පොසොන් පුර පසළොස්වක 2011 ජුනි 15 වන දා
සැබෑ මිහිඳු උළෙල කුමක් ද?
ශ්‍රී ලාංකේය වංශ කතාවේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන්
කළ මහින්දාගමනය නමැති විශිෂ්ට දූත මෙහෙවර මෙ රට බෞද්ධයෝ අද දින
උත්සවාකාරයෙන් සමරති. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 236 වන වස අද වැනි
පොසොන් පොහොය දිනෙක සිදු වූ මේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික දූත
මෙහෙවර ආගමික අරුතකින් පමණක් නො ව දේශපාලනික හා සංස්කෘතික
වශයෙන් ද අගය කළ යුතු ය. මිහිඳු උළෙල නමැති ආගමික උත්සවය
ක්‍රි.ව. 362 දී පමණ ඇරැඹුණු බව සැලැකේ. එය අවුරුද්දක් පාසා
පැවැත්විය යුතු ම යැයි කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ආඥා කොට
තිබීමෙන් එහි අගය අපට වටහා ගැනීමට පුළුවන.
කෙසේ වුව ද වසර හාරසීය පනහක් පමණ පැවැති යටත් විජිත පාලන සමය
අප ගේ අතීත උරුමයට අහිතකර ලෙස බලපෑ අයුරු කියැවෙන එක් නිදසුනක්
වන්නේ, එදා මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලය පූජා භූමියට අත්ව
තිබූ ඉරණම යි. වන රකුසා විසින් ගිලගෙන තිබූ ඒ මහා පින්බිම වැඳ
පුදා ගත හැකි තත්ත්වයක් නිදහස ලබා වසර පහළොවකට පසුව හෝ නො වී
ය. කොළඹින් රැගෙන ගිය විදුලි ජනක යන්ත්‍ර යොදවා මිහින්තලා
පුදබිම ආලෝකවත් කිරීමට 1963 දී ලේක්හවුස් ආයතනය ක්‍රියා කළේ ඊට
පිළියමක් වශයෙනි. අද වන විට මේ ආලෝක පූජා සත්කාරය වෙනත්
පුදබිම් කරා ද ව්‍යාප්ත වී තිබීම සතුටට කරුණකි.
එහෙත්, මිහිඳු මහහරහතන් වහන්සේ වෙනුවෙන් කළගුණ දැක්වීම එ පමණකට
සීමා කිරිම වරදකි. අප එ සේ පැවැසීමට හේතු පැහැදිලි කැරෙන ලිපි
දෙකක් මෙහි මතු උපුටා දක්වමු. එයින් එක් ලිපියක් ශ්‍රී
කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘ, අපවත් වී වදාළ
කඩවැද්දුවේ ජිංනවංස නා හිමියන් විසින් ද, අනෙක අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන් විසින් ද ලියා තිබේ.
මිහිඳු මහරහතන් වහන්සේ ඉටු කළ සමාජයීය කාර්යභාරය කොටුගොඩ
ධම්මාවාස හිමියන් ගේ ලිපියේ සඳහන් වන්නේ මෙ සේ ය.
“විවිධ කොටස්වලට අයත් ජනතාව එක ම සිංහ කොඩිය යටතට ගත්තේ,
මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස මහ රජතුමා ය. මේ
සියල්ලට ම සමඟියෙන් එකමුතුවීමට යෙදූ උපාය නම් කිසිදු වාද
භේදයකින් තොර ව ඉදිරිපත් වන සෑම කෙනෙක් ම පැවිදි කිරීම යි.
අනුලා දේවිය ඇතුළු කාන්තාවන් ද පැවිදිවීම නිසා ගෝත්‍ර
ප්‍රශ්නයකින් තොර ව කාන්තාවෝ ද පොදුවේ ම පැවිදි වන්නට පටන් ගත්
හ. ඉසුරුමුනි විහාරයට ඒ නම වැටුණේ ඉසුරුමත් පවුල්වල කුමරුවන්
දහසක් එකවර පැවිදිවීම නිසා ය. ඔවුන් අතර යක්ෂ, නාග, දේව ,
සිංහ, ශාක්‍ය සහ බෝධිය රැගෙන ආ පිරිසට අයත් වූවෝ ද ඇතුළත් වූ
හ. මෙ සේ ස්ත්‍රි පුරුෂ දෙපක්ෂය ම සාමූහික ව පැවිද්දට පත් ව එක
ම ශාස්තෘන් වහන්සේ ගේ ධර්මය අනුගමනය කරමින්, මෙත්තා, කරුණා,
මුදිතා, උපේක්ඛා යන උදාර ගුණ අනුව එකට ජීවත්වීම සඳහා හුරු
පුරුදු කරන ලද හෙයින් පරම්පරා තුන හතරක් ගතවෙත් ම ලංකා වේ
ගෝත්‍රික ප්‍රශ්නය අභාවයට ගොස් එක ම සිංහ ධජයක් යටතේ වෙසෙන
සිංහල බෞද්ධ ජනතාවක් බවට පරිවර්තනය විය.”
