික පැවැත්ම සෘජුව ම දරුවන්ගේ පැවැත්මට බලපාන බවයි. අප ලාංකීය සංස්කෘතියේ යහගුණදම්වල සංකේතය වූයේ වැඩිහිටියන් ය. අපේ පැරැන්නන් සිය ජීවිතයට සිරිත් විරිත්, ගුණධර්ම, යහපත් ක්‍රියාකාරකම් සියල්ල එකතු කරගත්තේ වැඩිහිටියන්ගේ ආදර්ශවත් ක්‍රියා පිළිවෙත් තුළිනි. එහෙත් වර්තමාන වැඩිහිටියන්ගෙන් කී දෙනෙක් සිය චර්යාවන් මගින් ළමා පරපුරට ආදර්ශයක් දෙන්නේ ද? රූපවාහිනිය විසින් ළමා පරපුර වැඩිහිටියන්ගෙන් ඈත්කර සමාජ සංස්කෘතික සාරධර්ම අමු අමුවේ විනාශ කර දමයි. දෙමාපිය වැඩිහිටියෝ එළිපිට ම දුසිරිතෙහි ඇලී ගැලී සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස ළමා පරපුර රෝගී පරපුරක් බවට පත් වී ඇති බව නොරහසකි. උපදින දරුවන්ගෙන් වැඩි දෙනෙක් උපතින් ම රෝගින් ය. හදිසි අනතුරුවලින් මියයාම වැනි දරුවන්ට සිදුවන විපත්වල කෙළවරක් නැත. මෙයට එක ම හේතුව වැඩිහිටියන් ධාර්මික පිළිවෙත්වලින් ඈත්වීම බව මහා ධර්මපාල ජාතකය අපට පෙන්වා දෙයි. එහෙයින් තම දරුවන්ට යහපත් අනාගතයක් කැමති සියලු දෙනා විසින් ම මහාධර්මපාල ජාතකය ජීවිතාදර්ශය බවට පත් කර ගත යුතුය.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]