“මෙයින් පැහැදිලි වන්නේ අනුබුදු මිහිඳු මාහිමියෝ රටක් එක ම
ජාතියක් ආගමක් සහ විවිධ කලා ශිල්පයන් ගෙනුත් පිරිපුන් ශ්‍රී
ලංකා ද්වීපයෙහි ප්‍රෞඩ ජනතාවක් බිහි කිරීමට යෙදූ උපායශීලි
ආකාරයයි.මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ දේවානම්පියතිස්ස
මහාරාජයාත්, එවකට සිටි වගකිවයුතු ප්‍රභූවරුනුත් සහාය කොට ගෙන
ඇති කළ මහඟු සේවාව නිසා ලංකාවේ ගෝත්‍රවාදය නැත්තට ම නැති වී
ගියේ ය.”
අප සමාජයේ අවධානයට යොමු නො වූ මේ කාරණය පිළිබඳ ව අධ්‍යයනය
කිරිම විද්වතුන් ගේ් වගකීමකි. ජාතිවාදි බෙදීම් තුරන් කිරීම
සදහා මිහිඳු ධර්මය යොදා ගැනීම අදටත් අපට පුළුවන. බටහිර ආකෘතියේ
බලය බෙදීම, සන්ධීය විසැඳුම් ආදිය වෙනුවට මානව හිතවාදි සාමජ
සබඳතා ගොඩනැඟීම ඉතා වැදගත් වනු ඇත.
මිහිඳු මාහිමියන් ගේ උදාර සේවය අගය කළ යුත්තේ කෙ සේ දැයි
රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස හිමියෝ මෙ සේ පවසති.
බුදුරජාණන් වහන්සේගේ ත් ,බුද්ධ ශ්‍රාවකයන්ගේ ත් සේවය වූයේ
සත්පුරුෂ ධර්මය ලොවට පහදා දී සත්පුරුෂ මිණිරුවනින් ලෝකය
සරසාලීමට ය. සම්බුද්ධ ශාසනය නමැති මැණික් ආකාරයෙහි පහළ වූ
ශ්‍රේෂ්ඨ මිණිරුවනක් නිසා අපට අත් වූ අපේ සංස්කෘතියෙහි පදනම
වැටුණු පොසොන් පොහෝ දිනයෙහි ඔබේ සත්පුරුෂකම මැන ගැනීමට ඔබ
පේවිය යුත්තේ කෙසේ ද? මිහිඳු මා හිමියන් වහන්සේ ලංකාවට වැඩියේ
අපෙන් යම් කිසිවක් ලබා ගැනීමට නො වේ. උපන් බිමත් බන්ධු
වර්ගයාත් අතහැර අප කෙරෙහි දයාවෙන් මෙහි වැඩමවා පුරා අටසාළිස්
වසක් මුළුල්ලේ සිදුකොට වදාළ ශාන්ත සේවයට සිංහල ජාතිය සදා
ණයගැති ය. කෘතවේ දී සත්පුරුෂයන් ලෙස අපි උන්වහනසේට කුමකින්
පුදමු ද? අවුරුද්දකට වරක් එළියට වැඩමවා මිහිඳු පිළිරුව පෙරමුණු
කොට පොසොන් පෙරහර පැවැත්වීමෙන් පමණක් ඔබේ කෘතවේදිත්වය සම්පූර්ණ
නො වේ. මිහිඳු මාහිමි නමැති ඒ මිණිරුවන ඔබේ හදවතට වැඩමවන්න.”
සැබවින් ම මේ පොසොන් පොහෝ දා ඔබ කළ යුත්තේ එය යි. |